|
|
චණ්ඩියා කියන්නේ අදටත් ආදර්ශයක්
කැළුම් පාලිත මහීරත්න
අපේ කලාකරුවන් සිනමාවේ, පුංචි තිරයේ වගේම වේදිකාවේ හදවතට දැණුනු මිහිරි මතකයන් සිහිපත් කරන්නේ ‘සරසවිය පුදුම හත’ටයි. අද එහි විශේෂත්වය නම් පුංචි තිරයේ නම ගිය ඇත්තෙක් කතා කරන්නේ ඔහුගේ සිත ගත් සිනමා නිර්මාණ ගැන වීමයි. රූපවාහිනී ක්ෂේත්‍රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨයෙක් වූ ඔහු කන්දේ හන්දිය, නෙල්ලිගෙදර, විසුළ අහස, ස්නේහා වැනි ටෙලි නිර්මාණ පුංචි තිරයට රැගෙන ආ කැළුම් පාලිත මහීරත්නයි. කැළුම් අද පුදුම හතට පවසන්නේ ඔහු ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණ අතරේ විශේෂත්වයක් දුටු නිර්මාණ හතක් පිළිබඳවයි.
චණ්ඩියා ටයිටස් තොටවත්ත විසින් අධ්‍යක්ෂණය කළ චණ්ඩියා චිත්‍රපටය ලංකාවේ ක්‍රියාදාම චිත්‍රපට අතරේ ඉහළින්ම සිටින චිත්‍රපටය ලෙසින් මම හඳුන්වන්න කැමැතියි. එහිදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මැවූ චණ්ඩියා අපේ සිනමාවේ තවත් බොහෝ දෙනෙක් මවන්නට උත්සාහ කරන්න හැදුවා. ඒත් ඒක සාර්ථක වූ බවක් නම් දකින්නට ලැබුණේ නැහැ.
චණ්ඩියා චිත්‍රපටය ටයිටස් තොටවත්ත මහතාගේ සිනමා නිර්මාණ අතරේ විශේෂිත චිත්‍රපටයක්
සේම සිංහල සිනමාවේත් බොහොම වැදගත් චිත්‍රපටයක්. චණ්ඩියා චිත්‍රපටය තිරගත කෙරුණේ මගේ
වයස අවුරුද්දක තරම් කාලයේදීයි. ඒත් චණ්ඩියා චිත්‍රපටය මට නරඹන්න ලැබුණේ එයින් බොහෝ
කාලයකට පසුවයි. චණ්ඩියා කියන්නේ අදටත් ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණවලට ලොකු
ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටයක්.
හාරලක්ෂය හාරලක්ෂය චිත්‍රපටය දේශීය සිනමාවට විශේෂ වන්නේ සත්‍ය සිදුවීමක් සිනමාවට ගෙන ආ සාර්ථක චිත්‍රපටයක් ලෙසින්. බොහොමයක් නිර්මාණකරුවන් සත්‍ය සිදුවීමක් සිනමාවට ගෙන ඒමට තරමක මැළිකමක් දක්වනවා. මන්ද යත් ප්‍රේක්ෂකයා එය දැක හෝ අසා තිබීම නිසා අදාළ සිදුවීමේ චිත්ත රූප ඔවුන් මවාගෙන තිබීමයි. ඒ නිසා නිර්මාණකරුවා ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට සත්‍ය සිදුවීම සාර්ථක අයුරින් ඉදිරිපත් කිරීමට ලොකු වෙහෙසක් දැරිය යුතු වෙනවා. ඒ නිසාම බොහෝ දෙනා ඒ අභියෝගය භාර ගැනීමට මැළිකමක් දක්වනවා. නමුත් හාරලක්ෂය චිත්‍රපටය ඒ අභියෝගය ජයගත් අවස්ථාවක් ලෙසින් මම දකිනවා. එම සත්‍ය සිදුවීම ප්‍රතිනිර්මාණයක් ලෙසින් ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ හාරලක්ෂය චිත්‍රපටය මම දකිනවා. එහිදී ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ආලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර මෙම චිත්‍රපටයේ ඒ ඒ චරිත තුළ ජීවත් වුණා. ඒ වගේම සත්‍ය කතාව ප්‍රබල ලෙසින් ඒ ආකාරයෙන්ම චිත්‍රපටයේ තිබුණා.
විරාගය විරාගය චිත්‍රපටය මගේ කැමැත්ත ඉහළින්ම දිනාගත් චිත්‍රපටයක්. විරාගය මම අට වතාවක් නැරඹුවා. එහි ආදරය පිළිබඳ කතා කළ ආකාරය විශේෂයි. සනත් ගුණතිලක විරාගයේ අරවින්ද වෙනුවෙන් උපරිම කැපවීමක් කළා. ඒක නළුකමේ අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ඔහු එය මනා ලෙසින් ඉටු කිරීම විරාගයේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වුණා කියලා කියන්න පුළුවන්. විරාගය ආචාර්ය තිස්ස අබේසේකර නම් විශිෂ්ට පිටපත් රචකයා අතිසාර්ථක අයුරින් ලියූ පිටපත චිත්‍රපටයේද සාර්ථකත්වය යි. තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය වන්නේද එයයි. මෙහිදී නවකතාවක් රිදී තිරයට ගෙන ඒමේ විශාල අභියෝගයක් තිබුණා. නවකතාවක් ජනතාව පරිශීලනයෙන් පසු ඔවුන් ඒ පිළිබඳ චිත්ත රූප මවා ගන්නවා. ඔවුන් එය නැවත බලන්නේ චිත්‍රපට නිර්මාණකරුවා එය සාර්ථක අයුරින් නිර්මාණය කළහොත් පමණයි. 1988 වසරේ තිරගත වූ විරාගයේ අරවින්ද වගේම, බතී, සරෝජිනී වැනි ආදරණීය චරිත තවමත් අපේ සිත් තුළ ජීවත් වන්නේ ඒ නිසයි.
ජුරාසික් පාර්ක් ජුරාසික් පාර්ක් චිත්‍රපටය එහි අධ්‍යක්ෂවරයා වූ ස්පිල් බර්ග් දුටු අපූරු හීනයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමක් ලෙසින් මම දකිනවා. එය සිනමා ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළ අපූරු සිනමා නිර්මාණයක්. එහිදී ග්‍රැෆික් තාක්ෂණය භාවිත කළ ආකාරය ගැනත් කතා කළ යුතුමයි. සිනමා ශාලාව තුළට ගිය අප එතැනින් එහාට ගොස් ඩයිනෝසරයන් ජීවත්වන උද්‍යානයක් දක්වා අප කැඳවා ගෙන යාමට අධ්‍යක්ෂවරයා සමත් වුණා. විශ්මිත ක්‍රියාදාම නොවී ප්‍රේක්ෂකයා අනවශ්‍ය කම්පනයකට පත් නොකොට ඒ තුළ ඔවුන් ජීවත් කරවන්නට සැලැස්වූ අයුරු අපූරුයි.
හංස විලක් ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා කෘතිය වූ හංස විලක් චිත්‍රපටය මගේ හිතේ සදාකල් රැඳෙන නිර්මාණයක් බවට පත් වෙන්නේ එහි ඇති සංගීතය නිසාවෙන්. එහි ගීත තවමත් ආසාවෙන් රස විඳින්න පුළුවන් ගී නිර්මාණ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ නන්දා මාලිනි ගායනා කරන ‘සඳුන් සිහින මණ්ඩපයේ’ ගීතය වගේම ටී. එම් ජයරත්න සහ සුසිලා අබේසේකර ගයන ‘හෙමින් සැරේ පියාවිදා’ ගීත අදටත් අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙනවා. සාමාන්‍යයෙන් සිනමා නිර්මාණ තුළ අප දකින්නේ සීනි බෝල පෙම්වතුන්. හංස විලක් චිත්‍රපටයේ පෙම්වතුන් යුවළ යථාර්ථවාදී මිනිසුන් අතර සිටින සැබෑ පෙම් යුවළක් නිරූපණය කළා. ඇත්තටම හංස විලක් චිත්‍රපටය තුළ අපේ ලෝකය ආදරය යැයි අපි දැක්කා. එහි නැවුම් බවක් දකින්නට තිබුණා. අපට ආගන්තුක නොවූ ඒ ප්‍රේමණීය චරිත තුළ අපි අපිමයි දුටුවේ. ඒ තරමට එම චරිත නිරූපණය තාත්විකව කරන්නට ප්‍රධාන රංගන ශිල්පීන් වගබලාගෙන තිබුණා සේම අධ්‍යක්ෂවරයා මෙහිදී අභ්‍යන්තර සිතුවිලි ගමන් කරන ආකාරය ඉස්මතු වන ලෙසින් එම චරිත හැසිරවීම ප්‍රශංසනීයයි.
චෙන්නායි එක්ස්ප්‍රස් චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය මට දැනෙන්නේ මෑත කාලයේදී සුපිරි බොලිවුඩ් තරුවක වූ ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ අභියෝගාත්මක චරිතයක් ලෙසින්. මෙම චිත්‍රපටය තුළ ඔහුගේ අනෙක් පස සිටියේ දැවැන්ත දුෂ්ටයෙක්. මේ කතාව තුළ වීරයා තමයි දුර්වල වෙන්නේ. නමුත් බොහෝ නිර්මාණකරුවන් තම නිර්මාණය තුළ බිහි කරන්නේ දුර්වල වූ දුෂ්ටයෙක්. චෙන්නායි එක්ස්ප්‍රස් අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි මෙම සිනමා නිර්මාණයේ දුෂ්ටයා ලෙසින් කැඳවන්නේ දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත නළුවෙකු වූ සත්‍යරාජ්. රෝහිත් ෂෙට්ටි නම් අධ්‍යක්ෂවරයා වෙනස් කෝණයකින් මෙම නිර්මාණය ඉදිරිපත් කළ ආකාරය අනුව හැමදාම ලෙහෙසියෙන් ජය ගන්නා වීරයාට අභියෝගාත්මක රංගනයක නියැළෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස්ව කළ නිර්මාණයක් ලෙසින් මට චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය විශේෂ වෙනවා. නළුවෙක් අධ්‍යක්ෂවරයෙකු දිනා ගන්නාසේම නළුවෙකු විසින් ප්‍රේක්ෂකාගාරය දිනා ගැනීමද කළ යුතු වෙනවා. මේ චිත්‍රපටය පුරා නළුවා ප්‍රේක්ෂකයා දිනා ගන්නට සමත් වෙනවා.
ගුසාරිෂ් බොලිවුඩයේ සිටින අධ්‍යක්ෂවරුන් අතරින් සන්ජේ ලීලා බන්සාලි මම දකින්නේ සෞන්දර්යාත්මක අධ්‍යක්ෂවරයෙක් ලෙසින්. ඔහුගේ නිර්මාණ නරඹන අපට දැනෙන්නේ ඔහු සිනමාවට එහා ගිය දැක්මකින් යුතු වූ සොඳුරු නිර්මාණකරුවෙකු ලෙසින්. ගුසාරිෂ් චිත්‍රපටයෙන් ඔහු මතු කර පෙන්වූයේ අපේ ජීවිත තුළ තිබෙන්නා වූ වෙනස්ම වූ පැතිකඩක්. එහිදී අධ්‍යක්ෂවරයා ලෙසින් සන්ජේ ලීලා බන්සාලි රිතික් රෝෂන් ඒතන් මැස්කරිනස් නම් පුද්ගලයා ලෙසින් කළ මෙහෙයවීම පුදුමාකාරයි. රිතික් රෝෂන් ද රංගන ශිල්පියෙකු ලෙසින් මෙහිදී පුදුමාකාර ලෙසින් කැප වූ රංගනයක නිරත වුණා. මුළු සිරුරම අප්‍රාණික වූ මිනිසෙකු ලෙසින් පැය එක හමාරක් පුරා ඔහු කළ රංගනය විශ්මිතයි. මෙහිදී ඔහුගේ රංගන පරාසය විහිදුනේ මුහුණෙන් පමණයි. එවැනි රංගනයක් ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට කළ හැකි යැයි මා සිතන්නේ නැහැ. ඓෂ්වර්යාගේ රංගනයද මෙහි දී විශේෂයි. අතිසාර්ථක සිනමා නිර්මාණයක් වූ ගුසාරිෂ් මට නම් දැනෙන්නේ කවියෙක් ලියූ සොඳුරු කාව්‍යයක් ලෙසින්.
|




