වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




චන්ද්‍රන් රත්නම්ගේ නවතම චිත්‍රපටය හෙට සිට

චන්ද්‍රන් රත්නම්ගේ නවතම චිත්‍රපටය හෙට සිට

මේ වගේ ආදරයක්

ආදරය ගැන අලුත් කතාවක්

නිල් පැහැයෙන් බබළන දීප්තිමත් ගුවන පුරා සියොතුන් නිදහසේ සැරිසරනා අයුරු නෙතට ගෙන දෙන්නේ චමත්කාරයකි. ඔවුන්ගේ නිදහස නම් අපූරුය. සීමා මායිම් නැති අහස ඔවුන්හට නිදහසේ සැරිසරන්නට ඇවැසි ඉඩහසර ලබා දෙන්නේ අපිරිමිත සෙනෙහසිනි.

සුන්දර බලාපොරොත්තු වලින් පිරි ජීවිතයද නිල් අහස මෙනි. අධිෂ්ඨානය, ධෛර්යය ඇත්නම් නිදහසේ ඒ වෙත සියොතුන්ට මෙන් පියඹා යා හැකිය. නමුත් එය එළෙසම නොවෙන්නේය. සුන්දර බලාපොරොත්තු මිනිස් ජීවිත ජීවත් කරවුවද දීප්තිමත් නිල් අහසේ සියොතුන්ට මෙන් නිදහසේ පියඹා යාමට ඔවුනට සෑම විටම අවසර නැත. රොෂාන්හට සිතුනේ එළෙසිනි. කුරුල්ලෙකු මෙන් නිදහස් ගුවනේ පියඹා යාමට තමාද කෙතරම් නම් පෙරුම් පිරුවේද?

සොඳුරු යෞවනයේ විසිපස් වැනි ජීවිත කඩඉමෙහි සිටින රොෂාන් කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි. නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි. සියලු යස ඉසුරින් පිරි ජීවිතයක් රොෂාන් සතු විය. ඉංජිනේරු ශිෂ්‍යාවක වන සෙරීනාද රොෂාන් සේවය කරන්නා වූ ගුවන් නියමු පුහුණු පාසලේ අධ්‍යාපනය හදාරණ ඉංජිනේරු ශිෂ්‍යාවකි. ඇය මධ්‍යම පාන්තික කතෝලික පවුලක තරුණියකි. සෙරිනාගේ පියා බයිසිකල් අලෙවිසැලක් පවත්වාගෙන යන්නේය.

යෞවනයේ මිහිරි ආදරය දෙදෙනාගේම ජීවිත අරක් ගෙන අවසානය. ආදරය කාහටත් පොදු සිතුවිල්ලකි. දෙහදක් බැඳුණු තැන සුන්දර ආදර අන්දරයක් ඇත්තේය. රොෂාන් මෙන්ම සෙරීනාද යොවුන් ආදරයේ මිහිරියාව විඳින්නේ සොබාදහමට අවනතවය. පවුල් පැළැන්ති, සමාජ මට්ටම් කිසිවකට සීමා කළ නොහැකි වූ ආදරයකින් දෙදෙනාම බැඳෙති.

යහපත් දූ දරුවෝ මව්පිය ආශීර්වාදය මහත් සේ සළකති. රොෂාන් මෙන්ම සෙරීනාද තම ආදරයට මව්පිය ආසිරි පතති. එහෙත් ධනයෙන්, බලයෙන් උදම් වූ කුල මාන්නයෙන් පිරි රොෂාන්ගේ ඇමැති පියා මේ ආදරය කිසිසේත්ම අනුමත නොකරයි. ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තම පුතු දිවයිනේ සුප්‍රසිද්ධ සමාගමක ගුවන් නියමුවෙකු ලෙසින් දැකීමය. තම පුතු වෙනුවෙන් යහපතක් කිරීමට තම පණ වැනි ආදරණීය පුතුගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට නොපැකිළි වන පියෙකු ලොව සිටීද?

ඇමැති පියා සියලු කටයුතු යොදන්නේ තම පුතු සතුටින් සිටිනු දැකීම වෙනුවෙනි. තම පුතුගේ අනාගතය වෙනුවෙන් ඇමැති බලය පවා යොදමින් පුතු සමාජයේ ඉහළින් තැබීමට ඔහු වෙහෙසෙන්නේය. එහෙත් ආදරයේ නිදහස තම පුතුහට ලබා දෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. තම පියාගේ බලයෙන් ඔපවත් නොවී නව සමාජයේ තනි ධෛර්යයෙන් නැඟී සිටීමට වෙර දරන රොෂාන් මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ අධිෂ්ඨානය වන්නේ තම උත්සාහයෙන් ඉලක්ක වෙත ගමන් කිරීමයි. දිගින් දිගටම පියාගෙන් එල්ල වන කුරිරුකම් හමුවේ රොෂාන් - සෙරීනා තීරණයකට එළඹේ. තම ආදරය තම ජීවිතය සේ සළකන මේ ආදරණීය පෙම් යුවළ අවසානයේදී දෙමාපිය ආසිරි නොමැතිවම සිය ආදර මන්දිරය තනති. පොළවේ පයගසා ජීවත් වන්නට වෙර දරන රොෂාන්, සෙරීනා සමඟින් ජීවන ගමනේ ඉදිරිය සකසන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.

ඔවුන් නව ජීවිතය අරඹන්නේ කුළී නිවෙසකිනි. මහා මන්දිරයක ජීවත් වූ රොෂාන් සේම යමක් කමක් තිබූ පවුලක වූ සෙරීනාටද මේ අලුත් ජීවිතය නුහුරු නුපුරුදු වුවත් කිසිම ප්‍රශ්නයක් ඔවුන් අතරට නොපැමිණිනෙන්නේ එකිනෙකා වෙනුවෙන් වූ අනෝන්‍ය අවබෝධය නිසාමය. එහෙත් සිඟිති මුවක කිරි සිනහ දැකීම වෙනුවෙන් වූ ආදරණීය බලාපොරොත්තුව තව තවත් ප්‍රමාද වීම දෙදෙනාම වෛද්‍යවරයෙකු සොයා යති. පරීක්ෂණ අවසානයේදී හෙළිවන්නේ සෙරීනා දරුණු රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. විශාල මුදල් සම්භාරයක් වියදම් වන බව පෙනුණද රොෂාන් සෙරිනා නවත්වන්නේ සියලු සැපසම්පතින් පිරි පෞද්ගලික රෝහකය.

එහෙත් එය ඔහුගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන්නක් විය. එපමණක් නොව සෙරීනාගේ සෞඛ්‍ය තත්ත්වයද පෙනෙනතෙක් මානයක යහපත් සේ නොපෙනේ. ඔහුට අවසානයේදී තමා පණ මෙන් ආරක්ෂා කළ පැරණි මෝටර් බයිසිකලය පවා විකුණා දැමීමට සිදුවේ. ඔහු මේ සියලු කැපකිරීම් සිදු කරන්නේ තම ජීවිතය බඳු වූ ආදරණීය බිරිඳ ජීවත් කරවීම වෙනුවෙනි. එහෙත් ඔහුහට සෙරීනා සුවපත් කරගත හැකි වේද? මේ ගැටළු සියල්ල අතරේ ඇමැති පියාගේ ක්‍රියාකලාපය සේම සියල්ල අවසානයේ සමාජයට ස්ව උත්සාහයෙන් නැඟී සිටින්න වෙර දරණ තරුණයෙකු වූ ඇමැති පියාට අකීකරු පුත්‍රයකු වූ ආදරණීය බිරිඳට ආදරණීය සැමියෙකු වූ රොෂාන්ගේ ජීවිත ඉරණම කෙලෙස විසදේවිද යන්න ගෙන එන ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය මෙම 24 වැනිදා (හෙට) සිට රිදී තිරයේ දිගහැරෙන්න නියමිතය.