වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වින්දනීය සිනමා සටහනක්

වින්දනීය සිනමා සටහනක්

ලයිට්,කැමරා, ඇක්ෂන් මුලින්ම පැවසූ ඩී.ඩබ්ලියු.ග්‍රිෆිත්

ඇමරිකා එක්සත් ජනපදය

උපත (ජනවාරි 22, 1875 - ජුලි 23, 1948)

විශිෂ්ට චිත්‍රපට - ලේඩි හෙලන්ස් එස්කැපේඩි, අ කෝනර් ඉන් විට්, ද බර්ත් ඔෆ් අ නේෂන්, ඉන්ටොලරන්ස්, බ්‍රෝකන් බ්ලොසම්ස්

ග්‍රිෆීත්ව මුළු ලොව පුරාම පිළිගැනෙන්නේ සිනමාව කලාවක් හැටියට දියුණු කිරීමේ කාර්යයේ වඩාත්ම වැදගත් සේවයක් ඉටු කළ තනි පුද්ගලයා ලෙසයි. තවද නූතන සිනමාකරණයේ පියා ලෙස සැලකෙන ඔහු කෙටි චිත්‍රපට 450 කට වැඩි ගණනක් නිර්මාණය කළේ 1900 දශකයේ ඇමරිකන් බයෝග්‍රිෆ් සමාගමේ රැකියාවේ නියැලී සිටියදීය. මෙසේ බහුලව චිත්‍රපට නිර්මාණ කිරීම හේතුවෙන් ඔහුට සිනමා යාන්ත්‍රණ සමඟ පර්යේෂණ කරන්නට හැකියාව ලැබුණා. ග්‍රිෆිත් සහ කැමරා අධ්‍යක්ෂ බිලි බිට්සර්ගේ සුසංයෝගයෙන් හරස්ඡේදන සහ අතීතාවර්ජන වැනි නව සංස්කරණ ක්‍රම ගවේෂණය කර ගැනීමට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සිනමා මාධ්‍යයට කතා කීමෙ මනා හැකියාවක් ඇති තත්ත්වයකට උසස් වූවා.

වේල්සයෙන් පැවත එන පරපුරකට අයත් ග්‍රිෆිත් උපත ලද්දේ කෙන්ටකී ජනපදයේ ලා ග්‍රෑන්ජ් හිදීය. ඔහුගේ පියා වූ ජේකබ් (රෝරිං ජේක්) ග්‍රිෆිත් කන්ෆෙඩාරෙටි හමුදා (ඇමරිකානු සිවිල් යුද්ධයේදී දක්ෂිණ සමගි සන්ධනය බිහි කළ ජනපද 13 ට අයත්) කර්නල්වරයකු වූ අතර මව මේරි පර්කින්ස් ග්‍රිෆිත් වූවා. පියා ජේකබ් අමෙරිකානු සිවිල් යුද්ධයේදී සටන් කළ අතරම කෙන්ටකී ජනපදයේ ව්‍යවස්ථාදායකයෙකු ද වූවා. එක පන්ති කාමරයක් පමණක් තිබූ කුඩා ගමේ පාසලක ග්‍රිෆිත්ට ඉගැන්නුවේ ඔහුගේම වැඩිමහල් සොහායුරිය මැටිටීය. ඔහුට අවුරුදු 7 දී පියා මෙලොවින් සමුගත්තේ පවුල දැඩි ආර්ථික ප්‍රශ්නවලට මැදි කරමින්. ඔහුට වයස අවරුදු 14 දී මව ගොවිපල හැරදමා ලුවීවිල් නගරයට සංක්‍රමණය වීමට තීරණය කළා. එහිදී ඇය බෝඩිමක් ආරම්භ කළත් ටික කලකින් එය වැසී ගියා. පවුලේ ආර්ථික ප්‍රශ්නවලට උරදීම සඳහා ග්‍රිෆිත් පාසල් ජිවිතය හැරගොස් වියළි ආහාර විකුණන කඩයක රැකියාවක් ලබා ගත්තා. ඊට ටික කලකට පසු ඔහුට පොත් සාප්පුවක රැකියාවක් ලැබුණා.

ග්‍රිෆීත් ඔහුගේ කලා ජීවිතය ආරම්භ කළේ නාට්‍ය රචකයෙකු ලෙසය. නමුත් එය එතරම් සාර්ථක නොවූ අතර ඔහුගේ එකම එක නාට්‍යයක් පමණක් රඟදැක්වීම සඳහා තෝරා ගනු ලැබුවා. රචකයෙකු වෙනුවට නළුවෙකු වීම වඩාත් හොඳ යැයි සිතූ ග්‍රිෆිත් ඉන් පසු අතිරේක නළුවෙකු ලෙස නාට්‍ය ගණනාවක රඟපෑවා.

1907 දී ග්‍රිෆිත් සාර්ථක නාට්‍ය රචකයෙකු වන අදිටනින් නිව්යෝක් නගරයට ගොස් එඩිසන් චිත්‍රාගාරයට පිටපතක් විකිණීමට උත්සාහ කළා. චිත්‍රාගාරය පිටපත ප්‍රතික්ෂේප කළ නමුත් ග්‍රිෆික්ට රෙස්කියුඩ් ෆ්‍රොමි ඇන් ඊගල්ස් නෙස්ට්හි රඟපෑමට අවස්ථාවක් ලබා දුන්නා. මෙසේ චලන චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ග්‍රිෆිත් වැඩි කලක් යන්නට මත්තෙන් අධ්‍යක්ෂණයට එළඹ කාර්යබහුල වුණා. 1908 දී ග්‍රිෆිත් නිව්යෝක් නගරයේ ඇමරිකන් මියුටොස්කෝප් සහ බයෝග්‍රාෆ් සමාගමේ රඟපෑම සඳහා රැකියාවක් ලබා ගත්තා. චිත්‍රපට කර්මාන්තයේ ග්‍රිෆිත්ගේ ජිවිතය සදහටම වෙනස් වුණේ බයෝග්‍රාෆ් හිදීය. 1908 දී බයෝග්‍රාෆ් හී ප්‍රධාන අධ්‍යක්ෂවරයා වූ වොලස් මැක්කචියෝන් රෝගාතුර වූ අතර ඔහුගේ පුත් වොලස් මැක්කචියෝන් කනිෂ්ඨ ඔහුගේ ස්ථානය ලබා ගත්තා. කෙසේ වෙතත් මැක්කචියෝන් කනිෂ්ඨ චිත්‍රාගාරය සාර්ථකත්වය කරා ගෙන යන්නට සමත් වුණේ නැහැ. ඒ හේතුව නිසා බයෝග්‍රාෆ් චිත්‍රාගාර ප්‍රධානියා වූ හෙන්රි මාර්වින් එම ස්ථානය ග්‍රිෆිත්ට ලබා දෙන්නට තීරණය කළා. ග්‍රිෆිත් බයෝග්‍රාෆ් සමාගම සඳහා තම පළමු චිත්‍රපටය නිර්මාණය කළ අතර එහි නම වුණේ ඇඩ්වෙන්චර්ස් ඔෆ් ඩොලිී.

කැලිෆෝනියා ජනපදයේ හොලිවුඩ් හී ප්‍රථම වතාවට චිත්‍රපටයක් රූගත කිරීමට මුල් වුණෙත් බයෝග්‍රාෆ් චිත්‍රාගාරයයි. එම චිත්‍රපටයේ නම ඉන් ඕල්ඩ් කැලිෆෝනියායි. (1910). ඉතාලියානු වෘත්තාන්ත චිත්‍රපටයක් වූ කැබීරියා (1914) ග්‍රිෆිත් කෙරෙහි බලපෑමක් ඇති කිරිමට සමත් වුණා. වෘතාන්ත චිත්‍රපට වාණිජමය වශයෙන් ප්‍රායෝගික බව එම චිත්‍රපටය ග්‍රිෆිත්ට තහවුරු කළා. ඔහු බයෝග්‍රාෆ් චිත්‍රාගාරය වෙනුවෙන් ජුඩින් ඔෆ් බෙතුලියා (1914) නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ නිපදවුණු මුල්ම වෘතාන්ත චිත්‍රපට අතුරෙන් එකක් වූවා. කෙසේ වෙතත් බයෝග්‍රාෆ් හි විශ්වාසය වුයේ දීර්ඝ වෘතාන්ත චිත්‍රපට ප්‍රායෝගික නොවන බවයි.

එම හේතුවත් චිත්‍රපටයේ නිෂ්පාදන වියදම අතිශයින් සීමාව ඉක්මවා යාමත් නිසා ග්‍රිෆිත් බයොග්‍රාෆ් චිත්‍රාගාරය හැර ගියේ සියළුම නළු නිළි කැල ද සමඟයි. මියුචුචල් චිත්‍රපට සංස්ථාවට බැඳුණු ග්‍රිෆිත් මැජෙස්ටික් චිත්‍රාගාර කළමනාකාර හැරි ඇයිට්කෙන් සමඟ එකතු වී රිලයන්ස්-මැජස්ටික් නමින් චිත්‍රාගරයක් බිහි කළා. (පසු කාලයේ මෙය ෆයින් ආර්ට්ස් ස්ටුඩියෝ යනුවෙන් නම් කෙරුණා). ඔහුගේ නව නිෂ්පාදන සමාගමට තෝමස් ඉන්ස් සහ කීස්ටෝන් චිත්‍රගාරයේ මැක් සෙනෙට් සමඟ ට්‍රයැන්ගල් චිත්‍රපට සමාගමේ නිෂ්පාදන ඒකක සමාජිකයෙක් ලෙස ස්වාධීනව කටයුතු කරන්නට හැකි වුණා. ට්‍රයැන්ගල් චිත්‍රපට සංස්ථාවේ මුලසුන දැරුවේ ග්‍රිෆිත්ගේ සගයා වූ හෙන්රි ඇයිටිකෙන් සහ ඔහුගේ සහෝදර රෝයි. හෙන්රි මේ සඳහා ඔහු වැඩ කළ මියුචුචල් චිත්‍රපට සංස්ථාවෙන් අස් වුණා. ඉතින් මේ නව රිලයන්ස් මැජෙස්ටික් ස්ටුඩියෝස් මාර්ගයෙන් ග්‍රිෆිත් 1915 දී ද ක්ලෑන්ස්මන් නිෂ්පාදනය කළා. පසු කාලයේ ද බර්ත් ඔෆ් අ නේෂන් කියා හැඳින්වූණේ එම චිත්‍රපටයයි.

ඓතිහාසික වශයෙන් ගත් කළ ද බර්ත් ඔෆ් අ නේෂන් ප්‍රථම බ්ලොක්බස්ටරය (වාණිජමය වශයෙන් අති සාර්ථක) වූවා. ඉතිහාසඥයින් එය වැදගත් කොට සලකන්නේ ද බර්ත් ඔෆ් අ නේෂන් ඇමරිකානු සිනමාවේ ප්‍රථම වෘත්තාන්ත (දිග) චිත්‍රපට අතරින් ප්‍රධාන එකක් වීමත් (මීට පෙර සෑම චිත්‍රපටයක්ම පැයකට අඩු ධාවන කාලයකට සීමා විය) එය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රමිතිය සදහටම වෙනස් කිරීමට සමත් වූ (අදත් පැවතේන්නේ එම තත්ත්වයයි) සිනමා කෘතියක් බවට අවිවාදයෙන් පිළිගැනීම හේතුවෙනුයි. මෙම චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය වෙමින් එතෙක් පැවති සියලු බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැම්මා. ඒ වගේම එය මතභේද ඇවිස්සුයේ එහි ප්‍රතිමූර්තිමත් කළ සිවිල් යුද්ධ සමයේ වහල් ජිවිත අතර සම්බන්ධතායි. තෝමස් ඩික්සන් කනිෂ්ඨ විසින් 1905 දී රචිත ද ක්ලෑන්ස්මන් යන නවකතාව මීට පසුබිම් වුණා. එහි ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර දකුණේ වහල් සේවය සාධාරණීය කිරීමත්, වහලුන් නිදහස් කිරීම රිපබ්ලිකන්වරුන්ගේ දූෂිත කුමන්ත්‍රණයක් බවත්, කු ක්ලක්ස් ක්ලෑන් (සුදු අන්තවාදී ව්‍යාපාරයක්) සාමාජිකයින් සමාජ ශෝධකයන් ලෙස වීරත්වයෙන් සැලකීමත් මෙම චිත්‍රපටය ආන්දෝලනාත්මක වීමට හේතු වුණා. කෙසේ වෙතත් වර්ණවත් මිනිසුන්ගේ සංවර්ධනය සඳහා ජාතික සන්ධානය මගින් චිත්‍රපටය ප්‍රදර්ශනය නැවැත්වීමට දැරූ ප්‍රයත්නය ද ව්‍යාර්ථ කරමින් ද බර්ත් ඔෆ් අ නේෂන් ඒ කාලයේ වැඩිම බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ලැබු චිත්‍රපටයක් බවට පත් වුණා.

ඇමෙරිකාවේ උතුරේ ප්‍රධාන නගර සමහරක ප්‍රේක්ෂකයින් චිත්‍රපටය නැරඹීමෙන් පසු එහි පිළිබඳ වූ ජාතිවාදී අන්තර්ගතය හෙතුවෙන් විරෝධය පාමින් කලකෝලාහල කළා. ද බර්ත් ඔෆ් අ නේෂන් සිනමාහල්වල තිරගත වී අවසන් වූ පසු ග්‍රිෆිත් ඔහුට එල්ල කළ විවේචනවලට පිළිතුරු දුන්නේ ඊළඟ චිත්‍රපටය වූ ඉන්ටොලරන්ස් සමඟිනුයි. එය ඉතිහාසයේ කාල පරිච්ඡේද හතරක නොඉවසිමේ ඵල විපාක පිළිබිඹු කළ චිත්‍රපටයක් වූවා. බැබිලෝන් හි බිඳ වැටීම, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම, ප්‍රංශ ප්‍රොතෙස්තන්ත්‍රවරුන් සංහාරය සහ වර්තමාන කතාවක් එම කාල පරිච්ඡේද නිරූපණට කිරීම සඳහා තෝරාගෙන තිබුණා. ඉන්ටොලරන්ස් වාණිජමය වශයෙන් සාර්ථක වූයේ නැහැ. එයට හේතුව වුණේ ග්‍රිෆිත් ද බර්ත් ඔෆ් අ නේෂන් වගේම මෙයටත් නිෂ්පාදනය සඳහා අධික වියදමක් දැරීමයි. එම නිසා වැය වූ තරමට මුදල් උපයා ගැනීමට චිත්‍රපටයට අපහසු වුණා. ඔවුන්ගේ නිෂ්පාදන හවුල 1917 දි විසුරුවා හැරුණ නිසායින් ග්‍රිෆිත් ආර්ට්ක්‍රාෆ්ට් (පැරමවුන්ට් පික්චර්ස් හි කොටසක්) වෙතටද පසුව 1919 සිට 1920 දක්වා ෆස්ට් නැෂනල් සමාගම වෙත ගියා. ඒ කාලයේදීම ඔහු චාලි චැප්ලින්, මේරි පික්ෆෝඩ් සහ ඩග්ලස් ෆෙයාර්බැන්ක්ස් සමඟ යුනයිටඩ් ආර්ට්ස්ටිස් ආරම්භ කළා. යුනයිටඩ් ආර්ට්ස්ටිස් හි රැඳෙමින් ග්‍රිෆිත් දිගටම චිත්‍රපට නිර්මාණය කළත් ඒ එකකටවත් ද බර්ත් ඔෆ් අ නේෂන් ලැබූ බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට ළඟාවන්නට නොහැකි වුණා.

කෙසේ වුවත් යුනයිටඩ් ආර්ට්ස්ටිස් සමාගමක් ලෙස දිගටම පැවතුණා. ග්‍රිෆිත් එම සමාගම සමඟ හිටියේ ටික කාලයයි. ඔහුගේ සමහරක් පසුකාලීන චිත්‍රපට වාණිජමය වශයෙන් යම් තරමක සාර්ථකත්වයක් ලැබුවත් බොක්ස් ඔෆිස් ජයග්‍රහණ ඔහු සොයා පැමිණියේ නැහැ. මේ කාලයේ ඔහු නිර්මාණය කළ චිත්‍රපට වූ යේ බ්‍රෝකන් බ්ලොසම්ස් (1919), වේ ඩවුන් ඊස්ට් (1920), ඕපන්ස් ඔෆ් ද ස්ටේීම් (1921), ඩ්‍රිම් ස්ට්‍රීට් (1924), වන් එක්සයිටින් නයිට් (1922) සහ ඇමරිකා (1924) යි. මේවා අතරින් මුල් 3 පමණක් යම් බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් ලැබුවා.

ඉසන්ට් ලයිෆ් වන්ඩර්ෆුල් (1924) අසාර්ථක වීමත් සමඟම යුනයිටඩ් ආර්ටිස්ට් අතහැර යන්නට සිදු වුණා. ඔහු නැවතත් තමන්ට පුරුදු චිත්‍රපට අධ්‍යක්ෂණයට පමණක් යොමු වුණා. ග්‍රිෆිත් අර්ධ කතානාද චිත්‍රපටයක් වූ ලේඩි ඔෆ් ද පේමන්ට්ස් (1929) දී අධ්‍යක්ෂණය කළා. ඊට පසු ඔහු ඒබ්‍රහම් ලින්කන් (1930) සහ ද ස්ට්‍රගල් (1931) නමින් කතානාද චිත්‍රපට 2 කුත් නිර්මාණය කළා. මේ එකක්වත් සාර්ථක වුණේ නැහැ. ග්‍රිෆිත් ඉන් පසුව තවත් චිත්‍රපටයක් නිර්මාණය කළේ නැහැ.

ග්‍රිෆිත් අවසාන කාලයේ ලොස් ඇන්ජලීස් නුවර නිකර්බොකර් හෝටලයේ කාමරයක තනියම ජීවත් වුණේ. 1948 එක් දවසක ඔහු කාමරයේ සිහිසුන්ව සිටියදී සොයාගත් හෝටල් සේවකයින් ඔහුව හොලිවුඩ් හි රෝහලකට ගෙන යන අතරතුර මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමකින් මෙලොවින් සමු ගත්තා.

හැම චිත්‍රපටයකටම පැති දෙකක් තිබෙනවා. ඒ තමයි කතාව සහ කතාව කීමට භාවිතා කරන ශිල්පීය ක්‍රමය. මේ දෙපාර්ශවයෙන්ම සාර්ථක වීම ඕනෑම අධ්‍යක්ෂවරයෙක්ගේ නිපුණත්වය මනින පරීක්ෂණයක් වුවත්, ලොව විසූ ශ්‍රේෂ්ඨතම අධ්‍යක්ෂවරුන් වුවත් නිරන්තයෙන්ම මේ අංශ දෙකම ජයග්‍රහණය කළ අවස්ථා විරලයි. ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් විසින් භාවිතා කළ ශීල්පීය ක්‍රම චිත්‍රපටකරණයේ පදනම ලෙස සැලකුවත් ඔහුගේ සිනමා කෘති තුළින් ප්‍රකාශ කළ දේ නම් (කතා) බොහෝ විචාරකයන්ට අද අමතක වී තිබෙනවා.

‘අප සැමගේම ගුරුවරයා’ චාලි චැප්ලින් ග්‍රිෆිත්ව හැඳින් වූයේ එසේයි. මෙම මතය බොහෝ දෙනා පිළිගත් දෙයක්. ජෝන් ෆෝඩ්, ඇල්ප්‍රඩ් හිච්කොක්, ඔර්සන් වෙල්ස් වැනි විවිධ සිනමාකරුවන් බොහෝ විට ග්‍රිෆිත්ව ගෞරවයෙන් සිහිපත් කළා.

සිනමා ව්‍යාකරණය නව ශිල්පීය ක්‍රම ග්‍රිෆිත් මැවුවාද යන කරුණ පිළිබඳ සත්‍ය කතාව කෙසේ වුවත්, එම ශිල්ප ක්‍රම භාවිතා කරමින් අර්ථාන්විත (විභාවනාත්මක) භාෂාවක් නිර්මාණය කළ හැකි බවට මුලින්ම තේරුම් ගත්තේ ඔහු බවට නම් නොසැකවම කිව හැකියි. ඔහු විසින් නිර්මාණය කළ ද බර්ත් ඔෆ් අ නේෂන් තිරගතවීමත් සමඟම ජනප්‍රිය වුණේ එම ශිල්ප ක්‍රමවේදයයි.

ග්‍රිෆිත් ගේ ද බර්ත් ඔෆ් අ නේෂන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ නූතන ඇමරිකානු සිනමාවේ මූලාරම්භය ලෙසයි. ඔහුව සිනමා විදි වේදයේ පියා, හොලිවුඩ් නිමැ වූ මිනිසා, රිදී තිරයේ ශේක්ස්පියර් යන නම්වලින් හඳුන්වා තිබෙනවා. ඒ වාගේම ලයිට්ස් කැමරා ඇක්ෂන් යන වචන පෙළ ප්‍රථම වරට මිමිනූ මිනිසාත් ඔහුමය. 1910 දී ඉන් ඕල්ඩ් කැලිෆෝනියා චිත්‍රපටයේ දර්ශන තලයේදී ඔහු එය කියා සිටියා. ඒ වචන පෙළ වාගේම ඔහුගේ බොහොමයක් ශිල්පීය ක්‍රම අදත් හොලිවුඩ් හි බෙහෙවින් භාවිත වෙනවා.

සිනමාවේ වඩාත්ම බලපෑම් කළ අධ්‍යක්ෂවරයා ලෙස සිනමා ඉතිහාසයේ හරිමැද ග්‍රිෆිත් ගේ නාමය පවතින නමුත් ඔහු දායාද කළ ඒ උරුමය තවත් සම්පූර්ණයෙන් අවශෝෂණය කර ගැනීමට බොහෝ සිනමා විශ්ලේෂකයන්ට නොහැකි වී තිබෙනවා. එක් අතකින් ඔහු කථාන්තර / වෘත්තාන්ත සිනමාවේ පියා ලෙස අගය කෙරුණ අතර තව අතකින් ඔහුව දිගින් දිගටම ඇමරිකානු ඉතිහාසයේ පරම ජාතිවාදියා ලෙසට හෙළා දැක තිබෙනවා. ග්‍රිෆිත්ගේ සිනමා දිවිය වර්ණවත් කළ මානවවාදී ප්‍රගතිශීලී දැක්ම මේ විචාරකයින් විසින් එක්කෝ අඩු තක්සේරු කර හෝ නැතහොත් වරදවා (නොමඟ යවමින්) පෙන්වා දී තිබෙනවා. ග්‍රිෆිත් අපේ මාධ්‍යයේ අග්‍ර ප්‍රතිභාවන්තයා යැයි ඉහළින් අගය කළ ඔර්සන් වෙල්ස් ඇතුළු පරම්පරා ගණනක අධ්‍යක්ෂවරුන්ගේ ඒකමතික සම්මානනීය පිළිගැනීමක් වැදගත් කියා සලකන්නට අතපසු වී තිබූ කරුණකි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ විචාර පවතින සමාජයේ දේශපාන ප්‍රවාහයන්ට ග්‍රිෆිත් බැඳී තිබීම අවාසනාවක්. ජීවිත කාලය තුළම ග්‍රිෆිත්ගේ චිත‍්‍රපට වාමාංශිකයින් මෙන්ම දක්ෂිණාංශිකයින් විසින් මාරුවෙන් මාරුව පැසසුම් වලට මෙන්ම හෙළා දැකීමට ද ලක් වී තිබෙනවා. ඩී. ඩබ්ලියු. ග්‍රිෆිත් ගේ කලාව ලොව පුරා නිර්මාණ ප්‍රකාශනය පරිනාමනය (වෙනස්) කළේ චලන චිත්‍රපට 20 වෙනි සියවස සහ ඉන් ඔබ්බට කතා/වෘතාන්ත කිමේ ප්‍රමුඛතම ආකාරය බවට ස්ථාපිත කරමිනි.

PERSONAL QUOTE

මතකද මං එන්න කලින් ලෝකය කොච්චර පුංචි ද කියලා? මං හැම දෙයකටම ජවය දුන්නා. මං මුළු ලෝකයම අඩි 20 තිරයකට ගෙන ආවා.