වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ‘අපරාධය හා දඬුවම’ සනත් ගෙන ගියා ගෙන ගියාමයි

මගේ ‘අපරාධය හා දඬුවම’ සනත් ගෙන ගියා ගෙන ගියාමයි

රුක්මණී දේවියගේ අවසන් කටයුතු සිදු කළ මීගමුවේ සුසාන භූමියේදී මට මුල්වරට සනත් ගුණතිලක නම් නවක චිත්‍රපට නළුවා හඳුන්වා දෙනු ලැබුවේ අපේ සහෝදර සිනමා මාධ්‍යවේදියකු වූ ඩී. කීරගලආරච්චි (අද රත්නපුර සීලාලංකාර හිමි) විසිනි.

'මචං මේ සනත් ගුණතිලක'

සනත් මගේ අත තදින් අල්ලා ගත්තේය.

සනත් ගැන චිත්‍රපට අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී ද කියා තිබුණි. විජයගේ 'සිටු කුමරියෝ' චිත්‍රපටයෙනි සනත් සිනමාවට අවතීර්ණය වූයේ.

සනත් කෙනෙකු හඳුනාගතහොත් ඔහු සිය වසඟයට ගැනීමේ ගුරුකම දැන සිටියේය. ඔහු ඉතා කෙටි කලකින් සම්මානනීය නළුවෙකු, නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු, ශූර සංවිධායකයකු වූයේ මේ ගුරුකමෙනි. සිනමාවට පැමිණීමට පෙර ඔහු ගුරුවරයෙකි. ඒ ගුරුකමෙන් ද මේ ගුරුකමට ගුරහරුකම් ලැබෙන්නට ඇත. සරසවිය පුවත්පතේ හැමගේ සිත් දිනාගත් ප්‍රසන්න තරුණයෙකි ඔහු. නැඟී එන ඔහුට අපි සැවොම සහයෝගය දුනිමු. අපේ අනෙක් තරුණ නළුවන්ට වඩා ඔහු ඉදිරියෙන් සිටියේය. ඔහුට තම ගමන් මඟ ගැන න්‍යාය පත්‍රයක් තිබුණි. අනාගතය ඇති කෙනෙකුට එවැනි ලක්ෂණ පහළවීම සුබ ලක්ෂණයකි. මා එහි වරදක් දකින්නේ ද නැත.

1982 ජනාධිපතිවරණයේදී එ. ජා. පක්ෂ වේදිකාවට සනත් ගෙන ඒමට අගමැති ප්‍රේමදාස මහතා ගත් උත්සාහය සාර්ථක විය. ඒ සඳහා තෝරා ගත්තේ කොස්ගස් හන්දියේ දැවැන්ත රැස්වීමකි. සනත් ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසු ඔහු මගේ කොස්ගස් හන්දියේ නිවසේ නවත්වා අවශ්‍ය වේලාවට රැස්වීමට කැඳවා ගෙන ඒමේ කාර්යය ප්‍රේමදාස මහතා ටී. එම්. සංඝදාසට හා මට බාර දුන්නේය. කොස්ගස් හන්දියේ එතරම් ජනකායක් රැස්ව සිටි අවස්ථාවක් මා දැක්කේ 1977 ප්‍රේමදාස මහතා මැද කොළඹට තරඟ කළ අවස්ථාවේදීය. එදා සනත් තම කතාව සිතින් සැලසුම් කොට තිබුණි. සනත්ට මමත් දන්න කරුණු කියා දුනිමි. හිටි හැටියේ ප්‍රේමදාස මහතාගෙන් පණිවුඩය රැගෙන ආවේ සංඝදාසය. ඒ පණිවුඩයෙන් කියා තිබුණේ සනත්ට වේදිකාවට එන ලෙසය. අපි වේදිකාවට ගියේ මහ සෙනඟ පීරාගෙනය.

සනත් තමා හිතින් ගොනු කරගත් කරුණු අනුව පැහැදිලිව, සිත් කා වදින ලෙස ඉදිරිපත් කරන ලද කතාවට ජනාධිපති ජයවර්ධනගේත්, අගමැති ප්‍රේමදාසගේත් ප්‍රසාදය හිමි විය. එදා රැස්වීම බැලීමට මහින්ද රාජපක්ෂත්, තිවංක වික්‍රමසිංහත් පැමිණියේ ඔවුන් මේ මැතිවරණයේදි මුනිවත රැකීම හේතුවෙනි. විජය, කොබ්බෑකඩුව ජනාධිපති අපේක්ෂකයාට සහාය දුන් අතර අනුර පාක්ෂිකයෙකු වූ මහින්දට ඒ සඳහා කාලය මිඩංගු කිරීමට ඉඩ තිබුණි.

සනත් පොතපත කියවීමට රුචිකම් කළ අතර, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'විරාගය' නවකතවේ අරවින්දගේ චරිතය රඟපෑමට සිහින මවමින් සිටියේය. ඒ සඳහා ඔහු නොයෙක් වර තිස්ස අබේසේකරයන් උනන්දු කළේය. බම්බලපිටියේ සැන් ජෝසප් පාරේ ආනන්ද බස්නායකගේ නිවසේ සනත් නැවතී සිටි කාලයේ සිටම 'විරාගය' නම් සිහිනය සැබෑ කර ගැනීමට ඔහු කල්පනා කළේය.

සනත්ගේ සිහිනය සැබෑ විය. තිස්සට 'විරාගය' තිරයට ගෙන ඒමට නිෂ්පාදිකාවක් ලැබිණ. සනත් අරවින්ද ලෙස තෝරාගත් පසු ඔහු අප්‍රමාණ ලෙස ඒ සඳහා කැප විය. තමාට ලබුණු වාණිජ චිත්‍රපට රඟනොපා ඒ වෙනුවෙන් පරිත්‍යාග කළේය. මාස දෙකක් පමණ තම කාමරයට වැදී මනෝ විද්‍යාත්මක පොතපත ද මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ සියලු පොතපත කියවීය. දිනක් ඔහු මා සොයා ගෙදර පැමිණියේය.

'රන්ජිත්, මට කොහෙන් හරි 'අපරාධය හා දඬුවම' හොයා ගන්න ඕනෑ. හැම පොත් සාප්පුවකම බැලුවා ඒක නැහැ. ඔයා ගාව තියෙනවා නං මට දෙන්න. සුමානෙකින් මම ගෙනත් දෙනවා'.

'මා ගාව තියනවා. හැබැයි රජෝ සතියකින් මට ඕනෑ'.

ඔහු පොරොන්දු විය.

මා අගය කළ නැවත නැවත කියවන මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය කළ 'අපරාධය හා දඩුවම' ලෝබකමින් ඔහුට දුන්නේය. මේ 1986 වසරය. චිත්‍රපටයේ අවසාන දර්ශනය සඳහා සනත් ශරීරය කෘෂ වීම සඳහා ආහාර පාලනය කරමින් සැඟ වී සිටියේය. වෛද්‍ය රංග වික්‍රමසිංහ හා මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ උපදසේ අනුව ඔහු ඉතා කැමැත්තෙන්ම මේ කැපවීම කළේය. දුෂ්කර ක්‍රියා කළේය.

එහෙත් මගේ පොරොන්දුව ඉටු නොවීය. චිත්‍රපටය ද නිමා විය. ඒත් පොත දුන්නේ නැත. 1987 වසරේ එය තිරගත විය. ඒත් පොත දුන්නේ නැත. 1988 වසරේ සරසවිය සම්මාන උලෙළේ සනත් හොඳම නළුවා ලෙස සම්මාන ලැබීය. විරාගයට සම්මාන රැසක් ලැබිණ. ඒත් පොත ගැන කිසිම ප්‍රතිචාරයක් නැත. එම වසරේ ස්වර්ණ සංඛ සම්මාන උලෙළේ 90% සම්මාන හිමි වූයේ විරාගයටයි. විරාගයේ අරවින්දට එහිදී සම්මාන ලැබුණ ද මට පොත ලැබුණේම නැත.

මේ අතර සුනිල් මිහිඳුකුල සංස්කරණය කළ තිස්ස අබේසේකරයන් කලකට ඉහත විසිතුර, ගීතා, සරසි හා සරසවිය යන සිනමා පුවත්පත්වලට සිනමාලෝලී පාඨකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් සැකසූ විශේෂාංගය ඇතුළත් 'සිනමා සිතුවිලි' කෘතිය 2000 වසරේ දී ප්‍රකාශයට පත් විය. මෙම කෘතියේ පිට කවරය අඳින ලෙස සුනිල් කළ ආරාධනාව සාදරයෙන් මම පිළිගතිමි. එතැනින් නොනැවතුණු සුනිල් පොත දොරට වඩින උත්සවය මෙහෙයවන්නට දී මා ආදරණීය අමාරුවක ද දැම්මේය.

උත්සවයේදී ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අබේසේකර, සනත් ගුණතිලක කතා කළහ. සනත්ව හඳුන්වාදිමේදී මම මගේ 'අපරාධය හා දඬුවම' නැවත ලබා දෙන මෙන් ප්‍රසිද්ධියේ කියා සිටියේ එහි අතීත කතාව ද ඉදිරිපත් කරමිනි. සිද්ධීය වී වසර 14 ක් ගතව තිබෙන නිසා මගෙන් ගෙනගිය අනික් පොත් හා 'අපරාධය හා දඬුවම' ලබා දෙන මෙන් කාරුණිකව මතක් කළෙමි. මේ කතාව අසා හැමෝම සිනාසුණ අතර වඩාත් හඬ නඟා හිනා වුණේ තිස්සය. සනත්ගේ සිනා හඬ ඊළඟට ඇසිණි. ඒත් අද එදා සිට වසර 16 ක් ගෙවී ඇතත් එය ඉටු වී නැත. මේ ලිපිය බලා හෝ මගේ පොරොන්දුව ඉටු වේ යයි මම බලා සිටිමි'.

සනත් ගැන තව බොහෝ දේ ලිවීමට ඇතත් ඒවා ලිවීමට අපහසුය. ඒත් අපගේ මිත්‍රත්වයට එය බාධාවක් වී නැත. යාළුකමත් තියාගෙන පොත නොදීමට ඔහු ප්‍රවේශම් වෙයි.

මේ කාලයේ සරසවිය කර්තෘගේ ඉල්ලීම පරිදි මාත්, කැමරා ශිල්පී උපාලි ෆොන්සේකාත් 'සරසවිය' පින්තූර කතාවක් කිරීමට සැලසුම් කළෙමු. මේ සඳහා විජය, සනත් හා සබීතා තෝරා ගත් පසු මේ ගැන කීමට මම විජය හමු වුණෙමි.

'අපි කඳානේ ඇලරික් ප්‍රනාන්දුගේ ගෙදර පින්තූර ගම්මු' විජය මට යෝජනා කළේය.

අපි සනත් හා සබීතා ද උපාලි ද රැගෙන කඳානට ගියෙමු.

මගේ අතේ පින්තූර කතාවේ පිටපතය.

'දැන් රන්ජිත් කියන්න අපි කොහොමද ඉන්න ඕන' විජය මගෙන් ඇසීය.

මම අවස්ථාව කෙටියෙන් පැහැදිලි කළෙමි.

'දැන් තියෙන්නේ විජයට අතීතාවර්ජනය වන අවස්ථාවක්. සනත් සබීතාගේ ප්‍රේමය සමඟම විජයට පැරැණි සිදුවීමක් මතක් වෙනවා ජ්තචඵඩඡචජඬ එකක්. මම ඔවුන්ට අවස්ථාව පැහැදිලි කර දුන් අතර උපාලි කැමරාව සූදානම් කොට අවට පසුතලය සකස් කර ගත්තේය.

'කෙහොමත් ඇත්තටම ජ්තචඵඩඡචජඬ දුන්නේත් මම තමයි' කියමින් විජය, ඇලරික් හා ඔහුගේ බිරිය ඩොරින්ට කියා සිනාසුණේය. සනත් හා සබීතා ද සිනාවට එකතු වූහ. එදා දහවල් කෑම සූදානම් කොට ඉස්තරම් ආගන්තුක සත්කාර කිරීමට ඩොරින් ප්‍රනාන්දු කාරුණික වූවාය. තමාත් තම සැමියාත් සැම දෙයක්ම එදා කළේ විජය වෙනුවෙනි.

'රන්ජිත්ට මේක සිම්පල් කේස් එකක් මොකද මෙම ඇට් කරපු 'ලස්සන දවස' ෆිල්ම් එකේ සම අධ්‍යක්ෂවරයා මෙයානේ' විජය ඇලරික්ට පැරණි සිද්ධියක් මතක් කළේය.

1972 වසරේ නිමල් සිල්වා සහ මා සම අධ්‍යක්ෂණය කළ 'ලස්සන දවසක්' චිත්‍රපටයේ දර්නයක් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබුණ ද පසුව මම පුද්ගලික හේතුවක් නිසා චිත්‍රපටයේ කටයුතුවලින් ඉවත් වූවෙමි. විජය මතක් කළේ ඒ සිද්ධියයි.

පැරැණි සිදුවීම් ආවර්ජනය කරන විට මොරටුවේ සුනිල් ටී. ප්‍රනාන්දු මට කිසිදා අමතක කළ නොහැකිය. එය 1983 වසරය. චිත්‍රපට අධ්‍යක්ෂ ජෝ මයිකල් මගේ මිත්‍රයෙකි. ඔහු 'මද්දුම බණ්ඩාර' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සිටියේය. මේ චිත්‍රපටයේ නිෂ්පාදක ළාබාල වියේ ගැටවරයෙකි. පාසල් ජීවිතය අවසන් නොකොට තිබූ ඔහු වඩාත් නැඹුරු වුයේ සිනමාවටය. ජෝ මයිකල්ගෙන් හඳුනා ගත් සුනිල් එවකට මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේය.

සුනිල් ඉතා ඉක්මනින් මගේ පුංචි මිතුරා විය. ඔහු තම පියාට - මවට හා අයියාට මා හඳුන්වා දුන්නේය. සතියකට වරකවත් මොරටුවේ නිවසේ සිට සුනිල්ලා ගෙදරට ගියේ මගේ නිවස ද මොරටුවේ නිසාය. සුනිල්ගේ පියා වූ ඇන්තනි ප්‍රනාන්දු මුදලාලි මහතාට මොරටුව කුරුස හන්දිය ඉදිරියෙන් වූ පාර අයිනේම බේකරියක් විය. වැලන්ටයින් නම් එම බේකරිය මොරටුවේම ප්‍රසිද්ධය. එම බේකරියේ පිටුපස ඇති නිවසට මා කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර කළ අයුරු මට මතකය.

මෙහිදී සුනිල්ගේ ආදරණීය මව ගැන විශේෂයෙන්ම කිව යුතුය. ඇය මවක මෙන් මට කාරුණික විය. මා ඔවුන්ගෙන් සමුගත් එක් දිනක සුනිල්ගේ පියා මට මෙසේ කීවේ ඔහු ද ළඟට කැඳවාගෙනය.

'මම සුනිල්ව උගන්නලා ලොකු මිනිහෙක් කරන්න හැදුවේ. එයාට 'පික්චර් පිස්සුව' හැදුණනේ. ඔය අපේ චිත්‍රපටය හදන ජෝ මයිකල්ගේ 'සිරිල් මල්ලි' චිත්‍රපටය සුනිල් ඉගෙන ගත්ත මොරටුවේ සාන්ත සෙබස්තියන් ඉස්කෝලෙම ආධාර දර්ශනයට ගෙන්න ගත්තා. එදා තමයි ජෝ මයිකල් අපේ පුතාගේ ඔළුවට චිත්‍රපටයක් කරමු කියලා දාලා තියෙන්නේ. මට මහත්තයාව විශ්වාසයි. සුනිලුත් මහත්තයටයි, මෝනටයි ආදරෙයි. මහත්තයා මගේ පුතාව බලාගන්න'

එදා මගේ වැඩිහිටි මිතුරෙකු වූ ඇන්තනි මුදලාලි මහත්තයා අද ජීවතුන් අතර නැතත් ඔහුගේ ගුණ සුවඳ මැකී නැත. සුනිල්ගේ අයියා නිහාල් වැලන්ටයින් ප්‍රනාන්දුට ද පියාගේ මනුස්ස ගති එලෙස පිහිටා තිබේ.

සුනිල් ටී අද ශ්‍රී ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක් (64 ක්) නිෂ්පාදනය කර ඇත. තව චිත්‍රපට 5 කට දායක වී ඇත. ඔහු නිෂ්පාදනය කළ 'හැට හතර මායම්' ඔහුගේ 64 වැනි චිත්‍රපටයයි. සිනමා ක්ෂේත්‍රයේ අද නිෂ්පාදකවරයකු, සිනමා ශාලා හිමියකු, ප්‍රදර්ශකයකු වූ සුනිල් ටී. මට නම් එදා වසර 33 කට ඉහත දුටු සුනිල්මය. ඔහු යුතුකම් දන්නා මානව ගති පැවතුම්වලින් යුතු දුර්ලභ මිනිසෙකි.

මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් වාර්තාගත ආදි ශිෂ්‍යයන් දෙදෙනෙක් බිහිව ඇත. රොමේෂ් කළුවිතාරණ ලෝක වාර්තාවක් තැබූ ආද ශිෂ්‍යයෙකි. කලාව පැත්තෙන් ශ්‍රී ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කර වාර්තාවක් පිහිටුවා ඇත්තේ සුනිල් ටීය.