වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ජයමාන්න පවුලේ අවසන් තරුව නිහඬවම නික්මුණාය

ජයමාන්න පවුලේ අවසන් තරුව නිහඬවම නික්මුණාය

ලැටීෂියා පීරිස්

වේදිකාව, සිනමාව, පුංචි තිරය දෙවනත් කළ හඬ අපට නෑසුණේ, විටක කටකාර, වස නපුරු, තවත් වරෙක සිනහ වස්සන කවට රංගන අපට දක්නට නොලැබුණේ පස් වසරක පමණ කාලයක සිටය. වසර 2010 දී අප ලැටීෂියා පීරිස් නම් රංගන ශිල්පිනිය මුණ ගැසීමට යන විට ඇය ජීවත් වූයේ ගතින් පමණි. දිනෙන් දින මතකය උදුරා ගන්නා රුදුරු ස්නායු රෝගය ඇයගේ ජීවිතය ගිල ගනිමින් පැවතිණි.

හිත නැති කයකට හිමිකම් කීව ද ළමා වියේ සිට වයස අවුරුදු හැත්තෑ පහක් වෙනතුරුම රංගනයට ජීවිතය කැප කළ ඇය කෙසේ නම් ‘සරසවිය’ මතකයෙන් ගිලිහී යන්න ද? හෙළ සිනමාවට හිතැති කිසිවකුට ලැටීෂියා පීරිස් නාමය කිසිදා මතකයෙන් බැහැර කළ නොහැකිය. ඒ ඇය මෙරට සිනමා වංශ කතාවේ පුරෝගාමියා, බී. ඒ. ඩබ්. ජයමාන්න පරපුරේ අවසන් රංගන පුරුක නිසයි.

එහෙත් ලැටීෂියාටත් වඩා අමතකවීමේ රෝගයෙන් මෙරට කලාකරුවන් පීඩා විඳීන බව පසක් කළේ ඇයගේ ජීවිතයේ අවසන් භාගයයි. බොහොමයක් කලාකරුවෝ මොහොතකට හෝ ඇයගේ සුවදුක් බැලීමට නොපැමිණියහ. ඇරුණු ඇසට නැති කලාකරුවන් වැසුණු ඇසට ද නොපැමිණීම අරුමයක් නොවේ. හුදෙකලාවම අවසන් ගමන් ගිය කලාකරුවන්ගේ නාම ලේඛනයට ඇයගේ නම ද එක් විය.

මාස දෙකක් එක්තැන් වී සිටි ඇයට ඇති වූ ඇඳ තුවාලවලට කෙතරම් ප්‍රතිකාර කළ ද සුව නොවිණි. දියවැඩියා රෝගය නිසා අසූ වියැති ඇය කරා මාරයාගේ පැමිණීම ඉක්මන් විය. ඔක්තෝබර් 31 වැනිදා ඇයගේ නික්ම යාම සමඟම ජයමාන්න පරපුරේ අවසාන රංගන ශිල්පිනියගේ නාමය ද ඉතිහාසයට එක් විය.

ලැටීෂියා පීරිස් කලාවට හිතැත්තියක් වන්නේ ඇයගේ වැඩිමල් සොයුරිය ග්‍රේස් පීරිස් නිසාය. ග්‍රේස්, බී. ඒ. ඩබ්. ජයමාන්නගේ බිරියයි. ග්‍රේස්ට, බී. ඒ. ඩබ්. හමු වුණේ ද රංගනය නිසාය. විවාහයෙන් පසු ග්‍රේස්්ගේ නැඟණිය මේරි මැගිලින් ලැටීෂියා පීරිස් දැරියටත් රංගනයට දොරටු විවර විය.

කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍යයේ ‘හිල්ඩා’ නම් ළමා චරිතයට පණ පෙව්වේ ඇයයි. මුලින්ම හිල්ඩා ලෙස රඟන විට ඇය හත් හැවිරිදි දැරියකි. අපේ මුල්ම ළමා නිළියන් අතර ලැටීෂියා පීරිස්ගේ නම ද ඉතිහාසගත වී තිබේ.

හිල්ඩා චරිතය ඇය අටසිය වරක්ම රඟපෑවාය. එහෙත් කඩවුණු පොරොන්දුව සිනමාපටයේ රඟපා සිංහල සිනමාවේ ප්‍රථම ළමා නිළිය වීමට තිබූ අවස්ථාව ඇයගෙන් ගිලිහී ගියේ රූගත කිරීම් කරන විට තදබල ලෙස උණ ගැනී සිටි නිසයි.

පාසල් අධ්‍යාපනයට වඩා ඇය කැමැත්තක් දැක්වූයේ රංගනයටයි. වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ඇයගේ ජීවිතය බවට පත් විය.

‘හදිසි විනිශ්චය’ සිනමාපටයෙන් ඇරැඹිණි. ඇයගේ සිනමා රංගනය, සැඟවුණු පිළිතුර, සිරියලතා, සීයේ නෝට්ටුව, කතුරු මුවත්, බයිසිකල් හොරා, දුලීකා, ඉහත ආත්මය, වතුර කරත්තය, වසන්තයේ දවසක් වැනි සිනමාපට ගණනකින්ම අය සිය රංග ප්‍රතිභාව පෙන්වූවාය.

1957 වසරේදී තිරගත වූ සිරියලතා සිනමාපටයේ ඇය කෙතරම් දක්ෂ අන්දමින් රඟපෑවා ද කිවහොත් එහි ලැටීෂියාගේ ඇනුම් බැණුම්වලට ලක්වෙන චරිතය රඟපෑ අපේ මුල්ම නිළි රැජන රුක්මණී දේවිය, ලැටීෂියා සමඟ විවාහවීමට කිසිදු පිරිමියකු කැමැති නැති වේවියි පැවසුවාය. එහෙත් එම වසරේම ඇය මයිකල් ද සිල්වා සමඟ විවාහ වූවාය. හිත නැති කයක් වී සිටියදී පවා ලැටීෂියාට සෙවණැල්ලක් සේ සිටිමින් සත්කාර කළේ ඔහු හා දියණිය ශානලී ගලප්පත්තිය.

පුංචි තිරයේ කෙතරම් නපුරු චරිත රඟපෑව ද සැබෑ ජීවිතයේදී ඇය ඉතා අහිංසක බිරියක, මවක වූවාය. තිරයේදී, වේදිකාවේදී කටකාරියක වුවත් නිහඬ බව ලැටීෂියාගේ ජනප්‍රියම චරිත ලක්ෂණයක් විය. ලැටීෂියාගේ රංගන අත්දැකීම් ගැන පවුලේ කිසිවකු දැන නොසිටියේත් මේ නිශ්ශබ්දතාව නිසාමය. වේදිකාව, රිදී තිරය ජයගත් ඇය පුංචි තිරයට එක්වීමට ද වාසනාව ලැබූ ජයමාන්න පරපුරේ එකම සාමාජිකාවයි. අසල්වැසියෝ, ප්‍රමාද වැඩියි වැනි ටෙලි නිර්මාණ ගණනකටම ඇය දායක වූවාය.

ඇයගේ අවසන් ටෙලි රංගනය දක්නට ලැබෙන්නේ ‘වඩදිය’ ටෙලි නාට්‍යයේය. එහි රඟන විට ද ඇය ඇල්ෂයිමර් රෝගයට ගොදුරු වෙමින් සිටියාය. දෙබස් අමතක වීම නිසා යළි යළිත් දර්ශන රූගත කිරීමට සිදු වූ නිසා ලැටීෂියාගේ හිත හොඳින්ම පෑරුණි. එයින් නිෂ්පාදකට සහ අධ්‍යක්ෂවරයාට සිදු වූ පාඩුව ගැන ඇය පසුතැවිලි වූවාය. කිසිදා රංගන අත්දැකීම් හෙළි නොකළ ඇය මේ අමිහිරි අත්දැකීම සැමියාටත්, දියණියටත් රිදුණු සිතින් පැවසීමට අමතක නොකළාය. ලැටීෂියා පීරිස් වෘත්තියට කෙතරම් කැප වූ නිළියක ද යන්නට මෙය හොඳම සාක්ෂියකි.

මුදල් පසුපස හඹා නොගිය නිළියක වුවත් ඇයට මුදලේ අගය හොඳින්ම දැනෙන්නට දෛවය සැලසුවේ කුරිරු අන්දමිනි. බේත් හේත් ගැනීමට, රෝද පුටුවක් ගැනීමට තරම්වත් ආදායමක් ලැටීෂියාට නොතිබුණි. නිළි රැජන මාලිනී ෆොන්සේකා පරිත්‍යාග කළ රෝද පුටුවත්, සිනෙස්ටාර් පදනමේ ජයන්ත ධර්මදාස මහතාගෙන් ලැබුණු මුදල් ආධාරත් අසරණ කලා ශිල්පිනියට මහත් අස්වැසිල්ලක් විය.

කලාවට මෙතරම් කැපවීම් කළ ද මේ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනියගේ සුවදුක් බැලීමට තරම්, අවසන් ගමනට සහභාගීවීමට තරම් සංවේදී නොවූ බොහෝ සහෘද කලා ශිල්පීන් ගැන පවුලේ සාතිෂය කනගාටුව පළවීම පුදුමයක් නොවේ. ජීවිතයේ අවසන් කාලයේ ගිලිහුණු මතකයක් තිබීම එක් අතකින් කලාකරුවකුට ලැබෙන වාසනාවක් කියා සිතෙන්නේ නැති බැරි කාලයේදී සහෘදයන්ගෙන් ලැබෙන මෙබඳු අත්දැකීම් නිසයි.