|
එදා වස්තුව, රිදී තැල්ල හැදූ සිරි කුලරත්න අද අසරණයි ඔබේ ආධාරය ඕනෑමිල්ටන් මල්ලවාරච්චිට පියාපත් සලා ගීතය ලිව්වෙත් ඔහු
වස්තුව, සිකුරු දසාව, නිළියකට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුළු චිත්‍රපට රැසක් නිර්මාණය කළ සිරි කුලරත්න රෝගීව ඇතැයි ආරංචිය අපට ගෙනාවේ සිරි කහවලය. සිරි කුලරත්නගේ පුත් ගැමුණු අපට කතා කොට ඒ බව සනාථ කළේය. කරමින් සිටි රැකියාවෙන් ද ඉවත්ව ඔහු පියා වෙනුවෙන් කැපව සිටියේය. එපමණක් නොව පියා වෙනුවෙන් උපකාරයක් කරන මෙන් ද ඉල්ලීය. ඒ අනුව පසුගියදා අප කුරුණෑගල මැද්දේගම, වැල්ලව ලිපිනයට ගියේ සිරි කුලරත්න සොයාගෙනයි. අප යන විටත් නින්දේ පසු වූ තම පියාණන් අවදි කොට දත කට මැද මුහුණ සෝදවා කෑම කවා රෝද පුටුවක හිඳුවා අප ඉදිරියට රැගෙන ආවේ ගැමුණු පුතාය. දකුණු අත දකුණු කකුල ඇතුළු ශරීරයේ දකුණු පැත්ත අප්‍රාණික තත්ත්වයට පත්ව වෙනත් අයකුගේ අත්උදව්වක් නොමැතිව කිසිත් කර කියා ගන්නට බැරිව ඇඳට හා රෝද පුටුවට සීමා වී සිටින සිරි කුලරත්නයන්ට තමන්ගේ දුක කියාලන්නට මම මොහොතක් ඉඩකඩ සලසා දුන්නෙමි. විටෙක හැඟීම්බර වෙමින්, දෑසින් කඳුළු වගුරවමින් හිත තුළ තිබෙන දුක කියා ගන්නට බැරිව මොහොතක් නිහඬව සිටිමින් සුසුම්ලමින් ඒ දුක්බර කතාව මේ ආකාරයෙන් අපි සමඟ පවසා සිටියා. කවදාවත් මම හිතුවේ නෑ මේ විදියට මාව ඇඳට වැටෙයි කියලා. මුලදී මට කොන්දෙ අමාරුවක් තිබුණා. ඒකට බේත් ගත්තා. එන්න එන්නම මගේ ශරීර සෞඛ්‍ය පිරිහෙන්නට පටන් ගත්තා. කොහොම හරි මේ අවුරුද්දේ මාර්තු 27 වැනිදා මගේ දකුණු අතයි කකුලයි පණ නැති වෙලා ගිහින් මාව ඇඳට වැටුණා. කරන්න පුළුවන් හැම තැනකින්ම බේත් ගත්තා. ඉස්පිරිතාලෙනුත් බේත් කළා. පුද්ගලිකවත් බේත් කළා. සිංහල වෙදකම් පවා කළා. ඒත් තවම සුවයක් නෑ. මුලදී මම මේ විධියට ලෙඩ වුණා කියලා කාටවත් කිව්වේ නැහැ. කාවත් බලෙන් දැනුවත් කරන්න ගියෙත් නැහැ. දන්න යාළුවන්ට තමයි මුලින් කිව්වේ මම මේ තත්ත්වයට පත් වෙලා කියලා. ගොඩක් අය දන්නෙත් නැතුව ඇති. කොහොම හරි මගේ අසනීප තත්ත්වය නිසාම දවසෙන් දවස අපත් අසරණ වෙන්න පටන් ගත්තා. මගේ ගැමුණු පුතා මම දන්න මගේ හිතවතුන් කීප දෙනෙකුටම මේ අසරණ බව කියලා තිබුණා. ඒ අයත් පුළුවන් හැටියට මට උදවු කළා. මාව බලන්නත් ආවා. අද වෙන කොට මගේ පුතා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. එයා කරපු රස්සාවෙනුත් අයින් වෙලා මගේ ලෙඩේට සාත්තු සප්පායම් කරනවා. අද අපිට ආදායම් මාර්ගයක් නැහැ. වෙන කරන්න දෙයක් නැති නිසාම මම මේ පදිංචි ගේත් මගේ කාර් එකත් දැන් විකුණන්න දාලා තියෙන්නේ.
ඒ අයට රාජකාරි ඇති. කාටවත් දොස් කියන්න බැහැ. * මේ වෙන කොට ඔබගේ දුක සැප බලන්නවත් ආපු අය කවුද? සුනිල් ටී. ප්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන, සනත් ගුණතිලක, විශාඛා සිරිවර්ධන, කුසල් බී. පෙරේරා. මේ අය මට වරින් වර ආධාරත් කළා මගේ ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාර ගන්න. * කලාකරුවන් වෙනුවෙන් හඬ නඟන්න ඉන්න සංගම් නිහඬ වෙනකොට ඔබගේ අසරණභාවය රටට කිව්වේ? මගේ අසරණකම ගැන දැනගත්ත මගේ හිතවතෙකු වූ සිරි කහවල මහත්තයා වගේම හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් කියන නිදහස් පුවත්පත් ලේඛකයා මේ දෙන්නා මම ගැන මොනවා හෝ සටහනක් පත්තරවලට ලිව්වා. කලා ක්ෂේත්‍රයේ අය දැනුවත් කළා. මේ දෙන්නා නොවන්න අද මම ගැන මෙහෙමවත් කතා කරන්නේ නැහැ. * සිරි අයියා සිනමාකරුවෙක් විතරක් නොවෙයි, පුවත්පත් කලාවේදියකුත් වෙනවා? ඔව්. මම පත්තර කාරයෙක් වුණේ සරසවිය පුවත්පතෙන්. 1969 ඉඳලා මම අවුරුදු හතක් විතර සරසවියේ ලිව්වා. මාව සරසවියට එක්කන් ආවේ මගේ විශ්ව විද්‍යාල මිතුරෙක් වූණු සිරි කහවල මහත්තයා. එතකොට සරසවියේ කර්තෘ විමලසිරි පෙරේරා මහත්තයා. * ඔබ කලාවේ දොරටු විවර කර ගන්නෙත් සරසවිය හරහා? ඔව්. සරසවියේ ඉඳන් මම කලාකරුවන් ගැන ලිපි ලියන කොට මට ඔවුන්ව නිතර හමු වුණා. හඳුනාගන්න ලැබුණා. ඒ නිසාම මට කලාව පිළිබඳ ලොකු ආශාවක් ඇති වුණා. * සරසවිය පුවත්පතේ වුණත් ඔබ ස්ථිර සේවයට එක් වෙන්නේ නැහැ? මම නිදහස් ලේඛකයෙක් ලෙස තමයි දිගටම කටයුතු කළේ. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේදී තමයි මට සිරි කහවල මහතා හමු වන්නේ. අපි දෙන්නම හින්දි භාෂාව ඉගෙන ගත්තා. අපි දෙන්නා හින්දි ගෞරව උපාධිධරයන්. එයා සිරි කහවල, මම සිරි කුලරත්න. සිරි කහවල තමයි යෝජනා කළේ සරසවිය පත්තරයට යන්න. නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කිරීම අපිට ලොකු පහසුවක් වුණා. ඒ නිසාම මට චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට නැඹුරු වෙන්නත් පුළුවන් වුණා. * ඔබේ කලා ජිවිතයට දැන් කොච්චර කල්ද? අවුරුදු 43 ක් විතර වෙනවා.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ, පේරාදෙණිය සාරානාත් පිරිවෙණේ මම ඉගෙන ගන්න කාලේ ඉඳලා මම කලාවට ආදරය කළා. නාට්‍යවල රඟපෑවා. මම රචනා කරපු ජන්මයක් නැති එකෙක් නාට්‍යයෙන් තමයි මම කලාවට හාපුරා කියලා පිවිසුණේ. ඊට පස්සේ සරසවිය තුළ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන අතරේ විමල් චන්ද්‍රදාසගේ වැලි කතරක අතරමඟක, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ හොටබරි යුද්දේ, තහංචි වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්්ථාව ලැබුණා. * සිනමා අධ්‍යක්ෂණයට පෙරාතුව ඔබ සහය අධ්‍යක්ෂණයෙන්, දෙබස් රචනයෙන් අත්දැකීම් ලබනවා? සිදාදියෙන් හයක් දෙබස් රචනා කළා. මාතර ආච්චි, සිරිල් මල්ලී චිත්‍රපට සහය අධ්‍යක්ෂණය කළා. * හින්දි භාෂාවේ ගෞරව උපාධිධරයකු වූ ඔබ ජනප්‍රිය හින්දි නවකතාවක් කියවා ඒ ඇසුරින් චිත්‍රපටයක් කරන්නත් පෙළඹෙනවා? ළමයෙක් හා එක් හොරෙක් සම්බන්ධ කරගෙන ලියැවුණු කතාවක් ඒක. ඒ කතාව ඇසුරින් වස්තුව නමින් චිත්‍රපටය ලියැවුණා. එයට හොරු හතර දෙනෙකුත් එක් ළමයකුත් යොදා ගත්තා. ඒ තමයි මගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. 1974 නොවැම්බර් 30 වැනිදා වස්තුව තිරගත වුණා. මගේ මුල්ම චිත්‍රපටයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් මට ආරාධනා ගලාගෙන ආවා චිත්‍රපට කරන්න. * ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ චිත්‍රපට රැසක් ඔබ අතින් එක පෙලට නිර්මාණය වෙනවා? සිකුරු දශාව, සඳවට රන්තරු, බඹර පහස, රිදී තැල්ල, පෙතිගෝමර, නිළියකට පෙම් කළෙමි, පොඩි රාළහාමි, වීදියේ විරයා, සුබෝධා, අනුරාධා, රාස්ස කැලේ ආදී චිත්‍රපට රැසක් මා අතින් නිර්මාණය වුණා. * ඔබේ චිත්‍රපට නිර්මාණ අතර අදත් ඔබ වඩාත් කැමැත්තක් දක්වන්නේ?
* ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ඔස්සේත් ඔබ පුංචි තිරය ආක්‍රමණය කළ පුද්ගලයෙක්? හරිම හපන්නු, පෙරනිමිති, සතුරෝ, බූත වස්තුව, සුබ ප්‍රාර්ථනා ටෙලි නාට්‍ය මම පුංචි තිරයට නිර්මාණය කළා. * මේ වෙන කොට අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය තව විකාශය වෙන්න තියෙනවාද? ඔව්. එඩ්වඩ් මල්වාරච්චිගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ සුබ ප්‍රාර්ථනා ටෙලි නාට්‍ය තවම විකාශය වෙන්න තියෙනවා. එහි නිෂ්පාදකවරයා වූ ධම්මික සිරිවර්ධන මහතාගේ හදිසි අභාවය නිසා එය පෙන්නා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ජාතික රූපවාහිනියේ අනුමත වෙලක් තියෙනවා. මට දුක මම කරපු ලස්සන කතාවක් ඇසුරින් කළ ටෙලි නාට්‍ය තවම පෙන්න ගන්න බැරිවීම ගැන. * අවසන් වරට ඔබ අතින් නිර්මාණය වූ චිත්‍රපටය වුණේ? 2008 වසරේදී ම කළ රාස්ස කැලේ චිත්‍රපටය. ඊට පස්සේ මම එහි නිෂ්පාදක වූ කුසල් පෙරේරා සමඟ රාස්ස කැලේ දෙක නමින් චිත්‍රපටයක් කරන්න සියල්ල සූදානම් කළා. නළු නිළියෝ වගේම ෂූටින් කරන දර්ශන තල පවා සූදානම් කළා. අපිට චිත්‍රපටයේ රූපගතකිරීම් විතරයි කරන්න පටන් ගන්න තිබුණේ. අපි කවුරුවත් නොසිතුව විධියට මාව රෝගී වීම නිසා ඒ කටයුත්ත අද අතරමඟ නතර වෙලා. * රාස්ස කැලේ නිෂ්පාදක අද වෙන කොට ඔබට සැබැවින්ම සෙවනැල්ලක් වෙලා? එදා මම රිදීතැල්ල චිත්‍රපටය කරන කොට එහි නිෂ්පාදක වුණේ කේ. එස්. පෙරේරා. ඊට අවුරුදු තිහකට පස්සේ මම රාස්ස කැලේ කරන කොට එහි නිෂ්පාදක වුණේ කේ. එස්. ගේ පුත් කුසල් පෙරේරා. අදටත් ඔහු මාව අතහැරලා නැහැ. අදටත් කුසල් කියන්නේ කොහොම හරි සනීප වෙලා අපි රාස්ස කැලේ දෙවැන්න කරමු කියලා. මගේ අසනීප තත්ත්වය වෙනුවෙන් මට පිහිට වෙන්නේ මගේ අමාරුකම් යම් තරමින් හෝ පියවලා දෙන්නේ කුසල් පෙරේරා. මේ වෙලාවේ කුසල් පෙරේරා මට දෙවියෙක් වගේ. * සිංහල සිනමාවේ එක්තරා යුගයක ජෝඩුවක් හදන්නත් ඔබ මුල් වෙනවා? මම කරපු පොඩි රාළහාමි චිත්‍රපටයෙන් තමයි මුල්වරට සනත් සබීතා ජෝඩුව හැදෙන්නේ. * සිරි අයියා ගීත ප්‍රබන්ධකයකු ලෙසත් නමක් දිනූ පුද්ගලයෙක්? මම අධ්‍යක්ෂණය කළ හැම චිත්‍රපටයකම මම සිංදුවක් ලිව්වා. සරසවිය පත්තරේ වැඩ කරන කාලයේ මම මිල්ටන් මල්ලවාරච්චිට කළ ගීය තමයි පියාපත් සලා මම ඔබ . . . මේ ගිතය රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. තව ගීත කීපයක්ම මම ලියලත් දුන්නා. * අදටත් ඔබ තුළ චිත්ත ශක්තිය තියෙනවා සිනමා නිර්මාණයක් වෙනුවෙන්? මගේ කකුල අඩිය තියලා නැගිට ගන්න පුළුවන් නම් මම ඉස්සෙල්ලාම කරන්නේ කුසල් පෙරේරාගේ රාස්ස කැලේ දෙවැනි චිත්‍රපටය කරලා දෙන එක. මං අබල දුබල වෙලා තියෙන්නේ මේ අසනීපය නිසා. * කලාකරුවකු වශයෙන් ඔබ දේශපාලඥයන්ටත් උදවු කළ පුද්ගලයෙක්. මේ වෙලාවේවත් ඔබ ගැන ඔවුන් සොයා බැලුවේ නැද්ද? 1965 ඉඳලා මම දේශපාලනඥයන්ට උදවු කළා. මගේ පාට පිළිබඳ ප්‍රශ්නයක් නෑ. කවුරු වුණත් හිතවත් නම් කාටත් පක්ෂ පාට නැතිව උදවු කළා. කියන්න කනගාටුයි මගේ මේ තත්ත්වය ගැන එයාලට මගේ පුතා පුද්ගලිකව කිව්වා. ඒත් කවුරුවත් නිකමට ආව තියා කෝල් එකක්වත් දුන්නේ නැහැ. * ඔබ අද පත් වෙලා තියෙන මේ අසරණභාවය ගැන අහන කෙනෙකු චිත්‍රපට කරලා හම්බ කරපු දේට මොකද කළේ කියලා අහන්නත් බැරි නෑ නේද? මම අවංකව කලාව කරපු කෙනෙක්. හැබැයි කලාව කලාව විදියට නොකර ඒක බිස්නස් එකක් ලෙසින් කරපු අය ළඟ නම් අදටත් මුදල් ඉතිරි වෙලා ඇති. මම කලාව වෙනුවෙන් සියල්ල කැප කළ නිසා මගේ ළඟ ඉතිරි වූ දෙයක් නැහැ. සිරි කුලරත්නගේ පුත් ගැමුණු ද අප හා කතාවට එක් වුණා. * ගැමුණු ඔබ විතරද තාත්තාගේ රැකවලා වෙලා තියෙන්නේ? තාත්තාට දරුවෝ හතර දෙනයි. මම පවුලේ තුන්වෙනියා. අක්කා චමිලා, අයියා චමිල, මල්ලි හසිත. මල්ලි ඇරෙන්න අනික් තුන් දෙනාම විවාහ වෙලා. අපේ අම්මා මොනිකා, 2009 අවුරුද්දේ හදිසි හෘදයාබාධයකින් රෝගී වුණා. තාත්තා හම්බ කරපු හැම දෙයක්ම අම්මා බේරා ගන්න වියදම් කළා. ඊට පස්සේ 2011 දී විතර අම්මාට පිළිකාවක් හැදුණා. ඒකටත් තාත්තා වෙහෙසුණා. ඒත් 2014 ජූලි 25 වැනිදා අම්මා අපිවත්, තාත්තාත් තනි කරලා සමුගත්තා. ඒ වෙනකොට තාත්තා ආර්ථික වගේම මානසිකවත් වැටිලා හිටියේ. ඒ අතරේ තාත්තාට කොන්දේ අමාරුවක් ආවා. ඒකට බේත් ගන්න අතරේ තමයි තාත්තාට අංශභාගේ හැදුණේ. * දේශපාලඥයන්ගෙන් එහෙම සහයක් ගන්න උත්සාහ කළේ නැද්ද? එහෙම උත්සාහ කළ අවස්ථා තිබුණා. ඒත් වැඩක් වුණේ නැහැ. ඒ අය තාත්තා එක්ක තිබුණ හිතවත්කම් මත මම පුද්ගලිකව කතාකරල කිව්වා අඩුම තරමින් තාත්තාගේ හිත හැදෙන්නවත් ඇවිත් යන්න කියලා. සමහරුන්ට එක පාර නෙමේ තුන්පාර කතා කරලා කිව්වා. එක වෙලාවකට හා කියනවා, ඩයරියේ දාගන්නවා කියනවා, ලේකම්ට කියන්න කියනවා. ඒත් ආපු කෙනෙකුත් නෑ, දීපු දේකුත් නෑ. අද සිරි කුලරත්නයන්ට අත් වී තිබෙන ඉරණම හෙට ඔබටද උදා විය හැක. යම් අයුරකින් කලාකරුවා මියගිය පසු බැනරයක් දැමීමෙන් හෝ පවුලේ අයකුට මුදල් පරිත්‍යාගයක් කිරීමෙන් පලක් නැත. කලාකරුවා ජීවත්ව සිටියදී ඔහුට පිහිටවීම හුදෙක් අවශ්‍යතාවයකි. අද බොහෝ විට සිදු වනුයේ කලාකරුවකු මියගිය පසු ඔහු ගැන ගුණ ගායනා කිරීමකි, නැතහොත් මියගිය කලාකරුවාගේ දේහයට කරතබා වීරයන් සේ දේහය චිතකයට ගෙන යන පිරිසකි. එහෙමත් නැත්නම් මියගිය කලාකරුවා ගැන අදහස් මාධ්‍යයට කීමට තැත් කරන මුහුණුය. අසරණව ජීවත් වන කලාකරුට හෝ කලාකාරියට ඔවුන් මිය යෑමට මත්තෙන් පිහිටක් වෙනවා නම් එය ඔහුට හෝ ඇයට මහත් වූ සතුටක් ගෙන දෙනවා නොඅනුමානය. මෙවැනි පරමාදර්ශී වැඩ පිළිවෙළකට දැන්වත් සිරි කුලරත්නයන්ගෙන් මුල පුරමු. සිරි කුලරත්නයන්ට පිහිට වන්නට ඔබටත් හැකි නම් ගැමුණු කුලරත්න පුතුට 0779510500 දු: ක: අංකයට කතා කරන්න.
|