වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ශාන්තිගේ මුතුමැණිකා කැතයි මගේ මුතු මැණිකා හැඩයි

ශාන්තිගේ මුතුමැණිකා කැතයි මගේ මුතු මැණිකා හැඩයි

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ

ආරම්භක යුගයේ, ලාංකේය ටෙලි නාට්‍ය කලාව තිබුණේ උස් කඳු මුදුනකය. එහෙත් අද වනවිට එය කෙමෙන් පල්ලම් බසිමින් කඳු පාමුලට කඩා හැලෙන්නට ආසන්නව තිබේ. එක තැන දිරාපත් වන කතා තේමාවන් ඇසුරෙන් වර්තමානයේ නිපදවෙන ටෙලි නාට්‍ය බොහොමයක් අපුල දනවන සුළුය. ‘හොඳ’ යැයි සම්මත ප්‍රවීණ නිර්මාණවේදීන් පවා මේ රැල්ල අබියස උඩු ගං බලා පිහිනන්නට නොතනා එහිම ගසාගෙන යන්නේ වියළි පරඬැල් පත් මෙනි.

මේ සියලු උපද්‍රවයන් මැද සුදත් රෝහණ නමැති සැබෑ නිර්මාණකරුවා අපේ ටෙලි නාට්‍ය කලාව යළි කඳු මුදුනට ඔසවා තැබීමට අප්‍රමාණව වෙහෙසේ. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවෙන් සෑම ඉරු දිනකම රාත්‍රී 8.30 ට විකාශය වන ‘ගිරිකුළ’ඊට කදිම නිදසුනකි.

ඔහුගේ ඒ අභිනව නිර්මාණ කාර්යය පාදක කර ගනිමින් සිදු කෙරෙන සංවාදශීලී කතිකාවකුයි මේ.

* ශාන්ති දිසානායකගේ සම්මානනීය නව කතාවක් ඇසුරින් තමයි ඔබ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නේ. අපි එතැනින් මේ කතාව අරඹමු?

අපේ මහ පොළොව මත පය ගසා ජීවත් වූ සැබෑ ගැහැනුන් සහ මිනිසුන්ගේ ජීවිතය ශාන්ති ‘ගිරිකුළ’ නවකතාව තුළ මැනැවින් නිරූපණය කර තිබුණා. එය තමයි මේ කෘතිය ඇසුරෙන් ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට මට බලපෑ මුඛ්‍ය සාධකය. ජනපදවාදීන් පිළිබඳ හා ඔවුන් මුහුණ දෙන සැබෑ ජීවන ගැටලු පිළිබඳ කියැවෙන නිර්මාණ ඇත්තේම නැති තරම්. මීට කලින් මම ‘කටු ඉඹුල’ ටෙලි නාට්‍යය හරහා ජනපදවාසීන් ගැන කතා කළා. නමුත් ඒ දේවල් වෙනස්. වඩාත් හරවත්, වෙනස් මඟක සංවාදයක් ප්‍රේක්ෂකයා සමඟ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යය හරහා සිදු කළ හැකි යැයි මා සිතූ නිසයි මෙවැනි නිර්මාණ කාර්යයකට පෙළඹුණේ.

* ප්‍රේක්ෂකයා සමඟ නිරන්තරයෙන් බුද්ධිමත් සංවාදයක නියැළිය යුතුයි කියන ස්ථාවරය මත පිහිටායි ඔබ නිර්මාණකරණයේ යෙදෙන්නේ?

ඔව්. මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි ප්‍රේක්ෂකයා සමඟ අප හරවත් ගනුදෙනුවක යෙදිය යුතුයි. ඒ අදාළ ප්‍රස්තූතයත් ‘ගිරිකුළ’ නවකතාවේත් තිබුණා. ඒ වස්තුªබීජයන් ටෙලි නාට්‍යයේදී මට ඕනෑ ආකාරයට ගළපා ගත්තා. දැන් ශාන්තිම දන්නවා නවකතාවේ තිබූ ඇතැම් සිදුවීම් ඉවත් කරලා අලුත් සිදුවීම් හා චරිත මම ටෙලි නාට්‍යයට එක් කර ගත්තා. හැබැයි ඇය විසින් පාඨකයා වෙත ගෙන ආ මුඛ්‍ය කතා තේමාවට ඉන් හානියක් සිදු වුණේ නෑ. තව, තවත් සංවර්ධනය වීමක් තමයි වුණේ.

* නව කතාවේ තිබූ මහා පොදු සාධකය මැනැවින් හඳුනාගෙන තමයි ඔබ එය රූප මාධ්‍යයට ගෙන ආවේ?

ඇත්තෙන්ම. නවකතාවක් චිත්‍රපටයට හෝ ටෙලි නාට්‍යයට නඟද්දී එහි කතා තේමාව අපට ඕනෑ ඕනෑ විදිහට වෙනස් කරන්න බෑ. නමුත් අපට යම් වෙනසක් කරන්න වෙනවා. මොකද නවකතාවයි, දෘශ්‍ය මාධ්‍යයයි කියන්නේ පැහැදිලිම අන්ත දෙකක්නේ. ‘ගිරිකුළ’ නවකතාවේ එන කාල පරිච්ඡේදයට වඩා මම ටිකක් ඔබ්බට යනවා. 1940 දසකයේ අග භාගයේ සිට 1970 දසකයේ මුල් භාගය දක්වා ලංකාවේ එක් සමාජ පැතිකඩක ආර්ථික, දේශපාලනික, සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වටපිටාව තමයි ‘ගිරිකුළ’ හරහා සංකේතවත් වන්නේ. ඇත්තෙන්ම මේ ටෙලි නාට්‍යයේ නිරූපණය වන්නේ ජීවිතය නමැති ගිරිකුළ තරණය කරන සැබෑ ගැහැනුන් හා මිනිසුන්ගේ කතාව. ඔවුන්ගේ ජීවිතවල සුඛ දුක්ඛ වේදනාවන්.

* සම්භාව්‍ය ගණයේ නවකතා ඇසුරෙන් තමයි ඔබ බොහෝවිට නිර්මාණකරණයේ යෙදෙන්නේ. මොකක්ද මේකට හේතුව?

පුංචි කාලේ ඉඳන්ම සාහිත්‍යයට මගේ ලොකු නැඹුරුවක් තිබුණා. ඒත් වර්තමාන සමාජයේ එහෙම සාහිත්‍යයට ලොකු ඇල්මක්, උනන්දුවක් තිබෙන පිරිස් අපට හමු වෙන්නේ නෑ. සාහිත්‍ය මාසයේදී විතරයි ඒ ගැන උනන්දුවක් තියෙන්නේ. අනෙක් කාල සීමාවේදී මේ ප්‍රබෝධය ක්ෂය වෙලා යනවා. මම බැලුවා නිර්මාණකරුවෙක් හැටියට මොකක්ද මේකට මට කළ හැකි දේ කියලා. සම්භාව්‍ය සාහිත්‍ය කෘති රූප මාධ්‍යයට ගෙන ඒමේදී කරුණු දෙකක් ඉෂ්ට සිද්ධ වෙනවා. එකක් තමයි ඔබ මේ පොත කියවලා තියෙනවා නම් ඔබ පෙලඹෙනවා ඒ ටෙලි නාට්‍යය නරඹන්න. පාඨකයා ප්‍රේක්ෂකයෙක් බවට පත් වෙනවා. එතකොට පොත නොකිය වූ ප්‍රේක්ෂකයකු නම් ඔහු පෙලඹෙනවා ඒ අදාළ කෘතිය සොයාගෙන කියවන්න.

* ඒ කියන්නේ ප්‍රේක්ෂකයා හොඳ පාඨකයකු බවටත් පත්වෙනවා?

ඔව්. මේ කරුණු දෙකම ඉෂ්ට සිද්ධ වෙනවා. එය අතිශයින්ම වැදගත්. බුද්ධිමත් පාඨක ප්‍රේක්ෂක පිරිසක් මේ මඟින් ගොඩ නැඟෙනවා. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පොත් සල්පිල්වලදී වැඩිපුරම මුල් මුද්‍රණවලට වඩා අලෙවි වෙලා තිබුණේ ඒ කෘතීන් ටෙලි නාට්‍යයක් බවට පත්වුණාට පසුව. මොකද මගේ ටෙලි නාට්‍යය බොහොමයක් සාහිත්‍ය කෘතීන් ඇසුරෙන් කළ නිසා මට ඒක වගකීමෙන් කියන්න පුළුවන්. ‘කළුවර ගෙදර’ විකාශය වෙද්දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ පුත් දොස්තර රංග වික්‍රමසිංහ කිව්වා ඒ ගොල්ලන්ගේ සියලුම මුද්‍රණවලට වඩා එවර අලෙවිය වැඩි වුණා කියලා ඒ කෘතියේ. ‘ස්වයංජාත’ විකාශය වෙන කාලයේ පොත් අලෙවිසල්වල ‘ස්වයංජාත’ නවකාතවේ එකම පිටපතක්වත් ඉතිරි වුණේ නෑ.

* මම දකින විදිහට නිර්මාණ-කරුවකුට වඩාත් අභියෝගයක් වන්නේ ජනගත වූ සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම?

ඇත්තෙන්ම එය අසීරු අභියෝගයක්. අපි දැන් ‘ගිරිකුළ’ ගත්තොත් එහි ප්‍රධාන භූමිකාව බවට පත් වෙන්නේ මුතුª මැණිකා. ඇය පිළිබඳ පාඨකයාගේ මනසේ කිසියම් චිත්‍රයක් මැවෙනවා මේ පොත කියවද්දී. පාඨකයෝ දහස් ගණනකගේ මනස්වල ඉන්නේ දහස් ගණන් මුතු මැණිකේලා. දැන් ශාන්තිගේ පොතේ ඉන්නේ කළු, කැත ‘මුතු මැණිකා’ කෙනෙක්. හැබැයි මම ටෙලි නාට්‍යයේ මැව්වේ එහෙම මුතු මැණිකා කෙනෙක් නෙවෙයි. බාහිර ස්වරූපයෙන් ඈ වෙනස්. රූමත්. ඒත් අභ්‍යන්තර සිතුම් පැතුම් එකයි.

* ඇයි ඔබ එහෙම වෙනසක් සිදු කළේ?

මේ හැමෝටම පොදු මුතු මැණිකා කෙනෙක් මැවීම තමයි අධ්‍යක්ෂවරයාගේ වගකීම වන්නේ. රූප මාධ්‍යයේදී මුතු මැණිකාගේ රුව ශෝභාමත් වුවොත් එය ප්‍රේක්ෂකයා නිර්මාණය තුළ රඳවා ගන්නට රුකුලක් වේවි යැයි මා කල්පනා කළා.

* නමුත් ’ස්වයංජාත’ නවකතාවේ විරූපී විභූතිරත්නගේ රුව ඒ ආකාරයෙන්ම තමයි ඔබ ටෙලි නාට්‍යයට ගෙන ආවේ?

ඔව්. එය වෙනත් මානයක තබා විග්‍රහ කළ යුතු කාරණාවක්. ජගත් චමිල හරහා විභූතිරත්න නිරූපණය කළේ නවකතාවේදී පාඨකයාගේ මනසේ චිත්‍රණය වූ රූපයට සරිලන ආකාරයෙන්. නමුත් හැමෝටම පොදු ‘මුතු මැණිකේ’ කෙනෙක් තමයි මම ටෙලි නාට්‍යයට රැගෙන ආවේ. චරිතයක් ප්‍රති නිර්මාණය කිරීම අසීරු කාර්යයක්. නවකතාකරුවාට පුළුවන් තමන් කැමැති ඕනෑ දෙයක් ලියන්න. ඔහුට මේ මොහොත ගැන ලියන්න පුළුවන්. ඉතිහාසයේ වසර දහස් ගණනක් ආ පස්සට යන්න පුළුවන්. අනාගතය ගැන ලියන්න පුළුවන්. නවකතාකරුවා ලියන දේ අපි කැමරා කාචයෙන් පෙන්වන්න ඕනෑ. මේවා එකම හූයක් වගේ බැඳී තිබිය යුතුයි. හුඟක් නවකතාවල මේ කාලය සහ අවකාශය කියන එක නැහැ. නමුත් චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක අපි ඒ අවස්ථාවන් ප්‍රති නිර්මාණය කරද්දී ඒ හුය තියාගෙන යන්න වෙනවා.

* නවකතාකරුවාගේ සිතුවිලි රූප මාධ්‍යයට ගෙන ඒම සෑහෙන තරමේ අභියෝගයක් බවයි ඔබ මේ කියන්නේ?

ඒක ප්‍රබල අභියෝගයක්. නවකතාවක නිරූපණය වන චරිතයක සිතුවිලි ධාරාවක් අපි එක ඇසිල්ලක රූප රාමුවෙන් කියන්න ඕනෑ. මොන පැත්තෙන් බැලුවත් නවකතාවක්, රූප මාධ්‍යයට ගෙන ඒම අසීරු කරුණක්. එය වඩාත් අසීරු වෙන්නේ මම බොහෝ විට තෝරා ගන්නේ යුගයක කතන්දර. එහි පසුතල මැවීම ආදී කරුණු කාරණාත් එක්ක ගත්තම මුදල් සහ මානසික පැත්තෙන් ලොකු අභියෝගයක්. හැබැයි ඉතින් ඒකාකාරී වට්ටෝරු ක්‍රමයෙන් බැහැර වූ ‘ගිරිකුළ’ වැනි ටෙලි නිර්මාණයක් ඉඳහිට හෝ මේ අභියෝගයන් මැඬගෙන බිහිවීමත් ප්‍රේක්ෂකයාගේ වාසනාවක්. කලාවක් ලෙස ආරම්භ වූ අපේ ටෙලි නාට්‍ය කලාවක් විදිහට තවදුරටත් පවත්වාගෙන යන්නට නම් මෙවැනි නිර්මාණ බිහි විය යුතුයි.

* සුළු මධ්‍යම පාන්තික පවුල් සංස්ථාව වටා ගෙතුණු ඒකාකාරී ටෙලි නාට්‍යය තමයි අද බොහෝ විට හැදෙන්නේ. ඔබ පැහැදිලිව ඒ රැල්ලට අභියෝග කරනවා?

එකම නළු, නිළියෝ, එකම කතාව, එකම ශිල්පීන් පිරිසක් එකතු වී කරන කර්තව්‍යයක් බවට අද ටෙලි නාට්‍ය කර්මාන්තය පත්වෙලා. එතනින් අපි මිදෙන්න ඕනෑ. ප්‍රේක්ෂකයාට කිසියම් වෙනසක් අපූර්වත්වයක් දැනුණොත් තමයි ඔවුන් ඒ නිර්මාණය එක්ක දිගටම රැඳී සිටින්නේ. ‘ගිරිකුළ’ තවම කොටස් 04 යි විකාශය වුණේ. ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ලැබෙමින් පවතිනවා.

* විශේෂයෙන්ම ටෙලි නාට්‍ය වගේ කලාවක් ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රාහකත්වයෙන් තොරව අපට පවත්වාගෙන යන්නට බැහැ. නමුත් අද මේ වෙළෙද දැන්වීම් නිසා ටෙලි නාට්‍ය නැරැඹීම ප්‍රේක්ෂකයාට ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ?

අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ පරිකල්පනය තමයි රූපය කියන්නේ. මේ රූපයට ලෝකේ කොහේවත් බාධා කරන්නේ නෑ. දැන් සමහර විට ඒ රූපය මැද්දෙන් පවා වෙනම එකක් ගෙනල්ලා අතාරිනවා. එතකොට පේ‍්‍රක්ෂකයා හා නිර්මාණය අතර තිබෙන සහ සම්බන්ධතාවය මුළුමණින්ම බිඳ වැටීමකුයි සිදු වෙන්නේ. ඉතාම සංවේදී තැනකදී හිටපු ගමන් බූවල්ලෙක් වගේ එකෙක් මැදට පැනලා චෑක්, චෑක් කියලා නටනවා. රුපියල් සත හොයන්න කියලම මේවා කරලා බෑ. අද සමහර විට ටෙලි නාට්‍යයක ටයිට්ල් බෙල්ට් එක වෙනුවට යන්නෙත් වෙළෙඳ දැන්වීමක්. මට මතකයි ‘දඬුබස්නාමානය’ වගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන කාලේ එහි අනුග්‍රාහකයන් වුූ මහජන බැංකුව ටෙලි නාට්‍යය අතරමැද ඔවුන්ගේ වෙළෙඳ දැන්වීමක් දාන්න එපා කිව්වා, නිර්මාණයට, ප්‍රේක්ෂකයාට බාධා වෙයි කියලා. අද වෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් අස්සේ ටෙලි නාට්‍යයේ පුංචි කොටස් කිහිපයක් නරඹන්නයි.

* ආරම්භක අවධියේ අපේ ටෙලි නාට්‍ය කලාවේ තිබූ වර්ධනීය තත්ත්වය අද වෙන කොට පිරිහිලා. මෙහෙම වෙන්න හේතුව?

පැහැදිලි අවගමනයක් අද දකින්න ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් ‘පළිගු මැණිකේ’ වගේ ටෙලි නාට්‍යයක් ඒක බොහොම සරල කතාවක්. ඒත් ඒ හරහා අපේ ජන සමාජයට බොහෝ දෑ එකතු වුණා. දැන් ‘පට් පට් සම්තිං’ කියන වචනය ගත්තොත් අද වගේ සරල අර්ථයකට භාවිත වුණේ නෑ. සූරසේන චරිතය හරහා එදා සෝමවීර සේනානායකයන් සහ ධම්ම ජාගොඩ උත්සාහ කළේ විවෘත ආර්ථිකයත් එක්ක මේ සමාජය කොහාට ද ගමන් කරන්නේ කියන එක පැහැදිලි කරන්න. එතකොට එය හුදු හාස්‍යයක් පමණක් නොවේ. ඔවුන් සමාජයට පුදුමාකාර පණිවිඩයක් දුන්නා. එවැනි නිර්මාණ හා ප්‍රේක්ෂකයා අතර තිබුණේ පුදුම බැඳුම්කරයක්. ඒ වගේ සරල නාට්‍යවලින් පවා එදා සමාජයේ හොඳ කතිකාවතක් ඇති කළා.

* එදා එහෙම වෙන්නයි, අද මෙහෙම වෙන්නයි හේතුව?

අද ටෙලි නාට්‍ය හුදු ව්‍යාපාරයක් බවට පත් වෙලා. ගණිකා වෘත්තියෙන් සල්ලි හොයන්න පුළුවන්. කසිප්පු විකුණලා, එතකොට කුඩු විකුණලා සල්ලි හොයන්නත් පුළුවන්. ඒ තත්ත්වයට අද අපේ ටෙලි නාට්‍ය කලාවත් පත් කරල තියෙනවා අද දවසේ.

* බරපතළ චෝදනාවක් ඔබ කරන්නේ?

හැමෝම නෙවෙයි. ඒ පාප කර්මයට ගොදුරු නොවුණ ඉතාම සුළු පිරිසකුත් ඉන්නවා. මොනවා හරි කරලා මුදල් හොයනවාට වඩා යහපත් දෙයක් ජනතාවට ලබාදීමයි ඔවුන්ගේ පරමාර්ථය. එදා ‘දූ දරුවෝ’ එක කොටසක් රූගත කරන්න දවස් තුනක විතර කාලයක් ගත්තා. නළු නිළියන් සමඟ අධ්‍යක්ෂවරයා සාකච්ඡා කරනවා. වැඩමුළු පවත්වනවා. මේක තුළ තිබුණා වෙනම බැඳුම්කරයක්. ඒ දැනුම සියලුම ශිල්පීන්ට පාසලක් වගේ වුණා. අද නළු, නිළියන්ට මෙහෙම පාඩම් තියා පිටපතක්වත් නෑනේ. නළු, නිළියන්ට තියා අධ්‍යක්ෂවරුන්ටවත් පිටපතක් නෑ. ඉතින් එදා දවස් තුනට එක කොටසක් කරපු එක අද දවසට කොටස් තුනක් ෂූට් කරනවා. අව්ව තිබුණත් ර්‍ණ. ම්. ඩයලොග් එක වැරැදුණත් ර්‍ණ. ම්.

* අද ටෙලි නාට්‍යය මිල දී ගන්නේ රූපවාහිනී නාළිකා මඟින්මයි. ඒවාට මිල නියම වෙන්නේ ඒ ඒ ආයතනවල මිල සූත්‍රයන් අනුවයි. මං දන්නා තරමින් වසර තිහක අපේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ වැඩිම මුදලකට ටෙලි නාට්‍යයක් අලෙවි කළේ ඔබ?

ඔව්. සමහර විට. ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ එක්කොටසක් ස්වර්ණවාහිනියට අපි දුන්නේ රු: 4,35,000 කට. මුදලක් විදිහට ගත්තොත් ලොකුª ගණනක් විදිහට පේන්න පුළුවන්. නමුත් රුපියල් 4,10,000 ක් විතර එක් කොටසකට වැය වී තිබෙනවා. සියලු විය හියදම් බලනකොට ඉතින් නිෂ්පාදකට ලොකුª ලාභයක් නෑ. විශේෂයෙන්ම කියන්න ඕනෑ ෆාහිම් මවුජුඩ් ‘ගිරිකුළ’ට නිෂ්පාදන දායකත්වය පුද කළේ හොඳ නිර්මාණයකට දායක වෙන්න තියෙන වුවමනාව නිසා මිසක මුදල් උපයන්නම නෙවෙයි. තව දෙයක් මේ ටෙලි නාට්‍යය ස්වර්ණවාහිනිය මිල දී ගත්තේ එකම කොටසක්වත් නරඹන්නේ නැතිව. ඔවුන් නිර්මාණකරුවා ලෙස මා ගැන තැබු විශ්වාසය නිසයි ඒ.