වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




වීරයා කුහුඹුවකු වෙයි

වීරයා කුහුඹුවකු වෙයි

සිනමා ලෝලී ඔබට අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, තෝර්, හල්ක් ප්‍රමුඛ ඇවෙන්ජර්ස් කණ්ඩායම හඳුන්වාදීමට විශේෂ අටුවා ටීකා අවශ්‍ය නැත. කෙසේ නමුත් මේ පිරිසගේ වාසස්ථානය කොතැන දැයි ඇසුව හොත් එය තරමක ගැටළුවකි. ඇත්තෙන්ම ඔවුන් ජීවත් වන්නේ මාවල්්ස් චිත්‍රාගාරය විසින් නිර්මාණය කරන ලද මාවල් සිනමැටික් නම් කල්පිත විශ්වයේය. මාවල් විශ්වයට පසුගිය 17 වැනිදා අලුත්ම සුපිරි වීරයෙකුගේ පැමිණීම සිදුවිය.

අතිවිශාල බලයකින් යුතු වූ ඇඳුමක් නිර්මාණය කිරීම ආචාර්ය හෑන්ක් පිම් විසින් අතරමඟ නවතා දමන්නේ එහි වූ භයානක තත්ත්වය අවබෝධවීම හේතුවෙනි. මේ අතරම තමන්ගේම ආයතනයේ පන්නා දැමුණු ඩැරන් ක්‍රොස් නැමැත්තා විසින් එම ඇඳුම යළිත් අත්හදා බැලීම වළක්වා ගැනීම වෙනුවෙන් ආචාර්ය හෑන්ක් පිම්හට අති දක්ෂ වෘත්තීය සොරෙකු වූ ස්කොට් ලැන්ග් වෘත්තිමය සහය පැතීමට සිදුවෙයි. සිර දඬුවමකින් නිදහස් වූ ස්කොට් ජිම් විසින් පුහුණු කරනු ලදුව විශේෂ Ant Man  (ඈන්ට් මෑන්) ඇඳුමෙන් සන්නද්ධව කුහුඹු මිනිසා බවට පත් වෙයි. මෙම විශේෂ ඇඳුම ඔහුට ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමටත් යළිත් විශාල වීමටත් හැකි පරිදි ශක්තියක් ලබා දෙයි. කුහුඹු මිනිසා විසින් විශාල කුහුඹු හමුදාවක් පාලනය කරනු ලබයි. මේ අතර වෛරයෙන් පසු වූ ක්‍රොස් එවැනිම ඇඳුමක් යොදා ගනිමින් ‘යෙලෝ ජැකට්’ බවට පත් වන්නේ ස්වකීය දුෂ්ඨ අරමුණු මුදුන් පමුණුවා ගැනීමටයි. මෙම දුෂ්ඨ ක්‍රියාවන් පරදවාලීම කුහුඹු මිනිසා වෙත පැවරෙන විශාල අභියෝගයයි.

පේට්න් රීඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇන්ට් මෑන් හි නිෂ්පාදනය කෙවින් ෆේජ් ගේය. ප්‍රවීන නළු පෝල් රඩ් විසින් ප්‍රධාන චරිතය වූ ඈන්ට් මෑන්හට පණ පොවනු ලබන අතර එවන්ග්ලයින් ලිලී, කෝරි ස්ටෝල්, මයිකල් පේනා, වුඩ් හැරිස්, ජූඩි ගීර් සමඟින් මයිකල් ඩග්ලස් ඈන්ට් මෑන්හි රංගනයෙන් දායක වෙති.

විනාඩි 117ක ධාවන කාලයක් පුරා ත්‍රිමාණ සජීවකරණ තාක්ෂණයෙන් දිගහැරෙන ඈන්ට් මෑන් අමෙරිකානු ඩොලර් මිලියන 130ක පිරිවැයක් දරා මාර්වල් චිත්‍රාගාරයේ නිෂ්පාදිත ඈන්ට් මෑන් ලොවපුරා බෙදාහරිනු ලබන්නේ වෝල්ට් ඩිස්නි විසිනි. දැනට එය ධ්ර්ච්ඕ දර්ශකයේ දහයෙන් අටක් ද රොටෙන් ටොමෑටෝස්හි සියයට අසූවක්ද මෙටා ක්‍රිටික් සියයට හැටපහක් ද වශයෙන් ලබාගෙන ඇත. පෝල් රඩ්ගේ සිත් ඇද ගන්නා සුළු නිරූපණයෙන් ඔපවත්ව මාවල් විශ්වයට කුඩා ප්‍රමාණයේ සුපිරි වීරයෙකු පැමිණ ඇති බව විචාරකයන්ගේ අදහසයි. මාවෙල් ඇවෙන්ජර්ස් කතාවලට වඩා හොඳ චිත්‍රපටයක් බව තවත් විචාරකයෙකුගේ මතයයි. චිත්‍රපටයේ අන් කිසිවෙකුට වඩා චරිත නිරූපණයට තෝරාගෙන ඇති චරිත ගැන බොහෝ පැසසුම් ලැබී ඇත.

එසේම ඈන්ට් මෑන් කැප්ටන් අමෙරිකා, අයන් මෑන් සහ තෝර් වගේම ආකර්ශනීය සුපිරි වීර චරිතයක් නොවනු ඇති බව තවත් අයෙක් සඳහන් කරයි. විශාල ශක්තිමත් සුපිරි බලයක් ඔහු සතුව නැති බව ඔවුන්ගේ අදහසයි. කෙසේ නමුත් ඔහුගේ පළමු සිනමා නිර්මාණයෙන් ජනප්‍රිය ඇවෙන්ජර් චරිතයක් බවට පත්වේවි යන විශ්වාසය තවත් අයෙකුගේ හිත තුළ පැළපදියම් වී ඇත. එසේම මාවල් චරිත අතරේ හොඳම සුපිරිවීරයා වනු ඇති බවටත් මත පළ වී තිබේ.

පසුගිය 17 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ඇරඹූ ඈන්ට් මෑන් පළමු සති අන්තය වනවිට ඉහළ ආදායමක් වාර්තා කරනු ඇතැයි සිනමා විචාරකයන්ගේ බලාපොරොත්තුව විය. පසුගිය කාලය දෙස විපරම් කළ හොත් කැප්ටන් අමෙරිකා : ද ෆස්ට් ඇවෙන්ජර් ආරම්භක සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 65.1ක් වාර්තා කළේය. තෝර් පළමු චිත්‍රපටය ආරම්භක සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 65.7ක් උපයා ගත්තේය. 2008 වසරේ හල්ක් චිත්‍රපටයද මෙහිදි අමතක නොකළ යුත්තේ එය ආරම්භක සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 55.4ක ආදායමක් උපයා ගත් බැවිනි. පළමු සති අන්තයේදී ඈන්ට් මෑන් අමෙරිකානු ඩොලර් මිලියන 56.4 වාර්තා කළේය.