වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ කම්පනය නිසා මම කලක් රඟපෑමෙන් ඈත්ව සිටියා

ඒ කම්පනය නිසා මම කලක් රඟපෑමෙන් ඈත්ව සිටියා

දීපාල් ලියනආරච්චි

ඉස්කෝලෙ යන කාලේ මං හරිම දක්ෂයි අභිරූපණ රංගනයට. ඇත්තටම ඒක මට උපතින් ලැබුණු දක්ෂතාවයක් කිව්වොත් නිවැරැදියි. අගලවත්ත මිහිඳු මහ විද්‍යාලයෙනුයි මං ඉගෙන ගත්තේ. එහි මං ඒක පුද්ගල අභිරූපණ රංග ප්‍රසංග කිහිපයක්ම පැවැත්වූවා. පාසල් මිතුරන්ගෙන් මට ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්.

භ එහෙම කතාව ආරම්භ කළේ නව පරපුරේ රංගන ශිල්පියකු වන දීපාල් ලියනආරච්චි. මේ වන විට නාට්‍ය හතළිස් අටක රඟපා ඇති හෙතෙම ඉන් සිරිවාසල, සඳමැදියම හා විසුළ අහස යට වැනි ටෙලි සිතුවම් හි කැපී පෙනෙන රංගනයක යෙදුණා. දීපාල් ඊළඟට කතා කළේ අභිරූපණ රංගනයෙන් කැමරාව ඉදිරියට පැමිණි අයුරු.

මට අභිරූපණ ෂෝස් කරන්න උදව් වුණේ සංජය බ්‍රාහ්මණ කියන මගේ යාළුවා. ඔහුව මේ වෙලාවෙ මතක් කරන්න ඕනෑ. අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව මට නාලන් මෙන්ඩිස් මහත්මයාගේ පස්සෙ ගෙනා මනමාලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා.

ඒක තමයි මං කැමරාවක් ඉදිරියේ කළ පළමු රංගනය. ඒත් එක්කම ලයනල් දැරණියගල මගේ පින්තූරයක් දැකලා එයාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. අවාසනාවකට එතුමාගේ හදිසි වියෝවෙන් චිත්‍රපටය අතරමඟ නැවතුණා. ඉන් ලද කම්පනයෙන් මම ටිකක් රංගනයෙන් ඈත් වුණා.

* එතකොට ඔබ යළිත් රංගනයට එන්නේ?

සුදත්ත තිලක්සිරි අලේ ගමට නාට්‍යයක් කරන්න ඇවිත් හිටියා. ඔහුත් එක්ක මං ටිකක් හිතවත්වෙලා විස්තර කතා කළා. ඒවා අහගෙන හිටිය ඔහු එම නාට්‍යයේම චරිතයකට කතා කළා. අන්න එතනිනුයි මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ.

* ඒ රංගන ගමනෙහි නොමැකෙන මතක සටහන් මොනවද තියෙන්නේ?

ඇත්තටම සඳ මැදියම, සිරිවාසල, විසුළ අහස යට යන නාට්‍යවල මැවූ චරිත මගේ රංගන ගමනෙහි අමරණීයයි. සිරිවාසල හි මං පුංචි බණ්ඩා. එය තරුණ වයසේ සිට මහලු විය දක්වා දිවයන්නක්. එහි එක් අවස්ථාවක පුංචි බණ්ඩාගේ පාදයක් නැති වෙනවා. එතැන් පටන් කිහිලිකරු පාවිච්චි කරමිනුයි රඟපෑවේ. ඒක පුදුමාකාර අත්දැකීමක්.

* එම නාට්‍ය තුනට අමතරව ඔබ රංගනනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් මතක් කළොත්?

සරා, පිනි වැස්සක්, අමන්දා, අහස සේ නුඹ අනන්තයි. බොරලු පාර, පරණ ටවුම, මන්දාරම් කළුවර, සඳා, අපේක්ෂා.

* රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

ඔය පුුංචි බණ්ඩා චරිතෙ කරද්දී මගේ ස්වරූපය සෑහෙන්න වෙනස් කළා. හිතවතුන්ට කිව්වත් ඒ ඉන්නේ මම කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ. අදටත් කට්ටිය විහිළු කරනවා ඒ හිටියේ මම නෙවෙයි කියලා. තව හොඳ අත්දැකීමක් තමයි ඒ චරිතය වෙනුවෙන් බුලත් කන්න සිද්ධ වීම. මත් වෙනකම් බුලත් කෑවා.

* ඔබේ පුද්ගලික විස්තරත් කතා කරමු?

මගේ බිරිය දමිතා රණසිංහ. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.

* අවසන් කොට තවත් වචනයක් කියමු?

ක්ෂේත්‍රයේ සිටින ගොඩක් දෙනෙක් මට උදවු කළා. විශේෂයෙන් මගේ මවුපියන්, තව ලකී ආතවුද, ප්‍රියන්ත රණසිංහ, රවී ලියනගේ නම් මගේ මිත්‍රයන් නිබඳව මට මහත් ධෛර්යයක් දෙනවා. මම යම් තැනකට ආව ද ඒ ජයග්‍රහණයේ වැදගත් තැනක ඔවුන් ඉන්නවා. මට නාට්‍ය කිහිපයකටම මේ වන විට ආරාධනා ලැබිලා තියෙනවා. රංගනයේ යෙදෙමින් ජීවිතයේ ඉදිරිය ගෙවනවා.

මේ දීපාල්ගේ දුරකථන අංකයයි 0773925392