වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා කතාවේ අලුත් පිටුව

දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා කතාවේ අලුත් පිටුව

සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථකයි කියන මතයෙයි බොහෝ අය සිටින්නේ. එහිදී මටයි, කුසුම්ටයි කියන්න වුවමනා වුණේ ඒක එහෙම නොවෙන බවයි. ඊට වඩා ආදර්ශවත් පවුල් ජීවිතයක් අප වැනි අයට තිබෙන බවයි. ඒ නිසයි අප මංගල ඡායාරූපයක් පවා ගන්නේ. ඉන් කියැවෙන්නේ විවාහය කියන දැවැන්ත කාරණය ඇතුළේ තවමත් එහි වටිනාකම අපේ ජීවිතයේ තිබෙන බවයි. කලාකරුවන්ගේ ජීවිත ශක්තිමත්. ඊට හේතු වන්නේ අප අතර තිබිය යුතු අන්‍යෝන්‍ය අවබෝධයයි.

සයිමන් නවගත්තේගමගේ ‘පණ්ඩුකාභය’ වේදිකා නාට්‍යයේ පුහුණු වීම්වලට ශ්‍රියන්ත තරුණයා ගියේ බොහොම සතුටෙන්. ඒ සතුටට කාරණා කිහිපයක් මුල්වුණා. ඉන් එකක් වුණේ මීට ඉස්සර නාට්‍ය කිහිපයකදි ම මුණ ගැහිලා තිබුණු සුන්දර යුවතිය මේ නාට්‍යයටත් පැමිණ තිබීම. ටික දවසක් යනකොට නිතර නිතර තමන්ටත් නොදැනි ම ශ්‍රියන්තගේ දෙනෙත් ඈ ළඟ නතර වුණේ ඉබේට ම.

තමන් එක්ක රඟපාන මේ සුන්දර තරුණයාගේ දෙනෙත් වරින්වර මොකක් ද කතාවකට අරඅදින වගකුයි ඈට හැඟුණේ. ශ්‍රියන්තගේ ඒ කතාව අතර අතරමං වුණු දැරිය වටපිට බැලුවේ ලැජ්ජාවෙන්. එහෙම වුණත් ඇගේ දෙනෙත් අතර ඇඳුණු හීන් හිනාව ශ්‍රියන්තට අපූරු උත්තරයක් දුන්නා. ඒ උත්තරයට ලැබුණු පිළිතුරක් වගේ ‘පණ්ඩුකාභය’ නාට්‍යයේ උන්මාද චිත්‍රාගේ චරිතය ලැබුණේ ශ්‍රියන්තගේ හිතගිය යුවතියට. දීඝ ගාමිණී වුණේ ශ්‍රියන්ත. දෙන්නාගේ හැඳුනුම්කම ආදරයකට පෙරළෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ශ්‍රියන්ත තමන්ගේ හිතට එන ප්‍රේමණීය කාව්‍යාත්මක අදහස යුවතියට පවසන්නට හිතාගෙන ඈ අතේ නවකතා පොතක් තිබ්බා.

‘ගැහැනු ළමයි’

ශ්‍රියන්තට ‘ගැහැනු ළමයි’ නවකතාවේ කුසුම්ව හමුවුණේ ඒ විදියට.

ඔබගේ ආදරය දිනුව ශ්‍රියන්ත මෙන්ඩිස් - කුසුම් රේණු යුවළගේ ආදර අන්දරය පටන් ගන්නේ එහෙම. අද ඔවුන් විවාහ වෙලා හරියට ම අවුරුදු තිහක්. ඒ මේ මාසේ විසිපස් වැනිදාට. පසුගිය දවස්වල මේ යුවළ නැවතත් විවාහ වුණා.

කුසුම්, ඇයි දැනට වසර තිහකට කලින් වගේ නැවතත් විවාහ වෙන්න සිතුණේ?

නැවතත් විවාහ වෙනවා කියන අදහසක් අපේ හිතකවත් තිබුණේ නැහැ. නමුත් රූපලාවණ්‍ය හා ඇඳුම් නිර්මාණවල නියැළෙන දක්ෂ ළමයින් කිහිපදෙනෙකුගේ ඉල්ලීමක් අපට අහක දමන්න බැරිව ගියා. ඔවුන්ගේ අදහස් පැවසුවාට පස්සේ ඒ ගැන අපගේ සිත්වලත් යම් කැමැත්තක් ඇතිවුණා. නව පරපුරේ දක්ෂයන්ට ශක්තියක් වෙමු කියන අදහසෙන් මාත්, ශ්‍රියන්තත් ඔවුන්ගේ අදහස පිළිගත්තා. ඔවුන් සියලු දෙනායි මේ කටයුතු සංවිධානය කළේ. මේ අදහස ගෙනාව ප්‍රනීත් රණවීර පුතායි මගේ උඩරට ඔසරිය නිර්මාණය කළේ. ශ්‍රියන්තගේ ඇඳුම සඳකඩ නිලමේ ඇඳුම් ආයතනයෙන් ලැබුණා. මේ ඇඳුමට අමතරව (17 වැනිදා) යුරෝපීය ඇඳුම් කට්ටලයකිනුත් අප සැරසුණා. අපි දෙන්නාව ම හැඩගැන්වුවේ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකු වුණු ලක්කිත උක්වත්ත. ලොකේෂන් තිබුණේ ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ ‘D-Pavillion’ කියන සුන්දර හෝටලයේ.

දෙදෙනාගේ ගැළපීම් තවමත් ඒ වගේ ම ද?

ඒ කාලයේ මා, කුසුම් සමඟ විවාහ වුණේ පොරොන්දම් බලලා නොවෙයි. ඒත් විවාහ වුණාට පස්සේ අපි පොරොන්දම් බැලුවා. ඒවා සියල්ල ගැළපිලා තිබුණා. මා හිතන්නේ ඒ නිසා ම වෙන්න ඇති තවමත් මගෙයි, කුසුම්ගෙයි ආදරණීය බැඳීම අප අතර තිබෙන්නේ. අදටත් අපේ ආදරය එදා වගේමයි. එදා පටන් ම අද දක්වාමත් අපි දෙදෙනා, දෙදෙනාට ම ගරු කරනවා. ඒ අතරතුර ඉතිං පවුලක රණ්ඩු දබර ඇත්තේ ම නැත කියලා කිව්වොත් ඒක බොරුවක් වෙනවා. හැබැයි ඒ රණ්ඩු සිදුවන්නේ නිතර ම නම් නොවෙයි.

ඔබ දෙපළ ම රංගන ශිල්පීන් වීම නිසා කැපකිරීම් සිදුවුණේ කුමන ආකාරයෙන් ද?

වැඩිපුර ම කැප කිරීම් කළේ කුසුම්. එහි ගෞරවය හිමිවිය යුත්තේ ඇයටයි. මොක ද කාලයක් රංගනයෙන් පවා සමුගන්නට ඇයට සිදුවුණා. අප දෙදෙනා ජීවිතය ගොඩනඟා ගත්තේ මල් අතුල මාවතක් ඔස්සේ ඇවිදගෙන ගොස් නොවෙයි. කටුකොහොළින් පිරුණු ජීවිතය සෙමෙන් සෙමෙන් ජය කණුව දක්වා රැගෙන ගියේ අප දෙදෙනාගේ මහන්සියෙන්. ඒ සියල්ල අප කළේ සාධාරණ ලෙස කලා කටයුතුවල නියැළීමෙන්. අද මෙවැනි සැප පහසු ජීවිතයක් ගත කරන්නේ එහි ප්‍රතිඵලයක් විදියටයි. අද වනවිට අප සතුව තැන්පත් ධනයක් නොමැති වුණත් දැනෙන්නේ ආඩම්බරයක්.

බිරියක් ලෙස ඔබට අවශ්‍ය ම වෙලාවලදි සැමියා තමා අසල නොවීම නිසා දැනුණු හැඟීම මොනවගේ ද?

මගේ ජීවිතයේ මූලික ස්ථානය මා දුන්නේ සැමියාට හා පවුලටයි. ශ්‍රියන්ත බොහොම කාර්යබහුල කෙනෙකු විදියට නිතර ම මා අසලට වී කාලය ගත කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙත් පැමිණෙන සියලු දුක - සැප මැදහත් සිතෙන් විඳ දරා ගනිමින්, ජීවත්වීමට මට තිබුණේ ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක්.

වසර තිහක් කියන්නේ දිගු කාලයක්. විශේෂයෙන් ම එය කලාකරුවකුට සුවිශේෂයි. මොක ද අද විවාහ වී හෙට දික්කසාද වන කාලයකයි ඔබ දෙපොළ මේ එක්ව වසන්නේ?

සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථකයි කියන මතයෙයි බොහෝ අය සිටින්නේ. එහිදී මටයි, කුසුම්ටයි කියන්න වුවමනා වුණේ ඒක එහෙම නොවෙන බවයි. ඊට වඩා ආදර්ශවත් පවුල් ජීවිතයක් අප වැනි අයට තිබෙන බවයි. ඒ නිසයි අප මංගල ඡායාරූපයක් පවා ගන්නේ. ඉන් කියැවෙන්නේ විවාහය කියන දැවැන්ත කාරණය ඇතුළේ තවමත් එහි වටිනාකම අපේ ජීවිතයේ තිබෙන බවයි. කලාකරුවන්ගේ ජීවිත ශක්තිමත්. ඊට හේතු වන්නේ අප අතර තිබිය යුතු අන්‍යෝන්‍ය අවබෝධයයි. සැමවිට ම බිරිය, සැමියාගෙන් ආදරයත්, සැමියා, බිරියගෙන් ගෞරවයත් බලාපොරොත්තු වන නිසා මේ කාරණා දෙක පරිස්සමෙන් බෙදා ගන්න පුළුවන් නම් වසර තිහක් නොවෙයි තුන්සියයක් වුණත් ඉන්න පුළුවන්.

විවාහ සැමරුම් දිනය විශේෂ වීමට තවත් හේතුවක් බලපානවා?

ඒ ශ්‍රියන්තගේ උපන්දිනය යෙදිලා තිබුණේත් අප විවාහ වූ දිනයේදී වීමයි. මේ දිනය සිහිපත් කරමින් අපි ගල්කිස්සේ මෙත්සෙවණ ළමා නිවාසයට දානයක් දුන්නා.‍

ඔබට මේ වනවිට ජීවිතය දැනෙන්නේ කුමන ආකාරයකට ද?

අද වනවිට මා හා කුසුම් බොහොම සැහැල්ලුවෙනුයි ජීවිතය ගෙවන්නේ. වැඩිමහල් දියණිය විවාහකයි. දෙවැනි දියණිය විවාහ වීමේ අභිමුඛවයි ඉන්නේ. ඒ වගේ ම මිනිපිරිය කැත්ලින් අපට ඔටුන්නක්. මේ සියලුදෙනා ම එකතු වූ තැන අපේ පවුල බොහොම ශක්තිමත්.

ඉදිරි ජීවිතය ගෙවීමට අදහස් කරගෙන සිටින්නේ කෙලෙස ද?

අපි මේ ජීවත් වන්නේ සැදෑ කාලයේ. ඒ වුණත් ශ්‍රියන්තගේ ඕනෑ එපාකම් මමත්, මගේ ඕනෑ එපාකම් ශ්‍රියන්තත් නිරන්තරයෙන් ම සොයා බලනවා. ඒ වගේ ම මා මේ වනවිට ගෙවන්නේ ධර්මානුකූල දිවිපෙවතක්. ඒ දිවිපෙවතට ඔහුගෙන් ලැබෙන්නේ අප්‍රමාණ සහයෝගයක්. ඊර්ෂයාව, වෛරය, ක්‍රෝධය වගේ සිතුවිලි අප අතර නැහැ. යහපත් දේ හඳනා ගනිමින්, සමාජයට යහපත් දේ දායාද කරමින් ජීවත්වීමයි අපේ අවසන් පැතුම වන්නේ.

එහෙම පැවසුව කුසුම් - ශ්‍රියන්ත දෙස බැලුවේ බොහොම ආදරණීයව. හෙමිහිට ශ්‍රියන්ත කුසුම්ගේ අත අල්ලා ගත්තා. ඒ මීට වසර තිහකට කලින් ශ්‍රියන්ත, කුසුම්ගේ අත අල්ල ගත්ත දවසේ වගේ.