වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




එයා ආවාම මටත් සෙල්ලම් කරන්න පුළුවන්

එයා ආවාම මටත් සෙල්ලම් කරන්න පුළුවන්

මේ කතාව කොතනින් පටන් ගෙන කෙසේ අවසන් කළ යුතු ද යන්න මම නොදනිමි. මේ විසල් පුරය මේ වනවිට සහමුලින් ම නින්දට ගොසිනි. අප සිටින උඩු මහල් තලයේ ඈත කෙළවර නගරයේ අනන්තය දක්වා විහිද යන විදුලි පහන් එළි පෙනේ. නිශාචර ගමනක යෙදුණු මෝටර් රථයක් මාවත දෙපස ඇති ගොඩනැඟිලි අතර ආලෝකය සඟවමින් වේගයෙන් ඉදිරියට ඇදෙයි. සේනක තද නින්දේ පසුවෙයි. මා දරුවන් ද ඔහුට තුරුථ වී සැප නින්දක ය.

මා පිබිදුනේ අහම්භයෙනි. රාත්‍රියේ නිහැඩියාව අතීතයට පාර කියන දොර හැරදෙන වගක් මට හැඟේ. ජීවිතය පිළිබඳ විනිවිඳ දකින කතාවක් ලියන්නට මා සිත පොලඹවයි.එය වෙන කාගේවත් කතාවක් නොවේ. මගේම කතාවයි. එය ඔබටත්, මටත් එක සේ බෙදාගත හැකිවන අත්දැකීමක් වනු විශ්වාස ය.

මමත්, සේනකත් විවාහ වූයේ ආදර කතාවක ප්‍රතිඵලයක් හැටියට ය. අපි එක් පාසලක ඉගෙන ගතිමු. ඔහු හිටියේ මට වඩා ඉහළ පංතියක ය. අපි මුලින්ම මුණ ගැසුණේ කවදා දැයි කියන්නට මට මතක නැත. එහෙත් ඔහු දකින හැමවිටම කවදා කොතැනක හෝ අතීතයේ දවසක මුණ ගැසී ඇති බවක් මට නිරන්තරයෙන් ම දැනිණ.

එය සසර පුරා පතාගෙන ආ හැටි යැයි මම සිතමි.අපේ ප්‍රේම කතාව චිත්‍රපටයකට සුදුසු වන්නේ නැත. එහි දුෂ්ටයකු සිටියේ ද නැත. එයට බාධාවක් ඇතිවූයේ ද නැත. කිසිඳු බාධාවකින් තොරව ආරම්භ කළ අපගේ ප්‍රේම වෘත්තාන්තය මව්පියන්ට හෙළිවූයේ පසුවය. මගේ මව්පියන් හා ඔවුන්ගේ මව්පියන් හමු වී කතාබස් කළේත්, අප දෙදෙනාට එක් වහළක් යටට එන්නට ලැබුණේත් සියල්ලන්ගේ ආශිර්වාදය ලබමිනි. ඒ වනවිට සේනක රජයේ සේවකයකුව සිටි බැවින් අනාගතය ගැන මහබරක් අපට තිබුණේ ද නැත. මව්පිය ආසිරි මැද මහා මංගල්ලයක් කොට අපි අලුත් නිවහනකට ආවෙමු. මගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ඉපදුනේ එක සමීප කාලයේ ය. මගේත්, සේනකගේත් කුඩා ලෝකය ඔවුන්ගෙන් අලංකාර වූයේය. තුන්වැනි දරුවකු අපේක්ෂා නොකළ ද ඉරණම අනුව අපි එයට සූදානම් වීමු.

පළමු දරුවා රුවන් මා කුස පිළිසිඳ ගත් දා සිට මම අනෙක වාර විධ භාර වීමි. ජයසිරි මහ බෝධියට, කතරගමට, කිරිවෙහෙරට, ශ්‍රී දළදා මැදුරට මම බාරවීමි. මුල්වරට වෛද්‍යවරයෙකු හමු වූ දා කුස සිටින බිලිඳා සුවෙන් සිටින අන්දම ඔහු අපට පෙන් වූ අයුරු මට තවම මතකය. සේනක මගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ ඇස්වල කඳුථ පිරෙමින් පැවතිණ. මම හෙමින් සීරුවේ කුස පිරි මැදීමි. කුස සිටින දරුවා දඟලනු, පයින් ගසනු වේදනාවෙන් වුවද සැපතක් කොට මම සැලකීමි. මපුතු එළිය දුටු දා මම ජීවීතයේ එතුවක් නොවිඳි සතුටක් ලද බව වටහා ගතිමි. ගැහැනියකට අම්මා කෙනෙකු යනු වචනයක්ම පමණක් නොව ආඩම්භරයකි. එය ලොව කිසිඳු අඟනා මැණිකකට හෝ මිල කළ නොහැකි අගයකි. මේ පරම සත්‍යය මා අවබෝධ කොට ගත්තේ පුතු උපන් දවසේය. රුවන් ඉපිද තෙවසරක් ගත වූ තැන දියණිය සිඟිති ද උපත ලැබුවා ය. පවුලට එකිනෙකා වැඩිවත්ම සේනකගේ කාර්යාල කටයුතු ද බහුල විය. ඔහු රෑ බෝවනතුරු රාජකාරියේ යෙදුණේ මගේත්, දරුවන්ගේත් අනාගතය හදනු පිණිසය. අපේ කුඩා නිවහන සතුටින්ද, සාමයෙන් ද පිරිපුන් වූයේ ය. ඇතැම් ඉරිදාවක පවා උදෑසනින් නැඟිටින සේනක නිවෙස ඉදිරිපිට ඇති මල් පැළවලට වතුර දමන්නේ ය.

‘එක දවසක හරි කම්මැලි වුණොත් හැමදාම කම්මැලි හිතෙයි.’

කියනා සේනක වෙහෙස නොබලා වැඩ කරන්නේ ය. ඔහු කරන වැඩ කටයුක්තක දී වුවද මම හැකි පමණින් උදව් කළෙමි. කන්තෝරුවේ වැඩ ඔහු කිසිදිනෙක ගෙදර නොගෙනාවේය. දරුවන් හා මා සමඟ නිරන්තරයෙන් බැඳී සිටීම ඔහුගේ ආශාව වූයේය.

‘ඉස්සරට වඩා ඔයා මහන්සි වෙනවා.’

මම පැවසීමි.

‘ඉස්සර අපි දෙන්නයි. දැන් හතර දෙනයි.’

ඔහු සිනහ වෙමින් පැවසුවේ ය. පාසල් යන කාලයේ දී සිටි සේනකත්, මගේ ආදරණීය සැමියා සේනකත් අතර කිසිඳු වෙනසක් නැත.

‘හතරදෙනෙකුට නෙවෙයි පස් දෙනෙකුට’

මම හීන්සීරුවේ ඔහුගේ කනට කර කීවෙමි. ඔහු කරමින් සිටි කටයුත්ත නතර කර මා දෙස බලා සිටියේය. අනතුරුව ඔහුගේ මුවඟෙහි සිනහවක් නැඟිණ. වහා ඉදිරියට පැන්න සේනක මා සිප ගන්නට තැත් කළේ ය. මා හැරී බැලුවේ අපේ දරු දෙදෙනා ළඟ පාතක ඇත්දැයි සිතමිණි. ඔවුන් ළඟ පාතක සිටියේ නැත. මම බොරු තරහක් මවාගෙන ඔහුගෙන් ඈත් වුණෙමි.

‘ඔන්න පටන් ගත්ත ආයෙත් කෝළං’

මම පැවසීමි. සේනක මා පසුපසම ගෙතුළට ආවේ ය. ඔහු දරුවන්ට කෑගසා යමක් කියන්නට තැත් කළේය. මම මුවට ඇඟිල්ල තබා ඔහුට නිහඬ වන්න යැයි සන් කළෙමි.

අපි අලුත් ගෙදරට එන අමුත්තා ගැන දින ගැන්නෙමු. රුවන් පුතු ද, සිඟිති දියණිය ද ගෙදරට එන අමුත්තා පිළි ගන්නට ඇඟිලි ගනිමින් සිටියහ. රුවන්ට අලුත් අමුත්තා ගැන වටහා දීම පහසු වුවත් සිඟිතිට එසේ තේරුම් කරදීම පහසු නොවීය.

‘එයා අවහම මටත් සෙල්ලම් කරන්න පුථවන් නේද?’

ඔව් පුතේ ඔව්’

මම සිඟිති දියණියව තුරුලු කර ගතිමි. රුවන් පුතු ද එදෙස බලා සිටියේය. මම රුවන් පුතු ද තුරුලු කර ගතිමි.

‘ඔන්න ඔයා ඔක්කොටොම ලොකු අයියා.’

පුතුගේ හිස සිඹ මම පැවසීමි.

දිනෙන් දින කුස සිටින අමුත්තා දඟලනු මට දැනිණ. මම යළිත් වරක් සතුටින් ඉපිළ ගියෙමි. මේ කියන දවස නිවාඩු දවසක් වුවත්, රාජකාරී කටයුතු බහුල වූ බැවින් සේනක කාර්යාලයට ගියේය. ගෙදර සිටියේ මමත්, දරු දෙදෙනාත් පමණි.

බර්නාඩ් ජයතුංගගේ තිරරචනය අනුව පී.සිවදාසන් නිර්මාණය කරන ලද ‘දෝණි’ චිත්‍රපටයේ කතාව

සුනිල් .ටී ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්

සෑම වනිතාවක්ම කියවිය යුතු, එමෙන්ම අනිකාට කියාදිය යුතු මව් සෙනෙහස පිළිබඳ කතාන්තරයකි.