වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඔව් ! ඉන්දියාවේ චැනල් දාගෙන ඉන්නකොට කේන්ති ගියා තමයි

ඔව් ! ඉන්දියාවේ චැනල් දාගෙන ඉන්නකොට කේන්ති ගියා තමයි

දෙරණ සිනමා උළෙලේ හොඳම නළුවාගේ සැබෑ ජීවිත තොරතුරු කියවමු

මගේ විස්තර පැවසුවේ සිංහල පත්තර

මෙරට සිටින දමිළ රංගන ශිල්පීන් අතළොස්සෙහි ඔහු ප්‍රබල චරිතයකි. ඒ ප්‍රබලකම නිසාම ඔහු පසුගියදා පැවැති දෙරණ ලක්ස් සම්මාන උළෙලේ හොඳම නළුවා විය.

දර්ශන් ධර්මරාජ්.

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද එක ලෙස දස්කම් පානා ඔහු මේ වන විට අධ්‍යක්ෂවරුන්ට නැතිවම බැරි රංගන ශිල්පියකු වී හමාරය.

ඉතින් අපි දර්ශන්ව සාකච්ඡාවකට කැඳවීමු. ඔහු කතාව ඇරැඹියේ චෝදනාවක් ද සමඟය.

මං ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහ හතරක්. නළුවකු හැටියට මගේ විස්තර ජනතාවට ගෙන ගියේ සිංහල පත්තර. විශේෂයෙන්ම ‘සරසවිය’ පුවත්පතේ මං ගැන ගොඩක් දේ පළ වුණා. නමුත් ලංකාවේ කිසිම ටැමිල් මීඩියා එකකින් මට සපෝට් කරලා නැහැ. ටැමිල් පත්තරයක මගේ ඉන්ටර්වීව් එකක් ගිහින් නැහැ.

* පුදුමයි නේද?

ඔව්. ඒත් මට ලොකු සතුටක් තියනවා ලංකාව වගේ රටක ඉපදීම ගැන. ලංකාවේ සිංහල මනුස්සයින් ළඟ තියෙන මානුෂික ගුණය ලෝකෙ කොහේවත් නැහැ. නළුවකු හැටියට මට නිර්මාණ දුන්නේ සිංහල අධ්‍යක්ෂවරු. ඔවුනට සදා ණයගැතියි.

* රඟපාන්නට එද්දී ඔබට සිංහලවත් බැහැලු නේද?

ඔව්. සිඩ්නි චන්ද්‍රසේකර මහත්තයා මට ඒ නයින් නාට්‍යයේ චරිතයට තෝර ගනිද්දි සිංහල වචනයක්වත් බැහැ. මං චැලෙන්ජ් එක බාර ගත්තා. ඒ මාස තුනෙන් සිංහල ඉගෙන ගන්නව කියන එක. ඒ අභියෝගය මං ජය ගත්තා.

* ලංකාවේ වෙසෙන දමිළ නළු නිළියන් ගැන මිනිස්සුන්ගේ අවධානය මදි ඇයි?

ඕකට ප්‍රධාන හේතුව ඉන්දියාවෙන් ගෙනෙන ටෙලි නාට්‍ය. ඒවා ලංකාවේ දානකොට මිනිස්සුන්ගේ අවධානය යොමුවෙන්නේ ඒවායේ ඉන්න නළු නිළියන්ට. මේ තත්ත්වය වහාම නැවැත්විය යුතුයි. අපි දැන් ඒවාට අභියෝග කරමින් ටැමිල් මෙගා නාට්‍යයක් කරනවා ලංකාවේ ප්‍රථම වරට. කාදල් කනව් ඒකේ නම. නිමල් ජයවීර තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ළඟදීම ඒක වසන්තම් ටී. වී ඔස්සේ දැකගන්නට ලැබෙයි.

* ඔබට නිකමටවත් හිතෙන්නේ නැති ද ඉන්දියාවේ ඉපදුනා නම් හොඳයි කියලා?

අපෝ නැහැ. ඉන්දියාවේ ඉපදුනා නම් මෙච්චර ඉක්මනට හොදම නළුවා වෙන්න බැරිව යයි. මොකද ඉන්දියාවේ තරගය වැඩියි.

* නමුත් එහේ නළු නිළියන්ට තියෙන පිළිගැනීම වැඩියි නේද?

අන්න ඒක ගැන කතා කරද්දී නම් දුකයි. ඉන්දියාවේ නළුවකුට නිළියකුට පාරෙ බැහැලා යන්න බැහැ.එයාලට සලකන්නේ දෙවිවරුන්ට වගේ. මුතු මැණික්වලටත් වැඩිය ඔවුන්ව එහෙ අගය කරනවා. කලාකරුවෙක් බිහි වන්නේ ජාතියේ පිනට බව ඉන්දියාවේ හොඳටම පිළිගන්නවා. නමුත් ලංකාවේ එහෙම නැහැ. ඒ පිළිගැනීමක් ද නැහැ. අගය කිරීම අඩුයි. ඉන්දියාවේ නළුවෙක් නිළියෙක් බස් එකේ යනවා කියන්නේ කිසිසේත්ම ඇදහිය නොහැකි කතාවක්. නමුත් හොඳම නළුවා වෙලත් අදටත් මං යන්නේ බස් එකේ. හොඳම නළුවා වෙච්ච සම්මානය අරන් රක්වානේ මගේ ගමේ ගෙදර ගියෙත් බස් එකේ.

* ඇත්තටම තමන්ගේ කියලා වාහනයක් ගන්න අදහසක් නැතිද?

බස්වල මුණගැහෙන ගොඩක් අය මගෙන් අහනවා ‘කාර් එකක් ගන්නේ නැති ද’ කියලා. ඉතින් මම කියන්නේ කාර් එකක් ගන්න කලින් ඒක පාක් කරන්න ගෙයක් හදන්න ඕනේ. ඒක නිසා ගෙයක් හදලම කාර් එකක් ගන්නවා කියලා.

* ඔබත් එක්ක වැඩි දෙනෙක් කතා කරන්න බයයි?

ඒ මගේ පෙනුම හින්දා. අනික මට වැඩිපුරම ලැබුණේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී චරිතනේ. සමහර අය පාරෙදි කෑගහනවා එල්. ටී. ටී. ඊ. කාරයා කියලා. මට වැඩිපුර ලැබුණේ ඒ චරිත. මං ඒ හැම එකක්ම බාර ගත්තේ රඟපාන්න තිබුණු උණට. දැන් මං මගේ ස්වරූපය කාලෙන් කාලෙට වෙනස් කර ගන්නවා චරිතයට අනුව.

* ආයෙත් ත්‍රස්තවාදී චරිත කරන්න අකැමැතිද?

ලැබුණොත් කරනවා. මට ලැබෙන්නෙම ත්‍රස්තවාදී නොවුණත් ටිකක් නපුරු චරිත. කොහොමත් රෝස මලක් අරගෙන මල් ගස් වටේ නටන පෙම්වතාගේ චරිතය නම් කීයටවත් මට ලැබෙන්නේ නැහැ කියලා මං දන්නවා.

* පහුගිය දිනෙක රක්වානේ ගෙදර ගිය වෙලාවක ඔබේ නිවෙසේ අය රූපවාහිනියේ ඉන්දීය චැනලයක් දමාගෙන ඉන්නවා දැකලා ඔබට හුඟක් කේන්ති ගියාලු. ඇත්තද ඒක?

ඔව්. මට ඉන්දියාවේ චැනල් දාගෙන ඉන්නවා දැකලා කේන්ති ගියා තමයි. මම එවලේම ඒ කේබල් කපල දැම්මා. මං ගෙදර අයට කිව්වා ලංකාවේ චැනල් ඇරෙන්න කිසිම චැනල් එකක් අපේ ගෙදර බලන්න තහනම් කියලා. මගේ නාට්‍ය විකාශය වෙන්නේ සිංහල චැනල්වල. අපේ ගෙදරින් තමයි මුලින්ම මගේ රංගනයක් බලන්න ඕනේ. එහෙම නැතුව වැඩකුත් නැහැනේ. පසුව ඒ අය මං කියපු දේවල් පිළිගත්තා.

* රංගනයෙන් පමණක් ජීවත් වෙන්න පුළුවන්ද?

පුළුවන්. නමුත් මං පහුගිය කලේ ගමේ ව්‍යාපාර කටයුත්තක් කරන්නට අත ගැහැව්වා. ඒක හරි ගියේ නැහැ. අන්තිමේ වුණේ මං ණය වෙච්ච එක විතරයි. මං සාමාන්‍යයෙන් මොන දේ වුණත් වැටෙන්නේ නැහැ. ජීවත් වෙන්න මුදල් ඕනෑ. එහෙයින් කොළඹ කොහෙන් හරි යළි ව්‍යාපාරයක් අරඹන්න හිතාගෙන ඉන්නවා.

* දැන් හොඳට සිංහල පුළුවන් නේද?

පුළුවන්, පුළුවන්. ඒත් සමහර තැන් වරදිනවා. තව ඩිවලොප් කරගන්න ඕනෑ.

* මොනවද ඔබේ මේ දිනවල විකාශය වන නිර්මාණ?

සුදුයි උසයි නාට්‍යයේ සරා කියලා චරිතයක් කරනවා. මුතුපලස නාට්‍යයේ වේලු නම් වූ මරු විලන් චරිතයක් කළා. මගේ සැබෑම වෙනසක් කියලා දැනේවි වේලුව දැකපු අයට.