වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




‘සෙල්ලම් බඩු නෙමෙයි’ ස්වාභාවික ප්‍රහසනයක්

ස්වාභාවික ප්‍රහසනයක්

නිශාන්ත උයන්ගොඩ

නිශාන්ත උයන්ගොඩ රචනය හා අධ්‍යක්ෂණය කළ ‘සෙල්ලම් බඩු නෙමෙයි’ ස්වතන්ත්‍ර නාට්‍යයේ මංගල දර්ශනය අද 23 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට කොළඹ 07 නව රඟහලේදී වේදිකා ගතවෙයි. මේ ලිපිය සැකසෙන්නේ නිශාන්ත උයන්ගොඩ සමඟ කළ සාකච්ඡාවකිනි.

බොහෝ නාට්‍යවලට තබනු ලැබූ නම් දෙස විමසිල්ලෙන් බලද්දී ප්‍රේක්ෂකයන්ගේ මුහුණට නැගෙන්නේ සිනහවක්. මේ නාට්‍යයේ නමත් ඒ ළඟින් යන බවක් පෙනෙනවා ?

ඔබ කියනවා වගේ සමහර නාට්‍ය නරැඹුවට පස්සේ අපට දැනුන දෙයක් තමයි ඒ නිර්මාණයට කිසිසේත්ම අදාළ නමක් නොවෙයි ඊට යොදලා තියෙන්නේ කියන කාරණය. ඒ කියන්නේ යම් යම් නාට්‍යවල නම් හරියට හෙලිකොප්ටරයකින් ඇවිත් තමයි යොදලා තියෙන්නේ කියන හැඟීම වළක්වන්නත් කිසිම කෙනෙකුට නොහැකියි. එහි කිසිම ගැළපීමක් ඇත්තේ නැහැ. ඒ නිසාම අපි තීරණය කළා මෙහි අන්තර්ගතය ආශ්‍රයෙන් නමක් යෙදිය යුතුයි කියලා. මේ අනුවයි අපි මීට ‘සෙල්ලම් බඩු නෙමෙයි’ කියන නම යොදන්නේ.

ඔබ ඔය පවසන්නේ මේ නාට්‍යයේ දී ඒ නම යෙදුණේ අර්ථවත් අයුරින් බව ද?

තත්කාලීන සමාජ වටපිටාව හොඳීන් ග්‍රහණය කර ගැනීමෙන් තමයි ඒ නම මතු වෙන්නේ. මේ වනවිට ආර්ථික, සාමාජීය, දේශපාලනික කාරණා සියල්ලම අද සෙල්ලමකට ගන්න බවක් තමයි හැඟෙන්නේ. ඒ සෙල්ලමකට ගන්න සිස්ටම් එක ඇතුළේ දී ජීවත් වන අපට දැන හෝ නොදැන විවිධ අය මුණ ගැහෙනවා. කාර්යාලයේදී, දුම්රියේදී, බස් එකේදී හමුවන ඒ අයත් සමඟ අප මානව සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී අප අනිකාව හඳුනා ගන්න උත්සාහ ගන්නේ සෙල්ලම් බඩුවක් විදියටයි. ඒ අපව අනෙක් පැත්තෙන් ආකර්ෂණය කර ගන්නෙත් ඇස් නටව නටවා සෙල්ලම් බඩුවක් විදියටයි. මේ සම්බන්ධතා මත අපේ ජීවිතයට සම්බන්ධ වුණු මිනිස්සු වැඩි කාලයක් නොයද්දිම සෙල්ලම් බඩු නොවන වගක් හැඟෙන්නට ගන්නවා. ඒකත් සමඟයි නාට්‍යයට මේ සෙල්ලම් බඩු නෙවෙයි යන නම උපදින්නේ.

මේ ඔස්සේ ඔබ කතාබහට ලක් කරන්නේ කුමක්ද ?

මේ කාරණයට අප ඉහතින් කියන ලද කාරණාත් සම්බන්ධයි. ඒ අනුව මානව ගනුදෙනු පවා අද සෙල්ලම් බඩුවක් තත්ත්වයට පත් වෙලා. අපේ ළමයින්ට ගෙනැත් දෙන සෙල්ලම් බඩුව පවා ඇත්තටම සෙල්ලම් බඩුවක් නොවෙයි. අපි පුංචි කාලයේදී පටන් හැදෙන්නේ වැඩෙන්නේ සෙල්ලම් බඩුත් සමඟයි. ඒ නිසා ඒවා අපට ආගන්තුක නැහැ. නමුත් මේ කාලවකවානුව වනවිට අප දෙන ඒ සෙල්ලම් බඩු එකක්වත් සෙල්ලම් බඩු නොවෙයි. මේ වෙළෙඳ ආර්ථිකය ඇතුළේ අපේ ජීවිතයම විනාශ කරනවා. ඒ කාරණය තමයි ‘සෙල්ලම් බඩු නෙමෙයි ’ නාට්‍යයේ යටි පෙළෙන් කතා කෙරෙන්නේ.

මෙහි ප්‍රස්තුතය ඔබේ සිතේ නිර්මාණය වෙන්නේ කෙසේද ?

නාට්‍යකරුවෙක් විදියට සමාජය හොඳීන් ස්පර්ශ කළ යුතුයි. මේ ස්පර්ශ කිරීමේදී අපට කොතැනකවත් කුහක වෙන්න බැහැ. කුහක නැතිව සමාජය ස්පර්ශ කරන විට ප්‍රශ්න එමටයි. ඒ සමාජය මා ඇසුරු කරද්දී, දකිද්දී, ගැටෙද්දියි මේ ප්‍රස්තුතය මගේ සිතේ පිළිසිඳ ගන්නේ.

මේ ඔබේ ප්‍රථම නාට්‍යය නිර්මාණයද?

මම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණය වෙන්නේ 2007 වසරේදී කෙටි නාට්‍යකරුවෙක් වශයෙන්. ඒ ‘නාට්‍යකරුවාගේ විවාහය’ කියන කෙටි නාට්‍ය රචනා කිරීමෙන්. ස්වතන්ත්‍ර නාට්‍යයක් වුණු මෙය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරී පත්වනවා. ඊළඟට 2009 වසරේ දී මා නිර්මාණය කරන ‘වාසගම දීපන් ’ කියන කෙටි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියනවා. ඒ හොඳම පිටපත, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය - තෙවන සඳහායි. ‘ සෙල්ලම් බඩු නෙමෙයි’ මගේ පළමු දිගු නාට්‍යයයි.

මේ නිර්මාණය සඳහා සහභාගි කරගත් ශිල්පිනියන්, ශිල්පීන් කවුද ?

ඔබ කවුරුත් හඳුනන ප්‍රවීණ රංගධරයෙක් වුණු විජය නන්දසිරි වගේම ප්‍රවීණ රංගධරයෙක් වුණු රොඩ්නි වර්ණකුලත් මෙහි රංගනයෙන් සහභාගි වෙනවා. ඒ වගේම 2009 වසරේ සම්මාන දිනාගත් යෙනීටා දමයන්තිත්, නවක රංග ශිල්පියෙක් වූ සනත් පීරිස් හා හඳුන්වාදෙන ශිල්පියෙක් වුණු ලෙවිනාත ජනිත් යන තිදෙනාත් මේ නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. සංගීතයෙන් සහභාගි වන්නේ නවරත්න ගමගේ. එතැනදි විශේෂයෙන්ම කිවයුතු දෙයක් වන්නේ රස වින්ඳනයට සුදුසු ගීත දෙකක් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. මිනිස්සු හැත්තෑව, අසූව දශකවල නාට්‍ය ගීතවලට ආකර්ෂණය වුණා. එහෙත් ඊට පසුව එවැනි වාතාවර්ණයක් නිර්මාණය වූ බවක් අපි දුටුවේ නැහැ. අපි විශ්වාස කරනවා මේ නාට්‍යය හරහා එවැනි තත්ත්වයක් නැවතත් ඇතිවේවි යැයි කියලා. ඒ සමාජ ගත වීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල නවරත්න ගමගේ සංගීත ශිල්පියා විසින් සිදුකර අවසන්. වේදිකා කළමනාකරණයෙන් ක්‍රිෂාන්ත වෙත්තසිංහත්, නිෂ්පාදනයෙන් චින්තක තිලකරත්න ලේඛකයාත් මට සහය වන බවත් කිව යුතුයි.

විජය නන්දසිරි වගේම රොඩ්නි වර්ණකුල කියන ජනප්‍රිය රංගන ශිල්පීන් ඔබගේ නාට්‍යයේ රංගනය සඳහා තෝරා ගැනීමට උත්සුක වන්නේ වර්තමානයේ තිබෙන ජනප්‍රිය කියන රැල්ලට ප්‍රති උත්තරයක් වශයෙන් ද?

නාට්‍ය රැගෙන යන්න ජනප්‍රිය නළු නිළියන් යොදා ගන්නවාය කියන කාරණය අද ප්‍රචලිත මතයක් වෙලා. නමුත් මෙතැනදි ජනප්‍රියත්වය කියන වචනය නිවැරැදිව අර්ථකථනය කර නොගැනීමක් මා දකිනවා. ජනප්‍රියත්වය එන්නේ දක්ෂතාවත් එක්ක. ඒ දක්ෂතාවෙන් ව්‍යුක්ත වෙලා නොවෙයි ජනප්‍රිය වන්නේ. ඒ කියන්නේ දක්ෂතාවෙන් උපරිම තලයකට පැමිණියාට පස්සෙයි ඔවුන් ජනප්‍රිය වන්නේ. ඒ නිසා ජනප්‍රිය ශිල්පීන් සම්බන්ධ කර ගන්නවා කියලා කියන්නේ නාට්‍යයට අවශ්‍ය, චරිත නිරූපණය කරන්න පුළුවන් ඒ දක්ෂ ශිල්පීන් සහභාගි කරවා ගත්තා කියන එකයි. එහෙම වුණත් අද මේ වනවිට සිද්ධ වෙන්නේ අදක්ෂයන් ප්‍රසිද්ධ වීමත්, දක්ෂයන් ජනප්‍රිය වීමත්. ඒ මොකද අද අපි තරු කියන තරග දෙස බැලුවොත් දකින්නේ අදක්ෂ පුද්ගලයන් ප්‍රසිද්ධ වීමයි. නමුත් මම මගේ නිර්මාණයට අරගෙන තිබෙන්නේ ජනප්‍රිය ශිල්පීන් මිසක් ප්‍රසිද්ධ පුද්ගලයන් නොවෙයි.

ඔබ ඔය කියන කාරණය බොහෝදෙනා තේරුම් අරගෙන තිබෙන්නේ වෙනස්ම ආකාරයෙන් ?

මේකයි ලෝක ස්වාභාවය වන්නේ. උදාහරණයක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිල් පද පහ අදට හරියන විදියට යම් යම් වෙනස් කම් කරලා ගන්න බැහැ නේ. ඒ නිසා මේ වචනයත් මා සලකන්නේ මහා සම්ප්‍රදායේ එන අදහසක් විදියටයි. යම් යම් කාරණා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔය කියන කාරණා සර්ව කාලීන කියලයි මම නම් සිතන්නේ. යම් යම් කාලවලදි අදක්ෂයෝ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒකට හැමෝම හැමදාම රැවටෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ජෝතිපාලයන් ගන්න පුළුවන්. ඔහු අදටත් අප අතර ඉන්නවා.

‘සෙල්ලම් බඩු නෙමෙයි’ කියන්නෙත් ප්‍රහසනයක් ද?

මේ නාට්‍යය විහිළුවක් නොවෙයි ප්‍රහසනයක්. මේක මා හඳුන්වන්නෙත් ස්වභාවික ප්‍රහසනයක් නමින්. මේ වන විට බොහෝ නිර්මාණකරුවන් කෘත්‍රිම දේත් සමඟයි විහිළු මතුකර ගන්න තනන්නේ. මේ නිර්මාණයේ තිබෙන්නේ පෙළත් සමඟ ඒ ඒ අවස්ථාවලදි උපදින ප්‍රහසනයක්. එතැනදි විශේෂයෙන්ම කියන්න ඕනෑ කාරණය වන්නේ ප්‍රහසනය ඇතුළේ නාට්‍යය නොවෙයි නාට්‍යය ඇතුළේදියි ප්‍රහසනය උපදින්නේ යන්නයි. හුඟක් වෙලවට අප දකින්නේ විහිළු ඇතුළේ නාට්‍යයි. මේ අතර තවත් මිනිස්සු ප්‍රහසනය යන්නෙන් අදහස් කරන්නේ දෙපිට කැපෙන වචන යොදා නාට්‍යය නිර්මාණය කිරීමයි. එහිදී ඇති වෙන්නේ ජුගුප්සාවයි. මගේ නිර්මාණයේදි එවැනි ජුගුප්සාවක් ඇති වෙන්නේ නැහැ. කොහොමත් නාට්‍යයකදි දෙපිට කැපෙන වචන හෝ දෙපිට කැපෙන්නේ නැති වචන තියෙන්න බැහැ. ‘ සෙල්ලම් බඩු නෙමෙයි ’ නාට්‍යයේදි දෙපිට කැපෙන වචනත් නැහැ. දෙපිට කැපෙන්නේ නැති වචනත් නැහැ. තියෙන්නේ දෙබස් විතරයි. දෙබස් සහ වචන අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ ගැන මාස ගණන් වුණත් ගිහින් කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ වනවිට ලංකාවේ දෙබස් රචකයෝ ඇත්තේ නැහැ. ඒ නිසාම ඔවුන්ට දෙබස් එන්නේ නැහැ. එතකොටයි ඔවුන් වචන දමන්නේ. දෙපිට කැපෙන වචන නොවෙයි බර වචන දැම්මත් ඒක නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒ නිර්මාණයේ අන්තර්ගතයට අවශ්‍ය විදියට දෙබස් ඇතිකර ගන්න ඕනෑ. දෙබස් ඉපදෙන්න ඕනෑ. මේ නිසා මා පවසන්නේ ‘ සෙල්ලම් බඩු නෙමෙයි ’ නාට්‍යයේ තිබෙන්නේ රසවත් දෙබස් බවයි. ඒ දෙබස්වල යටි පෙළක් තිබෙනවා. මේ යටිපෙළ අනුව යම් යම් අවස්ථාවල ප්‍රහසනය මතු වෙන්න පුළුවන්. කඳුළක් මතු වෙන්නත් පුළුවන්.

ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවීමේ අඩු ප්‍රවණතාවක් තමයි අපට අද දක්නට ලැබෙන්නේ ?

අද නිර්මාණකරුවන් බිහි කිරීම සම්බන්ධයෙන් ඕනෑ තරම් පාඨමාලා තිබෙන බව ඇත්තයි. එහෙම තිබුණා කියලා නාට්‍ය රචකයෝ අපට බිහිකර ගන්න ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් ඇතුළේ ඒ නිර්මාණශීලිත්වය ඇතිවිය යුත්තේ පොඩි කාලයේ පටන්මයි. එය ඇතිකර ගත යුත්තේ ඒ කාලයේ පටන්මයි. එය පියවරෙන් පියවර ඇති කළ යුතු දෙයක්. එහෙම නැතුව එකපාරටම ඇති කළ හැකි දෙයක් නොවෙයි. මේක මහගමසේකර වැන්නන් බිහිවුණු පොළවක්. ඒ කෘති පරිශීලනය කරන රටේ නාට්‍යයක් ලියා ගන්න බැරිඅය ඉන්නවා කියන එක නම් ගැටලුවක්. ඒකට හේතුව මේ පරිවර්තන කරන අය හෝ අනුවර්තන කරන හෝ අය නොවෙයි. පැහැදිලි ලෙසම එවැන්නන් අධ්‍යාපනයෙන් මුලදිම සැකසිය යුතු කාරණයක්. එවිටයි මේ අපූර්ව වස්තුබීජ නිර්මාණය කිරීමේ හැකියාව බිහි වෙන්නේ. එහෙම නොවෙන්න හේතුව ලෙස මා දකින්නේ මේ අධ්‍යාපන ක්‍රමයයි. එහි වරදයි. නිර්මාණශීලී මිනිසුන් නොතනන මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතුයි.