වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

ඇයි මෙහෙම වුණේ ජයසේකර අපොන්සුට, සීතා මං ආවා සිනමාපටයට රාවණා බළකාය ලබාදුන් ප්‍රසිද්ධියට පන් සිදුවන්නටවත් ගොඩ යා ගන්න බැරි වුණේ ඇයි?

බලධරයිනි නෙත් යොමන්න!

සිංහල සිනමාවේ පිබිදීමක් ඇති වන මේ යුගයේ සිනමාහල් නවීකරණය විය යුතුයි. ගැමුණු - නිට්ටඹුව, හරිෂ්චන්ද්‍ර - කිරිඳිවැල යන මේ සිනමාහල්වලට අලුත් චිත්‍රපට ලැබෙන නිසා ඒවා විශේෂයි. මේ ගැන චිත්‍රපට සංස්ථාවේ අවධානය යොමුවේවා.

ඉඩම් දන් දුන් ඔබට බොහෝ පින්

පද්මසිරි කොඩිකාරගේ ආදර පුත් විශ්වගේ විසි හය වැනි උපන් දිනය සැමරුම් අවස්ථාවේදී තමා සතු ඉඩම් අක්කර දෙකක් විහාරස්ථානයට පූජා කළ අතර, අසරණ පවුල් හතරකට ඉඩම් ප්‍රදානයක් කර දී ඔහු කරනු ලැබූ අගනා දානමය පුණ්‍යකර්මයට අප ඉත සිතින් ශුභාශිංසිනය කරන අතර අගනා තුති මල් මිටක් මින් පුදන්නෙමු.

ඔබව සිහි වේ

මන්නාඩේ ශ්‍රේෂ්ඨ ගායකයෙකි. ඔහුගේ හඬින් වශී නොවූ කෙනෙක් නැති තරම්ය. ඔහු අපේ සිත්වල රැඳී ඇත්තේ ඔහුගේ ගීතයක් සිංහලයට පෙරළී ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යනුවෙන් මොහිදීන් බෙග් ගායකයාගේ හඬින් ඇසෙන විටය. උතුම් පෝය දිනවල ඇසෙන එම ගීතය මන්නාඩේ ගැයූ ගීත සිහි කරයි. ඒ නිසා අප ඔහුට කෘතඥ විය යුතුය.

ආදර්ශයකි

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අංගනා නාට්‍යය තරුණ දූ පුතුන් සිටින මවුපියවරුන්ට කදිම ආදර්ශයකි.

මේ ගැනත් හිතන්න!

මේ දිනවල කොළඹ එල්ෆින්ස්ටන්හි අලුත්වැඩියා කටයුතු ලහි ලහියේ නිමවෙමින් පවතියි. එයට අපගේ ප්‍රණාමය. රඟහලේ වගකිව යුතු බලධරයනි, මෙයට කලකට ඉහත තම ‘කටහඬ’ ප්‍රසංගයේදී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ එල්ෆින්ස්ටන් වේදිකාවේදී අපූරු යෝජනාවක් ගෙන ආවේය. එනම් එල්ෆින්ස්ටන් නම ඉවත්කොට එය රුක්මණී දේවි රඟහල යනුවෙන් නම් කළ යුතු බවයි. එය අපි ද අනුමත කරන්නෙමු.

චමින්දට ඇරියුම්

සිංහල සිනමාවේ පෙම්වත් හඬ ධර්මදාස වල්පොල නොසිතූ මොහොතක අපෙන් සමුගත්තත් ඒ හඬ ඒ අයුරින්ම අපට පුදන ධර්මදාසයන්ගේ එක් පුතකු වන චමින්ද වල්පොල ඔබටයි මේ ආරාධනා. පිය සෙනෙහස ඉතාම සංවේදී අයුරින් මතකයට නංවන ඒ වල්පොල පුතු මවට මෙන්ම අපට ද වාසනාවකි. ඉදිරියේදී හඬ මෙන්ම පියාගේ නාමය ද රැක ගැනීම චමින්ද දැන් ඔබට බාරයි.

ජගත් – බිමල් කුසලතා අගෙයි

ගාමිණී, ජෝ, ටෝනි වැන්නවුන්ගෙන් පසු පෙරට එන ජගත් චමිල මෙන්ම ප්‍රබල රංගනයක යෙදෙන බිමල් ජයකොඩි ගී ගායනාවට ද දක්ෂ අපගේ රසාස්වාදයට ද උපන්නෙකි. ගාමනී චිත්‍රපටය, රස්තියාදුකාරයා, සැණකෙළිියයි මායා,අංගනා මෙන්ම දැනට විකාශය වන මිරි¼ගු දිය වැනි නාට්‍ය ඔබේ රංගන කුසලතා ඔප මට්ටම් කළේය.

ඉස්සරහටම යන්න. කෙදින හෝ හොඳම නළුවා වන්න. ඒ අපගේ ආදරණීය ආශිර්වාදයයි.


S.M.S

මේ වන විට රෝගාතුරව පසුවන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල්සෝම පීරිස් මහත්මයාට ඉක්මන් සුවය පතමු. කාලයක් හෙළ සිනමාව පණ ගසා නැගිට සිටියේ ඔබේ සිනමාපටවලිනි.

සිරස නාළිකාවෙන් ගෙන එන එකමත් එක කාලෙක වැඩසටහන ගොඩක් නිර්මාණශීලීයි. එය ඉදිරිපත් කරන සම්පත් ඉතා දක්ෂ ලෙස වැඩසටහන ඉදිරිපත් කරයි. සිරස වැඩක් කළොත් ආයේ සුපිරිම තමා.

අංගනා ඩ්‍රාමා එකේ කාවිංග සහ විශ්ව මියගිය දර්ශන බලලා ආසාවෙන් නරඹපු අංගනා නාට්‍යය අපට ආයෙ බලන්න හිතුණේ නැහැ. ගොඩක් දුකයි.

රංගන ශිල්පී පුබුදු චතුරංග රංගනයෙන් ප්‍රේක්ෂකයා පුබුදු කර වු අන්දම අපූරුයි. ඔබ තරම් වේදිකාව පුංචි තිරය සහ සිනමාව ජය ගත් නළුවකු නම් මෑත කාලයේ මා දුටුවේ නැහැ.

සුනිල් ආරියරත්න මහත්තයෝ,

ඔබගේ නවතම සිනමා නිර්මාණය වන යශෝධරාහි යශෝධරා දේවිය පණ පොවන්නට පූජාව යොදා ගන්න.

හෙක්ටර් ඩයස් නැවතත් මේරියන්ස් සංගීත කණ්ඩායමට එනවා නම් නියමයි. ඔහුගේ සැක්සෆෝන් නද නොමැති වීම මේරියන්ස් කණ්ඩායමට හරිම අඩුවක්.

අනූෂා දමයන්ති අක්කේ,

අපි ඔයා ඉන්න සෑම චිත්‍රපටයක්ම නරඹලා තියෙනවා. අනේ ඔයා නටන විදිහට අපිට හරිම ආසයි. ඔයා රිදී තිරයේ බෝනික්කියක් වගෙයි.

හිරු නාළිකාවේ කොපි චැට් වැඩසටහනට ඕල්රයිට් සංගීත කණ්ඩායමේ නායක ශාලින්ද ප්‍රනාන්දු අයියවත් ගේන්නකෝ.

සිරස සුපිරි තරු පස්වැනි අදියරේ කිරුළ හිමි කරගත් දසුන් මධුසංක ස්වප්නා නාට්‍යයේ තේමා ගීතය ළයාන්විතව ගයනවා. ඔබ තමයි කීර්ති පැස්කුවල්ගෙන් පසුව සංගීත ලෝකයට බිහි වූ ළයාන්විතයා.

සකිසඳ සුවාරිස් මහ කෝලමක්.

උදාරි අක්කි, කෝ ඔයා තවම ලංකාවට ආවේ නැහැනේ. ඇවිත් ආයෙත් රඟපාන්නකෝ.

පර්පල් රේන්ජ් තමයි ලංකාවේ තියෙන හොඳම බෑන්ඩ් එක.

සිරස නාළිකාවේ විකාශය වන බාදුරා දේශය නාට්‍ය පෙළෙහි අගයක් ඇති බව පෙනෙයි. සෑම කථාංගයක්ම අවසාන වූයේ හරවත් සහ නිවැරැදි බවකින් යුතුවය.

බයිලා කලාව නවතම මඟකට ගෙන ගිය මද්දුම බණ්ඩාර, වස්තුව ඉල්ලන, ඉස්සන් මගුරන් වැනි ගී ගැයූ ඇන්ටන් රොද්‍රිගෝ කලාකරුවා සමරමු.

මහේෂි මධුසංකාව ජීවිතේ ලස්සනයි චිත්‍රපටයෙන් පසු යළිත් චිත්‍රපටයක අප දුටුවේ නැත. ඇයි ඔයා චිත්‍රපටවල රඟපාන්නේ නැතිද, නැතිනම් අධ්‍යක්ෂවරු ඔබව ගන්නේ නැතිද.

කොටස් වැඩි ගණනකින් යුතු ටෙලි නාට්‍ය ඒකාකාරී බවින් යුක්තයි. පටන් ගන්නා සැර පස්සෙ පස්සෙ අඩු වෙනවා. අන්තිමේ කිසිම තේරුමක් නැතුවම ඉවර වෙනවා.

කෝරලේ මහත්තයත් හරි, පිනත් හරි. පිනා තමයි කෝරලේ මහත්තයාව රන් කරන්නේ.

සනත් ගුණතිලක මහණ වී සිටි අයුරු දුටු මුත් සිවුරු හැරගියාට පසු ඔහුව දුටුවේ නැත. ඇත්තටම සනත් මහණ වෙලාද දන්නේ නැහැ.

දර්ශන් ධර්මරාජ්

හොඳම නළුවාද ඔබය

ජනප්‍රියම නළුවාද ඔබය

පුංචි තිරයෙන්, රිදී තිරයෙන්

අපව බියට පත් කරන්නේ ද ඔබය.

දර්ශන් සැබවින්ම විලන් කෙනෙකි.

කෝරලේ මහත්තයා ටෙලි සිතුවමේ ‘ටිකිරි’ ලෙස රඟන අයෝමි ශානිකා හෙවත් අපේ සුදු නංගි තමයි පුංචි තිරයේ ආදරවන්තිය. ඇය නිසා කෝරලේ මහත්තයා වැඩිපුර බලන්න හිතෙනවා.

‘ඉස්සරහට යන්න’ නාට්‍යයේ තමාට ලැබුණු චරිතය ජගත් චමිල ඉතාම නිර්මාණශීලිව ඉදිරිපත් කර ඇත. එම චරිතය ජගත් හැර ඉදිරිපත් කරන්නට වෙන ජගතෙක් නැත.

රන්ජන් රාමනායක අයියේ,

ඔබ තමයි අපේ කලා ලොවේ වීරයා. ඔයාගේ ඔය කඩවසම් පෙනුමටයි, සුන්දර සිනහවටයි අපි හුඟක්ම ආසයි.

රන්තරු ටෙලි නාට්‍යයට අපි හිතුවේ උදාරි ඇති කියලා. නමුත් ඉන්නේ ඉෂාරා සඳමිණි. ඇයත් හොඳයි. ඉෂාරාගෙන් අමුතුම එළියක් රන්තරු සඳහා ලැබෙනවා.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සුදත් නාවලගේ ගයන ‘හොරෙන් බැලුවේ’ ගීතය නම් නියමයි. ‘මුහුද දන්නවා’, ‘සුදු වෙරළ’ වැනි ඔබේ පැරැණි ගීතත් ලයිව් ෂෝවල ගයනවා නම් අපි කැමැතියි.

චතුරිකා පීරිස් සමනල සංධ්වනියේ කළ රංගනය අනර්ඝයි. අපි හිතුවටත් වඩා හොඳට ඔබ රඟපාලා තියෙනවා.