|
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී
රඹුකන සිද්ධාර්ථ හිමි සමඟ සසර දනව්වට පිවිසෙමු
හතළිස් වසරක් ගේයපද රචනයෙන් ද, නිර්මාණශීලී යති පරපුරකට නව මං පෙත් තනා දෙමින් ඉටු කරන ලද උත්තුංග මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමින් රඹුකන සිද්ධාර්ථ හිමියන් වෙත දැයේ බුහුමන් පුදන ‘සසර දනව්ව-හතළිස් වසරක ගීපද අසිරිය’ මේ මස 30 වැනිදා පස්වරු 2.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙයි. මේ ඒ කටයුත්ත හා උන් වහන්සේගේ හතළිස් වසරක කලා ජීවිතය සිහිපත් කරමින් කෙරෙන ආවර්ජනයකි. හාත්පස ම නිහඬ ය. මිදුලේ ඇති අන්දර ගසේ එල්ලී සිටින කණාමැදිරියන්ගේ එළි එක, දෙක නිවි නිවී දැල්වෙයි. වනවදුල නොවෙන්නට මෙලෙස කණාමැදිරියන්ට සිය අණසක පතුරුවන්නට කිසිවිටෙකත් ඉඩක් නොවන වග සිහිපත් වූ බැවින් සයිමන්ගේ මුවඟට නැග්ගේ සිනහවකි. ඈත පෙනෙන රඹුකන කඳුයායේ තුරුමුදුන් මතින් පෙරී මිහිකත සිප ගන්නට තනන සඳ කිරණේ චමත්කාරය නෙතේ උපදවන්නේ සොඳුරු හැඟීමකි. එකණෙහිම කවදාවත් නොවන අයුරෙන් අහස් කුසේ පායා තිබුණු සුවිසල් වෙසක් සඳේ අරුමයක් ඇතැයි සයිමන්ට සිතුණේ ඉබේම ය. කුලුදුල් දරු ප්‍රසූතියට සූදානම් ව සිටින සිය බිරියගේ වේදනාත්මක ස්වරය සයිමන්ට ඇසෙන්නා සේ ය. “දැන් ඈට දරුවා ලැබිලත් ඇති” සයිමන් තමන්ට ම මුමුනා ගත්තේ වැල් ඇඳේ එහාටත් මෙහාටත් පෙරළෙමිනි. “වෙසක් පෝය දවසේ ඉපදුණු මේ දරුවා මහණ කරන්න හොඳයි. ඒ නිසා අපි මේ දරුවට ආනන්ද කියලා නම තියමු.” අපේ කතා නායකයාට ගිහි කල ආනන්ද යන නාමය ලැබෙන්නේ එලෙසිනි. පුංචි ආනන්ද කුඩාකල පටන් ම ආත්තම්මාගේ අතේ එල්ලී පන්සලට ගියේ කිසිවකුගේවත් අණුදැනුමකින් තොරව ම ය. ගමේ බොහෝදෙනෙක් ඔහුව ඇමතුවේ ‘පිංකාරයා’ යන ආදරණීය නාමයෙනි. මේ පිංකාරයා ඔහු ඉදිරිපස හිඳ බණ කියන නායක හාමුදුරුවන් දෙස බලා සිටියේ ඇසිපිය නොසොල්වමිනි. කහපැහැති සිවුරේ පැහැය ඔහුගේ සිත බොහෝදුරක් රැගෙන ගියේ ය. “මම නිතරම හැදුණේ වැඩුණේ ආගමික පරිසරයක් ඇතුළේ. ආත්තම්මා පෝයදාට පන්සලේ සිල් ගන්න යනකොට මමත් ඇගේ පස්සෙන් පන්සලට ගියා. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එහාට මෙහාට යනවා බලාගෙන සිටියා. උන්වහන්සේගේ පෙනෙන්න තිබුණු දැවැන්ත ප්‍රතිරූපය මගේ හිතේ තදින් ම කා වැදුණා. අවසානයේ මේ ඇතිවුණු ආගමික නැඹුරුවයි මට පැවිදි වීමට පාර කියන්නේ.” රටක් දන්න රඹුකන සිද්ධාර්ථ හිමියෝ සිය හඬ අවධි කළහ. ඒ ගෙවුණු අතීතයෙන් වර්තමානයට පිවිසෙමිනි. ඈතින් ඇසෙන්නේ වැල්ලවත්ත සුදර්ශනාරාම පන්සලට පැමිණි බැතිමතකු ඝණ්ටාරය සෙලවීම නිසා නැඟෙන නාදයයි. බෝමළුවේ සිට පැමිණි සිහිල් සුළං රැළක් අප අසලෙන් ගලා ගියේ පණිවුඩයක් රැගෙන ය. ඒ අවසරයෙන් “හතළිස් වසරක ගී පද අසිරිය ගැන ළඟදී ම කෙරෙන මේ කතාබහ කුමක් ද?” ‘සසර දනව්ව’ නාමයෙන් නම්කර ඇති මේ උපහාර උලෙළේ තතු දැනගනු රිසියෙන් මම සිද්ධාර්ථ හිමියන්ගෙන් විමසීමි. “ මගේ හතළිස් වසරක ගීපද අසිරියයි මේ සැමරෙන්නේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි මේ උත්සවය පැවැත්වෙන්නේ. එදිනට මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා දේශනයක් කිරීමට නියමිතයි. ඊට අමතරව ආචාර්ය පණ්ඩිත් අමරදේව, අයිවෝ ඩෙනිස්, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලනී, ටී.එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, නීලා වික්‍රමසිංහ, සෝමතිලක ජයමහ, කරුණාරත්න දිවුල්ගනේ, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද චරිතා ප්‍රියදර්ශනී, අතුල අධිකාරී, සමිතා මුදුන් කොටුව, නිරෝෂා විරාජිනී, සන්ධ්‍යා බුලත්සිංහල, මිත්‍ර කපුගේ, දිස්නා අතපත්තු යන ගායක - ගායිකාවන් එදිනට ගී ගයාවි. සංගීත අධ්‍යක්ෂණයෙන් සහය වන්නේ සමන්ත පෙරේරායි. ඒත් සමඟම එදිනට මා ලියූ ගීත පනහක ස්වර ප්‍රස්තාරයි, ගීතරචකයෝ ලිව්ව විචාරයි ඇතුළත් පොතක් එළිදැක්වීමකුත් සිදුවෙනවා. මේ මාසයේ 30 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිදුවන මේ කටයුත්තේ අනුශාසකත්වය දරන්නේ බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්. උන්වහන්සේට අමතරව සංවිධායක මණ්ඩලයේ වත්තේවැවේ ධම්මානන්ද හිමි, වික්ටර් රත්නායක, කුලරත්න ආරියවංශ, එඩ්වඩ් ජයකොඩි, ප්‍රේම් දිසානායක ඇතුළු පිරිසයි කටයුතු කරන්නේ. ඔවුන්ගේ අදහසක් අනුව නොමිලේ ඉදිරිපත් කරන මේ උපහාර උලෙළට පැමිණෙන්න කියලා මා සියල්ලන්ට ම ආරාධනා කරනවා.” උත්සවාකාරයෙන් පැවැත්වෙන උපහාර උලෙළ පිළිබඳ උන්වහන්සේ සඳහනක යෙදුණහ. ගී ලියන හාමුදුරුවෝ නමින් අප හඳුනන සිද්ධාර්ථ හිමියන්ගේ සිත ගේයපද රචනයට යොමුවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ උගෙන ගන්නා සමයේ ය. ඒ පොතපත කියැවීමේ දී උන්වහන්සේට හමු වූ මහගමසේකරගේ මේ ගේයපද හදවතේ රැඳුණේ අපූර්වත්වයක් මතු කරමිනි.
“ඈත කඳුකර හිමව් අරණේ නල - දමයන්ති නාටකයේ ගීතය සිද්ධාර්ථ හිමියන්ගේ කවිසිත පිබිදී ය. උන්වහන්සේ නාමය මුල්වරට ජනතාව අතරට පිවිසෙන්නේ 1976 වසරේ ය. ඒ ආචාර්ය දයාරත්න රණතුංග සංගීතවත් කර ගායනා කළ ‘කල්ප කාල ගතවනතුරු - මෙතේ බුදුන් බුදු වනතුරු’ ගීතයත් සමඟිනි. එදා පටන් ම අද දක්වාත් සුභාවිත ගේයපද රචනයේ නියැළුණු සිද්ධාර්ථ හිමියන්ගේ ගීත කෙතට වසර හතළිහකි. “නිර්මාණකරුවකුගේ නිර්මාණ ජීවිතයට වසර හතළිහක් ගතවීම කියන්නේ සුළුපටු කාලයක් නොවෙයි. මේ ගතවුණු කාලය පිළිබඳ ඔබ වහන්සේට තිබෙන්නේ මොනවගේ හැඟීමක් ද?” “ගීතය කියන්නේ මිනිස්සු කැමැති ම ක්‍ෂේත්‍රයක්. ගීතයට ඇලුම් නො කරන කෙනෙක් අප අතර සිටින බවට මට විශ්වාස කළ නොහැකියි. ඒ වගේ ම මේ කලා මාධ්‍යය ඔස්සේ මිනිස්සුන්ගේ සිත සුවපත් කිරීමට කළ හැකි දේත් බොහෝයි. ඒ කාරණාව මූලික කරගෙනයි මා මෙතෙක් ගීත රචනයේ යෙදුණේ. ඒ අනුව මගේ අතෙන් ලියැවුණේ මව්ගුණ ගීත, පියගුණ ගීත, බොදුබැති ගීත, සමාජයට යහපත් දැනුමක් ලබාදෙන ගීතයි. ඒ නිර්මාණ මේ රටේ ජනතාව බොහෝ ආදරයෙන් වැලඳ ගත්තා. අදටත් ඔවුන්ගේ මතකයෙන් නො ගිලිහුණු ඒ ගීත නිර්මාණ පවසන්නේ මගේ හතළිස් වසරක ගී කෙතේ මහන්සියේ ප්‍රතිඵලයි. සුන්දරත්වයයි. මේ කාරණය සිහිපත් වනවිට මට දැනෙන්නේ නිරාමිස ප්‍රීතියක්. ” හතළිස් වසරක ගේයපද අසිරිය සිහිපත් කිරීම නිසා සිතට දැනුණු ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේ පැවසුවේ සිය නිර්මාණ ජීවිතයේ දිගු කාලපරිච්ඡේදයක් පිළිබඳ ය.
“ලා දලු බෝ පත් සෙමින් සැලෙන සේ කරුණාරත්න දිවුල්ගනේගේ ළයාන්විත ස්වරයත්, එච්.එම්.ජයවර්ධනගේ සංගීතය මඟින් ඇසෙන වයලීනයේ ස්වර කම්පනය අපගේ හදවතට දනවන හැඟීම කිසිවකුටත් වචනයට නැඟිය හැකිද? පැරැණි සාහිත්‍ය ආශ්‍රයෙන් මෙලෙස සෞන්දර්යාත්මක ව ගේයපද රචනයේ නියුක්ත වූ සිද්ධාර්ථ හිමියෝ හිමිනමක් ලෙස ගී කලා කෙත අස්වැද්දූහ. “හිමිනමක් ගේයපද රචනයට පිවිසීම පිළිබඳ වර්තමානයේ වෙසෙන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඒ තරම් ම සතුටු දායක නොවේ. මෙවැනි කාලයකත් එසේ වී නම් පැරැණි සමාජය ඔබ වහන්සේ ගේයපද රචනයට යොමුවීම දුටුවේ කෙසේ ද?” “ඒ කාලයෙත් භික්ෂුවක් කලා කටයුතුවල නියැළීම බොහෝදෙනෙක් අනුමත නො කළ බව ඇත්තයි. ඒ සඳහා ඔවුන් විවිධ කාරණා ගෙනහැර පෑවා. විශේෂයෙන් ම ‘නච්ච ගීත වාදිත.....’ වලින් වැළකිය යුතුයි කියන සිල්පදය දක්වමිනුයි විවිධ අදහස් පළකළේ. මෙහෙම සිල්පදයක් තිබුණත් බුදුහාමුදුරුවොත් ගීතයට ප්‍රියකළ ගීත ගැයූ ශාස්තෲන් වහන්සේ කෙනෙක්. ඒ බව පෙනෙන්නේ සිදුහත් තවුසා බුද්ධත්වය ලබාගත්තාට පසුව පැවසූ ගාථාවෙනුයි. උන් වහන්සේට ඇතිවුණු ප්‍රීතිය ප්‍රකාශ කළේ ‘අනේක ජාති සංසාරං....’ කියන ගාථාවෙන්. ගාථාවක් කියලා සිංහලෙන් කියන්නේ ගීතයකට. එහෙම නම් බෞද්ධ භික්ෂුවක් ගීත ලිවීමේ වැරැද්දක් මා දකින්නේ නැහැ. ඒ කාලයේ දි වුණත් මා ගීත රචනයේ නියැළෙනවාට කිසිම කෙනෙකුගෙන් ගැටලුවක් පැන නැඟුණේ නැහැ. මා ලියූ ගීත ඇසූ බොහෝදෙනා ඒ ආදරයෙන් වැලඳ ගත්තා. ඊට හේතුව ලෙස මා දකින්නේ ඒ ගීත ඇතුළත් වුණේ සුභාවිත ගීතයට වීමයි. මේ වනවිට එවැනි ගීත හයසියයක් පමණ මගේ අතෙන් ලියැවී තිබෙනවා.” උන් වහන්සේ පවසන්නේ ජනශ්‍රැතිය ඇසුරු කරගනිමින් ලියූ සුභාවිත ගීත ජන විඥානය පෝෂණය කරන බවකි.
“අව්වට වැස්සට හුරු මිනිසුන්නේ හැත්තෑවේ දශකයේ ලියැවුණු සුභාවිත ගීතය මෙන් සිද්ධාර්ථ හිමියන්ගේ ගේයපද ද ජන විඥානය පුළුල් කළේ ය. උන්වහන්සේ සිය පන්හිඳ මෙහෙය වූයේ මේ ගීතයේ මෙන් සමාජය කියැවීමට ය. “සමාජ සංශෝධනයේ ලා ගීත කලාව යොදා ගතහැකි යැයි ඔබ වහන්සේ විශ්වාස කරන්නේ ද?” “ලෝකයේ සෑම රටක් ම මෙතෙක් ගොඩනැඟුණේ ඒ රටේ සිටින ගොවියන්ගෙන් හා කම්කරුවන්ගෙන්. ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුය යන මතයේ මා කවදත් සිටියා. ඒ නිසා සමාජයේ දී මා දුටු, මගේ සිතට වදදුන් ප්‍රශ්න හා සංකල්ප ගීතය ඔස්සේ කියාපෑවා. ගීතය කියන්නේ ප්‍රබල කලා මාධ්‍යයක්. එය මිනිස්සු දැඩිව වැලඳ ගන්නවා. ඒ හරහා රසාත්මකව, ඊට මියුරු සංගීතයක් යෙදීමෙන් හා මියුරු ලෙස මේ විෂයයට ප්‍රවීණ වූ කෙනෙකු ලවා ගැයීමෙන්, සමාජයට කිවයුතු පණිවුඩය ඉදිරිපත් කිරීමටයි මා උත්සාහ ගත්තේ. මේ උත්සාහය අනෙක් ගීත රචකයන් පවා අවබෝධ කරගත් කාරණයක්. එය සමාජයට කලාකරුවකුගෙන් විය යුතු එක් රාජකාරියක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා ගීතය කියන්නේ සමාජයක් සංශෝධනය කිරීමට යොදාගත හැකි ඉක්මන් ම හා සුදුසු ම කලා මාධ්‍යයයි. ඒ මාධ්‍යය කොතරම් ප්‍රබල වුණා ද පැවසුවොත් සමහර ගීත වාරණයට පවා ලක්වුණු අවස්ථා අපේ ගීත ඉතිහාසයේ තිබෙනවා.” සිද්ධාර්ථ හිමියෝ එලෙස වාරණයට ලක් වූ ගීත කිහිපයක් සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර පෑමට ද අමතක නොකළහ.
“මලක මෙලෙක සිතා ගන්න සිද්ධාර්ථ හිමියෝ සිය ගේයපද අතරට සමාජ සංශෝධනය මෙන්ම ප්‍රේමය ද විෂය කර ගත්හ. උන්වහන්සේ ප්‍රේමය මඟින් යෞවන - යෞවනියන්ට ගෙනහැර පෑවේ අපූරු අදහස් පෙළකි. මලක් යනු සුවඳ ගෙනෙන, පැහැපත් බවෙන් යුත් පරිසරයට අලංකාරය ලබාදෙන්නකි. එවැනි සියුමැලි මල් නෙළිය යුත්තේ පරෙස්සමෙනි. මන්ද පොඩි වී විනාශ විය හැකි බැවිනි. පෙම් කළ යුත්තේ ද එලෙස ම බැව් සිද්ධාර්ථ හිමියෝ නොකියා කියති. “ගේයපද රචනා කිරීමේ දී ගීතයේ දී බහුල ලෙස යොදා ගැනෙන ප්‍රේමය, ආදරය වැනි කාරණාත් පාදකකර ගනිමින් ගී ලියන්නට ඔබ වහන්සේට කැප ද?” “යතිවරයන් වහන්සේ කෙනෙකුට වුණත් ප්‍රේමය පිළිබඳ ලිවිය හැකි බවයි මා සිතන්නේ. ඒ යම් සංයමයකින් යුක්තවයි. මා ලියූ එවැනි ප්‍රේම ගීත කිහිපයක් ම තිබෙනවා. වික්ටර් රත්නායක මහතා ගයන ‘කඳුළු පැන් කඳුළු පැන් කෙණ්ඩියක්...’ ගීතය මඟින් මා අමතන්නේ තරුණ පිරිසටයි. යොවුන් වියේ වෙසෙන තරුණ - තරුණියන් ප්‍රේමයෙන් බැඳුණාට පස්සේ ඔවුන්ට අමතක වන ජීවිතයේ එක් පැතිකඩක් පිළිබඳයි මා ඒ ගීතයෙන් ඉඟි කරන්නේ. ආදරය කිරීමෙන් පසුව ඇතුළු වන විවාහ ජීවිතය කොයිතරම් ගැඹුරු ද කියලයි මා ඔවුන්ට මතක් කර දෙන්නේ. අප සිතන තරම් ජීවිතය සරල නොවන බවයි මා ඔවුන්ට පසක් කරන්නේ.”
අසා සිටීමටවත් නොහැකි ප්‍රේමයේ අඳෝනා ඇසෙන මෙවැනි යුගයක සිද්ධාර්ථ හිමියෝ ලියූ
එවැනි ගීත දෙසවනේ ඇති කරන්නේ සොඳුරු නින්නාදයකි.
“කඳුළු හෙළා නෑඹිලියට දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය අපගේ සිතේ මවන චිත්තරූපය කොපමණ මනරම් ද? එහෙත් අද අප ජීවත් වන්නේ මෙවැනි ගීතයක් අසා නටන තරම්, රස වින්ඳනයක් තිබෙන සමාජයකයි. “වර්තමානය වනවිට සුභාවිත ගීතය අපෙන් ඈත්වන බවකුයි පෙනෙන්නේ. එසේ වීමට හේතු වූ කාරණා මොනවා ද?” “සිංහල ගීතය පෝෂණය කිරීමේ ලා ඉවහල් වූ එක් සාධකයක් වන්නේ සුභාවිත ගීතයයි. මිනිසාව ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නට නම් සුභාවිත ගීතය අපට අවශ්‍යයයි. එවැනි සුභාවිත ගීත කලාවක් අපට තිබුණා. මෑත කාලයේදී එය කෙමෙන් මෑත්වන බවක් පෙනෙනවා. ඊට මූලික ම හේතුව ලෙස මා දකින්නේ විවෘත ආර්ථිකයේ පැමිණීමයි. විවෘත ආර්ථිකය පැමිණීමට පෙර සුභාවිත ගීතය බොහොම හොඳ ස්ථානයකයි තිබුණේ. පාසලේ, විශ්වවිද්‍යාලයේ භාෂාව, සාහිත්‍යය සඳහා මනා ඇල්මක් - බැල්මක් නිර්මාණය වී තිබුණා. පිබීදීමක් තිබුණා. විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ ඒ තත්ත්වය නැතිවුණා. එහිදී මූලිකත්වය හිමිවුණේ මුදලටයි. මුදල්වලට මූලිකත්වය ලැබෙන ඕනෑ ම තැනක ආධ්‍යාත්මික සත්‍ය හීන වෙනවා. ඒ ඔස්සේ සුභාවිත ගීත කලාව පමණක් නොවෙයි රටේ අනෙක් අංශවල දකින්නට ලැබෙන්නෙත් පිරිහීමක්.” “බොහෝ කාර්යබහුල බවකින් එහා මෙහා යන සමාජයකට යමක් පසක් කරදීමට සුදුසු ම කලා මාධ්‍ය ලෙස ඔබ වහන්සේ නම් කරන්නේ කුමන කලා මාධ්‍යය ද? “අද මිනිස්සුන් බොහොම කාර්යබහුලයි. ඔවුන්ට බණ අහන්න අවශ්‍ය වුණත් ඒ සඳහා කාලයක් නැහැ. එහෙත් ගීතයේ තිබෙන අරුමය වන්නේ ගීතයෙන් බණ කියන්නට හැකිවීමයි. ඔවුන්ට කිවයුතු දහම් කාරණා ගීතය ආශ්‍රයෙන් කිව හැකියි. ආයාසයෙන් තොරව නිරායාසයෙන් සවන් දිය හැකි වන්නේ මේ ගීතය නමැති කලා මාධ්‍යයට පමණයි. අවිවේකී සමාජ පරිසරය ජයගත් කලා මාධ්‍යයක් ලෙසයි මා ගීතය දකින්නේ.” අනෙකුත් කාර්යයක නියැළී සිටිය ද රස විඳීමට හැකි එක ම කලා මාධ්‍යය වන්නේ ගීතයයි. එය වර්තමානයට බෙහෙවින් වටින අදහසකි. “නිර්මාණශීලී යති පරපුරකට නව මං තනා දුන්නේ ඔබ වහන්සේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේ කිහිපනමක්. එහෙත් අද භික්ෂුන් වහන්සේලා ගේයපද රචනයේ දී ඉන් ඔබ්බට ගොස් කටයුතු කරන බවකුත් පෙනෙනවා. මෙහෙම වන්නේ ඇයි?” “සුභාවිත ගීතය වෙනස් වීමට බලපෑ විවෘත ආර්ථිකය අපේ අනෙක් සියලු ම අංශවලටත් විවිධ බලපෑම් කළා. අපි ආහාරයට ගන්න ආහාර පවා නිර්මාණය වුණේ වස විෂ ආශ්‍රයෙන්. ඇඳුම් - පැලඳුම්, කතාබහ ආදී සියලු දේවල්වල තිබෙන්නේ විකෘති බවක්. ඉතිං මේ තත්ත්වය බලපෑම් කළේ ගිහියන්ට පමණක් නොවෙයි. එය එක ලෙස ම පැවිදි පාර්ශ්වයටත් එල්ල කළේ දැඩි බලපෑමක්.” උන් වහන්සේ පවසන්නේ වර්තමානයේ තිබෙන සමාජ විපර්යාසයයි. මේ විපර්යාස මැද සිද්ධාර්ථ හිමියෝ නොසෙල් වී සුපුරුදු ලෙස සිය ගමනේ යෙදෙති. ඒ අතර අතීතය සිහිපත් කරමින් ඒ රඹුකන සොඳුරු ගම්මානයට ද පිවිසෙති. එකල දුවපැන නැටූ වෙල්ඉපනැල්ල උන්වහන්සේට සිහිපත් වෙයි. ඒ වෙල්යාය මැදින් ආත්තම්මා සමඟ පන්සල දෙසට යන අයුරු ඇඳීි නෑඳී යයි. කුඩා කළ රාත්‍රියේ පැල්පත සොයාඑන ගොම්මන් කළුවර අතරෙන් කණමැදිරි එළියක් සේ දිලෙන පහනේ ආලෝකයෙන් ‘යශෝධරාවත’ කියවන අයුරු ඇසෙන්නා සේ ය. ආත්තම්මාගේ බණපද ඇසෙන්නා සේ ය. ඒ බණපද ඇසුරෙන් ලියූ මේ ගීතය උන්වහන්සේට සිහිපත් වන්නේ නිතැතිනි. එය අසන්නට එදිනට පැමිණෙන්නැයි සිද්ධාර්ථ හිමියන් ඔබ සැමට යළි ආරාධනා කරන්නේ හෘදයාංගමව ය. උන් වහන්සේගෙන් සමුගන්නට මත්තෙන් එදිනට ගැයෙන ඒ ගීතයේ පද මම සෙමෙන් මුමුනමි.
“බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති
|