වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිසා වෙනුවෙන් මිනිසාට සේවය කර දිවියෙන් සමුගත් ජනතාවාදී නාට්‍යවේදියා

මිනිසා වෙනුවෙන් මිනිසාට සේවය කර දිවියෙන් සමුගත් ජනතාවාදී නාට්‍යවේදියා

ඩාරියෝ ෆෝ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න ස්වීඩනයේ සිට ලියයි

ඩාරියෝ ෆෝ පළමු වරට මට මුණ ගැසුණේ ස්වීඩන් රාජ්‍යය නාට්‍යය ආයතනයේ නාට්‍යය අධ්‍යක්ෂණය හදාරමින් සිටි (1976 - 1979) වකවානුව අතරතුර 1977 සරත් සමයේ දිනකය. ඉතාලියේ මිලාමෝ නගරයේ සිටි අපි ගෙවන්නේ නැහැ නාට්‍යය ප්‍රදර්ශනය කිරීම සඳහා සංචාරක නාට්‍යය කණ්ඩායම සමග ඔහු ස්වීඩනයට පැමිණ සිටියේය. (1998 දී මා විසින් සිංහලට පරිවර්තනය කරන ලද මෙම නාට්‍යය කපිල කුමාර කාලිංග විසින් ලංකාවේ වේදිකා ගතකර තිබේ). සියලුම ආකාරයේ සමාජ අභිනයන් එක මිටකට ගෙන ඉතා සරල අන්දමට ප්‍රවේශමෙන් ඒවා භාවිතයට ගෙන, ගිවන්තියෝගේ චරිතය අනුකරණය කරමින් ප්‍රේක්ෂකයින් තුළ භාවාත්මක අනුභූතියක් ඇති නෙවෙන ලෙස ඔහු විසින් කරන ලද ඒ අපූරු රංගනය, ඒ දිනවල විශේෂ උනන්දුවකින් බ්‍රෙෂ්ට්ගේ එපික් රංග ආර හදාරමින් සිටි මට මහඟු අත්වැලක් සපයා දුන් බව මා අදත් සිහිපත් කරන්නේ ඉමහත් සතුටකින්ය.

එදිනෙදා දිවියේදී අතින් පයින් කතා කරමින් සියලුම අභිනයන් ආයාසයකින් තොරව මුදා හරිමින් සුහදශීලීව හැසිරීම ඉතාලි ජාතිකයන් තුළ දකින්නට ඇති සුවිශේෂී ලක්ෂණයි. එම ගතිය නොඅඩුව පිහිටා තිබෙන බව ප්‍රකට කරමින් වේදිකාවේ දී ද සුවිශේෂ රංග පෞරුෂයක් ඇතිව හැසිරෙන ඩාරියෝ ෆෝව දුටු සිසුන් හැටියට අපට හැඟුණේ දිගු කලක සිට අපි ඔහුව හොඳින් දැක හඳුණා ගෙන සිටි සමීප මිතුරෙකු ලෙසය. ඔහු තුළ පැවති සරල හැසිරීම සහ පැවැත්ම සමඟ නිරතුරුව පළ වුණේ, ඉතා ඉක්මනින් ඕනෑම කෙනෙක් ආසක්ත කර ගැනීමේ නිහතමානී හැකියාවය. එසේ ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදශීලීව හැසිරීමට තරම් තියුණු ඉවක් ඔහුට ලැබෙන්නට ඇත්තේ මිනිසා වෙනුවෙන් මිනිසා කෙරෙහි ඔහු තුළ තිබුණ දැඩි දයා කරුණාව නිසාම විය යුතුය.

නම්‍යශීලී ගති ලක්ෂණ මෙන්ම සමාජශීලී ලෙස ජනයා වෙත නැඹුරුවීමේ අපූරු ගුණය ද සමඟ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යෝජනා කළ පරිදි වෙනස් වෙන්න බලා සිටින ලොව වෙනස් කිරීම සඳහා මිනිසාට අවශ්‍ය හිඟ දිරිය නව ජවයක් සහිතව ලබා දෙමින් නාට්‍යය ක්ෂේත්‍රය තුළ බ්‍රෙෂ්ට්ගේ එපික් රංග රටාවේ තවත් දිගුවක් ලොවට දායාදය කළ එම විශිෂ්ට පසුතල නිර්මාපකයා, රංගධරයා, නාට්‍ය රචකයා, නාට්‍ය අධ්‍යක්ෂවරයා මෙන්ම හැම විටම ජනතාව වෙනුවෙන් නිහතමානීව පෙනී සිටිමන් ධනවාදී චින්තනයට සහ නිලධාරිවාදයට එරෙහිව අරගල කළ විප්ලවවාදියා පසුගිය 13 වෙනිදා දිවි රැඟුමෙන් සමුගත්තේය. නමුත් ඔහුගේ නිර්මාණ නැවත නැවත ලොව පුරා ඔහුගේ ආශිර්වාදය ද සමඟ දෝංකාරය දෙන බව සහතිකය. ඩාරියෝ ෆෝ ගේ ඇක්සිඩන්ටල් ඩෙත් ඇත් ඇතකිසිට් නාට්‍යය 1986 දී සාක්කි නමින් අනුවර්තනය කර අධ්‍යක්ෂණය කරමින් ඒ විශිෂ්ට නාට්‍යවේදියා ප්‍රථම වරට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

උතුරු ඉතාලියේ ධීවරයන්, හොර බඩු ප්‍රවාහනය කරන්නන් සහ කට වහර සම්ප්‍රදාය පැවති ජනකතා කියන මිනිසුන් ගැවසුන සමාජ රටාවක 1926 දී ඩාරියෝ ෆෝ උපත ලැබූ අතර, ඒ වකවානුවල දී සංචාරක නාට්‍ය කණ්ඩායමක රංගන ශිල්පිණියක් ලෙස ගම් දනව්වලට යමින් කටයුතු කළ ෆ්‍රාරන්කා රාමේ සමඟ සමීප සම්බන්ධතාවක් ඇතිකර ගෙන තිබුණේය. ඇය වෙනුවෙන් පසුතල නිර්මාණ කිරීමෙන් වේදිකාවට ගොඩවෙන ඩාරියෝ ෆෝ ඉතාලියේ පැරණි ජනප්‍රිය රංග රටාවේ මූල සාධක පදනම් කර ගනිමින් අති විශිෂ්ට නූතන දේශපාලන නාට්‍යය ආරක් බිහි කිරීමේ පෙර ගමන්කරුවා වශයෙන් අනු ක්‍රමයෙන් ඉදිරියට පැමිණියේ, ළමා වියේ සිට ඇසුරු කළ සමාජ සංස්කෘතික රටාවේ පැවති හැම මූල සාධකයක්ම නිවැරදි ලෙස වේදිකාව සමඟ බද්ධ කර ගනිමින්ය.

1945 දී ෆ්‍ර්රන්කා රාමේ සමඟ විවාහ වූ ඩාරියෝ ෆෝ 'මධ්‍යම පාන්තික ප්‍රහසන' යනුවෙන් රංගගත වැඩ සටහන් කීපයක්ම රූපවාහිනියේත්, කර්මාන්ත ශාලා සේවකයන්ගෙන් සැදුම් ලත් විශාල ප්‍රේක්ෂක සමූහයක් සහභාගි කර ගනිමින් කුඩාරම් නාට්‍යය කණ්ඩායමක් ලෙස විවිධ පළාත්වල වේදිකා නාට්‍ය දර්ශන ඉදිරිපත් කරමින් ආරම්භයේ සිම ඉතාලි කොමියුනිස්ට් පක්ෂය සමඟ එකමුතුව කටයුතු කළ නමුත්, පක්ෂය තුළ පැවති නිලධාරිවාදී පැවැත්ම අභියෝගයට ලක් කිරීම සමඟ ගොඩනැගුණු අභ්‍යන්තර මත ගැටුම් කරන කොට 1970 දි එයින් බැහැර විණි. පසුව ඔහුගේම ප්‍රධානත්වයෙන් මිලාන් නගරයේ ලා කොමියුත් නමින් දේශපාලන පර්ෂදයක් පිහිටුවා ගත්තේය. අවස්ථානුකූලව ඉතා සරල වේදිකා භාණ්ඩ නිර්මාණශීලී ලෙස යොදා ගැනිම සහ පරිහරණය කිරිමත් සඳහා දක්වන ලද කුසලතාවය සහ ප්‍රහසනාත්මක නළුවෙක් ලෙස මෙන්ම, රචකයෙක් ලෙස ඔහු සතුව තිබුණ කුසලතාව මනාව පිළිබිඹු වන්නට පටන් ගත්තේ එතැන් සිටය.

මොලියර්ගේ බලපෑම සමඟ ප්‍රංශයේ ප්‍රචලිතව තිබූ කොමේඩියා ඩිලාටේ ක්ෂණික රංග රටාව මේ වන විට ඉතාලියේ ද ප්‍රචලිතව තිබුණේය. එය නූතන දේශපාලන අරමුණු සමඟ ගලපා ගනිමින් නව ජන සම්ප්‍රදායික ලෙස ඉතාලිය තුළ ව්‍යාප්ත කිරීමේ මහඟු කාර්ය සඳහා ඔහු උර දුන්නේය. ඒ එම රටාවට වඩා ප්‍රබල දේශපාලන නාට්‍යය මුහුණුවරක් ද ලබා දෙමින් ඉතාලියේ සමාජ සංස්ථාව වෙනස් කිරීමේ අරමුණ ඇතිවය. ලෝකයේ ඉතා ප්‍රබල විකට චරිත ලෙස හඳුනාගෙන ඇති පුල්සිතෙල්ලා සහ අර්ලෙව්නෝ වැනි චරිතවල සෙවනැලි ඩාරියෝ ෆෝ ගේ නිර්මාණවල දැකිය හැකිය. පුනරුද සමයේ සිට කොමේඩියා ඩිලාටේ වසර දෙසීයක පමණ කාලයක සිට භාවිතයට ගන්නා ලද විශේෂ ඇඳුම් රටා සමඟ වෙස් මුහුණු පැලඳගත් කපටි සේවකයා, කටමැත දොඩන බොරු සෝබන කඩු සටන්කාරයා, මහලු සල්ලාලයා වැනි අපේ ලංකාවේ කෝලම්වල එන ජසයා ලෙන්චිනා වැනි චරිත හා සමාන චරිතවල ඇති සුවිශේෂ ගති ලකුණු ඔහු ඉතා දැනුම්වත් ලෙස මටසිලිටි කර ගනිමින් ඔහුගේ නිර්මාණවලට යොදාගෙන තිබේ.

ප්‍රංශ ජාතික අභිරංගන ශිල්පියෙකු වන ෂක් ලිකෝ වෙතින් සිරුර විවිධ අරුත් දනවන අන්දමට ඉතා නම්‍යශීලීව හැසිරවීම අවස්ථාවෝචිත ලෙස අභිනය පළ කිරීමේ කලාව ප්‍රගුණ කළ ඩාරියෝ ෆෝ ඊළඟ පියවර තැබුවේ පැරණි ජනප්‍රිය සංස්කෘතිය සමඟ අත්බැඳ ගත් ගුප්ත විගඩම් යන අරුත දනවන මිස්ට්‍රියෝ බූෆෝ රැඟුම් පෙළත් සමඟය. මෙහිදී මධ්‍යකාලින යුගයේ පැවති ගියුලාරි රංග රටාව මූලික පදනම ලෙස භාවිතයට ගත් බව පැහැදිලිව දකින්න තිබේ. මේ ගුප්ත විගඩම්වල නිර්මාතෘන් හැටියට සැලකිය හැක්කේ වැඩ කරන පොදු ජනතාවම විය. ඔවුන්ගේ අත්දැකීම් වර්තමාන සමාජ රටාව කර්කශ ලෙස විවේචනය කිරිම සඳහා නව නැඹුරුවක් කිරීමට ඩාරියෝ ෆෝ ගන්නා උත්සාහය අදහා ගැනිමට බැරිතරම් බව මෙහිලා සඳහන් කළ යුතුය.

එක අවස්ථාවක මේ නැඹුරුව සම්බන්ධයෙන් විචාරකයෙක් විසින් කරන ද විමසීමකදී ඔහු පිළිතුරු දුන්නේ මේ අන්දමටය. 'අපේ රංග රටාව ග්‍රාම්‍ය කවටකම් පදනම් කොට ගෙන හැසිරෙන බහු බූතයෙකුට සමානයි. මධ්‍යකාලීන යුගයේ තැන තැන කතන්දර කවි සින්දු කියමින් ජීවත් වුණ ජන කොටස් විසින් මේ රංග රටාව නිර්මාණාත්මක ලෙස පවත්වාගෙන ආවා. ධනේෂ්වර මධ්‍යම පන්තියේ හඬුගඳ ගහන සංස්කෘතිය තදකර පුරවා තියෙන ගෝණිය තියුණු උල් කටුවකින් හිල් කරනවා වගේ හිල් කරන්න අපිට මේ රංග රටා භාවිතයෙන් පුළුවන්. ඒ වගේම අපි පැහැදිලිව කියන්නේ හොඳට කට දිග ඇරලා කරන රළු හිනාවෙන් තමයි යම් අවස්ථාවක දක්වන අන්තිම ඉහළ ප්‍රතික්‍රියාව.' 1960 දශකයේදී ඉතාලියේ ගුවන් සේවය මගින් විකාශනය වුණ මේ ජනප්‍රවාද ඉදිරිපත් කිරීම සමඟ මෙන්ම රූපවාහිනියේ පෙනී සිටීම හේතුවෙන් ඔහුගේ ආත්මගත භාෂණ රංගනය දැඩිව ජනතාවගේ අවධානය දිනා ගත්තේය. එතැනින් නොනැවතුන ඔහු විප්ලවකාරි රංග පෙරමුණක් ලෙස සිය නළු පිරිවරා ගනිමින් නාට්‍ය ක්ෂේත්‍රය තුළ අනුක්‍රමයෙන් ඔවුන්ගේ දේශපාලන මතවාදය තහවුරු කළේය.

තවත් ඉවසිල්ලෙන් ඔහුගේ නිර්මාණ විමසන විට පැහැදිලි වන්නේ ඒ අවිධියටත් පෙර මධ්‍යකාලින යුගයේ බලධාරින් සහ පල්ලියේ ආධිපත්‍ය මතවාදයට එරෙහිව, ඒ සමාජ රටාව තුළින් මතු වුණ ප්‍රතිවිරෝධය සමඟ ගොඩනැගුණු ගියුලාරි රංග රටාව සමඟ පැවති සාන්ති වැනි චරිතයක එන බහුබූත ගති ලක්ෂණ ද භාවිතයට ගෙන ඇති බවය. ඔහු විසින් ගුප්ත නාට්‍ය ගොනුවේ නිර්මාණය කළ අරාජිකවාදියාගේ අහඹු මරණය නාට්‍යය නුතන නාට්‍ය ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ නාට්‍යක් ලෙස ඉතිහාසගතව තිබේ. නාට්‍යය විශාල ප්‍රමාණය අතරින් අපිට දකින්නට ඇති අපූරු චරිත දෙකක් ලෙස අපි ගෙවන්නේ නැහැ, අපි ගෙවන්නේ නැහැ නාට්‍යයේ එන ගිවන්නියෝ සහ සාක්කි (අරාජිකවාදියාගේ අහඹු මරණය) නාට්‍යයේ එන උන්මාද හඳුනාගත හැකිය. ඒ අනුව අපට නිගමනය කළ හැකි වන්නේ ඩාරියෝ ෆෝ විසින් පුනරුද යුගයේ ප්‍රචලිතව පැවති පණ්ඩිතවාදී නාට්‍යය කලාව මෙන්ම, දහනම වෙනි සියවසේ ප්‍රචලිත වුණ මධ්‍යම පන්තිය පිනවන සම්භාව්‍ය ලේබල් අලවා තිබුණ නාට්‍යය කලාවෙන් දැනුවත්වම බැහැර වුණ බවය. ඉතාලියේ එවකට පැවති සංකීර්ණ සමාජ අවශ්‍යතාවන්ට සාපේක්ෂව හිඳිමින් අවනීතිය රජයන ධනවාදී සමාජ රටාව අභියෝගයට ලක් කර, මාක්ස්වාදී පදනමක් සහිතව ධනපති පාලක පන්තියට දැනෙන ලෙස නීත්‍යනුකුල නොවන නාට්‍යය යන අරුත ඔහු ඉතා දැනුවත්ව සිය නාට්‍යය හැඳින්වීම සඳහා යොදා ගත්තේ ඔහුගේ නාට්‍යය හැඳින්විමට යොදා ගත හැකි හොඳම පදය එය බව කියමින්ය.

බර්ලින් ඔන්සොම්බලයි විසින් 1981 දී බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ ත්‍රී පෙනි ඔපේරා නාට්‍යය අධ්‍යක්ෂණය කිරීම සඳහා ඩාරියෝ ෆෝ ජර්මනියට කැඳවා තිබුණ නමුත් සති කීපයක පුහුණුවීම් කිරීමෙන් අනතුරුව, ඔහුගේ අභිමතය පරිදි ඒ කාරිය කරගෙන යෑමට බලධාරින් ඉඩ නොදුන් නිසා කලකිරුණු ඔහු ඒ වගකීම අතහැර නැවක ඉතාලියට පැමිණියේය. එහෙත් ඔහු එය එතැනින් නතර වුණේ ද නැත. ඉතාලියේ ටියුරියන් රාජ්‍ය නාට්‍යය ආයතනයේ ඇරයුම අනුව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් භාවිතා කළ ජෝන් ගේ ගේ බෙගර්ස්් ඔපේරා නාට්‍ය පිටපතම පදම් කර ගනිමින් ඔපේරා ඩෙල්ලෝ සිගනාසියෝ නමින් සාර්ථක ස්වාධීන නාට්‍යයක් නිර්මාණය කළේය.

කිසි විටක බලධාරින්ට හිස පහත් නොකළ ඩාරියෝ ෆෝ ගේ හැටි එහෙමය. ඔහුව අත් අඩංගුවට පත් වුණ අවස්ථා මෙන්ම, නිර්මාණ වාරණ කිරීම් සඳහා බලධාරින් උත්සාහ කළ අවස්ථා අසීමිතය. එක් අවස්ථාවක ඔහුට ඇමරිකාවට ඇතුළුවීම සඳහා වීසා ලබා දීම පවා වැළැක්වීමට ඇමරිකාව දරදඬු වුණේය. බොහෝ අවස්ථාවලදී ඔහුගේ සමාජ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ කරමින් නැවත නැවත ඔහුට නිදහස ලබා දුන්නේ ද වෙන කවුරුවත් නොව ඔහු දැඩි ලෙස විශ්වාස කළ පොදු ජනතාවමය. අවසානයේදී 1997 දී නොබෙල් කමිටුව පවා මේ කෘතහස්ත හිතුවක්කාර නාට්‍යවේදියා වෙත නැඹුරු වුයේ නොබෙල් සම්මානයෙන් ඔහුට පිදුම් කරමින්ය.