වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




අනතුරු මැදින් ‘ක්‍රිෂ් 3’ වාර්තා තබයි

අනතුරු මැදින් ‘ක්‍රිෂ් 3’ වාර්තා තබයි

රංගන ශිල්පියකුට උපරිම සතුට ලබා දෙන්නේ ප්‍රේක්ෂකයායි. රිතික්, ‘ක්‍රිෂ්් 3’ අති සාර්ථකත්වයත් සමඟ ඒ සතුට දීවාලි සමයේ ජයටම භුක්ති වින්දේය. ඔහු ගේට් සිනමා ශාලාවේ සිට ප්‍රේක්ෂකයන් හා එක්ව සිනමාපටය නැරැඹූහ.

ලැබුණු ප්‍රතිචාර කෙතරම් ඉහළදැයි කිවහොත් ඔහු හදවතේ ගැඹුරුම තැනින් රසික ප්‍රජාවට තුති පිරිනැමුවේය. ‘ක්‍රිෂ්’ සිනමාපට මාලාව ඇරැඹුණේ ‘කොයි මිල් ගයා’ සිනමාපටයෙනි. රිතික්ගේ පියා රාකේශ් රොෂාන්ගේ මේ නවතම විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය ඔහුත් සමඟම නැරැඹූ ගී පද රචක ජාවඩ් අක්තාර් මෙය හොලිවුඩයේ මට්ටමටම ඇති බව ප්‍රකාශ කළේ මුව පුරා ඔහුට ප්‍රශංසා කරමිනි.

චෙන්නායි එක්ස්ප්‍රස් සිනමාපටය වාගේම ‘ක්‍රිෂ් 3’ ද ඉන්දියාව පුරාම ඇති සිනමාහල්වල තිරගත කෙරිණි. පළමු දිනයේදී සිනමාපටයෙන් ලැබුණු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 25 කි. ‘ක්‍රිෂ් 3’ තිරගත කෙරුණේ නොවැම්බර් 1 වැනි දිනයි.

සිකුරාදා වැනි වැඩ කරන දිනයක තිරගතකර මෙතරම් ඉහළ ආදායමක් පළමු දිනයේ ලද වෙනත් සිනමාපටයක් නැත. මීට පෙර ඒ වාර්තාවට හිමිකම් කීවේ ‘දාබන්ග් 2’ ය. ‘ක්‍රිෂ් 3’ සිනමාපටය කෝටි 200 ආදායම් සමාජයට පහසුවෙන්ම එක්වනු ඇතැයි කියා බොහෝ දෙනා විශ්වාස කරති.

ක්‍රිෂ් 3 සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100 – 150 ක (අමෙරිකානු ඩොලර් මිලියන විසිතුනක) අති විශාල මුදලක් වැය වී තිබේ. රාකේෂ්ගේ ඕනෑම සිනමාපටයක සුබ පෙර නිමිත්ත දර්ශන තලයේදී සිදුවන අනතුරුය.

මේ සිනමාපටයේ ද්විත්ව චරිත නිරූපණයක යෙදෙන කතා නායක රිතික් රෝෂන්ට හා නිළි ෂෞර්යා චෞහාන්ට සිදු වූ අනතුරු නිසා සුබම සුබ ලකුණු පෙන්වීය. කොන්දට සිදු වූ අනතුර නිසා රිතික්ට මුල්ම රූගත කිරීම්වලට සහභාගිවීමට ඉඩ නොලැබිණි.

රූගත කිරීමේදී නළු නිළියන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වී තිබේ. හයිද්‍රාබාද්වල සහ මූම්බායිවල දැඩි උණුසුම් දේශගුණයක සිනමාපටය රූගත කෙරිණි. මුහුණුවලට දැමූ ඉටි ආවරණ දියවෙන තරමට උෂ්ණත්වය දැඩි විය.

මේ නිසා රිතික්ට දිනකට මුහුණට ඉටි ආවරණ 5 – 6 ක් දැමීමට සිදු වූ අවස්්්ථා තිබී ඇත. ත්‍රිමාන සිනමාපටයක් ලෙසින් තිරගත කිරීමට නියමිත වී තිබුණ ද කාල වේලා නොමැතිකම නිසා ‘ක්‍රිෂ් 3’ ද්විමාන සිනමාපටයක් ලෙසින් ප්‍රේක්ෂකයන්ට දකින්නට වරම් ලැබී තිබේ.