වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




කාටත් හොරා ‘සෙබළාණෙනි’ ගීතය රිගිංටෝන් කරලා

කාටත් හොරා ‘සෙබළාණෙනි’ ගීතය රිගිංටෝන් කරලා

ගායන ශිල්පී රාජ් වික්‍රමසිංහ

සෙබළාණෙනි ඔබ මැරුණා නොවේ . . .
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ . . .
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ . . .
හඬවන්න මා මේ රෑ යාමයේ . . .

අසූව දශකයේ අග භාගයේදී ප්‍රථමයෙන් ඔබ සවනට ළං වූ මේ ගීතය ඔබට මතක ද? පසුගිය දශක දෙකක් පුරාවට ‘සෙබළාණෙනි’ ගීතය ලැබූ ප්‍රතිචාර මේ තරම් යැයි කියන්න නම් බැහැ. එදා මෙදාතුර මේ ගීයට එවැනි ප්‍රතිචාරයක් ලැබුණත් ඒ හඬෙහි හිමිකරයා නම් නිතර නිතර ඔබ අප හමුවට පැමිණියේ නම් නැහැ.

ඔහු ගැයූ ‘සෙබළාණෙනි’ ගීතයට අමතරව ‘මේ සයුරු මානේ’, ‘දෑස එදා’, ‘මගේ චූටි සුදු මල් කුමාරි’ වැනි ගීතත් එදා ලද ජනප්‍රියත්වය අදටත් රඳවා ගන්න සමත්. දැන් නැවතත් ඔහු ඔබ හමුවට ඇවිත්. ඒ වසර දහතුනකට සුවයි. ඔහු රාජ් වික්‍රමසිංහ.

* බොහොම කාලයකට පසුව ඔබ හමුවෙන්නේ?

ඔව්. ඇත්තටම වසර දහතුනකට පසුව තමයි යළිත් මම මෙරට සංගීත ක්ෂේත්‍රය සමඟ කටයුතු කරන්නේ. පසුගිය වසර දොළහ පුරාවටම මම පදිංචි වෙලා හිටියේ ඉතාලියේ. එහි රැකියාවක නිරත වෙලා හිටියේ. දැන් කලා කටයුතුªª නැවතත් ආරම්භ කරලා දිගටම ලංකාවේ පදිංචි වෙන්න තමයි බලාපොරොත්තුව.

* මේ තරම් කාලයක් රසික රසිකාවන්ගෙන් දුරස් වෙලා හිටියම ප්‍රතිචාර අඩු වෙන්න ඇති?

මම සෑහෙන කාලයක් රසික රසිකාවන්ගෙන් දුරස් වෙලා හිටියා තමයි. ඉතාලියට ගියේ රැකියාව සඳහානේ. 99 වසරේදී තමයි ගියේ. සංගීත ප්‍රසංගයක් සඳහා ගිය ගමනේදී ලද අවස්ථාවක් අනුව තමයි ඒ අවස්ථාව මට ලැබුණේ. එවකට මෙරට තිබුණ තත්ත්වයත් සමඟ රැකියාව සඳහා විදෙස්ගත වෙන එක හොඳයි කියලා හිතුණා.

* සංගීතයෙන් ඈත්වෙන්න දුක හිතුණේ නැද්ද?

ඉතාලියේදී මම රැකියාව කළාට, සංගීතයෙන් ඈත් වුණේ නැහැ. එහි මිතුරන් සමඟ ෆෙ‍්‍රන්ඩ්ස් නමින් සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන ගියා. ඊට අමතරව ඉතාලියේදී සහ අනෙකුත් යුරෝපීය රටවල පැවැත් වූ ‘අපි වෙනුවෙන් අපි’ ප්‍රසංග සඳහා සහභාගි වුණා.

රණවිරු අරමුදල වෙනුවෙන් පැවැත් වූ ඒ ප්‍රසංග සඳහා යුද හමුදා සංගීත කණ්ඩායම සමඟ මම ගායකයෙකු විදියට ස්වේච්ඡාවෙන් සහභාගි වුණා. ඒ නිසා ඉතාලියේ හිටියට සංගීතයෙන් ටිකකටවත් දුරස් වුණේ නැහැ.

* ඔබ මෙරට ක්ෂේත්‍රයට එක්වෙන්නේ සෑහෙන කාලයකට පසුවයි. මේ වෙනස ඔබට දැනුණේ කොහොමද?

දැන් විවිධ අලුත් නිර්මාණ බිහි වුණත් එදා ගීතවලට තිබූ ප්‍රතිචාර එලෙසමයි. ඒ ගැන ගොඩක් සතුටුයි. කලකට පසුව දැන් මම නැවතත් මෙරට ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා. ඒ වගේම නිදහසේ කලා කටයුතුවල නිරත වෙනවා. නමුත් යම් යම් අවස්ථාවලදී හිත කලකිරෙන දේවලුත් සිදු වෙනවා.

* ඔබත් එවැනි සිදුවීමකට මුහුණ දුන්නාද?

ඇත්තටම මගේ ‘සෙබළාණෙනි’ ගීතයට ලොකුª අසාධාරණයක් වෙලා තියෙනවා. සෙබළාණෙනි ගීතය එක් ආයතනයක් විසින් රිගිං ටෝන් සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඔවුන් එසේ කරලා තියෙන්නේ ගායකයා වුණ මගේවත්, රචකයා වූ සුනිල් යෝගේන්ද්‍ර ගෙන්වත්, සංගීතය යෙදූ අර්නි පීරිස් ගෙන්වත් අවසර අරගෙන නොවෙයි. ඒක හරිම අසාධාරණයක්.

* මේ වෙනුවෙන් ඔබ යම් පියවරක් ගත්තේ නැද්ද?

අදාළ ආයතනය දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් මම පැමිණිලි කරලා තියෙන්නේ.

* පවුලේ විස්තරත් කියමු?

බිරිඳ ශිරෝමි හෙන්ඩ්‍රි පීරිස්. ලොකු දුව රුචිරා ගයානි, දෙවැනි දුව ඡත්‍රා රංගනී, තුන්වැනියා පවිත්‍රා රාජිණී. දුවලා තුන්දෙනාම තාම ඉගෙන ගන්නවා. බිරිඳයි දුවලා තුන්දෙනයි ඉතාලියේ පදිංචි වෙලා ඉන්නේ.

* ඔබට ආදරය කරන රසික රසිකාවන් ඔබ ගයන අලුත්ම ගීතයක රස විඳීන්න බලාපොරොත්තුවෙන් ඇති?

ඒ සියලු දෙනාම වෙනුවෙන් මම අලුත්ම ගීත හතරක් නිර්මාණය කරලා තියෙනවා. එහි එක ගීයක් සෙබළාණෙනි ගීතයේ දෙවැනි ගීතය විදියට තමයි නිර්මාණය කෙරෙන්නේ. ඊට අමතරව ‘සිත රිදෙන තරම්’, ‘සඳ මීදුමේ’, ‘සිත ළඟ නළියන පෙම් කතා’ නමින් ආදර ගීත තුනකුත් නිර්මාණය කරලා තියෙන්නේ.

මේ ගීත තුනේම වැඩ කටයුතු සියල්ලම වගේ දැන් අවසන්. රූප රචනා සමඟින් මේ ගීත හතරම ලබන ජනවාරි මාසයේදී නව වසර වෙනුවෙන් රසික රසිකාවන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.

රාජ් වික්‍රමසිංහ

පන්සල පාර,

මූදුකටුව,

මාරවිල

ඒ මගේ ලිපිනයයි.