වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




උසාවිය නිහඬයි බාධක, වාරණ බිඳ යළි තිරයට

උසාවිය නිහඬයි බාධක, වාරණ බිඳ යළි තිරයට

ආන්දෝලනාත්මක සත්‍ය කතාවක් ඇසුරෙන් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පසුගියදා වාරණයට ද ලක් වී සමස්ත ජනතාවගේ අවධානයට පාත්‍ර වූ උසාවිය නිහඬයි සිනමාපටය එම සියලු බාධක බිඳ දා ඉකුත් සෙනසුරාදාවේ සිට යළි තිරගත වීම ඇරැඹිණි. මෙම මස හය වැනිදා ප්‍රදර්ශනය වීමට තිබුණ ද උසාවියෙන් ලද වාරණයක් මත දින නියමයකින් තොරව උසාවිය නිහඬයි වාරණයට ලක් විය. එය කොළඹ රීගල්, බොරැල්ල ලිඩෝ, කොළඹ 7 එම්පයර් ආකේඩ්, මහරගම ඇමටිලයිට්, මාළඹේ ස්කයි ලයිට්ස්, නිව් ඉම්පිරියල් රත්නපුර, නිව් ඉම්පිරියල් කුරුණෑගල සහ කඩුවෙල විජයන්ති ආදී සිනමා ශාලාවන්හි තිරගත වේ. මෙරට අධිකරණය කොතරම් දුරට සමාජ සාධාරණය ඉටු කරනවාද යන්න උසාවිය නිහඬයි මඟින් ප්‍රසන්න විග්‍රහ කරනු ලබයි. මෙහි ධාවන කාලය මිනිත්තු හැටකි. එම්. ඩී. මහින්දපාල කැමරා අධ්‍යක්ෂණයෙන් ද, දමින්ද ඩී. මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක් විය. උසාවිය නිහඬයි ප්‍රසන්න සමඟ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කොට ඇත. මෙම චිත්‍රපටය තහනම් වෙද්දී මාළඹේ ස්කයි ලයිට්ස් සිනමාශාලාවේ එක් දර්ශනයක් තිරගත වී තිබිණි.


සුදර්ශිය බේරා දෙන්නැයි කලාකරුවෝ ඉල්ලති

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් අප කටට හුරු වචනයෙන් කිවහොත් සුදර්ශිය තමයි අප කලාකරුවන්ට වෙන් වෙච්ච එකම තැන. එය කලාකරුවන්ට අහිමි වෙන්න යනවා කියලා පසුගිය දිනවල අපට ආරංචි වුණා.

සුදර්ශියෙන් යම් ප්‍රමාණයක් ජපන් තානාපති කාර්යාලය යටතට ගන්නවලු. ඊට විරෝධය දක්වලා කලාකරුවන් උද්ඝෝෂණයක් එහෙම කරලා ජපන් තානාපති කාර්යාලයට සන්නසක් ද බාර දුන්නා. මෙහි වර්තමාන තත්ත්වය ගැන අහන්න අපි සුදර්ශියේ ලේකම් සමන්ප්‍රිය මාරසිංහට කතා කළා.

සුදර්ශිය පවරගන්න හදන්නේ සසකාවා කියලා රාජ්‍ය නොවන සංවිධානයකට. ඒ අය අපෙන් පර්චස් අසූ අටක් ඉල්ලලා තියෙනවා. සුදර්ශියෙන් අපට තියෙන්නේ පර්චස් 189 යි. එතනින් අසූ අටක් දෙනවා කියන්නේ සෑහෙන ප්‍රමාණයක් අපට අහිමි වෙනවා.

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක රජයට පවර ගන්න හදනවා කියලා. එහෙම නෙවෙයි, ජපන් තානාපති කාර්යාලයටවත් නෙවෙයි එන්ජීඕ ආයතනයකටයි මේක දෙන්න හදන්නේ. සුදර්ශිය ආරම්භ කොට වසර හැට දෙකයි. එය 1980 අංක 42 දරන පනතින් සංස්ථාපිත ආයතනයක් කළේ දිවංගත ආර්. ප්‍රේමදාස මැතිතුමා.

මේක සිංහල සංස්කෘතියට තියෙන එකම තැන. නමුත් අදාළ පුද්ගලයින් එක එක අයට බෝලේ පාස් කර කර ඉන්නවා මිස හරියට උත්තරයක් නැහැ. රටක කලාවක් නැත්නම් මිනිස්සු අයාලේ යනවා. සත්තු වෙනවා. වෙන රටවල කලාවට වෙනම තැන් අලුතින් හදද්දී අපේ රටේ තියෙන එකම තැනත් නැති කරනවා.

සුදර්ශියේ තමයි අපේ පුංචි කලාකරුවන්ට ඉතාමත් සහන මිලකට වේදිකා නාට්‍යයක් රිහසල් කරන්න, උත්සවයක් පවත්වන්න තියෙන එකම තැන. අපි දීපු සන්නසටත් තවම කිසිදු පිළිතුරක් නැහැ. අපි මේ සටන නවත්වන්නේ නැහැ. පසුගිය දා අතිශය විශාල ප්‍රමාණයක් කලාකරුවන් ගෙනත් අපි උද්ඝෝෂණයක් කළා.

මෙතනින් නොනැවතී අප අත්සන් ලක්ෂයක පෙත්සමක් ගොනු කරනවා. ඊට පසුව ජාත්‍යන්තර මට්ටමේ විරෝධතා පවත්වනවා. බැරිම වුණොත් වස් කවි කියනවා. පොල් ගහනවා. ඒවා කරලා හරි මේ සුදර්ශිය අපි දිවි හිමියෙන් රැක ගන්නවා.

කලාකරුවන්ගේ උද්ඝෝෂණය දා දීපානි සිල්වා මාධ්‍යයට අදහස් දක්වමින් සුදර්ශියේ සභාපති ජීවන් කුමාරතුංග, ලේකම් සමන්පි‍්‍රය සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක ඇතුළු පිරිස පසෙකින් වෙති


සංස්ථා සුබසාධනයට බහුබූතයෝ - 2

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සුභසාධක සංගමයට ආධාර පිණිස උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගින්දරි (බහුබූතයෝ 2) සිනමාපටය මෙම මස 27 වැනිදා එනම් අද සවස කොළඹ 07 ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගතවේ.


 ටවුමෙ ඉස්කෝලේ වැඩ ඇරැඹේ

සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම මේ දිනවල තිරගත වන රේන්බෝ සිනමාපටයේ තිරකතා රචක සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ කුලුඳුල් සිනමාපටය ටවුමෙ ඉස්කෝලෙ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. ළමා සිනමාපටයක් වන මෙහි රොෂාන් පිලපිටිය, බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර, ජයනි සේනානායක, තාරුකා වන්නිආරච්චි, සුසිලා කෝට්ටගේ, ප්‍රභාෂි පල්ලියගේ, මෙලීෂා යෙනුලි ආදීහු රංගනයේ යෙදෙති. කතාව, දෙබස්, තිර රචනය සුනිල් ප්‍රේමරත්නගෙනි. බුද්ධික මංගල කැමරා අධ්‍යක්ෂවරයාය. දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවේ. අමිල ප්‍රේමරත්න සහ නයන ගුරුගේ සහය අධ්‍යක්ෂවරුන්ය. නිෂ්පාදන කළමනාකරණයෙන් වසන්ත කිතුල්ගහමුදුන සහ මහින්ද රත්න තරංග දායක වේ. තරංග රුක්මල්වලගේ අංග රචනයකි. සනත් ජානක කලා අධ්‍යක්ෂවරයාය. ශෂිකා නිසංසලා, දර්ශන දිසානායක සහ කුමාරි දසනායකගේ ගායනයෙන් හැඩ ගැන්වෙන ටවුමෙ ඉස්කෝලෙ දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි. මෙහි මාධ්‍ය සම්බන්ධිකරණය සහ නිශ්චල ඡායාරුප උපුල් නිශාන්තගෙනි.


ෆ්‍රෙඩී ගුණ සමරු උලෙළ 29 වැනිදා

අලුත් කලාවක් සොයා ගත්ත මං එළි දකී

ප්‍රහසනාත්මක රංගන කලාව තුළට නවමු ආරක් එක් කළ ෆ්‍රෙඩී සිල්වාගේ පහළොස් වන ගුණ අනුස්මරණය මෙම මස 29 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් 'අලුත් කලාවක්' නමින් ගුණ සමරු උලෙළක් දලුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්වේ. මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමියන් මුලුසුන හොබවන මෙහි දෙසුම් රෝයි ද සිල්වා, ආචාර්ය නුවන් නයනජිත් කුමාර සහ ලාල් ආනන්ද අබේධීරගෙනි. ඉන්ද්‍රසිරි සුරවීර උත්සව සභාව නිවේදනයෙන් මෙහෙයවනු ලබයි. මෙම අවස්ථාවට සමගාමීව මාධ්‍යවේදී ලලිත් ප්‍රියංකර විසින් සංස්කරණය කරන ලද ෆ්‍රෙඩී ගැයූ ගීත ඇතුළත් 'අලුත් කලාවක් සොයා ගත්ත මං' කෘතිය එළි දැක්වේ.

1991 සරසවිය සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියම නළුවා වූයේ ෆ්‍රෙඩීය. එපමණක් ද නොව රංගනය වෙනුවෙන් ෆ්‍රෙඩී රණතිසර සහ ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව ද දහසකට අධිකයි. ගාමිණී, විජය, ජීවන්, සනත්, ශෂි, ටෝනි, රන්ජන් සිනමාවේ වීරයන් වෙද්දී ඔවුන් පිටුපස සිටි මිත්‍රයාගේ චරිතය ෆ්‍රෙඩී විය. ඔහු ගැයූ ගීත බොහොමයක ඇත්තේ උපහාසයකි. ඒවා ඔස්සේ සමාජයේ විවිධ අඩුලුහුඬු තැන් විවේචනය කළේය. කෙසේ වෙතත් ෆ්‍රෙඩී අපෙන් නික්ම ගියේ සිංහල සිනමාව තුළ දැවැන්ත හිදැසක් තබමින් යයි කිව යුතුය.

අලුත් කලාවක් ෆ්‍රෙඩී උපහාර ප්‍රසංග කැලණිය ජනතා කලා පදනමේ සංවිධානයකි.


මායාට දින 50යි

ඩොනල්ඩ් ජයන්තගේ මායා සිනමාපටය තිරගත වීම ආරම්භ වී මේ වන විට ජයග්‍රාහී දින පණහ පසුකොට ඇත. එය ඉමහත් ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය. රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, ගිරිරාජ් කෞශල්‍ය, නිල්මිණි කෝට්ටේගොඩ, ශෙහාරා හේවාදේව ආදී නළු නිළියන් රැසක් රඟපෑ මායා ආර්. සදේශ් කුමාර් සමඟ ශ්‍රීමති සදේශ් කුමාර් නිෂ්පාදනය කොට තිබේ.


නූර්යා 29 දා සිට

රිහාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ නූර්යා ටෙලි සිතුවම මෙම මස 29 වැනිදා සිට සෑම සෙනසුරදාවකම රාත්‍රී 7.30 ට ටී. එන්. එල්. නාළිකාවේ විකාශය වේ. තේජා නදීශානි, දිලිප් මනෝහර, ජයන්ත මුතුතන්ත්‍රි, උඹවත්තව රවීන්ද්‍ර, අසංක දිනාල්, රොෂාන් විමලසේන, සමන්ත කුමා, කුමාරි සේනාරත්න මෙහි රංගනයෙන් දායකවේ. නුරියා හි තිර රචනය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය රිහාන්ගෙනි. දිලිප් මනෝහරගේ කැමරා අධ්‍යක්ෂණයකි. හර්ෂණ නෙවිල් රාමනායක සංස්කරණ ශිල්පියාය. චාන්දනී ප්‍රියංකා නූර්යා නිෂ්පාදනය කොට තිබේ.