වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




අපි ප්‍රශ්න ඇනලයිස් කරලා බලනවා

අපි ප්‍රශ්න ඇනලයිස් කරලා බලනවා

ත්‍රී සිස්ටර්ස්ලාගේ ගෙදරට ගොඩවෙමු

ශේෂාද්‍රි පෙම්වතියක්ලු

නුගේගොඩ බැප්ටිස්ට්පල්ලියේ අල්තාරය අසලින් හැමතැනම විසිරුණු රාස්සිගේ අව්දැල්ල මුළු පරිසරයෙම විසිරිලා. ඒ විසිරුණු අව්දැල්ලේ සුන්දරත්වයත් අරගෙන අප බැස්ටියන් පල්ලිය පාරට හැරුණා. ඒ රංගන ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වුණු ත්‍රී සිස්ටර්ස්ලා වුණු සුන්දර යුවතියන්ගේ නිවෙස සොයා යෑමේ අටියෙන්.

පි‍්‍රයසාද් පවුලේ ඩිනක්‍ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන ත්‍රී සිස්ටර්ස්ලා ගේ මේ නවාතැනට පල්ලිය ළඟ ඉඳලා වැඩි දුරක් නැහැ. අපි එනවා කිව්ව ආරංචියට ත්‍රී සිස්ටර්ස්ලාගේ අම්මා ශිරාණි, සඳළුතලයට වෙලා මඟ බලාගෙන හිටියේ හිනාවෙවී.

ඒ හිනාවට හවුල් වෙවී ඈ ළඟම හිටියේ සුන්දර යුවතියක්. ත්‍රී සිස්ටර්ස්ලාගේ තුන්වැන්නී. ශනුද්‍රි පි‍්‍රයසාද්. වසරකට විතර කලින් දකින කොට හිටිය පුංචි කෙල්ල බොහොම ඉක්මනට ලොකු මහත් වුණු අපූරුව. ඈ දැන් සුන්දර යුවතියක්.

‘ශනුද්‍රිත් අක්කලා තරමටම උස ගිහිල්ලා’

ශිරාණි පි‍්‍රයසාද් කිව්වේ මගේ සිත හැඳින ගෙන වගේ. මේ කතාබහ අතර සාලයට ගොඩවැදුණේ ගමන්මලු උස්සගත් අනෙක් සුන්දර යුවතියන් දෙදෙනා.

‘අපි පරක්කු නෑ නේද?’

ලොක්කී ඩිනක්‍ෂිත්, දෙවැන්නී ශේෂාද්‍රිත් කිව්වේ එකවරමයි.

‘අක්කව මුණ ගැසුණෙ නම් කාලෙකට පස්සේ’

ශේෂාද්‍රිගේ සොදුරු හඬ මුළු නිවසෙම විසිරුණා.

අපි හමු වුණේ කාලෙකට පස්සේ වුණත්, ඒ වදන්වල නම් සුහදත්වයේ අඩුවක් තිබුණේම නෑ. “කොහෙද මේ ගමන් මලු ටිකක් උස්සගෙන ෂොපින්වත් ගියාද?”

නිහඬව නොසිටි යුතු නිසාම මම ඇසුවා.

‘අද උදේ ඉඳලාම එක එක ඉන්ටර්විව්. ෆොටී ෂූට්. අද නම් අපි ගොඩක්ම කාර්යබහුලයි.’

ඒ කතාව අතරට ආවේ ත්‍රී සිස්ටර්ස්ලාගේ අප්පච්චි දිනේෂ් ප්‍රියසාද්.

‘ශිරාණි එහෙනම් ඔක්කෙම හරි නේද? මට දැන් කළුතර යන්න තියෙනවා.’

‘ඩබල් ට්‍රබල්’ චිත්‍රපටයේ වැඩ කටයුතු නිසා මේ දවස්වල ඔහු ඉන්නේ එහි කටයුතුත් එක්ක.

‘මාලන් එහෙම නම් මම ගියාට කමක් නෑ නේද?’

ත්‍රී සිස්ටර්ස්ලා ගේ අප්පච්චී, සරසවිය පත්ඉරු සුන්දර කරන අපේ මාලන් අයියගෙන් සමුගත්තා. මම හැරුණේ ත්‍රී සිස්ටර්ස්ලා දිහාවට. ඒ ඉක්මනටම ඔවුන්ව කතාවට අල්ලා ගන්නා අදහසින්.

* ‘ඉස්සෙල්ලාම අපෙන් සුබ පැතුම්’

මම කිව්වෙ ලොක්කිට. මෙවර 18 වැනි සුමති සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නිළිය වෙන්න වාසනාව හිමිවුණේ ඈට. ඒ ඩිනක්‍ෂිට.

‘ඒ සම්මානය ලැබීම ගැන ඇත්තටම මට බොහොම සතුටුයි. මේ මම සුමති සම්මාන උළෙලේදී අගැයීමට පාත්‍ර වුණු දෙවැනි වතාවයි. ගිය අවුරුද්දෙ මට ලැබුණේ නැඟී එන නිළියට හිමි සම්මානය යි. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් තවම වසර හතරයි.

ඒ කෙටි කාලයේදී මේ ලැබුණු සම්මාන මට බොහොම වටිනවා. මම කොහොමත් හිතුවේ නෑ මට ජනපි‍්‍රය නිළියට හිමි සම්මානය ලැබෙයි කියලා. ජනපි‍්‍රය නිළියට හිමි ප්‍රේක්‍ෂක ඡන්ද ප්‍රමාණය පිළිබඳ කියන විටත් මට හිතුනේ නෑ ඒ ඡන්ද ගණන ලැබිලා තිබුණේ මට කියලා. ඇත්තටම එතනදි මගේ නම කිව්වා නම් මතකයි. සම්මානය ගන්න ගිය විදියවත්, ආව විදියවත්, එතනදි කතා කළ දේවල්වත් මට නම් මතක නෑ. අසීමිත සතුටක් නම් තියෙනවා.’

ඇගේ සිතේ සතුට දෝරෙ ගලනවා. ඒ සොඳුරු මොහොතේ ලැබුණු සම්මානය ගැන මද්දුටත්, පොඩ්ඩිටත් මොනවගේ අදහසක්ද තිබෙන්නේ කියලා නොඇහුවොත් අඩුවක් වගේ.

* ඕගොල්ලන්ට සම්මාන ලැබෙන්නේ නැතුව අක්කට සම්මානයක් ලැබිලා. අනේ මටත් සම්මානයත් ලැබුණා නම් කියලා හිතෙන්නේ නැද්ද? මම ඔවුන්ගෙන් විමසුවා.

‘අපි කවදාවත් එහෙම හිතන්නේ නෑ. එදා අක්කට සම්මානය ලැබුණා කියලා අම්මා අපට කෝල් කරලා කිව්වා. අපි දෙන්නට ඇති වුණේ පුදුම සතුටක්. අපි දෙන්නා ගෙදර ඉඳගෙන චියර්ස් කර ගත්තා. අනිත් එක ජනපි‍්‍රය සම්මානය ලැබෙනවා කියන්නේ ජනතාව ආදරය කරන කෙනෙක් වීමයි. ඒක හිමිවීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.’

චුට්ටි, ත්‍රී සිස්ටර්ස්ලාගේ බඩ පිස්සී දැනමුත්තියක් වගේ කතා කළා.

‘අපේ ගෙදර වැඩිපුරම සම්මාන අරගෙන තියෙන්නේ ශනූ. මගේ නම් සම්මාන ගැන වැඩිය බලාපෙරොත්තුවක් නෑ. බලාපොරොත්තුවක් තිබුණොත් තමයි දුක වැඩි වෙන්නේ. ඒ වගේ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි. තව ඉස්සරහට කාලය ඕන තරම් තියෙනවානේ.’

ත්‍රී සිස්ටර්ස්ලාගේ දෙවැන්නී දැරුවේ ඒ වගේ මතයක්. ද ඒත් ශේෂාද්‍රිට සිනමාවේම රැඳිලා ඉන්නේ නැතුව ටෙලි නාට්‍යවලත් රඟපාන්න හිතක් ඇති වේද කියලත් මට හිතුණා.

‘මම කොහොමත් මගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මම කැමැති ඒ ක්ෂේත්‍රයට පමණයි. චිත්‍රපටවලත් එන සෑම චිත්‍රපටයකම රඟපාන්නේ නැහැ. තෝරා බේරා ගැනීමක් ඇතිවයි මා රඟපාන්නේ. දැනට මම කරලා තියෙන චරිතත් ඒ වගේ. යමක් කළ හැකි චරිත පමණක් රඟපානවා.’

ශේෂාද්‍රිගේ කැමැත්ත සිනමාවට. ලොක්කිගේත්, චුට්ටිගේත් කැමැත්ත ඒ හැම දෙයකටම. තුන්දෙනාම රඟපාන නිසා පිටපත ලැබුණාට පස්සේ මොනවද කරනවා ඇත්තේ. මගේ සිතේ නැගුණේ ප්‍රශ්නයක්. ඊට පිළිතුරු දුන්නේ ඩිනක්‍ෂි.

‘අපි තුන්දෙනාම ඒ ලැබුණු චරිත පිළිබඳ කතා කරනවා. දැන් මට ලැබුණු චරිතය ඒ දෙන්න ඉදිරියේ රඟපාලා පෙන්නනවා. ඊට පස්සේ ඒ ගොල්ලො ඒ චරිතයේ අඩුපාඩු හදනවා. එකතු වෙන්න ඕන දේවල් කියනවා.’

‘ඇයි අක්කි, චූටි නංගී තමයි අපේ රංගනයේ හොඳම විචාරිකාව. අපි චරිතයක් රඟපෑවට පස්සේ ඒක තව මෙහෙම කරන්න තිබුණා. ඒකට තව මෙහෙම දේවල් එකතු කරගන්න අපට උපදෙස් දෙන්නේ, ඒ චරිත විචාරයට ලක් කරන්නේ ශනූ තමයි.’

ශේෂාද්‍රිත් කතාවට හවුල් වුණේ ඩිනක්‍ෂි ගෙන් නොකිය වුණු අදහසක අඩුවක් පුරවන්න.

* නිර්මාණ තෝරා බේරා දෙන්නේ අම්මයි, තාත්තයිද?

ක්ෂේත්‍රය පිළිබඳ දන්න, එහි නියැළිලා ඉන්න ශිල්පියෙක් විදියට ත්‍රී සිස්ටර්ස්ලා ගේ අප්පච්චි දැනමුත්තෙක්.

‘ඉස්සර නම් අපට තේරෙන්නේ නැති කාලේ පිටපත බලන්නේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නා තමයි නිර්මාණ තෝරලා දෙන්නේ. ඒත් දැන් අපිට යමක් තේරෙන නිසා ඒ නිදහස අපටම දීලා තියෙනවා. මම ගොඩක් වෙලාවට නංගිලා දෙන්නාවත් උනන්දු කරනවා. මේ කාලයේ රඟපාන චරිතයක් වයසට ගිහින් රඟපාන්න බැහැනේ.’

ත්‍රී සිස්ටර්ස්ලාගේ ලොක්කී කිව්වේ කටකාර කතාවක්.

* නිවෙසින් ආදර කතාවල රඟපෑමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

‘ඒ ආදර රඟපෑම් තිරයට විතරයි. ඒවා ගෙදර නෑ. මේ සෑම කාරණයකදිම අපිව වඩාත් තෙරුම් ගන්නේ තාත්තා. ඒ තාත්තට මේ ක්ෂේත්‍රය ගැන ;හාඳ දැනුමක් තිබෙන නිසා.’

ශේෂාද්‍රි, ඩිනක්‍ෂිගේ උවන බැලුවා. ඒත් එහෙම නේද කියන්න වගේ. ඒ එක්කම නැඟුණ සිනහා හඬ මුළු නිවෙසෙම පැතිරුණා. ඒ සිනහාවේ මොකක්දෝ හොරයක් හැංගිලා.

* ඔයාලට තිබෙන මොනවා හරි ප්‍රශ්නයක් ගැන මුලින්ම කතා කරන්නේ කාත් සමඟද?

ඒ හොරයට ද ඔවුන් සිනාසුණේ කියලා සිතුණ නිසා මා ඒ ප්‍රශ්නයම යොමු කළා. නැවතත් ඔවුන්ගෙන් ඒ මිණි කිංකිනි සිනහව නැඟුණා.

‘ඒක නම් අපි ඇනලයිස් කරලා බලනවා. මේ ප්‍රශ්නය නිසා වැඩිපුරම තරහා යන්නේ තාත්තටද? නැත්නම් අම්මටද කියලා. ඒ අනුවයි අපි ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ. අම්මට නම් හරියට තරහා යනවා. අදත් තාත්තව පොඩි කාරණයකට ෂේප් කරන්න හැදුවා. ඒත් හරි ගියේ නැහැ.’

තුන්දෙනාම කිව්වේ හිනාවෙවී. තුන්දෙනාගෙන්ම වැඩියෙන්ම තරහා යන්නේ කාටද? චුට්ටිට ටිකක් විතර තරහා යනවා වගේ දැනෙන නිසා මා ඇසුවා.

‘ඒක නම් ඇත්තයි. මේ ගොල්ලො මාව තරහා ගස්සනවා. හැබැයි ඒ තරහා උපරිම දවසක් තියේවි. මේ දෙන්න මාව යාළු කරගන්නත් දන්නවා. මම කැමැතිම කෑමක් හදලා හරි ගෙනත් හරි ඉතිං මට කතා කරනවා. ඉතිං තරහා වුණේ මොකටද කියලවත් මට මතක නෑ. ඒ රණ්ඩු ඉතිං ටික වෙලාවයි.’

චුට්ටි ශනුද්‍රි ඇත්තම හෙළි කළා.

වැඩිපුර රණ්ඩු ඉතිං ඇඳුම්වලට තමයි. චුට්ටිගේ ඇඳුමක් අපි ඉල්ලනවට මෙයා කැමැති නෑ. කොහොම හරි ඉතිං ඇඳුම දෙන්නේ මූණේ නොක්කාඩුවක් තියාගෙන. අදත් ඇඳුමක් ඉල්ලුවාම මගේ ළඟ ගවුම් නෑ ඔයාට දෙන්න බෑ කිව්වා. දෙන වෙලාවල් තියෙනවා. ඒ හැබැයි එයාටත් වාසියක් වුණොත් තමයි.

ශේෂාද්‍රිටයි ඒ සිදුවීම මතක් වුණේ.

‘ශනූ නිතරම ඉන්නේ තනියම. එයාට තනි කාමරයක් ඕන. අපි දෙන්නා ඉන්නේ එකම කාමරයක. ඒ වගේම පොඩ්ඩි තනියම ඉන්න බයයි. ඒ විතරක් නෙවෙයි අපිට ඇඳුම් හදලා දෙන්නේ, මහලා දෙන්නේ අම්මා. උත්සවයකට ගියත්, අනික් ඕනෑම දෙයකදිත් අම්මා අපට උදව් කරනවා.’

ඩිනක්‍ෂි තවත් රහසක් හෙළි කළා.

* කාමරය වැඩිපුරම හැඩි කරන්නේ කවුද?

‘අනේ අක්කේ ඒක නම් ලියන්න. අපේ කාමරේ වැඩියම හැඩි කරන්නේ මෙයා තමයි.’

ශේෂාද්‍රි ඒ වැරැද්දට අත දිගු කළේ ඩිනක්‍ෂිට.

‘මම ඉතින් සතියෙම වැඩනේ. මෙයාට වගේ නිදහසක් මට කොහෙද.’

ඒ වැරැද්දෙන් ඩිනක්‍ෂි බේරුණේ එහෙමයි.

‘මේ දෙන්නගේම වැඩේ කාමර නිතරම හැඩි කරන එක තමයි. මගේ වැඩේ ඉතින් කෑගහන එකයි.’

මේ කතාබහට ත්‍රී සිස්ටර්ස්ලාගෙ අම්මාත් වරින්වර හවුල් වෙන්න අමතක කළේ නැහැ.

‘ගෙදර අස්පස් කරන වැඩ කරන්නේ අම්මා. ඉඳලා හිටලා ඉතිං අපිත් සපෝට් කරනවා. මම වැඩිය කැමති සැර කෑම හදන්නයි.’ ඒ ශේෂාද්‍රි.

‘පොඩ්ඩිට නම් හොඳට උයන්න පුළුවන්. ඒත් මම නම් හදන්න කැමති පැණි රස කෑම. මම ටිකක් පැණිරස කෑමවලට කැමැතියි.’

ඩිනක්‍ෂි පැණිරස කෑම හදනකොට ශනුද්‍රි මොකද කරන්නේ? නිශ්ශබ්දව ඉන්න ශනුද්‍රි ගැනත් කතා කළ යුතුයි.

‘එයා ඉතිං සයිඩ් සපෝට් තමයි. ඒ කටයුතුවලට අදාළ උපකරණ එහෙම හෝදලා දෙන්නේ මෙයා.’

ඒ අතර ශනුද්‍රිට අපෙන් සමුගන්න සිදුවුණා. ඒ දෙසැම්බර් ඕ ලෙවල් විභාගයට සූදානම් වන නිසා ඈට උගන්වන සර් ඇවිල්ලා.

තුන්දෙනාගෙන්ම ලස්සන කවුද කියලද හිතෙන්නේ.

යුවතියන් තුන්දෙනාම සුන්දර වුණත් මම ඇහුවේ ඔවුන්ව තරහා නංවන්න හිතාගෙන.

‘චුට්ටි තමයි අපි තුන්දෙනා ගෙන්ම ලස්සනම කෙනා.’

ඩිනක්‍ෂි, ශේෂාද්‍රි කියන්නේ එකපාරටම.

මේ තරම් ලස්සන යුවතියන්ට ප්‍රේමවන්තයෝ නැති වුණොත් පුදුමයි.

‘මම නම් දැන් ප්‍රේමවන්තියක්. එයා ගැන පස්සේ විස්තර කියන්නම්. තාත්තයි, අම්මයි තමයි හොයලා දුන්නේ.’

වැඩි විස්තර කියන්න ශේෂාද්‍රි කැමැති වුණේ නැහැ.

‘ඒත් මම නම් ප්‍රේමවන්තියක් නෙවෙයි. ඉස්සරහට බලමු.’

ඩිනක්‍ෂි තවමත් තනිවම වගෙයි.

* හැමෝම නිවසේ ඉන්න දවසට මොකද කරන්නේ?

‘ගොඩක් වෙලාවට අක්කි ගොඩක් කාර්යබහුල නිසා නිදියන්න තමයි කැමැති. උදේට තාත්තා නිතරම ජෝතිපාල ඇතුළු පැරැණි ගායකයන්ගේ සින්දු අහනවා. ටික වෙලාවකදී අපිත් හෙමින් හෙමින් සාලෙට එනවා. ඊට පස්සෙ හැමෝම එකතුවෙලා ඉඳලා හිටලා පුංචි සාජ්ජයක දානවා. ඒක බොහොම සතුටු මොහොතක්.’

සතුටු සාජ්ජය පිළිබඳ කිව්ව ශේෂාද්‍රි ජෝතිපාලයන්ගේ ගීතයක් මුමුනන්න වුණා.

‘මම නම් වැඩිය කැමැති ජෝතිපාල අංකල්ගේ ගීතවලට.’

ගී මුමුණන අතර ඈ කිව්වා. නොදැනම හෝරා කිහිපයක්ම ගෙවිලා ගිහින්. මුළු පරිසමරයම සොඳුරු හෝරා කිහිපයක ගිල්වමින් සිටිය රාස්සිගේ අව්දැල්ල අතුරුදහන් වෙලා. මුළු පරිසරයම අඳුරු වෙලා. ‘වැස්සක් ළඟ ළඟම එනවා’. කියන කොටමත් මොර ගෙඩි වගේ වැහි පොද එක දෙක වැටුණා. අපි ඒ සුන්දර පවුලට ආයුබෝවන් කිව්වා.