වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




අහෝ කුමන පුදුමයක්ද?

අහෝ කුමන පුදුමයක්ද?

මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාටකයේ දෙවන නිෂ්පාදනය පුහුණුවීම් ඇරැඹුණේ 1969 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී. මුල් නිෂ්පාදනයේ දැවැන්තයින් සියල්ලම දෙවන නිෂ්පාදනයට එක් වුණත්, ගායක කණ්ඩායම, වැදි සෙනඟ, වේදිකාව පසුපස කාර්යයන් සඳහා එකතු වුණේ විද්‍යෝදයේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවෝ. ට්‍රිලීෂියා ගුණවර්ධන, බෙන් සිරිමාන්න, එඩ්මන්ඩ් විජේසිංහ, ශ්‍යාමන් ජයසිංහ සමඟ ලයනල් ප්‍රනාන්දු සුපුරුදු ප්‍රධාන චරිතවලට පිවිසෙන විට ගායන වෘන්දයට විද්‍යෝදයේ උපාලි ලක්ෂ්මන් රාජකරුණා, කේ. එච්. විමලසේන, චන්ද්‍රා සමරසිංහත්, පරණ ගායක කණ්ඩායමේ රංජි මුණසිංහත්, ආනන්ද හා මාලිනී තිලකරත්න, ස්වර්ණමාලි පෙරේරා (මිය ගිය) ආදීන් එක්ව සිටියා. බහුබූතයන්ගේ රංගනයට විද්‍යෝදයෙන් වික්ටර් ද මෙල් එකතු වූ අතර මහාචාර්ය තිස්ස කාරියවසම් මඟින් රංග භූමි පාලනයට මා ද එක් වුණා. විද්‍යෝදයේ එවකට ශිෂ්‍ය විජේරත්න පතිරාජ අනෙක් රංගභූමි පාලකයාය. අද සටහනේ කතා නායකයා විමලෙ, කේ. එච්. විමලසේන. ගායකයා. විමල්ගේ ගම වීරකැටිය. කැම්පස් ආවේ මට අවුරුද්දකට පස්සේ වීරකැටිය සෙන්ට්‍රල් එකෙන්. විමල්ට සිංදු කියන්න පුලුවන්. වාදනය කරන්න පුුලුවන්. කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ විමල්ට කොල්ලො කිව්වේ එකෝඩියා කියලා.

විමල්ට එකෝඩියන් එකක් තිබුණා විතරක් නෙවි කැම්පස් සෝෂල්වලදී ඒක අපූරුවට වාදනය කළා. විමල්ට වාද්‍ය භාණ්ඩ රාශියක් වාදනය කරන්න පුලුවන්. ගායක කණ්ඩායමෙන් ඔහු වාද්‍ය වෘන්දයට මාරු වෙලා පස්සේ කාලෙක මහාචාර්යතුමාගේ වෙස්සන්තර වගේ නාට්‍යයක සංගීත වින්‍යාසයත් පැවරෙනවා. විමල්ගේ මේ සුදුසුකම්වලට අමතරව නාට්‍ය කණ්ඩායමේදී අපූරු කතා කියන්නත් දක්ෂකමක් තිබුණා. විශේෂයෙන්ම ගමේ සිදුවීම්, එයාගේ අත්තම්මා සම්බන්ධ කතා. අද කතාව නම් විමල්ගේ ගමේ වීරකැටියේ වෙසක් උත්සවයකට පෙන්නපු නාට්‍යයක් හා සම්බන්ධ කතාවක්. මනමේවලින් පස්සේ සිංහබාහුවලට ආවම තමයි විමල්ගේ කතා අහන රසිකයෝ වැඩි වෙන්නේ. මහින්ද සමරසිංහ, දයා මනෝ, ටෙරී, මාලනී, රංජි, අනුර ෆොන්සේකා, ස්වර්ණා, දන්තුරේ තව නම් ගොඩයි. වීරකැටියේ තරුණයෝ එකතු වෙලා වෙසක් එකට නාට්‍යයක් පුහුණු වෙනවලු හැන්දෑවට හැන්දෑවට. ටවුමෙ කඩපොලේ ඉන්න වැඩිමහල් අයත් එනවලු පුහුණුවීම් බලන්න. මාළු කඩේ විලියම් මාමත් එහෙම එන එක් කෙනෙක්. දවස් කීපයක් පුහුණුවීම් බලන්න ආපු විලියම් මාමාට නාට්‍යයට හිත වැටිලා. සිංදු කියනවා. නටනවා, බිසෝවරු, රජවරු හරිම සතුටක්. සමහර දවසක රෑට විලියම් මාමා ගාණේ තේ පැන් සංග්‍රහයක් පවා.

'ඔන්න කොල්ලනේ අද මගේ ගාණේ තේ වතුර'. විලියම් මාමත් දැන් නාට්‍ය කණ්ඩායමේම සාමාජිකයෙක් වගේ ගැටව් ටිකත් එක්ක එකතු වෙලා. නාට්‍යය පෙන්නන දවස් ළං වෙනවා. දිගටම පුහුණුවීම් බලාගෙන හිටපු විලියම් මාමටත් ආසාවක් ඇති වෙලා නාට්‍යයේ පොඩි චරිතයක් හරි කරන්න. මේක අහපු නාට්‍යයේ අධ්‍යක්ෂ තරුණයා කලබල වුණා. දිගටම රිහර්සල්ස් බලන්නත් ඇවිත් ඉඳහිට තේ ටිකකුත් දුන්නු මනුස්සය නේද කියලා. ඒත් දැන් කොහොමද අලුත් චරිතයක් දෙන්නේ. විලියම් මාමට එයා පැහැදිලි කළා. 'අනේ විලියම් මාමෙ දැන් පුරුදු කරල ඉවරයිනේ. අලුතින් එකතු කරන්න චරිත නෑනේ.' 'අනේ පුතේ ඔය ඩිංගිත්තකට මම ඉස්ටේජ් එකට ඇවිල්ලා යන්නම්කො'. අධ්‍යක්ෂකට කර ගන්න දෙයක් නෑ. කට්ටිය එක්කත් කතාවෙලා යෝජනාවක් කළා විලියම් මාමට. 'මාමා ඔච්චර ආස නිසා පුංචි කෑල්ලක් දෙන්නම්, වචන තුනයි කියන්න තියෙන්නේ. කුමාරයා මැරුණම ඉස්ටේජ් එකට ගිහින් මැරිච්ච කුමාරයා දිහා බලලා නිකටෙ අත තියාගෙන ඒ වචන තුන කියන්න'. විලියම් මාමට පුදුම සතුටක් නාට්‍යය පෙන්නන සවසට ටවුමෙ කට්ටිය ඉස්සරහ රඟපාන්න ලැබෙන චාන්ස් එක. විලියම් මාමගේ වැඩේම අර වේදිකාවේදි කියන්න කියපු වචන තුන කටපාඩම් කරනවා තිරය පිටුපස්සේ, ගෙදර ගිහින් තනියම මිදුලට වෙලා. පුදුම ඕනකමක්. ඔන්න අපේ විමල්ගේ කතාවේ ඉතුරු කොටස. මේක තමයි නාට්‍යමය ජවනිකාව.

නාට්‍යය පටන් ගත්තා. සෙනග සූ ගාලා. විලියම් මාමා තිරය අස්සේ ඉඳගෙන පාඩම් කරනවා වචන තුන. අධ්‍යක්ෂ මල්ලි අහනවා ඉන්ටවල් එකෙන් පස්සේ 'මාමෙ හරි නේද දැන්? මතකයිනේ කරන්න ඕනෑ දේ. කියන්න ඕන වචන තුන. කුමාරයා මැරිල වැටුණම නිකටෙ අත තියාගෙන කියන්න ඕනෑ.' 'හරි පුතේ මට පාඩම්, බලන්නකො මම කරල පෙන්නන්නම්කෝ'.

ඉන්ටවල් ඉවර වෙලා විනාඩි පහළොවකට විතර පස්සේ කුමාරයා මැරිල වැටෙන සීන් එක. 'කෝ විලියම් මාමා' අධ්‍යක්ෂ විලියම් මාමා හොයනවා. පැති තිරය අස්සෙන් විලියම් මාමා තල්ලු කරලා වගේ ස්ටේජ් එකට යැව්වේ. නරඹන්න ඇවිත් ඉන්න මාර්කට් එකේ මුදලාලිලා, ගමේ නෑදෑයො දැකපු විලියම් මාමාගේ ඉහින් කණින් දාඩිය දාන්න ගත්තා. අධ්‍යක්ෂක කෑ ගහනවා මාමෙ අර වචන ටික කියන්න. විලියම් මාමා මැරිලා වැටිලා ඉන්න කුමාරයා දිහා බලලා නිකටෙ අත තියාගෙන මෙහෙම කිව්වා. 'අහෝ පුදුම කුමනයක්ද?' කියලා. ඕඩියන්ස් එකෙන් හූවක් ආවා. විලියම් මාමට කියන්න තිබුණේ 'අහෝ කුමන පුදුමයක්ද' කියලා. විමල්ගේ කතා අංක එක එපමණයි.