|
‘අමරණීය රුක්මණි’ ගුණ සැමරුම සහ ‘මැවිලා පෙනේවී රූපේ’ සංගීත සන්ධ්‍යාව හෙට
‘අමරණීය රුක්මණි’ 38 වැනි ගුණ සමරුව ‘මැවිලා පෙනේවී රූපේ’ රුක්මණී දේවි උපහාර සංගීත සන්ධ්‍යාව හෙට (ඔක් 28) සවස 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. මෙහිදී ඩබ්ලිව් ප්‍රේමරත්න, ෆීලික්ස් ඇන්ටන්, සරත් හෙට්ටිආරච්චි, රන්ජිත් ඩයස්, අජිත් සිල්වා සහ දිව්‍යා සෙනාලි ගායනයෙන් දායක වන අතර ප්‍රසන්න ෆොන්සේකා, උදේනි චන්ද්‍රසිරි, මානෙල් කුමාරි, ශ්‍රියානි දිසානායක රංගනයෙන් දායක වෙති. ප්‍රවීන මුද්‍රා නර්තන ආචාර්ය උපුල් ගුණවර්ධන, දිව්‍යා සෙනාලි, ප්‍රවීණ චිත්‍රපට නැටුම් අධ්‍යක්ෂ නන්දකුමාර් සහ Amali with Star Dancers මෙම උලෙළ නර්තනයෙන් විචිත්‍රවත් කරති. හෙළ නිළිරුජන, ගීත කෝකිලා රුක්මණි දේවියගේ ගුණසැමරුම සහ සංගීත සන්ධ්‍යාව සංවිධිනය කරන්නේ සිරිලක එක්සත් කලා සන්ධානය විසිනි.
රුක්මණී 38 වැනි සැමරුම 29 දා
රුක්මණි දේවිය අප අතරින් සමුගෙන මෙම මස 28 වැනිදාට වසර 38 ක් සපිරේ. ඇගේ ආත්මයට මොක්සුව පතා මෙම මස 29 වැනිදා උදෑසන 9.30 ට මරදාන ෆාතිමා දේවස්ථානයේදී විශේෂ දිව්‍ය පූජාවක් සිදු කෙරේ. ගරු ආන්ජලෝ විජේවික්‍රම පියතුමා විසින් එම දිව්‍ය පූජාව සිදු කරන අතර එය සංවිධානය කරනුයේ රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ කෘත්‍යාධිකාරී සිරිමා ඇනෙස්ටා මර්සලීන් නිර්මාතෘ සභාපති හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සහ සමන්ති ලැනරෝල් විසිනි. මේ අවස්ථාවට සහභාගිවන්නට යැයි රුක්මණිට ළැදි සිනමාලෝලීන් සියලු දෙනාට රුක්මණී දේවි අනුස්මරණ සංගමය විවෘත ආරාධනාවක් කරයි.
යමුනා මාලිනීගෙන් පොත් තුනක්
ප්‍රවීණ කිවිඳීයක, ගීත රචිකාවක වන යමුනා මාලිනීගේ ‘ඉස්ඉස්සෙල්ලා ම’ යොවුන් නවකතාවත්, ‘සංකල්පාන්තය’ නම් පුවත්පත් ලිපි එකතුවත්, ‘සඳ සමඟ සක්මන’ නම් කාව්‍ය සංග්‍රහයත් පසුගියදා එළිදැක්විණි. ‘සංකල්පාන්තය’ කෘතිය ඇස් ගොඩගේ ප්‍රකාශනයකි. ‘සඳ සමඟ සක්මන’, ‘ඉස්ඉස්සෙල්ලා ම’ සරසවිය ප්‍රකාශනයකි.
ජන ගී රස වින්දන
නියාගම ප්‍රාදේශීය ලේකම් එච්. බී. ජී. ප්‍රගීත් රසික කුමාර මහතා ඇතුළු ජන ගී මාලය සංස්කෘතික කණ්ඩායම සාහිත්‍ය ජන සංගීතය ඇසුරින් සකස් කළ පර්යේෂණ නාද මාලා ජන ගී ඇසුරින් කරනු ලබන රස වින්දන වැඩසටහනක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් දමයන්ති පරණගම මැතිනියගේ ආරාධනා පරිදි හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි අවස්ථාවකි.
එක් දින වැඩමුළුව 29 දා මහරගමදී...
ජාතික රංගන ශිල්පීන්ගේ පදනම නොමිලයේ සංවිධානය කරන වසරේ එක් දින මහා වැඩමුළුව මෙම 29 වැනි දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී සිදු කෙරේ. චිත්‍රපට, ටෙලි සහ වේදිකා රංගනය පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 4 දෙනෙකු මෙහෙය වනු ලබන මෙම වැඩමුළුව සඳහා සහභාගිවීමට කැමති අයට 0757400300 හෝ 0777996224 අංකයන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගැනීමට හැකියාව ඇති අතර පැමිණෙන අය අමතර ඇඳුමක් රැගෙන ඒමට කාරුණික වන ලෙසට ද සංවිධායකයන් ඉල්ලා සිටී.
ප්‍රවීණ කැමරා ශිල්පී රංජිත් පෙරේරා ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ප්‍රවීණ කැමරා ශිල්පී රංජිත් පෙරේරාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පසුගියදා ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ සංගමයෙන් ගෞරව සම්මානයක් පිරිනමන ලදී. ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා විසින් එම සම්මානය පිරිනමන ලදී. රංජිත් පෙරේරා 1964 දී සාරවිට චිත්‍රපටයේ “මේ සිංහල අපගෙ රටයි” ගීතය රූපගත කිරීම සමඟින් ක්ෂේත්‍රයට සම්බන්ධ වීය. ‘රන්මුතුදූව‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මයික් විල්සන් යටතේ චිත්‍රපට කලාව පුහුණු වූ ඔහු පසුව ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ යටතේ වසර 15ක් පුරා සහය කැමරා ශිල්පයෙක් වශයෙන් ‘මල්දෙනිය සිමියොන්’, ‘සුද්දිලගෙ කතාව‘, ‘කැලෑ මල්’ ‘මුහුදු ලිහිණි’, ‘සිකුරුලියා’, ‘කල්යාණි ගංගා’ යන චිත්‍රපට රැසක සහය කැමරා ශිල්පියෙක් ලෙසද කටයුතු කර ඇත.
චන්න බණ්ඩාරගේ අපරාජිත අලී
චන්න බණ්ඩාර විජේකෝන්ගේ ‘අපරාජිත අලී කෘතිය සඳහා පාදක වී තිබෙන්නේ බොක්සිං ලෝකය ඇතුළේ ජයකෙහෙළි නැංවූ මොහමඩ් අලී පිළිබඳ ය. මධ්‍යම පාංතික කලු ඇමෙරිකානු පවුලක උපත ලද ඔහුගේ ජීවිතය කවිකාරකම, කටකාරකම, සමාජ සබඳතා, ශක්‍යතා මෙන්ම නොයෙකුත් දුබලතා ද කැටිකොට ගත්තකි. මොහමඩ් අලීගේ විචිත්‍ර කතාපුවත දරුවන්ටද වැඩිහිටියන්ට ද ජීවිතය පිළිබඳ නැවත සිතන්නට යම් උත්ප්‍රේරණයක් සපයනු නියත ය. මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.
කෙටි නාට්‍ය අට 28 දා ජනගත කෙරේ
ආරියරත්න විතාන විසින් පරිවර්තනය කරන ලද ඇන්ටන් චෙකොෆ්ගේ 'කෙටි නාට්‍ය අට' ග්‍රන්ථය ජනගත කිරීම මෙම මස 28 වැනිදා එනම් හෙට සවස කොළඹ රුසියානු කේන්ද්‍රයේදී සිදු වේ. එදින මුඛ්‍ය දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකගෙනි. එදින ආරියරත්නයන් විසින් පරිවර්තනය කරන ලද ඇන්ටන් චොකොෆ්ගේ 'ජයන්තියක්' නමැති කෙටි නාට්‍ය ද වේදිකා ගතවේ. එය ටවර් හෝල් නාට්‍ය සහ රංග කලා පාසලේ සිසු සිසුවියන්ගේ නිෂ්පාදනයකි.
ගජමන් නෝනාගේ කවි සීපද එළිදකියි
ඓතිහාසික නවකතා ඇතුළු ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති මහාචාර්ය බන්දුසේන ගුණසේකර විසින් රචිත ‘ගජමන් නෝනාගේ කවි සීපද’ කෘතියේ නවතම මුද්‍රණය පසුගියදා (25 වැනිදා) කොළඹ, මරදානේ, පූජ්‍ය ඇස් මහින්ද හිමි මාවතේ දයාවංශ සහ ජයකොඩි සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්විණ. ගජමන් නෝනා කිවිඳිය විසින් ලියන ලද කියන ලද සියලුම කවි මෙම ග්‍රන්ථයට ඇතුළත් වෙයි. මෙතෙක් අනාවරණය කරගත නොහැකිව තිබූ ඇගේ එකම කාව්‍ය නිබන්ධනයද මෙහි ඇතුළත්ය. මේ මඟින් මාතර කවියෙහි පොදු ස්වරූපය මෙන්ම නූතන කවියෙහි ආරම්භක ස්වරූපයද මේ හරහා විදහා දැක්වේ. ශමෙල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා
ශිෂ්‍ය වීසා රැගෙන පැරිසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන කම්පනය, යුරෝපයේ සරණාගතයන්ගේ අරගලය, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂය ද සියල්ලට ම වඩා තමන්ගේ පවුලක් තනා ගැනීමේ මිනිස් අසාව ද පෙරටු කරගත් ගමනක යෙදෙන ‘ප්‍රංශ පෙම්වතා’ ශමෙල් ජයකොඩිගේ නවතම නවකතාවයි. මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.
නිහාල් රංජිත්ගේ කඩියානිහාල් රංජිත්ගේ කඩියා නවකතාව කඩිවකු නොවන මිනිසකුගේ කතාවයි. කඩියා නම් පටබැඳණු යෞවනයාගේ මනෝභාවයන්, සියල්ල විවිර වූ සමාජ වටපිටාවක සුනාමියකට හසුව වල්මත් විකෘතියක් බවට පත් වූ හැටි ඔබට දැකීඹට පුළුවන් නම් ඔබ කඩියා කියැවීමට බඳුන් කළා වන්නේ ය. ‘කඩියා’ සරසවිය ප්‍රකාශනයකි. |