වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඉටි රුවක් වන මොන්රෝ

ඉටි රුවක් වන මොන්රෝ

මැරිලින් මොන්රෝට සමීප ඉටි රුවක් හා සමාන රුවක් අදටත් සිහිනයකි. එනිසාමදෝ මැඩම් සූසාඩ්ගේ ඉටි රූ එකතුවට විශාල අඩුවක් ඇති බව මැඩම් සූසාඩ්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද දැනෙන්නට ඇත. මොන්රෝ මිය ගොස් පනස් එක් වසරක් ගත වී තිබුණ ද ඒ අඩුව දැන් හෝ පිරවීමට සිතී ඇත්තේ එනිසයි.

වොෂිංටන්හි ඉටි රූ කෞතුකාගාරයේ ඉටි රුව විවෘත කෙරුණු අතර එහිදී ඇයගේ ඡායාරූප, දින දසුන්, ෂැම්පු දැන්වීම් ආදිය ද ප්‍රදර්ශනය කරන ලදී.

මොන්රෝ, සිනමා ලෝකයේ සර්වකාලීන තාරකාවන් අතර අංක එකට ටීවී ගයිඩ් නෙට්වර්ක් මඟින් නම්කර ඇති අතර අමෙරිකානු සිනමා ආයතනය ඇය සර්වකාලීන විශිෂ්ට සිනමා තාරකාවන් අතරින් හයවැනියා ලෙසට අංක කර තිබේ.

මොන්රෝ වයස අවුරුදු තිස් හයේදී අබිරහස් ලෙස මිය ගියාය. ඇයගේ මරණයට හේතුව නිදි පෙති පානය කිරීම කියා තහවුරු වුණත්, අමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි හා ඔහුගේ සොයුරු රොබට් ද මීට සම්බන්ධ යයි කියා රාවයක් පවතී. මොන්රෝ මරණයට පත්වීමට පෙර අවසන් වරට කතාකර තිබුණේ ජනාධිපති කෙනඩිටය.

ඇය රැඟූ ‘ලයිට් ඉට් හොට්’, ‘ජෙන්ට්ල්මන් ප්‍රිෆර් බ්ලොන්ඩිස්’ සහ ‘හව් ටු මැරි අ මිලියනයර්’ සිනමාපට අතිශයින් ජනප්‍රිය විය. නූතන පරපුර අතර මැරිලින් වඩා ප්‍රකට සරාගී තාරකාවකට වඩා විලාසිතා සංකේතයක් ලෙසයි.