වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ප්‍රථම ප්‍රේමය ලොකු කේස් එකක්

මගේ ප්‍රථම ප්‍රේමය ලොකු කේස් එකක්

යොවුන් රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර අමිහිරි ආදර මතක ළඟ . . .

‘පිවිතුරුය පළමු පෙම – බිහිසුණුය බිඳුණු දින
ළෙන්ගතුය සුවඳ ඔබ – සුදු හාමිනේ
තනිකඩය තවම මම . . .’

කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතයට අනුව ප්‍රථම ප්‍රේමය නිසා තනිකඩව සිටිනු අය වෙත්නම් ඒ කලාතුරකින් වූ දෙයක් වනු නිසැකය. බහුතරයකගේ ජීවිතයට ඒ කාරණය අවැසි නොවේ. ඔබ හිත රැඳි ආදරය දිනූ තරුවලට ද ඒ කාරණය පොදුය. සිය සිත රැඳි ප්‍රථම ආදරය පිළිබඳ හෙළි කරන මේ පත් ඉරුවෙහි විශේෂාංගයට මෙවර සහභාගි වන්නේ සුදර්ශන බණ්ඩාරයි.

* ඔබ ප්‍රේමයෙන් පරාද වී තිබේද?

ඔව්.

* මේ වනවිට ඔබ පෙම්වතෙක්?

ඔව්.

* ඈ කවුද?

වෛද්‍යවරියක්. එහෙම කිව්වට පස්සේ හොඳටම ඇති. ළඟදීම අපි විවාහ වෙනවා.

* මීට පෙර ඔබ කී දෙනෙකුට ආදරය කරලා තිබෙනවාද?

දෙතුන් දෙනෙකුටම.

* පළමුවෙන්ම ආදරය කළේ?

ඒක පාසල් ප්‍රේමයක්.

* පාසැල් ප්‍රේමය පිළිබඳ ඔබට මොකද සිතෙන්නේ?

මට ඒ පිළිබඳ දැන් මතක් කරන විටත් සිනහ යනවා. ඒ කාලයේ ජීවිතය පිළිබඳ බරක් පතළක් තිබුණු කාලයක් නෙමෙයි. ආදරය කියන්නේ මොකක්ද කියලා තේරුමක් තිබුණේ නෑ. මම හිටියේ 9 වසරේ කියලා මට මතකයි. හිතට ඇතිවුණු හැඟීම් නිසා අපි ආදරය කළා. නමුත් කිසිම දවසක ආදරෙයි කියලා නෑ. ඇය පන්ති නායිකාව. මම පංති නායකයා.

* එදා ආදරය කළේ කොහොමද?

ගොඩක් වෙලාවට ආදරය කළා කියන්නේ අපි නිතර එකට මුණ ගැසීමයි. වැඩ කිරීමයි. නමුත් අතකින්වත් අල්ලලා නෙවෙයි අපි ඒ කාලයේ ආදරය කළේ. ලියුම් නම් ලිව්වා.

* ඒ ලියුම්වල තිබුණේ මොනවාද?

ගොඩක් වෙලාවට ඈ හා මම ලියුම් ලිව්වේ අපි කරන වැඩ කටයුතු ගැනයි. සාහිත්‍ය සංගම් ගැනයි. පාසලේ වැඩ ගැනයි. ආදරය පිළිබඳ එක වචනයක්වත් ඒ ලියුම්වල තිබුණේ නෑ.

* ඒ ආදරයට මොකද වුණේ?

මම හිතන්නේ ඊළඟට පන්තිය මාරු වෙනකොට ඒ ආදරය එහෙන්මම නැති වුණා.

* ඊළඟට ආදරය ඇති වෙන්නේ?

ඒ ලෙවල් කාලයේදී තමයි. ඒ පාසලට මා ගියේ ඒ ලෙවල් කරන්නයි. ආදරය කියන හැඟීම ඇති වෙන්නේ ඒ කාලයේදීයි. ඒ ලෙවල් අවසාන වුණාට පස්සේ ඈ රට ගියා. මේ වෙන කොට ඈ විදේශයක තරුණයෙක් විවාහ කරගෙන සිටින බවත්, දරුවන් සිටින බවත් මට දැනගන්න ලැබුණා.

* ඒ ආදරයත් නැති වුණා?

ඒ ආදරය නැති වුණත් ඒ තරමටම දැනුවත් බවකින් ආදරය කළා කියලා නම් මම හිතන්නේ නෑ.

* ඒ කියන්නේ?

විවාහය දක්වා ආදරය කළ යුතුය කියන හැඟීම මගේ සිතේ ඇති වෙන්නේ කැම්පස් එකේදී. ඔබ ඔය කියන විදියට නම් මගේ ප්‍රථම ප්‍රේමය කියන එක ආරම්භ වෙන්න ඕනෑ කැම්පස් ජීවිතයේදී තමයි.

* දැන් ඒ යුවතියම ද ඔබ විවාහ කර ගන්නට යන්නේ?

අනේ නෑ.

* ඇයව ඔබට මුණ ගැසෙන්නේ කොහොමද?

කලා අංශයේදී තමයි. ඒ කියන්නේ රැග් සීසන් එකේදී. ඇයත් මමත් හොඳට රැග් වුණා. අපි එක බැච් එකේ.

* ඒ කියන්නේ ඔබ කොක්කක් ගහ ගත්තා?

කැම්පස් එකේදී නම් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමටයි ඒක කියන්නේ. කොහොම වුණත් සත්‍ය ලෙසම ඒ දේ තමයි සිද්ධ වුණේ.

* ඒක මොන වගේ කොක්කක්ද?

මම ඇයට සත්‍ය ලෙසම ආදරය කළා.

* විවාහ වෙන්න සිතාගෙනම?

ඇත්තටම ඔව්. ආදරය කරලා විවාහ විය යුතුයි කියන පදනමේ ඉඳගෙනයි මා ඇයට ආදරය කළේ.

* ඇයට ආදරය කරන්න විශේෂ හේතුවක් තිබුණාද?

අපේ මුළු කණ්ඩායමෙන්ම ලස්සන යුවතිය ඈ තමයි. ඒකත් හේතුවක් වුණා. නමුත් ලස්සන හැම දෙයක්ම සුන්දර නෑ කියලා කියනවානේ නේද?

* ඈට තිබුණේ පිට ඔපයක්?

ඇත්තටම ඈ බාහිරින් ලස්සන වුණත්, හදවතින් ලස්සන යුවතියක් නෙවෙයි.

* දැනගත්තේ කොහොමද?

මම ඇයව වසර එකහමාරක් පමණ ආශ්‍රය කළා. ඒ ගනුදෙනුවේදී ඒක වැටහිය යුතුයි නේ.

* ඈ මොන වගේද?

ඈ බොහොම ගුප්ත චරිතයක්. තේරුම් ගන්න බැරි චරිතයක්. මම වගේ විවෘත නැහැ. එහෙම වුණාම බොහොම අමාරුයි ගනුදෙනු කරන්න. එයාගේ කේස් වැඩියි.

* මොනවද ඒ කේස්?

තවත් ගොඩක් දේවල් කියන්න හැකියි. ඒත් එයාගේ චරිතයට හානියක් සිද්ධ වෙනවානේ. ඒක නිසා මම ඒ ගැන කියන්න වැඩිය කැමැති නැහැ. හොඳ නැහැනේ.

* ඒක කියන්නම බැරි කේස් එකක්ද?

මමත් සමඟ ආදර සම්බන්ධතාවය තිබෙන අතරතුර ඇයට තව තව සම්බන්ධතා කිහිපයක්ම තිබිලා තියෙනවා. මට ඒකෙන් ඈ ගැන බොහොම කලකිරුණා. ඒ නිසා මම ඈට ආදරය කිරීම නැවැත්තුවා.

* ඇය ඔබට ආදරය කළේ ඔබගේ ජනප්‍රියත්වයටද?

මම හිතන්නේ ඒක වෙන්න ඇති. මගේ මාර්ගයෙන් ඇයට විවිධ දැන හැඳුනුම්කම් හදාගන්න ඕන වෙන්නත් ඇති කියලා හිතෙනවා.

* ඔබ එකපාරටම සම්බන්ධය නැවැත්වූවා?

නෑ. ඇයගේ බාහිරින් පෙන්වන ප්‍රතිරූපය සත්‍ය ලෙසම ඇයට තිබුණේ නෑ. නමුත් ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. මට ප්‍රශ්නය වුණේ ඈ සිටියේ විශ්වාස කරන්න බැරි මට්ටමකයි. ආදරය කරනවා නම් දෙන්නට දෙන්නා විශ්වාස විය යුතුයි. ඒ විශ්වාසය මට නැති වුණා. කතාබහ කරලා අපි වෙන් වුණා.

* ඊට පස්සේ ඈ නැවතත් ආදරය කළාද?

මගේ සම්බන්ධය නතර කරලා සතියක් ගියේ නෑ, ඈ තවත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ආරම්භ කළා. මම දන්න තරමින් ඈට හොඳ අනාගතයක් තිබුණු කෙනෙක්. නමුත් ඈ ජීවිතය වරද්ද ගත්තා.

* තෑගි එහෙම දීලා තිබෙනවාද?

එයා මට දුන්න තෑගිවලට වඩා මමයි ඇයට වැඩිපුරම තෑගි දුන්නේ.

* ඒ දුන්න මුල්ම තෑග්ග මතකද?

මට මතක විදියට ඔරලෝසු දෙකක්.

* ඔබට ඈ දුන්නේ?

මට ඈ තෑගි දීලා තිබුණත්, මුලින්ම දුන්න දේ නම් මතක නෑ.

* ඔබ වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණාට පස්සේ ඇයව ඔබට මුණ ගැසුණාද?

මා ජනප්‍රිය වෙමින් සිටින කාලයේදියි ඈ ගැන නැවතත් ආරංචි වුණේ. අපේ සම්බන්ධයෙන් පස්සේ, ඇගේ තිබුණු සම්බන්ධතා සියල්ල නැති වෙලා. ඈ සිටියේ බොහොම පරාජිත තත්ත්වයකයි.

* ඒ කියන්නේ ඔබට ඇයව මුණ ගැසුණාද?

ඒ දවස්වල මම වැඩ කළේ පෞද්ගලික රූපවාහිනි නාළිකාවකයි. එතෙන්දියි නැවත මට ඈ මුණ ගැසෙන්නේ. ඈ එතැනදිත් වෙන වෙන අයත් සමඟ සම්බන්ධතා හදාගෙන ජීවිතය අවුල් කර ගත්තා.

* ඈ ගැන නැවත ආදරයක් ඇති වුණාද?

නෑ, ඊට පස්සේ අපේ අතර සම්බන්ධයක් තිබුණේ නෑ. ඒ ආයතනයෙන් එක පාරටම ඈ වීසි වුණා. ඊට පස්සේ එක පාරටම ආරංචි වුණා ඈ විවාහ වෙලා කියලා. ඊටත් පස්සේ ඇයව සැමියා දාලා ගිහින් කියලත් ආරංචි වුණා.

* ඈ පිළිබඳ ඔබගේ සිතේ දුකක් ඉපදෙනවාද? නැත්නම් ඔබ ගැන ඔබටම දුකයිද?

ආදරය නැවැත්තුව කාලයේ වගේ නම් ඈ ගැන දුකක් තිබුණා. දැන් එහෙම එකක් නෑ.

* ඔබට ඇයව විවාහ කර ගන්නට නොලැබීම ගැන සතුටු වෙනවාද?

ඇත්තටම ඔව්. මම සතුටු වෙනවා. මාව ලොකු අමාරුවකින් ගැලවුණා කියලා සතුටක් දැනෙනවා. නමුත් කෙනෙක්ගේ අයහපත දැකලා මම සතුටු වෙන්නේ නෑ කියලත් කියන්න ඕනෑ.

* ඒ විතරක්ද?

ඇත්තටම ගැහැනු ළමයකුට ලස්සන විතරක් තිබිලා මදි. ඈ ඒ ලස්සන තියා ගත්තේ නෑ. ඒ කාලේ හොඳට හිටියා නම් ඈට හොඳ ජීවිතයක් ගත කරන්න තිබුණා.

* දැන් ඉන්න ආදරවන්තිය ඇයට වඩා හොඳ කෙනෙක්ද?

දැන් මට ගැළපෙන කෙනා මුණ ගැහිලයි තිබෙන්නේ. ඈ අධ්‍යාපන මට්ටමෙන් වගේම උගත් මටටමින්, ගතිගුණ අතින්, සෑම අතින්ම හොඳයි. ඒ නිසා මම හිතන්නේ ඈ වඩාත් හොඳ තැනක ඉන්න බවයි.