|
|
හෙළ කලා කෙත සරු කළ තලංගම පේ්ර්මදාස
(තලංගම ප්‍රේමදාස සූරීන්ගේ 30 වැනි අනුස්මරණය වෙනුවෙනි)කවියට, ගීතයට, පුවත්පත් කලාවට, වේදිකා නාට්‍යයට, සිනමාවට නව්‍ය අරුතක් එක් කළ ප්‍රවීණ කලාකරු තලංගම ප්‍රේමදාස සූරීන් අප අතරින් සදහටම සමුගෙන ඔක්තෝබර් 24 දාට වසර 30 ක් සපිරෙයි. 1932 ජනවාරි 21 දා තලංගමදී උපන් පසිඳුගේ ප්‍රේමදාස පෙරේරා යනුවෙන් නම් ලද හෙතෙම ගද්‍යයටත්, පද්‍යයටත් ඇලුම් කළේ පාසල් වියෙහි පටන්මය. 1954 දී කෝට්ටේ ක්‍රිස්තු විද්‍යාලයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියේ ඉගෙනුම ලබද්දී පැවති විද්‍යාලයීය නිබන්ධ තරගයේදී ඔහු අතින් ලියැවුණු පද්‍ය සංග්‍රහයකට එම විද්‍යාලයේ උසස්ම ත්‍යාගය හිමිවීම ඔහුගේ නිර්මාණ ජීවිතයේ ඇරැඹුම විය. ළමා නවකතා, නවකතා, කෙටි කතා ග්රන්ථ ලියා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලද තලංගම ප්‍රේමදාස සූරින් ගීත රචකයකු ලෙසින් ද සම්මානිත වූයේය. විල්බට් ඇන්තනි ගැයූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, රෝහිත විජේසූරිය ඇතුලු පිරිස ගැයූ ‘රන් විමනේ දොර ඇරිලා’, ‘රත්නදීප රත්නදීප ලංකදීප සෝබනී’ වැනි දේශාභිමානී ගීත ද, සෝමතිලක ජයමහ ගැයූ ‘දස බිම්බර මාර සෙනඟ’, ‘බුදු හිමිගේ මුව කමලේ’ සහ වික්ටර් රත්නායක ගැයූ ‘සිත් සනහාලන මුතුවන් වරුසා’ වැනි බොදු බැති ගීත ද ලියූ තලංගම ප්‍රේමදාස සූරීන් අතින් චිත්‍රපට ගීත ද ලියැ වී ඇත. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ එන ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ‘ජීවිත රෝදේ කැරකෙනවා’, ‘කතුරු මුවාත් ‘ චිත්‍රපටයට ඇතුළත් වූ ‘කතුරු මුවාත් පිහිය මුවාත්’ යන ගීත ලියුවේ ද තලංගම ප්‍රේමදාස සූරින්ය. ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘අධිෂ්ඨාන’ චිත්රපටයෙහි එන ‘මායා මිරිඟුව පිරුණු ලෝතලේ’ නම් වූ ගීතයට 1979 දී පැවති මුල්ම ජනාධිපති සම්මාන උලෙළේදී සම්මානයක් ද හිමි විය. තිමති වීරරත්න අධ්‍යක්ෂණය කළ ‘රජ දවසක්’ චිත්‍රපටයේ තිර නාටක රචකයා වූයේ ද තලංගම ප්‍රේමදාසය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘හොටබරි යුද්දේ’ වේදිකා නාට්‍යයෙහි රචකයා ද ඔහුය. ‘සූකිරි’ සහ ‘යහළු’ තලංගම ප්‍රේ්මදාසයන් අතින් සංස්කරණය වූ ළමා පුවත්පත්ය. ඔහු භාෂා පරිවර්තකයකු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයෙහි සේවය කළේය. දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලද මේ අව්‍යාජ කලාකරුවා 1986 ඔක්: 24 දා හිරු පායා ආ මොහොතේදී සදහටම දෙනෙත් පියා ගත්තේය. අපි එතුමන්ට නිවන් සුව පතමු.
|



