වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මේ තිර රචනය ලිව්වේ දවස් දෙකකින්

මේ තිර රචනය ලිව්වේ දවස් දෙකකින්

සුජාත පුත්‍ර ලියූ නිහාල් ප්‍රේමවන්ද්‍ර

අපූරු කතා පුවතක් ගැන කියන ‘සුජාත පුත්‍ර’ ළමා චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ළමා ලෝකයේ සිතුවිලි දෙස නව මානයකින් බලමින් ‘සුජාත පුත්‍ර’ චිත්‍රපටයේ තිරරචනය කර තිබෙන්නේ නිහාල් ප්‍රේමචන්ද්‍ර විසින්. කලා ක්ෂේත්‍රයේ හැකියාවක් රැසක් හිමි ඔහු වඩා ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙසින්. ‘සුජාත පුත්‍ර’ තිර රචනය වගේම එදා මෙදාතුර කලා ක්ෂේත්‍රයේ පැමිණි ගමනේ මතක සටහන් නිහාල් ‘සරසවිය’ සමඟින් බෙදා ගත්තේ මෙලෙසින්.

‘සුජාත පුත්‍ර’ චිත්‍රපටයේ තිරපිටපත රචනය සිදු වූණේ කොහොම ද?

ලෝක ළමා දිනය වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න මගේ හිතවතුන් පිරිසක් සූදානම් වුණා. නමුත් එයට තිබුණේ ඉතාම කෙටි කාලයක්. ‘සුජාත පුත්‍ර’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය වගේම සංස්කරණ කටයුත්ත ඉටු කළ සංකල්ප දසනායක මගේ හිතවතෙක්. මට මේ වෙනුවෙන් කතාවක් ලියන්න ආරාධනා කළේ ඔහු තමයි. තවත් කිහිප දෙනෙක්ම මේ වෙනුවෙන් තිර රචනා කළත් අවසානයේ ඔවුන්ගේ තේරිම වුණේ මගේ තිරපිටපතයි. ඒ වෙනුවෙන් මට ගත වුණේ දවස් දෙකක්. ඒ නිසා ‘සුජාත පුත්‍ර’ චිත්‍රපටයේ තිරපිටපත රචනය ඉතා සුවිශේෂි කටයුත්තක්.

‘සුජාත පුත්‍ර’ සිනමා නිර්මාණයට වස්තූ බීජය වුණේ ඔබ ලද අත්දැකීමක් වෙන්න ඇති?

මේ සිදුවීම මගේ හිතට ක්ෂණිකව ආ අදහසක්. පියාගේ වියෝවෙන් පසුව මව සමඟින් ජීවත් වෙන සුමුදු නම් මේ පුංචි දරුවා වටා සිදුවන විස්මිත සිදුවීමක් සමඟින් ‘සුජාත පුත්‍ර’ සිනමාපටය දිගහැරෙනවා. පුංචි දරුවෙක් මේ වගේ උත්සාහයක් ගත්තොත් අනාගතයේදී ඔහුට කරන්න තවත් දෙයක් ඉතුරු නොවේවි. මුළු ලෝකයේම දරුවන් මේ වගේ වුණොත් ලෝකය ස්වර්ගයක් වේවි.

අද තිරරචකයෙක් ලෙසින් ජනප්‍රිය ඔබ කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ නළුවෙකු ලෙසින්?

ඊටත් පෙර 1970 දශකයේ මම කලා ක්ෂේත්‍රයට පැමිණියේ චිත්‍ර ශිල්පියෙක් ලෙසින්. මගේ තාත්තාත් චිත්‍ර ශිල්පියෙක්. ඒ කාලයේ ලොකුම ආසාව වුණේ චිත්‍ර අඳින එක තමයි. පාසලේ විෂයක් විදියටත් චිත්‍ර විෂය ඉගෙන ගත්තා. ඒ කාලයේ චිත්‍ර කතා හරිම ජනප්‍රිය යි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මමත් චිත්‍රකතා පත්තර කිහිපයකටම චිත්‍ර කතා ඇන්ඳා. වෑවල නිහාල් ප්‍රේමචන්ද්‍ර කිව්වම හැමෝම දන්නවා. ඉන් පසුව චිත්‍රකතා කලාව නැති වෙලා ගියා. ටෙලි නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා.

ඒ වෙනකොට රංගනය ගැන ආසාවකුත් මගේ හිතේ ඇති වෙලා තිබුණේ. සිනමාවට යොමු වෙන්න මූලික වුණේ ඒ ආසාව තමයි. මුලින්ම දායක වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට. ඉන් පසුව කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහත්මයා මට වර්තමාන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ ප්‍රියංකර පෙරේරා සමඟින් ‘දුර්ගා’ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් දුන්නා. මේ වනවිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර, චන්ද්‍රරත්න මාපිටිගම, ප්‍රසන්න විතානගේ, උදයකාන්ත වර්ණසූරිය වැනි ලංකාවේ ප්‍රකට සිනමාකරුවන් රාශියකගේ නිර්මාණවල රඟපාන්න මට අවස්ථා ලැබිලා තියෙනවා. ඒ වගේම සුනිල් සෝම පීරිස්, දයානන්ද ජයවර්ධන වැනි අධ්‍යක්ෂවරුන් මට ගොඩක් උපකාර කළා.

තිර රචනයට යොමු වුණෙත් මේ කාලයේදීද?

චිත්‍රකතා රචනා කරනවා කියන්නෙත් හරියට තිර රචනයක් ලියනවා වගේ කටයුත්තක්. මේ වන විට මා ළඟ තිර රචනා බැංකුවක් තියෙනවා. විවිධ තේමා යටතේ රචනා වූ චිත්‍රපට රැසක් ඒ අතරට ඇතුළත්. නමුත් ඒ අතරින් වෘත්තාන්ත සිනමා නිර්මාණයක් ලෙසින් තිරගත වු ප්‍රථම චිත්‍රපටය වෙන්නේ ‘සුජාත පුත්‍ර’ චිත්‍රපටය යි.

ඊට අමතරව මගේ කලා ජීවිතය නවකතා රචනයටත් කාල වෙන් කරලා තියෙන්නේ. මගේ ප්‍රථම නවකතාව ‘සිරි දෙව්දුව’. තවත් නවකතා කිහිපයක්ම රචනා කළත් එළි දැක්වූයේ ‘සිරි දෙව්දුව’ විතරයි. ඒක ගොඩක් ජනප්‍රිය වුණා.

ඩීවිඩි චිත්‍රපට නිර්මාණකරණය තුළත් ඔබට විශේෂ තැනක් හිමියි?

ඩීවිඩි චිත්‍රපට නිර්මාණකරණයට පිවිසුණේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න තියෙන ආසාව නිසාමයි. කපිල ප්‍රේමවංශ කියන මගේ මිතුරෙක් තමයි ඒ වෙනුවෙන් මට උදව් කළේ. ‘ජොලි වැඩකාරයෝ’ නමින් මගේ ප්‍රථම ඩීවිඩි චිත්‍රපටය නිකුත් කළා. තිර රචනය, අධ්‍යක්ෂණය විතරක් නෙවෙයි ප්‍රධාන චරිතයට රංගනයෙනුත් දායක වුණේ මම. ඒ ඩීවිඩි චිත්‍රපට ආපු මුල් කාලය. ඩීවිඩී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් අතරේ මම පස් වැනියා හෝ හය වැනියා වෙන්න ඇති. ත්‍රිරෝද රථ කණ්ඩායමක් ගැන කියවෙන එය ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ කාලයේ බොහෝ දෙනා මට කතා කළේත් චිත්‍රපටයේ නම වුණු ‘විජේ’ නමින්. ඉන් පසුව මම ඩීවීඩි චිත්‍රපට විස්සක් විතර කළා. තිර රචනය, අධ්‍යක්ෂණය වගේම රංගනයටත් දායක වුණා. නීරෝ ඩීවීඩි අලෙවි සැලේ පාරින්ටර් මහතා ඩීවීඩි චිත්‍රපට නිර්මාණකරණයේදී මට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඩීවිඩි චිත්‍රපට නිර්මාණකරණයට සාර්ථක කර්මාන්තයක්?

හැම වෙලාවෙම ඒක සාර්ථක නැහැ. ඇතැම් වෙලාවට ලාභදායි. තවත් වෙලාවකට එහෙම නැහැ. මේ වෙන විටත් මම චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ කර්මාන්තය විනාශ වෙලා කියලා මට හිතෙනවා. දැන් ඩීවිඩි චිත්‍රපට අධ්‍යක්ෂවරු පන්සියකට විතර අධික පිරිසක් ඉන්නවා. හැමෝම අඩු වියදමින් කෙටි කාලයකින් නිර්මාණ කරන්න ගිහින් තත්ත්වය බාල වෙලා.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මනාපයක් නැතිද?

මම ‘අසල්වැසි ප්‍රේමය’ සහ ‘අවුරුදු සාමය’ නමින් ඒකාංගික ටෙලි නිර්මාණ දෙකක් කළා. ඉන් පසුව දීර්ඝ ටෙලි නිර්මාණයකට සූදානම් වුණා. විවිධ ගැටලු නිසා ඒක මඟහැරුණා. ඒ හැරුණාම ටෙලි නාට්‍ය විස්සකට විතර රංගනයෙනුත් දායක වෙලා තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේදී මුහුණ දුන් මතක නොවන සිදුවීමක් සිහිපත් කළොත්?

මීගමුව කලපුවේ දයානන්ද ජයවර්ධන මහත්මයාගේ ‘පෙම් රජ දහන’= චිත්‍රපටයේ රූගත කිරීමක් යෙදි තිබුණා. මීගමුව කලපුවෙන් කිලෝමීටර් දෙකක් විතර මැද. එහි බෝට්ටුවක සටන් ජවනිකාවක් තිබුණා. ප්‍රධාන දුෂ්ටයා සිටින බෝට්ටුවේ අරක්කැමියාගේ චරිතයට පණ පෙව්වේ මම. එතකොට මගේ වයස අවුරුදු විසි දෙකක් විතර ඇති. නිහාල් මෝයට පනින්න පුළුවන්ද කියලා අධ්‍යක්ෂවරයා මගෙන් ඇහුවා. මමත් දෙපාරක් හිතන්නේ නැතුව එකඟ වුණා. හැබැයි ගඟේ පීනලා පුරුදු වුණත් මුහුදේ පීනලා මට පුරුද්දක් තිබුණේ නැහැ. දර්ශනයට අනුව ක්ලීටස් මෙන්ඩිස් අයියා ගහන පාරකට මම මුහුදට වැටෙන්න ඕනේ. ක්ලීටස් අයියා පහර කාගෙන මම මුහුදට පැන්නා. පළවෙනි පාර උඩට ආවා. ඊට පස්සේ යට ගියා ආයත් එන්න බැරි වුණා. සොමී රත්නායක අයියයි ක්ලීටස් අයියයි තමයි මාව ගොඩට ගත්තේ.

ඉදිරි නිර්මාණ කටයුතු පෙළ ගැසෙන්නේ කෙසේද?

තිරරචනා කටයුතු ඉදිරියටත් කරගෙන යනවා. ඒ අතරේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලද උදයකාන්ත වර්ණසුරියගේ චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තියෙනවා. මගේ තිරරචනයක අනුව රූ ගැන්වුණු ‘යම රජ සිරි’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතුත් මේ දිනවල සිදු කෙරෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ සංකල්ප දසනායක විසින්. වසර දහයකට පසු බන්දු - ටෙනී සුසංයෝගය සමඟින් ප්‍රේක්ෂකයන්ට එය අලුත් අත්දැකීමක් වේවි. කාලයක් පුරා මා ළඟ තියාගෙන සිටි තිරපිටපත් වලට ජීවය දුන්නේ සංකල්ප තමයි. ඒ වෙනුවෙන් ඔහු වෙත මගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටිනවා.