|
||||||
සම්මාන ගොන්නේ සරසවිය යනු වටිනාම එකයි
රවීන්ද්‍ර ගුරුගේ
අසූව දශකයේදී නිර්මාණකරණයට පිවිසි රවීන්ද්‍ර සිය කලා ජීවිතයේදී සංස්කරණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මාන හතරකින් පිදුම් ලැබීමට වාසනාවන්ත විය. 'සුළං කිරිල්ලී' (2004), 'මිල්ලෙ සොයා' (2005), 'උඩුගංයාමය' (2007) සහ 'සංකාරා' (2010) චිත්‍රපටවල සංස්කරණය වෙනුවෙන් ඔහු දිනූ සරසවිය සම්මාන පිළිබඳ මතකය යළිත් සිහිපත් කළ අයුරුයි මේ. "සරසවිය සම්මානයක් කියන්නේ ඕනෑම කලාකරුවෙකු ලබන ඉතාම වටිනා සම්මානයක්. එය කලාකරුවෙකු ලැබිය යුතු සම්මානයක්.ඒ විතරක් නෙවෙයි ඕනෑම කලාකරුවෙකුගේ හීනයක්.මට ප්‍රථමයෙන්ම සරසවිය සම්මානයක් හිමි වුණේ ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කළ 2003 වසරේ දී තිරගත වුණු 'සුළං කිරිල්ලී' චිත්‍රපටය වෙනුවෙන්. ඒක මට මගේ නිර්මාණ ජීවිතයට විශාල ශක්තියක් වුණා. ඒ සමඟින් ලොකු වගකීමක් මා වෙත භාර වුණා වගේ හැඟීමක් දැනුණා."
* ඔබත් නිර්මාණකරණයට පිවිසිදා පටන් සරසවිය සම්මාන සිහිනයක් දකින්න ඇති? සම්මානයක් කියන්නේ අනෙකුත් නිර්මාණකරුවන් අතරේ විශේෂ නිර්මාණකරුවෙකු ලෙසින් ඇගයීමක්. ඒ ඇගයීමට පාත්‍ර වුණොත් හොඳය කියන අදහස මගේ හිතේ තිබුණා. ඒක ඕනෑම පෘථග්ජන කලාකරුවෙකු තුළ තියෙන අදහසක්. ඉතින් අපේ සම්මාන ගොන්නට සරසවිය සම්මානයක් එක් වෙනවා කියන්නේ ඉතාමත් වටිනා එකක් එකතු වුණා කියන එක.
* නිර්මාණකරුවෙකුට සරසවිය සම්මාන හතරක්ම හිමි වුණාම දැනෙන්නේ මොන වගේ සතුටක්ද? මේ දක්වා මට හිමි වුණු ර්‍ණඛ්ධ්ඛ්, ජනාධිපති සම්මාන ඇතුළුව මගේ සම්මාන ගොන්නෙහි සරසවිය සම්මානම හතරක් තිබීම මට ලොකු සතුටක්. එහිදී මට දැනෙන්නේ නිර්මාණාත්මක දේ වෙනුවෙන් මගේ දායකත්වය යි. සරසවිය සම්මාන හතරකින් මාව අගයන්න හේතුව මා නිර්මාණශීලි සංස්කරණ ශිල්පියෙකු ලෙසින් වූ දායකත්වය යි. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්. * ඔබ හොඳම සංස්කරණ ශිල්පියා ලෙසින් සම්මානනීය කළ 'සුළං කිරිල්ලී', 'මිල්ලෙ සොයා' , 'උඩුගංයාමය' සහ 'සංකාරා' චිත්‍රපට හතර ඔබට දැනුණු ආකාරය ගැනත් සඳහන් කළොත්? 'සුළං කිරිල්ලී' කියන්නේ ඉනෝකාගේ ප්‍රථම සිනමා නිර්මාණය යි. ඒ චිත්‍රපටය ජාත්‍යන්තරයේ පවා සම්මානනීය වෙමින් අපේ රටට වැඩිම සම්මාන ගණනක් ගෙන ආ චිත්‍රපටය යි. ඇය ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරියක බව එදා මට සංස්කරණයේදී වැටහුණා. ඒ වගේම බූඩි කීර්තිසේනගේ 'මිල්ලෙ සොයා' ගේ 'උඩුගංයාමය' සහ 'සංකාරා' චිත්‍රපට ගත්තොත් මේ හැම එකක්ම එකිනෙකට වෙනස් පැති හතරකට යන චිත්‍රපට. ඒවායේ චරිත, රූගතකර තිබෙන ආකාරය ගත්තොත් එකකට එකක් හාත්පසින්ම වෙනස්. මේ සියල්ලම ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කර ඇගයීම්වලට ලක් වුණා. දැන් නැවතත් චිත්‍රපට හතරම නැරඹුවත් එකින් එක අනුව ඒවායේ සංකල්ප අනුව ඒ නිර්මාණවලට විය යුතු සාධාරණය මම ඉටුකළ බවක් තමයි දැනෙන්නේ. * සංස්කරණ කටයුත්තම තෝරා ගත්තේ ඇයි ? සංස්කරණයට පිවිසෙන්න බලපෑම් කළ විශේෂ හේතුවක් තියෙනවාද? මම සිනමාවට එන්න කලින් මගේ දායකත්වය ලැබුණේ රූපවාහිනි මාධ්‍යයටයි. ඒ 1983දී විතර. මගේ හීනය තිබුණේ කැමරා ශිල්පියෙක් වෙන්නයි. ඒ වෙනකොටත් මම ඡායාරූප ශිල්පය හදාරා තිබුණා. නමුත් රූපවාහිනි මාධ්‍යයට පැමිණි පසු ඒ කාලයේ තිබුණු ඡායාරූප ශිල්ප ක්‍රමවලින් විශාල යමක් ඉටු කරන්න ඉඩකඩ තිබුණේ නැහැ. ඒ සමඟින් තාක්ෂණික අංශය දෙස බලනකොට සංස්කරණ අංශය තෝරා ගැනීම වඩාත් යහපත් බව හැඟුණා. අනික ඒ කාලයේ ක්ෂේත්‍රයේ එතරම් සංස්කරණ ශිල්පීන් හිටියෙත් නැහැ. තාක්ෂණය ඉගෙනගන්න ඇතිවුණු ආසාව නිසාම සංස්කරණය තෝරා ගත්තා. මගේ පළමු නිර්මාණ කටයුත්ත යෙදී තිබුණේ විජය ධර්ම ශ්‍රී සමඟින්. ඒ ඔහුගේ වාර්තා වැඩසටහනක්. "ඔයා කැමරාව පස්සේ යන්න එපා. ඔයාගේ ඇඟේ සංස්කරණයේ රිදම් එක තියෙනවා. මැෂින් එක ඉගෙන ගන්න අය ඕනෑ තරම් ඉන්න පුළුවන්. හැබැයි මේ රිද්මය තියෙන අය හොයාගන්න අපහසුයි. ඒනිසා දිගටම මේක පුහුණු කරන්න" කියලා එය අවසන් වූ විට ඔහු පැවසුවා. ඒත් සමඟින් සිනමාව තුළ සිටි දැවැන්තයින් හමු වෙන්න මට අවස්ථාව ලැබුණා. එතැනින් පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය සුමිත්‍රා පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, වසන්ත ඔබේ සේකෙර, ටයිටස් තොටවත්ත ආදී දැවැන්තයින්ගේ නිර්මාණ කටයුතු වෙනුවෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා එතැනින් ආපසු හැරිලා ඡායාරූපකරණයට යන්න මට උවමනා වුණේ නැහැ. නමුත් දැන් විවේක වෙලාවට විනෝදාංශයක් හැටියට මම ඡායාරූපකරණයේ යෙදෙනවා.
* සංස්කරණ ක්‍රියාවලියේදී ඔබගේ දායකත්වය සුවිශේෂයි? සංස්කරණය ඔස්සේ මට අලුත් දේ හොයන්න උවමනාව ඇති වුණා. මම සංස්කරණයට පිවිසෙනකොට අපේ රටේ ඒ වෙනුවෙන් තිබුණේ ඉතාම අවම තාක්ෂණයක්. එහිදී ඉතාම බැරෑරුම් සීමාවන් සමඟින් ඒවා අතික්‍රමණය කරමින් අලුත් අලුත් දේ අත්හදා බලමින් මම මගේ නිර්මාණ කාර්යය ඉටු කළා. ඒ අත්හදා බැලීම් එක්ක මට සරසවිය සම්මාන හතරක් ඇතුළුව සම්මාන තිහකටත් අධික සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ඉදිරියට එන්න අවස්ථාව ලැබුණා. අසූව දශකයේ අගභාගය වන විට ඩිජිටල් තාක්ෂණය සිනමාවට කාන්දු වෙමින් තිබුණේ. 90 දශකයේදී පරිගණකය හරහා සිනමාට පට සංස්කරණය ආරම්භ කෙරුණා. 1997 වෙනකොට ඒක ඉන්දියාවට ආවා. 2000 දශකය ආරම්භයේදී ඒ තාක්ෂණය අපේ රටටත් හඳුන්වා දෙන්න මට හැකියාව ලැබුණා. 1997 අවුරුද්දේ විතර මමත් ඒ වෙනුවෙන් හැදෑරීම් කළා. ඒ වෙනකොට මට සිනමා සංස්කරණය වෙනුවෙන් ආරාධනා ලැබිලා තිබුණේ. නමුත් පැරණ ක්‍රමයට අනුව සංස්කරණ කටයුත්තේ යෙදෙන්න මට උවමනා වුණේ නැහැ. ඒ සමඟින් ජයන්ත චන්ද්‍රසිරිගේ 'අග්නිදාහය' සහ ඉනෝකාගේ 'සුළං කිරිල්ලි' සංස්කරණය සිදු වුණා. ලංකාවේ පරිගණක තාක්ෂණයෙන් සංස්කරණය කළ මුල්ම සිනමා කෘති දෙක වෙන්නෙත් මේ චිත්‍රපට දෙක යි. නමුත් ඊට පෙර අශෝක හඳගමගේ මේ මගේ සඳයි' චිත්‍රපටය සංස්කරණය කළා. ඒ කාලයේ මම මේ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කළ කාලයයි. ඒ වෙනුවෙන් හඳගම ඔහු ලක්ෂ ගාණක් වියදම් කර තැනූ චිත්‍රපටය දුන්නා. අලුත් තාක්ෂණය සොයමින් මම ගිය ගමනට හඳයා ලොකු ශක්තියක් දුන්නා. මේ සියල්ල සමඟින් මම සිනමා සංස්කරණයට පිවිසුනේ අලුත් තාක්ෂණයත් අපේ රටට තිළිණ කරමින්. ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. * සිනමා නිර්මාණයේ විශේෂිතම අංශයක් වන සංස්කරණ කටයුත්තේදී අදාළ නිර්මාණකරුවාට එය දැනෙන්නේ කෙසේද? සංස්කරණය කියන්නේ සිනමාපටයක අවසාන පරිච්ඡේදය යි. එතැනට එන්නේ, මුලදී සිදු වූ අඩපාඩුකම්, මඟහැරීම් ආදි සියලු ගැටළු සමඟිනුයි. සිනමා නිර්මාණයක් තුළ සියයට සියයක්ම බලාපොරොත්තු වූ පරිදි රූගත කිරීම් කර ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. පිටපතේ තිබෙන ඇතැම් දේ අඩු වෙන්න වුනත් පුළුවන්. එහෙමත් නැතිනම්, ඊට වඩා වැඩි දේවල් එකතු වෙන්න පුළුවන්. මේ සියලු දේ සමඟින් අධ්‍යක්ෂවරයාට වැදගත්ම අවස්ථාව වෙන්නේ සංස්කරණය කියන අවස්ථාවයි. මොකද අධ්‍යක්ෂවරයාගේ හිතේ තිබු චිත්‍රය නිර්මාණයක් විදියට ප්‍රතිනිර්මාණය වෙන්නේ එතැනදීයි. එය සිනමා නිර්මාණයකට ජීවයක් ලැබීම කිව්වොත් වඩා නිවැරදියි. එතැනදී මම අදාළ නිර්මාණයේ අධ්‍යක්ෂවරු සමඟින් අදාළ චරිත ගැන, කතාව ගැන ආදි ලෙසින් පිටපතට එහා ගිය සාකච්ඡාවක නිරත වෙනවා. චරිතවල මනෝභාවයන් අනුව චරිත ගොඩනැංවීම ආදිය සමඟින් අධ්‍යක්ෂවරයා නිර්මාණය දකින අයුරු මම දකින්නේ එතැනින්. වාණිජ සිනමා පටයක නැතත් කලාත්මක සිනමා පටයකදී එය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඉතාම පරෙස්සමෙන්, සංවේදීව හිතන්න, දකින්න පුළුවන් නම් ඒක සංස්කරණ ශිල්පියෙකුට ගොඩක් වැදගත් වෙනවා. * සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ආසාවක් ඇතිවෙලා නැතිද? ඇත්තටම අදටත් අධ්‍යක්ෂණය ගැන මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. රූපවාහිනි ක්ෂේත්‍රයේ කටයුතු කරන කාලයේදී මා අතින් වාර්තා චිත්‍රපට සහ වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය වෙලා තියෙනවා. මුල් කාලයේදීම කළා නම් එය කළ යුතුව තිබුණා. නමුත් දැන් ලොකු සිනමාපටයක් කරන්න ඒ වෙනුවෙන් නිවිසැනසිල්ලේ කාලය මිඩංගු කරන්න අපහසුතාවක් තමයි තියෙන්නේ. එහෙම නැතුව සිනමා කාර්යයට අතගහන්න බැහැ. සිනමා අධ්‍යක්ෂණය කියන්නෙත් මා දකින හීනයක්. ඒක හීනයක්ම නොවී යථාර්ථයක් කරන්න මම සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් තව ටික කාලයක් අවශ්‍යයි.
|
||||||