|
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්කවදාවත් ආයේ මට මුණගැහෙන්න එපා...
‘මට මින් පස්සේ කරදර කරන්නත් එපා.මේ පැත්තේ එන්නත් එපා’ මානවී කතා කළේ කෝපයෙනි. මේ ගැහැනියට ලෝකය පවා දවා හළු කළ හැකිය.ඇගේ ඇස් වල වෛරය දිලිසිණ. සුජිත් පසු බැස්සේය.ආ කාරිය පැත්තක තබා හිරේ විලංගුවේ ලගින්නට වනු ඇතැයි යන අනියත බියක් ඔහු වෙලා ගත්තේය. ‘උඹව මේ තත්වෙට ගෙනාවේ මම’ ඔහු අනතුරුව පැවසුවේ තරමක් නිහැඬියාවකට පසුවය. ‘ඔව් මේ තත්වෙට ගෙනාවේ ඔයා.මම පිළි ගන්නවා.හැබැයි ඔයා ට ඕන හැටියට නෙවේ.ඔයා අතේ රූකඩයක් වෙලා නෙවේ. මට වැරදුණා නම් මම මහපාරේ’ මානවී පැවසුවේ සුජිත් වෙත සෘජුවම ඇගිල්ල දික් කරමිනි. සාලයේ එල්ලා ඇති වීදුරු කැඩපතින් තම මුහුණ දුටු සුජිත් මඳක් පසු බා ගියේය.ටික දිනකින් රැවුල කපා නැත.ඇස් බාගෙට ගිලී ඇත.දහවල් පානය කළ මත්පැන් වඩියේ රස්නය තවමත් සිරුර පුරා විහිද ගියත් තවත් ඉල්ලා සිත කරදර කරන්නට පටන් ගත්තේය.ටික දිනක සිට චාමර දුරකතනයට ඇමතුම් නොදෙයි.ඔහු මග හරිනු ඇතැයි කිසිවිටකත් සුජිත් සිතන්නට පෙළැඹුනේ නැත.වැඩ ඇතියැයි සිතා සිත හදා ගන්නට තැත් කළත් බැරිම තැන පාරේ ඇති දුරකතනයකින් ඇමතුම් ගත් සැනින් චාමර ඇමතුම හා සම්බන්ධ විය.
‘මොකද බං මගේ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැත්තේ’ ‘නෑ අය්යේ, මගේ ෆෝන් එකට අය්යා ගේ කෝල් එකක් ආවේ නැහැ’ කටේ දිවේ නො ගෑවී බොරු කියන්නට එපායැයි කියන්නට කටට ආවත් සුජිත් එසේ නොකළේය.දැන් ඉතුරුව ඇත්තේ ද ඔහු පමණී.බෝඩිං වී සිටි කාමරයෙන් පිටව යන්නයැයි එහි හිමිකාරිය පැවසුවේ ගිය සතියේය. පසුගිය කාලයේ ඇයට මුදල් අමාරු කම් වූ විට තමා උපකාර කළ අයුරු ඔහුට සිහිපත් විය. ‘ඔය ළමය නම් පණ තියන කම් මෙතැන වැටිලා හිටියත් මම මුකුත් කියන්නේ නෑ.’ ඇය එකල පැවසූ හැටි ඔහුට සිහිපත් විය. ‘ඇන්ටි මම යනවා.පහුගිය කාලේ කිසිම වැඩක් ලැබුණෙ නෑ.ඒකයි.මේ ටිකේ සල්ලි ගෙවන්න බැරි උනේ’ ‘ඔය ළමය බීම අඩු කරා නම් මොකද වෙන්නේ.මේ ගාස්තුත් ගෙවන්න පුළුවන්.අනික ළමයො දන්නවනේ දැන් කාලේ හැමදේම ගණන්’ අවවාද නම් පාසැලේ දී ද ලැබිණ.විශ්ව විද්‍යාලයේ දී නොලැබිණ.කුඩා කළ සිට තමාට නො දිරවූයේ අවවාද බව සුජිත්ට සිහිපත් වින.මේ ගැහැනියට මව් ගුණ සිහිපත් කරන්නට සිතුන ද සුජිත් එය ඉවසා සිටියේය.ඇය පැවසුවේ තම සිත නිදහස් කරගන්නටය.සුජිත් කිසිත් නොකියා කාමරයට වැදිණ.පසුගිය දවස් කිහිපයේම අලුත් කටයුත්තක් ආරම්භ කරන්නට සැලසුම් කළ ද ඒ සියල්ල වැරදී ගියේය.ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පසු යළිත් කිසිවක් හෝ තමා සහාය අධ්‍යක්ෂණයෙහිලා යොදා ගැන්මට උත්සුක නොවූ ගාණය. ‘මේකනේ අය්යේ අය්යා ඇසිස්ට් කළොත් ෆීල්ඩ් එකේ කතාවක් යනවා නේ ඒක කවුරු කළත් අය්යා තමා කරන්නේ කියලා.ඉතින් අලුත් ඩිරෙක්ටර්ස්ලා කවුරුවත් අය්යාට ඇසිස්ට් කරන්න කැමති නෑ’ චාමර පැවසුවේ ඇපෙන් බේරෙන්නට මෙනි. පසුගිය කාලයේ චාමර නම් එක දිගට වැඩ කළේය. ‘බලන්නම් කමර්ෂල් එකක්ටවත් කතා කරලා.මට අලුත් වැඩක් කතා කළා මම ඒ වැඩේ අය්යට දෙන්නම්’ චාමර පැවසුයේ කතාව කෙටි කරන්නටය. ‘ටෙලි මොනවට ද බං.එක කමර්ෂල් එකක් හම්බ වුනොත් හොඳටම ඇති.’ ‘බලන්නම්’ චාමර ඉක්මනින් දුරකතනය විසන්ධි කළේය. ‘අයියේ මම ෂූට් එකක’ ඔහු එයට හේතු ලෙස පැවසුවේය. ‘කීයක් හරි ඉල්ලා ගන්නා තිබුණා නම් මරු’ සුජිත්ට සිතිණ.ඔහු නිරංජන් සොයා යන්නට සිතුවේය.නිරංජන් විදෙස් ගත වී ඇත.ඔහුගේ ටෙලි නාට්‍ය කිහිපය අතරමගය.ඔහු හෝ භාර්යාව ගිය රටක් කිසිවකු හෝ නොදනී.නිරංජන් හිටියා නම් තමන්ට පිහිට වනු ඇතැයි අන්තිමට සිත සදා ගන්නට සුජිත් තීරණය කළේය. ගෙදරින් පණිවිඩයක් ආවේ ඒ අතරතුරය.සොයුරියගේ විවාහයටත් හදිසියේ සිදු වූ අප්පච්චිගේ අසනීපයටත් වියදම් කරන්නට ණය වෙන්නට විය.ඔක්කොටම වඩා අක්කර දෙකක් වූ දෙකන්නයටම පැහුණු කුඹුර උකස් වෙලාය.මුලින් සැළසුම් කළේ අවුරුද්දක් අතරතුර බේරා ගන්නටය.එකින් එක පැමිණි කරදර ඒ සියල්ල උඩු යටිකුරු කර ඇත්තේය.මුලින් කල් වේලා ඇතිව ඉඩම බේරා ගන්නට යැයි පවසූ නන්දියස් මුදලාලි දැන් ඒ ගැන කතා කරන්නේ නැත.මුදලක් ගන්නට ඇත්තේ මානවී ගෙන්ය.ඇගේ ටෙලි නාට්‍යයේ තවමත් ඉතිරි මුදලක් ඇත්තේ තමාට පමණී.ඇය හමුවන්නට යන්නට හිත හදා ගන්නට නොහැක.එහෙත් ඇය තමා එළවන එකක් නැත.ඔහු තමාගේ වාසියට ගණන හදා ගත්තේය. ‘අපරාදේ කියන්න බෑ කෙල්ල කවදාවත් ගණං අඩු කරන්න කිව්වෙත් නෑ. ඉල්ලපු ගාණ එහෙම ෂූටිං ඉවර වෙන කොට දුන්නා.’ රත්නපාල පැවසුවේ දවසක් මානවීට ඇසෙන්නට ය.එදා රූප ගතකිරීම් හමාර කළ දවසය.එය අසා සිටි සුජිත්ට සිනහ ගියේය. සුජිත් මානවී හමුවට ගියේ බැරි තැනය.අක්කා විසින් පැවසූ පණිවිඩය සියල්ල මැද ඔහුගේ ඉහ මොල ගිනි දැල්වීමට සමත් වූයේය.කවර දෙයක් වුව තමා ඉල්ලන්නේ තමාගේ මුදල්ය.එහි වැරැද්දක් නැත සියල්ලට ම ගෙවන මුදල් වලින් තමාගේ මුදල් ඉල්ලීම වැරද්දක් නොවිය යුතුය. ඉඳීන් ඔහු මානවී සොයා ගියේ නිවහනටය.ඈ දොර හැරියාය.ඇය ඔහු බලාපොරොත්තු වූවෙකු නොවීය.ඇගේ මුහුණේ සිනහවක් නොවිණ.එහෙත් ඇය ඔහුට නිවස ඇතුළට එන්නට ඉඩ ඇරියාය.ඔහු නිවසේ අසුනක වාඩි වුණේ කියන්නටත් පෙරාතුවය.මේ ගෙදර කලකට ඉහත තමාගේ ම වාගේ විය. ඔහු නිවස වටා ඇස යොමු කළේ කිසිවකු හෝ එහි ඇත්දැයි විමසා බලන්නටය. ‘කෝ අම්මා ?’ ‘දැන් අම්මා ඉන්නේ ගමේ’ ඈ පැවසුවේ ඔහු ඉදිරිපිට අසුන් ගන්නා ගනිමිනි.මල් මල් චීත්තයක් ඇඳී මැදි වයසේ ගැහැනියක් ගෙයින් එළියට පැමිණියේ කවුදැයි බලන්නටය. ඇය එහි මෙහෙකාරියක් බව සුජිත් ට වැටහිණ.මානවී වාඩි වී සිටි ආකාරයට ඇයගේ ගවුමෙන් වටොර නිරාවරණය ව තිබිණ.එය ඇය වුවමනාවෙන් කළා දැයි ඔහු සැක කළේය.ඔහු ඉවතට නෙත් යොමු කළේය. එහි ඔහුට වසන් ගන්නට කිසිවක් නොවිණ.එහෙත් එය නැවත විමසා බලන්නට තරම් ඔහු එඩිතර නොවිණ. ‘හදිසියේ වුවමනාවක් ද ?’ ඇය කිසියම් හදිස්සියක් පෙන්වමින් ඇසුවාය. ඔහු කතාවට මුල පිරන්නට තැත් කළේය.
‘මේ දවස් වල හරියට ප්‍රශ්න මානවී.ගමේ කුඹුරත් උගස් කරලා.මං ආවේ අපේ වැඩේ ඉතිරි
සල්ලි ඉල්ලා ගන්න’ ‘මොන ඉතුරු ද?’ මානවී එක්වරම ඇසුවාය. ‘මට තව පේමන්ට් එකක් තියෙනවා.’ ‘අපි ගිවිසුම් ගැහැව්වේ නෑනේ‘ ‘ගිවිසුම් ගැහැව්වේ නැත්තේ විශ්වාසෙට’ ‘ඇයි විශ්වාස කළේ ?’ මානවී ඇසුවාය. ‘මම නම් කවුරුවත් විස්වාස කරන්නේ නෑ.’ ඇය කතාව ට ඌණ පූර්ණයක් එක් කළාය. සුජිත් තමා පැමිණියේ මෝඩ ගමනක්යැයි කල්පනා කළේය.ඔහු බිම බලා ගෙන යළි ඇය දෙස බැලුවාය.ඇයගේ ඇස් කෙලින්ම තමා වෙත යොමු ව ඇත.තමා බලවත් වන සතෙකුට ගොදුරු වෙමින් පවතින වගක් සුජිත්ට හැඟිණ.ඇය කදිම දඩයක්කාරියකි.තමා අසරණ වන සතෙකි. ‘මගේ අතෙන් වැරැද්දක් වෙච්ච බව ඇත්ත’ ‘ඒක පිළිගන්නවා නම් ලොකු දෙයක්.’ අනතුරුව ගෙවී ගිය තත්පර ගණන සුජිත්ට දැනුනේ කල්පයක් ගෙවුන ගානටය.ඇය ම කතා කළාය. ‘මම ජීවිතේ ලොකු දෙයක් බලා පොරොත්තු වෙච්ච ගෑණියක් නෙවි.සුජිත් අය්යේ.මම හිතා ගෙන හිටියේ මේ ජීවිතේ නෙවෙයි.මම ජීවිතේ හිතා හිටියේ එක මිනිහෙක් එක්ක’ ඇය කියන්නට ගිය දේ ගිල ගත්තාය.ඔහු ඉදිරියේ තව වචනයක් පැවසුව හොත් තම ආත්මය සහ හැඟිම් නිරාවරනය වනු ඇත.මේ මිනිසා ඉදිරියේ දණ ගැසීමක් වනු ඇත.කදුළු ගලනු ඇත.දඩයක්කාරිය පරදා වන සතා දිනන්නේ දඩයම පසක ලා සිත උණු වූ කලය. සුජිත් නැගී සිටියේය. ‘කවදාවත් ආයේ මට මුණ ගැහෙන්න එපා’ මානවී දොර වෙත යමින් පැවසුවාය.සුජිත් උන් තැනින් නැගිට්ටේය.මේ ගැහැනිය ඉදිරියේ ඇකිලෙනු නොහැක.තමා ද අසරණ ව ඇති වගක් ඔහුට හැඟිණ.ඇය දොර ළඟට ගියේ පල නොකියා පලා බෙදන්නටය.සුජිත්ට අවසන් වතාවටත් උත්සාහ කරන්නට සිතිණ.ඒ සියල්ල ආත්ම ගරුත්වය අමතක කරලමිනි. මානවී එක්වරම ගෙට ගියාය.ඔහු මොහොතක් බලා සිටියේ කළ යුතු කුමක් ද යන්න සිතා ගෙනයය.ලාච්චුවක් ඇරෙන වැහෙන හඩ ඇසිණ.ඇය ආපසු ආවාය. ‘මෙතන ඇති ගාණක් එග්‍රිමන්ට් එකක් නෙවේ.මේක අපේ ගනුදෙනුව ඉවර කරන්ඩ.පිනට යමක්’. මානවී අතැති චෙක් පතක් ඔහුගේ මුහුණට ගසා දැම්මාය.කොලය විසිවී සුළගේ යනු දුටු ඔහු එය අහුලා ගන්නට වෙර දැරුවේය.මුදල කොපමණදැයි ඔහු නොදත්තේය.ඔහුට සියල්ල අමතක විය.චෙක් පත අල්ලා ගන්නා විට ඔහුට සියල්ල අමතක ව ගොස් තිබිණ.ඔහු හැරී බැලුවේ එකවරම නැගුණ ශබ්දය සමගය. මානවී මහ හඩින් දොර වසා දමා ගෙට ගොසිණ.චෙක් පත අතැතිව තමා මහා විසල් නිවාස පද්ධතියක දොර ඉදිරිපිටය.අසල්වාසි නිවැසියන්ට අනුන්ගේ දේ සොයන්නට වෙලාවක් නැත.ගාණ කොපමණදැයි නොබලා සුජිත් චෙක් පත සාක්කුවේ ලා ගත්තේය.අනතුරුව වඩා සුරක්ෂිත දැයි සිතා සාක්කුව අත ගා බැලුවේය. ආපසු දොරට ගසන්නට මිට මෙළ වූ සුජිත් යළි අත එයින් වලකා ගත්තේය. මානවී දිව ගියේ කාමරයටය.සයනයට වැද කොට්ට්ය මත මුහුණ ඔබා ගත්තේ කිසිවකුට නොනැගෙන්නට හඬා වැටෙන්නටය.ලෝකයට නොඇසෙන්නට හැඩිය යුතුය.සාගරය පරදා කඳුළු ගලා හෝ හිතේ ඇති හැඟිම් හලා යුතුය.එය හලා හල විසක් වැන්න. ‘මිස් අර චැනල් එකෙන් කතා කරනවා .ප්‍රෝගෑම් එක ගැන කතා කරන්න ඕනෑ ලු’ ගෙදරදීවත් තමන්ට ඉකි බිඳීන්නට ඉඩක් නැත.අන් ගැහැනුන්ගේ දුක් විමසන වැඩ සටහන සොයා යා යුතුය.
|