මේ දවස්වල පුතාගේ ඡන්ද වැඩ
මේ දවස්වල පුතාගේ
ඡන්ද වැඩ
බෙනට් රත්නායකගේ නිවහනට යමු
නිවෙස ඉදිරිපස ඇති දියවන්නා ඔය පිස හමන සුළඟ නිසා පැමිණෙන කිසිවෙකුගේත් ගතට විඩාවක්
නොදැනේ. ඒ සුන්දර පරිසරය මේ නිවෙසේ අලංකාරය තව තවත් තීව්‍ර කරයි. නොයෙක් පැහැයෙන්
දිලෙන බාබන් ඩේසියා මල් එකික් එක සැලෙන්නේ තාලයකට ය. අඹ ගස් කිහිපයත්, බෙලි ගසත්
මිදුලට සෙවණ ගෙනෙයි. ඵල දරා ඇති බෙලි ගසේ ගෙඩි එකික් එක තාලයට සෙලවෙයි. කොරිඩෝව
සැරැසී ඇත්තේ පැරැණි බඩු භාණ්ඩවලිනි. ඉන් නිවෙසට රැගෙන එන්නේ පැරැණි නිවෙසක
ස්වභාවයයි. එහි තිබුණු එක් බුදු පිළිමයක් දෙසට යොමු වූ නෙත් ඇතිව මම පුටුවක අසුන්
ගතිමි. මගේ නෙත යොමුව තිබුණේ ඔයේ පිපී දිලෙන නෙළුම් මල් කිහිපය දෙසටය.
“ දැන් ඉතිං අපට වැඩ වැඩියි ”
මගේ දැහැන බිඳමින් අසල පුටුවේ අසුන් ගත්තේ ඔහු ය. බෙනට් රත්නායක නම් අධ්‍යක්ෂවරයා
ය.
“ අලුත් චිත්‍රපටයකවත් වැඩ ද? ”
“ පසුගිය දවස්වල නම් මා කළේ මගේ අලුත්ම චිත්‍රපටයට අවශ්‍ය පසුතල, ඇතුළු සියලුම දේ
සූදානම් කිරීමයි. ඒ අතරෙදියි මේ මැතිවරණය පැමිණියේ. ඒ නිසා මගේ ඒ කටයුතු තාවකාලිකව
නතර කළා. එහෙම වුණේ මගේ පුතා උදාර මෙවර මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ
දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන නිසා. ඒ වගේ වෙලාවක දි පියෙක් විදියට මම ඔහුට උදව් කළ
යුතුයි. පුතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩකළ යුතුයි. මේ නිසා මගේ නිෂ්පාදන
කණ්ඩායමත් සමඟ කතාබහ කරලා අපි තීරණය කළා චිත්‍රපටයේ කටයුතු ඔක්තෝබර්වලදි ආරම්භ
කරන්න. මේ දවස්වල මා කාර්යබහුල වී සිටින්නේ ඡන්ද වැඩකටයුතුත් සමඟයි. ”
බෙනට් රත්නායක නම් ඔබ ආදරය කරන අධ්‍යක්ෂවරයා අලුත් භූමිකාවකට පණ පොවමින් මෙසේ
පැවසුවේය. ඔහුගේ පුතු උදාර දේශපාලනයට පිවිසෙන්නට පෙර සිටම රංගනයේ නිරත වූවෙකි.
“ දිගින් දිගටම රංගනයේ නිරත නොවී පුතා දේශපාලනය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබ දරන්නේ
මොනවගේ අදහසක්ද? ”
“ හුඟක් වෙලාවට මේ රටේ විශ්වාසයක් තියෙනවා තාත්තා දේශපාලනය කළොත් පුතාටත් ඒකේ
උරුමයක් තියෙනවා කියලා. ඒ ගැන නිරීක්ෂණයක් කළොත් අපට ඒ පිළිබඳ හොඳීන් බලා ගන්න
පුළුවන්. එහෙත් රජයේ සේවකයෙක්ගේ, කලාකාරයෙක්ගේ, සාමාන්‍ය පුරවැසියෙක්ගේ දරුවෙක්ට
දේශපාලනයට පිවිසීමට තිබෙන ඉඩකඩ අඩුයි ප්‍රධාන දේශපාලන ධාරාව මගින්. මගේ පුතා උදාරත්
ඒ අංශය තෝරා ගත්තා. ඔහු ඉගෙනීම අවසන් කරලා කළ රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගේම
ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ යහළුවන් දෙදෙනෙක් සමඟයි. ඒ අතර ඔහු තරුණයෙක් විදියට රටේ
සිද්ධ වෙන දේවල් පිළිබඳ යම් කළකිරීමකින් තමයි සිටියේ.
ඒ අතරයි යාළුවන් ඔහුට
දේශපාලනයට පිවිසෙන්න ආරධනා කරන්නේ. ඒත් සමඟ ඔහු මේ දේශපාලනයට පිවිසීමේ අදහස ගැන මට
කියනවා. ඒ අදහසට මුලින්ම නම් මම කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද අපේ පවුල්වල කිසිම
කෙනෙක් දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ. අපි නිහඬව කලා කටයුතු කරගෙනයි සිටියේ. එහෙම
වුණත් තරුණයෙක් විදියට පුතාගේ සිහිනය වෙනස්. ඉදිරියේදි හොඳ දේශපාලන සංස්කෘතියක්
නිර්මාණය වේ යැයි ඔහු විශ්වාස කරනවා. යමක් රට වෙනුවෙන් කළ හැකිවේ යැයි ඔහු විශ්වාස
කරනවා. ඒ කාරණය මා තේරුම් ගත්තා. පියෙක් ලෙස ඒ ගමන යන්න මම ඔහුට ආශිර්වාද කරනවා.”
තම සිතැඟි දරුවන් ලවා ඉටුකර ගැනීමට සිතා සිටින පියවරුන් අතර උදාරගේ පියා වෙනස්ම
අදහස් දරන්නෙකි. ඒ අදහස් නිසාම උදාරට සිය සිතැඟි වූ අදහසට ඉඩහසර ලැබුණේය.
“ මේ දේශපාලන මඬ ගොහොරුවේ උදාර වැනි තරුණයෙකුට සුපිරි සිදුව දේශපාලනය කළ හැකි යැයි
ඔබ සිතනවාද ? ”
“ මේ දේශපාලනය ඔය විදියයි කියලා නිතරම සිතුවොත් අලුත් දෙයක් කරන්න පුළුවන්
කණ්ඩායම්වලට තැනක් නැතිව යනවා. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕනෑ මේ ක්‍රමය වෙනස් කරන්න
පුළුවන් කියලා. එහෙම නැති වුණොත් ඒ කණ්ඩායමම හැමදාම දේශපාලනය කරාවි. ඒ තත්ත්වය
වෙනස් කළ යුතුයි. අද දේශපාලනය කරන්න යොමුවෙලා තිබෙන සියලුම පක්ෂවල තරුණ කොටස් බොහොම
හොඳ බවක් හැඟී ගියා. අලුතෙන් මේ විදියට තරුණ කොටස්වල පැමිණීම රටේ අනාගතයේ සුබ
නිමිත්තක් විදියටයි මා දකින්නේ. ”
මේ විදියට සුබ සිහින දකින ඔහුට දරුවන් තිදෙනකි. පුතා උදාරය. ලොකු දුව සත්‍යා ය.
දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විවාහ වී පදිංචිව සිටින්නේ වෙන්නප්පුවේය. භාග්‍යා
පොඩි දුව ය. ඇය විවාහ වී සිටින්නේ තිස්ස නාගොඩ විතානගේ බාල පුතු වන චරිත් සමඟ ය.
ඔවුන් සිටින්නේ බත්තරමුල්ලේය.
“ මේ සියල්ලන්ගේම සහයෝගයත් උදාරට ලැබෙනවද ? ”
“ ඇත්තෙන්ම ඔහුට තරග කරන්න ලැබිලා තියෙන්නේ දැඩි තරගයක් තියෙන දිස්ත්‍රික්කයකින්. ඒ
නිසා පවුලේ සියලුදෙනාගේ සහයෝගයත් ඔහුට ලැබෙනවා. ”
මෙවැනි වටපිටාවක් තිබෙන බෙනට් රත්නායකගේ පවුලේ ඉන්නේ ඔහුත්, බිරිය සමන්මලීත්,
උදාරත් පමණයි. ඔවුන් දවස ආරම්භ කරන්නේ උදෑසන පහයි හතළිස් පහට පමණ ය.
“ දවසේ කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද ? ”
“ උදෑසන අවදි වන අපි තුන්දෙනා මුලින්ම කරන්නේ වතුර විදුරුවක් පානය කරලා ව්‍යායාම
සඳහා පිටත්වීමයි. හය වනවිට ඒ කටයුත්ත සඳහා පිටත් වන අපි නැවතත් පැමිණෙන විට තරමක
කාලයක් ගත වෙනවා. ඒ ඇවිත් මම නම් පත්තර ටික කියවනවා. සමන්මලී උයන පිහන කටයුතුත්,
උදාර එයාගේ කටයුතුත් කරනවා. ඊළඟට නාලා, කෑම කාලා මම මගේ වැඩවලට යනවා. උදාර ව්‍යාපාර
කටයුතුවලටයි, දේශපාලන කටයුතුවලටයි යනවා. සමන්මලී ගෙදර කටයුතුවල නියැළෙනවා. ඒවා
අවසන් වුණාට පස්සේ පොඩි දුවගේ ගෙදර හරි ලොකු දුවගේ ගෙදර හරි යනවා. ඒ මුනුබුරු,
බිරියෝ බලන්නට. නැත්නම් ඈ ගෙදරට වෙලා ඉන්නවා. එක් සේවකයෙක් ඉන්න නිසා ඔහු තමයි අපේ
වත්තේ කටයුතු බලා ගන්නේ. මේ අපේ ගෙදර සාමාන්‍යයෙන් කටයුතු සිදුවෙන විදියයි. මේ
දවස්වල ව්‍යායාමවලින් පස්සේ සිද්ධ වෙන්නේ පුතාගේ ඡන්ද කටයුතුවලට සහභාගි වීමයි.”
බොහොම සරල දිවි පෙවතක් ගෙවන මේ පවුලේ උදවියගේ නිවෙස ආරක්ෂා කරන්න වටේට ලොකු ගේට්ටු
දමා නොමැත. දැලකින් වටවුණු ගෙවත්ත විවෘතය. සමන්මලීගේ අනුදැනුම ඇතිව නිවසේ සියලු
කටයුතු සිදුවෙයි.
“ ආහාර සැකසෙන්නේ කාගේ රුචිකත්වය මත ද? ”
“ අපි තුන්දෙනාම කැමැති කෑම තමයි නිවෙසේ පිසින්නේ. කෘත්‍රිම කෑම වර්ග ආහාරයට
ගැනීමෙන් වැළකී සිටින්න අපි නිතරම උත්සාහ කරනවා. ඒ වගේම කෘමි නාශකවලින් තොර
ස්වාභාවික ආහාර කෑමට ගන්නයි නිතරම අපි උත්සාහ කරන්නේ. නිවෙසේ ගෙවත්ත තිබෙන නිසා එහි
මුකුණු වැන්න, ගොටුකොළ වැනි කොළ වර්ග රැසක් වවලා තිබෙනවා. ඊට අමතරව වම්බටු ඇතුළු
එළවළු කිහිපයකුත් වවලා තිබෙනවා. ඒවාට අමතරව වට්ටක්කා, පිපිඤ්ඤා වගේ දේශීය ආහාර අපේ
කෑම වේල්වලට එකතු වෙනවා. ”
බෙනට්ගේ බිරිය සමන්මලී ඇගේ ආගන්තුක සත්කාර ආරම්භ කරමින් අප අතරට එන්නේ මේ කතාබහ අතර
ය. සුහදශීලීව අප හා කතාබහක නියැළෙන ඕ බෙනට්ගේ ජීවිතයේ මිණි පහනයි. ඒ අතර සිය
මව්පියන්ගේ සැපදුක් සොයන්නට පැමිණෙන්නේ පොඩි දුව භාග්‍යයාය.
“ මේ දවස්වල වැඩත් වැඩිනේ. ”
ඈ සිය අදහස් පළ කරන්නී සුන්දර සිනහවක් මුවඟට නඟමිනි. අපගෙන් සමුගෙන මවත් සමඟ නිවෙස
ඇතුළට පිවිසෙන ඒ දොරෙන්ම එළියට පිවිසෙන්නේ සුන්දර තරුණයෙකි. ඔහු උදාර රත්නායක ය. ඒ
ඇසිල්ලේ ඔහුව අපගේ කතාබහ අතරට එක්කර ගැනීමට ද අපි අමතක නොකළෙමු.
“ මේ දවස්වල ඔබගේ කාලය ගත වෙන්නේ දේශපාලන කටයුතුවලටයි ”
“ මම දේශපාලනයට සහභාගි වෙන්නේ මීට වසර පහකට ඉහතදියි. ඒ කාලයේ පවතින තත්ත්වයට
විරුද්ධව පෙනී සිටින්න ඕන කියන මතයේ මා සිටියා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියටත්,
කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් විදියටත්, මගේ ප්‍රධාන ප්‍රතිපත්තිය වෙන්නේ සමාන
අයිතිවාසිකම් අවස්ථා සෑම ආයතනයකදිම, සෑම ස්ථරයකදිම තිබිය යුතුයි යන්න. ඒ කාරණය
මූලික කරගනිමින් තමයි මගේ දේශපාලනය සැකසී තිබෙන්නේ. තරුණයන්ගේ ප්‍රශ්න කතා කරන්න අද
පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය තිබෙන්නේ බොහොම අඩු මට්ටමකයි. එවැනි තත්ත්වයක තරුණයෙක්
විදියට යමක් කළ යුතුයි කියලා මට හැඟෙනවා. සාමාන්‍ය ජනතාවට, තරුණයන්ට යම් සමාජ
සේවයක් කළ යුතුයි. මේ මොන දේ කළත් මම දේශපාලනඥයෙක් වගේම සාමාන්‍ය තරුණයෙක්. ”
මේ නව අදහස් දරන තරුණයා ඔබ පළමුව හඳුනා ගන්නේ නළුවකු ලෙසිනි. එහෙත් ඔහු සාමාන්‍ය
තරුණයෙකු බවක් අපට හැඟී ගියේ ඔහු හා කතාබහ කළ විටෙකය.
“ දේශපාලනය නිසා උදාර රංගනය අමතක කරයිද ? ”
“ දේශපාලනයේ නියැළුණත් මා හැමදාම කලාවට ආදරෙයි. ඒ අතරෙදි හොඳ චරිතයක් ලැබුණොත්
අනිවාර්යයෙන්ම රඟපානවා. උදාර කියන්නේ බොහොම සරල කෙනෙක්. කොයිතරම් ජනප්‍රිය වුණත් ඒ
සරල බව මගෙන් ඈත් වී නැති බව ඔබටත් පෙනෙනවා ඇතැයි මා සිතනවා. මම එහෙම කියන්නේ මගේ
වාහනය පදවන්නෙත් මමමයි. මට කියලා බොඩි ගාර්ඩ්ලා ඇත්තේ නැහැ. අපේ ගෙදර වුණත් සරල
තැනක් වග එන ඕනෑම කෙනෙකුට පෙනෙනවා. ඇමැති කෙනෙක් වුණත් මේ මගේ ක්‍රමය වෙනස් වේවි
කියලා මා සිතන්නේ නැහැ. ”
උදාර එලෙස සිය අදහස් පවසා අපෙන් සමු ගත්තේ සිය ඡන්ද ව්‍යාපාරයේ යම් කටයුත්තක් සඳහා
යෑමටය. බෙනට් රත්නායකටත් එහි සමහර කටයුතු පැවරී ඇති බැවින් කාලය බෙහෙවින් වැදගත් බව
අපට හැඟෙයි. ඔවුන්ගේ කටයුතුවලට ඉඩකඩ සලසා දෙමින් අපි ඔවුන්ට සමු දුනිමු.
තිලානි ශානිකා විතානාච්චි
සේයා රූ - මාලන් කරුණාරත්න
|