වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මේන්ද්‍රට දුක - සතුට

ධර්මේන්ද්‍රට දුක - සතුට

සම්මානනීය සනී ඩියෝල්, ධර්මේන්ද්‍ර නම් සුපිරි නළුවාගේ වැඩිමල් පුතණුවන්ය. බෝඩර්, ගදර් ඒක් ප්‍රේම් කතා, ඛේටාඛ්, අර්ජුන්, සිද්දි වැනි සිනමාපටවලින් ජනහද මෙන්ම විචාරක හද ද දිනාගත් ඔහු දැන් ගත කරන්නේ වෘත්තීය ජීවිතයේ තිස් වැනි වසරයි.

වසර තිහෙන් පහක්ම ඔහු ගතකර තිබෙන්නේ ඇඳට වීලායි. ඒ වසර ගණනක සිටම ඔහු පීඩා විඳීන කොන්දේ ආබාධය නිසයි. වරින් වර ඔහු කොන්දේ ආබාධයකින් පීඩා විඳීන්නේ ක්‍රියාදාම චරිත අනෙකකු යොදවන්නේ නැතිව තමන්ම රඟපාන්නට යාමේ විපාක වශයෙනි. රාත්‍රියට අකැමැති, උදෑසනට කැමැති සනී ඇඳට වී සිටීමට ද අකැමැති කෙනෙකි.

ධර්මේන්ද්‍රගේ පළමු විවාහයේ ලොකු පුතු සනී හිත් වේදනාවෙන් පීඩා විඳිද්දී, දෙවැනි විවාහයේ බාල දියණිය අහානා මංගල ගමනට සූදානම් වන්නීය. අහානාගේ විවාහය ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා සිදුවීමට නියමිතයි. ඇය විවාහ ගිවිස ගෙන සිටින්නේ දිල්ලිියේ ව්‍යාපාරිකයකු වන විභව් වෝරා සමඟයි. අහානා බොලිවුඩයේ සිහින දෙව් දුව හේමාමාලිනීගේ බාල දියණියයි.

අහානා, හේමාමාලිනී මෙන්ම දක්ෂ ඔඩිසි නර්තන ශිල්පිනියකි. රඟපෑමට වඩා අධ්‍යක්ෂණයට කැමැත්තෙන් සිටි ඇයට සිනමාවේ කිසිදු අංශයක් වාසනාව ගෙනාවේ නැත. විවාහයෙන් පසුව ද ඇය නර්තනයේ යෙදීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. අහානාගේ විවාහයත් සමඟම හේමාමාලිනී නිදහස් මවක් බවට පත්වන්නීය.