වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිහිටියන් ද පොඩිහිටියන් ද ප්‍රශ්නයක් නැහැ

වැඩිහිටියන් ද පොඩිහිටියන් ද ප්‍රශ්නයක් නැහැ

චරිතෙ හොඳ නම් එච්චරයි

නිල්වලා විශ්වමාලි

ඔබේ නම කියන්න?

නිල්වලා විශ්වමාලි.

මේ වන විට නාට්‍ය කීයක රඟපාලා තියෙනවාද?

ම් ම් ම්... හතක අටක විතර.

ඔබ කලා ලොවට පිවිසි ආකාරය ගැන කතා කළොත්?

ඇත්තම කිව්වොත් මම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක් නෙවෙයි. මං මුලින්ම ඩාන්සිං ඉගෙන ගත්තා. ඒ හිතේ තිබුණු ආසාවට. ඊට පසුව වාසනා දන්තනාරායන මහත්මිය හමුවිමත් සමඟ ඇයගේ ඇරැයුමින් මං මොඩ්ලින්වලට යොමු වුණා. ඒත් සමඟම මොඩ්ලින් තරගාවලි කිහිපයකට ද මම සහභාගි වන්නට ලැබුණා. ඒවායින් ජයග්‍රහණ පවා හිමි වුණා. ඔය අතරෙදි මට ක්‍රිෂ්්ටි ෂෙල්ටන් මහත්මයාව හමු වෙනවා. ඔහු තමයි මට මුලින්ම ටෙලි නාට්‍යයකට රඟපාන්න අරැයුම් කළේ.

මොකක්ද ඒ නාට්‍යය?

ඔහු අධ්‍යක්ෂණය කළ ඊ 20

එහි ඔබේ චරිතය?

අයේෂා.

රඟපාන්න හිතාගෙන හිටපු නැති කෙනෙකුට රංගනය සඳහා ඇරැයුමක් ලැබුණම මොකද හිතුණෙ?

මම අර කලින් කිව්වනේ රඟපාන්න කැමැත්තෙන් හිටියේ නෑ කියලා. නමුත් මගේ හිතේ කොනක තිබුණා කලා ලොව පිළිබඳ පුංචි බලාපොරොත්තුවක්. ඒ සිනමා ක්ෂේත්‍රයට මොන යම් හෝ අයුරකින් සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. රංගනයටම නෙවෙයි. අඩුම තරමේ ප්‍රඩක්ෂන් පැත්තටවත් එකතුවන්න ඕනෑ කියලා. ඒ හේතුවෙන් මට රංගනයට කතා කළාම ඒ ඇරැයුම මං ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් මං ටෙලිවලට අකැමැත්තෙන් හිටියේ.

කොහොමද පළමු රංගන අත්දැකීම?

ඉතාම සුන්දරයි. මං හා හා පුරා කියලා වැඩ කළේ ප්‍රවීණයෙත් එක්කනේ. ඒ නිසා සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා.

රංගනය හදාරන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?

හිතුණා. ඒක නිසා ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා ගාව රංගනය හැදෑරුවා.

ඊ 20 නාට්‍යයෙන් පසුව ඔබ දායක වූ නිර්මාණ පෙළ මතක් කළොත්?

ඉලන්දරී හැන්දෑව, කුලම්බරී, දුර්ගාත්ම, ද්විත්ව, ධරණි, නේරංජනා, සසර වස්සානය, හිරු සඳුට ආදරෙයි.

දැන් ඔබ ටෙලිවලට කැමැතිද?

අනිවාර්යයෙන්ම කාලයක් ටෙලි නාට්‍යවල රංගනයේ යෙදුනාම මට ටෙලි කලාවට ආස හිතුණා. දැන් දිගටම රඟපානවා.

නමුත් ඔබේ හීනය වූ සිනමාවට සම්බන්ධ වීම ඔබට ඉටු කරගන්න බැරි වුණා?

ඒක නම් එහෙම තමයි. මට රංගනයෙන්වත් සිනමාවට එකතු වන්නට හැකියාව ලැබුණේ නැහැ.

ඒ ගැන දුකයිද?

පොඩි දුකක් හිතේ තියෙනවා. ඒ වුණාට මට ටෙලි නාට්‍ය කලාව පැත්තෙන් දිගු ගමනක් යන්නට හැකියාව ලැබුණා. ඒ ගැන හිතලා සතුටුවෙන්න පුළුවන්.

ඔබ සිතන පරිදි ඇයි ඔබට සිනමාවට ඇරැයුම් ලැබුණේ නැත්තේ?

මං තවම ලොකුවට ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එකේ අධ්‍යක්ෂවරුන්ව හඳුණන්නේ නැහැ. ඒකයි ඒ පමාව. මං හිතනවා තව නොබෝ කලකින් මට චිත්‍රපට සඳහා ඇරැයුම් ලැබේවි. ඒ වෙනකම් මම බලාගෙන ඉන්නවා.

ඔබ රඟපාන්න කැමැත්තෙන් සිටින චරිතයක් තියෙනවාද?

හාස්‍යෝත්පාදක චරිත හැර අනෙක් ඕනෑම චරිතයක් මට කරන්න පුළුවන්. විවිධත්වයෙන් යුතු චරිත රඟපාන්නයි මං කැමැති.

ඇයි ඔබ හාස්‍යෝත්පාදක චරිත රඟපාන්නේ නැත්තේ?

මං එවන් වූ චරිතවලට ආස නැහැ. මං විකට චරිත රඟපාන්න දක්ෂ නැතිව ඇති කියලා.

ඔය ප්‍රකාශයත් එක්ක කෙනෙකුට හිතන්නට පුළුවන් ඔබ අදක්ෂයි කියලා?

නැහැ. එහෙම නෙවෙයි. ඕනෑම කෙනෙකු තමන්ගේ පරාසය දැන සිටිය යුතුයි. මට විකට චරිත කරන්න බැහැ කියලා මං දන්නවා. බැරි දේවල් කරන්න ගිහින් අනාගෙන නාගන්නවට වැඩිය හොඳ නැද්ද පුළුවන් දේ කරන එක.

ඔබ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ නිර්මාණයක ප්‍රධාන චරිතයද? හරියට පෙම්වතිය වගේ?

අපෝ නැහැ. මං කවදාවත් එහෙම චරිත බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට ඕනෑ යම් නිර්මාණයක දැනෙන චරිතයක් කරන්න. ඒක ප්‍රධාන ද අවශේෂ ද කියන එක වැදගත් නැහැ. හොඳට ප්ලේ කරන්න පුළුවන් චරිත තුළින් තමයි අප රංගන ජීවිතය ආලෝකමත් කරගන්නට හැකි වන්නේ.

නිල්වලාගේ පදිංචිය කොහෙද?

කොස්ගම.

ඉගෙන ගත් පාසල?

හංවැල්ල රාජසිංහ මහ විදුහල.

පවුලේ සාමාජිකයන්ව මතක් කළොත්?

අම්මයි, තාත්තයි, නංගියි මල්ලියි.

ඔබේ කලා ජීවියට ඒ අයගෙන් මොන වගේ සහායක් ද ලැබෙන්නේ?

අති විශිෂ්ට සහායක් මට ලැබෙනවා. එයාලගෙ උදව් නොතිබුණා නම් මට මෙච්චර දුරක් යන්න බැරි වෙනවා.

ඔබ මේ වන විට වෘත්තීය නිළියක්ද?

මට කලින් කියන්න බැරි වුණා මං සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. ඒ කටයුතු කරන ගමන් තමයි රඟපාන්නේ. එහෙම බලනකොට මං වෘත්තීය නිළියක් තමයි. ඊට අමතරව මං ඩාන්සිං ඇකඩමි එකක් පවත්වාගෙන යනවා.

නිල්වලාට වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිනමාපටයකට ඇරැයුම් ලැබුණොත් මොකද කරන්නේ?

නිර්මාණය වැඩිහිටියන්ටද පොඩිහිටියන්ට ද කියන එක නෙවෙයි ගැටලුව . ඒකේ මට තිබෙන චරිතය ගැනයි මං බලන්නේ. මට දෙයක් කරන්න හැකි චරිතයක් නම් මං බාර ගන්නවා.

වාරණයක් නැහැ

ඔව්.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

මං හරියට අසාධාරණය වෙනුවෙන් කතා කරන කෙනෙක්. එහෙම කතා කරන්න ගිහින් සෑහෙන දේවලුත් අහිමි කරගත්තු කෙනෙක්.