වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




වයසට යනකොට කොල්ලට කෙළ වෙනවා

වයසට යනකොට කොල්ලට කෙළ වෙනවා

ජනප්‍රිය නළු මහේන්ද්‍ර පෙරේරා රසවත් කතාබහක...

Mood එක fix කරන්නට මරු ‘ඉඟුරු’ය. නිකම්ම ඉඟුරු නොව ඉඟුරු බිස්කට්ය. ඒ බව නිතර දෙවේලේ සිහිපත් කරමින් ජනප්‍රිය නළු මහේන්ද්‍ර පෙරේරා පොලිස් කොස්තාපල්වරයකු සේ සැරසී මේ දිනවල අපේ ආලින්දයට ගොඩ වදී.

ඒ අතර මහේන්ද්‍ර රඟපෑ චිත්‍රපට දෙකක් ද අති සාර්ථකව තිරගත වේ. කොටින්ම ඒවා දුවන්නේ පැල් බැඳගෙනය. ඒ බහුබූතයෝ 02 ‘ගින්දරී’ සහ ‘ප්‍රවේගය’ චිත්‍රපටයි.

පුංචි තිරයේ ද ඔහු ජනප්‍රිය චරිතයකි. ඒ ජනප්‍රියත්වය ‘ගොළු තාත්තා’ ටෙලි සිත්තමේ ‘ගොළු තාත්තා’ ලෙස ඔහු නිරූපණය කරනා විශිෂ්ට භූමිකාව වෙනුවෙනි. නොබෝ දිනකට පෙර පැවැති ‘සුමති’ ටෙලි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා ලෙස සම්මානනීය වූයේ ද මහේන්ද්‍රය. ඒ ‘චෙස්’ ටෙලි නාට්‍යය හරහාය.

දැඩි කාර්ය බහුලත්වය මැද ජීවත් වන මහේන්ද්‍ර අල්ලා ගැනීම අපට වෙනදාට වඩා තරමක් අසීරු කාර්යයක් විය. කෙසේ වෙතත් ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නත්, මමත් දැන් සිටින්නේ ඔහුගේ නිවසේය. ‘ආ ලොකු අයියා කොහොමද?’ යන සුපුරුදු ළෙන්ගතු ආමන්ත්‍රණයෙන් ඔහු අපව පිළිගත්තේ සිනහපිරි මුවිනි. පිරිමි ආත්මයක් ලද සැමටම වයස් බේදයකින් තොරව ඔහු අමතන්නේ ‘ලොකු අයියා’ යනුවෙනි. පෙරළා ඔහුට ද ‘ලොකු අයියා’ යැයි කීමට බොහෝ දෙනකු පෙළඹී සිටිති. මේ මට ද ඉන් අත් මිදිය නොහැකිය.

ආ...ලොකු අයියා, දැන් කට්ටියට ඉඟුරු බිස්කට් කවනවා වගේ?

ලොකු අයියේ දන්නැද්ද පොඩි add එකක් කළා. මොකද ඉතින් රඟපෑමෙන් විතරක්ම අද වෘත්තීය නළුවකුට ජීවත් වෙන්න අමාරුයිනේ. ඒ නිසා මේ වගේ දේවල්වලටත් ඉඳලා හිටලා සෙට් වෙනවා.

කාලයක් ‘ටොයිලට්’ හෝදන්නත් වුණානේ?

ආ... ඔව්... අර හාපික් ඒඤඤ එක ගැනනේ ලොකු අයියා ඔය කියන්නේ. කැසිකිලි, වැසිකිලි පිරිසුදුව තියාගන්න හැටි තමයි මම ඒ කියලා දුන්නේ. ඒකත් ලොකු සමාජ සේවයක් කියලා අද මට හිතෙනවා. ‘මත්කුඩු’ හෝ වෙනත් සමාජයට අහිතකර දෙයක් වෙනුවෙන් නෙවේනේ මම පෙනී හිටියේ.

කොහොම වුණත් මේ ඉඟුරු බිස්කට් add එක මරු කියලා හුඟ දෙනෙක් කියනවා?

මේ add එක හතර විදිහකට අපි රූගත කළා. ඉඬර එකේ නිලාන් කුරේ තමයි මට මේ වැඩේට කතා කලේ. පොඩි නිර්මාණශීලී ගතියකුත් මේකෙ තිබුණා. කොමඩි විදිහට වැඩේ යන්නේ. පොඩි ජොලියක් තියෙන වැඩක්. ගණන්, හිලවුත් ඔක්කොම හරි ගියා. ඉතිං වැඩේ කළා. වෙන රටක නළුවකුට එක චිත්‍රපටයක් කළාම අවුරුදු දෙක තුනක් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්නේ. ඒත් ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ.

එහෙම කිව්වාට පිට පිටම බෝනස් දෙකක් ගත්තා?

ඇත්තටම අවුරුදු කීයකට පස්සෙද? මුලින්ම මම බෝනස් එකක් ගත්තේ එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘වීසි දැල’ චිත්‍රපටයෙන්. ඊට පස්සේ මේ ලැබුණාම තමයි. ඒ කාලෙත් එක්ක බලන කොට මාර ගැප් එකක්. චිත්‍රපට කර්මාන්තයේ වර්තමාන තත්ත්වයත් එක්ක බලනකොට ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ සහ ‘ගින්දරී’ චිත්‍රපටවලට උදයකාන්ත ඒ බෝනස් එක ගෙවපු එකත් ලොකු දෙයක්.

ඇයි එහෙම කියන්නේ?

අපි හැමෝම දන්නවා නිෂ්පාදකයාට ගෙවන්නේ 45% යි. චිත්‍රපටය හදලා ඊට පස්සේ පබ්ලිසිටි කරන්නත් ඕනෑ නිෂ්පාදකවරයා. ඒවත් ඔක්කොම කරලා මහන්සි වෙලා ආදායමෙන් 45% යි නිෂ්පාදකවරයාට හම්බ වෙන්නේ. අපි හිතමුකෝ චිත්‍රපටයක් ලක්ෂ 1000 ක ආදායම ඉපයුවා කියලා. ලක්ෂ 450 යි නිෂ්පාදකවරයාට ලැබෙන්නේ. ඒ වෙනකොට ලක්ෂ 300 ක් 350 ක් චිත්‍රපටයට එයා වියදම් කරලා. ඉතින් ඒ වගේ තත්ත්වයක උදයකාන්ත මේ කරපු වැඩේ ඉතාමත් හොඳයි.

උදයකාන්ත එහෙම බෝනස් දුන්නේ ඇත්තටම Film එක හොඳට දුවපු නිසානේ?

දින 75 ක් ‘ගින්දරී’ දිව්වාට පස්සේ තමයි ඔහු අපට බෝනස් දෙන්නේ. ඒත් හිතන්න අනෙක් බොහෝ චිත්‍රපට නිෂ්පාදකයන්ට උදාවෙන තත්ත්වය. අපි දන්න බොහෝ චිත්‍රපට පසුගිය කාලේ ආදායම් අතින් සාර්ථක වුණේ නෑ. නළු නිළියෝ, කාර්මික ශිල්පියෝ එකතු වෙලා නිෂ්පාදකයාට කීයක් හරි දෙන්න ඕනෑ තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නේ. මම කියන්නේ මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕනෑ. අඩු ගානේ සියයට පනහ, පනහ තියමු. එතකොට නිෂ්පාදකවරයාට මොනවා හරි සාධාරණයක් වෙනවානේ මීට වැඩිය. නිෂ්පාදකවරයා ගැන මීට වඩා හොඳ විදිහකට බලන සිස්ටම් එකක් හැදෙන්න ඕනෑ කියන එක තමයි මගේ නම් අදහස.

නිෂ්පාදකයා රැකුණොත් තමයි කර්මාන්තය රැකෙන්නේ?

අනිවාර්යයෙන්ම. සිනමාව රැකෙන්න නම් අපි නිෂ්පාදකවරයා රැක ගත යුතු වෙනවා. එතන තමයි මුල.

 ‘බහුබූතයෝ’ මුල් චිත්‍රපටය තිරගත වී වසර දොළහකට පසුව තමයි ‘ගින්දරී’ නිර්මාණය වෙන්නේ. ඒත් ‘ලැන්ටි’ගේ චරිතය ඔබ ඉතාමත් අපූරුවට රඟපානවා. මේ ‘කන්ටිනියුටි’ එක පවත්වා ගැනීම අභියෝගයක් වුණේ නැද්ද?

එහෙම ලොකු ගැටලුවක් වණේ නෑ ලොකු අයියේ. මොකද ඒ චරිතය මතකයේ රැඳිලා තිබුණා. රොඩ්නිට, පබෝදාට පවා ඒක නිකං මනසේ රැඳිලා තිබුණා. මම හිතන්නේ විසි පස් වතාවකට වඩා ‘බහුබුතයෝ - 01’ චිත්‍රපටය හැම චැනල් එකකම පෙන්නලා තියෙනවා. එහෙම ප්‍රදර්ශනය වෙන අවස්ථාවල තැනින් තැන මේ චිත්‍රපටය මම නරඹලා තියෙනවා. ඉතින් ඒ චරිතය නිතරම ජීවත් වුණා හිත ඇතුලේ. ඒ වගේම කොස්ටියුම් එක දාගත්තට පස්සේ අර මතකය නැවත, නැවත අලුත් වෙන්න පටන් ගත්තා. අනෙක රොඩ්ඩා එක්ක මේක කොමිනියුකේට් කරන එක ලොකු පහසුවක් වුණා. ඒ හැඟීම ඔහුගේ වගේම පබෝධාගේත් තිබුණා.

මේ සහසම්බන්ධතාවය නැවත චරිතය ගොඩ නැංවීමේදී බෙහෙවින්ම ඉවහල් වූ බවයි ඔබ කියන්නේ?

ඉවහල් වුණා. ඒ සහසම්බන්ධතාවය හරියට නොතිබුණා නම් අර සිදුවීම් මේ තරම් සාර්ථකව ගොඩ නඟා ගන්න බැරි වෙන්න තිබුණා.

ලැන්ටි’ හාසේ‍යීත්පාදක චරිතයක්. එතකොට ඊට ප්‍රථම ඔබ ‘කොස්තාපල් පුඤ්ඤාසෝම’ ලෙස රඟපෑවෙත් විකට චරිතයක්?

ඔව්.

මම දැක්කා එක්තරා මාධ්‍යවේදියක් කියා තිබුණා ‘අයියෝ මොනවද මේ මහේන්ද්‍ර රඟපාන චරිත? ඔහොම ගියොත් මිනිහට පොල් කඩන්න තමයි වෙන්නේ’ කියලා. ඒක දැක්කද?

නෑ... දැක්කෙ නම් නැහැ. නමුත් ඇත්තටම මම ඒ චිත්‍රපට ටික නොකර හිටියානම් පොල් කඩන්න සිද්ධ වෙන්න තිබුණා. ෂුවර් එකටම පොල් කඩන්න වෙනවා. ඒක එතුමා නොදන්නවා ඇති. මොකද මේ රටේ සිනමාව පවතින්න හොඳ චිත්‍රපට පමණක්ම හැදෙනවා නම්, ඒ චිත්‍රපටවලට මාව තෝර ගන්නවා නම් සහ මට ඒ අවශ්‍යය මුදල ඔවුන් ගෙවනවා නම් මටත් අන්තවාදී ලෙස ඔය චිත්‍රපට ප්‍රතික්ෂේප කරමින් කලාත්මක සිනමාවේ පමණක් රැඳී ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපේ සිනමාව දැන් මේ යන විදිහ මට පේනවා. මම මෙහෙම හරි සිනමාවේ රැඳී ඉන්නවා. මට දුක මගෙන් පස්සේ සිනමාවට එක් වුණ සහ අලුතෙන් එන පිරිස ගැන.

ඇයි ඒ?

නැහැ, ඉදිරියේදී අපට චිත්‍රපටයක් කර ගන්න පුළුවන් තත්ත්වයක් සහ ඒවා ප්‍රදර්ශනය කර ගන්නට පුළුවන් තත්ත්වයක් උදා වෙයිද දන්නේ නැහැ. අපිට නම් පීරියඩ් එකක් තිබුණා ගොඩ නැඟෙන්න. ලොකු කට්ටක් කාලානේ මේ තැනට ආවේ. අද රඟපෑම මගේ වෘත්තීය. අපිටත් ටෙලිෆෝන් බිල් එනවා. බැංකු ලෝන්, කාර් ලෝන් තියෙනවා ගෙවන්න. ඒ නිසා අන්තවාදී ලෙස, ප්‍රබුද්ධ ලෙස මම ජීවත් වෙලා ඉන්න ගියොත් මට පොල් කඩන්න තමයි වෙන්නේ අනාගතයේදී.

‘ගින්දරී’ට වගේම ‘ප්‍රවේගය’ චිත්‍රපටයටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මම කැමැතියි ප්‍රවේගයේ ඔබේ චරිතය පිළිබඳ කතා කරන්න?

මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වූ සරෝව් එක්ක වැඩ කිරීම වෙනමම අත්දැකීමක් වුණා. ඔහු අලුත්ම විදිහට හිතන අධ්‍යක්ෂවරයෙක්. මේ චිත්‍රපටයේ මුල් චිත්‍රපටය මම නරඹලා තිබුණේ නෑ. ‘පොල්ලාදවන්’ චිත්‍රපටය. සරෝව් මට කිව්වේ ‘උඹට ඕනෑ විදිහට මේ චරිතය කරගෙන පලයන්’ කියලයි. ඔහු මට චරිතයේ හැඩරුව පැහැදිලි කරලා නිදහසේ මේ චරිතය ගොඩ නගාගන්න අවස්ථාව සලසා දුන්නා.

ඔබේ චරිතය මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත්තා?

ඔව්. මේක ඉතාම සුහද, මිත්‍රශීලී, සුන්දර මනුස්සයකුගේ චරිතයක්. හේමාල්ගේ යාළුවා. සුන්දර මනුස්සයෙක්, සුන්දර මිතුරෙක්. එහෙමයි මට හැඟුණේ. ඒ සුන්දරකමත් එක්ක තමයි ඇත්තටම මම ඒ චරිතය ගොඩ නගා ගත්තේ. එතනදි සරෝව් මට විශාල සහයෝගයක් දුන්නා. මගෙන් අවශ්‍යය දේ ඔහු උකහා ගත්තා කියලා මට හිතෙනවා.

මම හිතන්නේ මහේන්ද්‍ර පෙරේරාත් සැබෑ ජීවිතයේදී එහෙම සුන්දර, මිත්‍රශීලී චරිතයක්?

ඇත්තටම ඒකත් ඉවහල් වුණා. මම ආශ්‍රය කරන්නේ යාළුවෝ කීප දෙනයි. හැබැයි ඒ ආශ්‍රය බොහොම ළෙන්ගතුයි. මගේ සැබෑ ජීවිතයේ ඒ ගති ගුණත් බලපෑවා මේ චරිතය කරගෙන යන්න. චිත්‍රපටයේ අන්තිම හරියේදී මේ චරිතය අර ‘සීරියස් කොමඩි’ පැත්තට දිවෙනවා. ඒකත් එක්ක තමයි ඒ ‘රසය’ මතු කර ගන්න පුළුවන් වුණේ.

ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ වෙනස්ම මාදිලියේ චරිතයක්. එහි පූර්ව ප්‍රචාරක පටය නැරඹූ පසු මට හිතුණේ එහෙම?

ඒක ඔබ කිව්වා වගේ වෙනස්ම චරිතයක් තමයි. ජැක්සන් සහ මා අතර තිබෙන්නේ දිගුකාලීන මිත්‍රත්වයක්. ඇත්තෙන්ම ඔහු වගේම කමල්, ශ්‍රියන්ත, ජයන්ත චන්ද්‍රසිරි අපි ඔක්කොම එකම කාලෙක කලා ක්ෂේත්‍රයට එක් වූ අය කිව්වොත් නිවරැදියි. එතනදි ජැක්සන් මට කරන්න පුළුවන් දේවල් ගැන අනිවාර්යෙන්ම දන්නවා. මගේ රඟපෑම් ස්වභාවය දන්නවා සහ ඔහු ඇත්තටම මගේ රඟපෑම් අගය කරනවා. ඒ වගේම ඔහු මට ආදරෙයි. ජැක්සන් මට ඒ චරිතය ලියන්නේ මගේ තියෙන ඒ සියලු ස්වභාවයන් දැනගෙන.

ඔබ වෙනුවෙන්ම?

ඔව්. මේ චරිතයේ තැන් තැන්වල අභිරූපන රංගනය භාවිතා කෙරෙනවා. ඒ අභිරූපන රංගනය ඇවිල්ලා ප්‍රොෆෙෂනල් අභිරූපණ රංගනය නෙවේ. මහ මඟ අභිරූපණයන් රඟ දක්වලා ජීවිතය සරි කර ගන්නා යාචකයෙක්ගේ චරිතයක් ඒක. එතකොට ඔහුගේ අභිරූපන රංගනය වෘත්තීය මට්ටමේ එකක් වෙන්න බෑ. ඌ නිකං තැනින් තැන අහුල ගන්න කෑලි ටිකක් තමයි කරන්නේ.

නමුත් ඔබ වෘත්තීය මට්ටමේ අභිරූපණ රංගන ශිල්පියෙක්?

මීට අවුරුදු විස්සකට, විසි පහකට පෙර මම ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ හොඳින්ම අභිරූපණය හදාරලා තියෙනවා. ඒත් ඉතිං මේ චරිතයේදී ඒ වගේ වෘත්තීය මට්ටමකින් අභිරූපන රංගනය කරන්නට ඕනෑ වුණේ නෑ. ජැක්සනුත් ඒක තේරුම් අරගෙන තිබුණා ලස්සනට. නමුත් ඒ රංගනය තුළ යම් කිසි මැජික් එකක් තියෙන්න ඕනෑ. ඒක අල්ල ගන්න තමයි ජැක්සනුත් මාත් ට්‍රයි කළේ. වෘත්තීය අභිරූපනයක් නොවුණාට ඒ කරන දේ තුළ අකාර්ෂණීය මැජික් එකක් තියෙන්න ඕනෑ.

මම හිතන්නේ සාපේක්ෂව බැලුවොත් ඔබට ලැබුණු අසීරු චරිතයක්?

ඔව්. ඒක ඇත්තටම අසීරු, වෙහෙසකර රංගනයක්. ගොළු චරිතයක් තමයි මට නිරූපණය කරන්න තිබුණේ. වාචික අභිනයෙන් තොර. හැබැයි ඒ රස විඳපු ප්‍රමාණය හින්දම ලොකු අයියේ ඒ වෙහෙස කියන එක දැනුණේම නෑ. ඒක ආශ්වාදයක් වුණා.

‘ගොළු තාත්තා’ ටෙලි නාට්‍යයේ ‘ගොළු තාත්තා’ත් ඔබ. ඒ චරිතය මීට හාත්පසින්ම වෙනස්?

ඒ ගොළු තාත්තා අධ්‍යාපනයක් ලබපු ගොළු තාත්තා කෙනෙක්. ඒ කියන්නේ ඔහු කාලෙකට ඉස්සර වෙලා කොන්වන්ට්ි එකක හැදිච්ච, වැඩිච්ච පුද්ගලයෙක්. එතකොට ඔහුට අර සංඥා භාෂාව යම් තරමකට කතා කරන්න පුළුවන්. ඔහු ලෝකය පිළිබඳ ඉතා පුළුල් දැනුමක් තියෙන, අධ්‍යාපනයේ වටිනාකම ඉතා හොඳින් හඳුනන, හැඟීම්වලින් පොහොසත් ගොළු තාත්තා කෙනෙක්. ඇත්තටම මේ චරිතය රඟපෑමේදී මට සයින් ලැන්ග්වේජ් එක සෑහෙන්න හදාරන්න වුණා.

කොහොමද ඒ හැදෑරීම කළේ?

ඒ ප්‍රදේශයේ තියෙනවා අඳ, ගොළු, බිහිරි පාසලක්. එහි උපදේශකවරියක් ඇවිත් මට පුහුණුව ලබා දුන්නා. ඇත්තටම දෙබස් කියනවාට වඩා හරි අමාරුයි වැඩේ. මොකද ආවේගකාරී ලෙස මම හැඟීම් නිරූපණය කරන්න තිබුණා. එතකොට වේදනාවක් දැනුණාම ඒකත් කියන්න වෙනවා සංඥා භාෂාවෙන්. සාමාන්‍ය ජීවිතයේදී අපි කාට හරි බැනගෙන, බැනගෙන යන එක සයින් ලැන්ග්වේජ් එකෙන් මට කරන්න සිදු වුණා. අනෙක් භාවයන් නිරූපණය කරන්න තිබුණෙත් එහෙම. ඉතින් පුළුවන් තරම් උත්සාහ කළා ඒ දේවල් නිවැරදිව කරන්න.

අභිරූපණ රංගන කලාව ගැනත් ඔබ සඳහන් කළා. මීට වසර විස්සකට, විසි පහකට කලින් ඔබ ලැබූ ඒ ශිල්පීය ඥාණය අදටත් ඉවහල් වෙනවා ඔබේ රංගන කාර්යයට?

ඒක ඇත්ත. අර එක බිස්කට් ඒඤඤ එකක එක තැනක මම පැන, පැන යන දර්ශනයනක් තියෙනවානේ. සමහරු ඇහුවා ඒක මේ ග්‍රැෆික්වලින් ද නිර්මාණය කළේ කියලා. නැහැ. ඒ තමයි මම අභිරූපණ කලාවෙන් ලබපු පන්නරය. ඉස්සර නම් මට මීටත් වඩා පනින්න පුළුවන්.

කොහොම වුණත් අද මේ කලාව අභාවයට ගිහින්?

අභාවයට ගිහින් කියන්නේ නැත්තටම නැති වෙලා. අභිරූපණ රංග කලාවේ හිටපු අවසාන පුරුක තමයි ආචාර්ය සාලමන් ෆොන්සේකා. ඒ හැරුණාම මේ කලාව හොඳින් හැදෑරූ අය ඉන්නේ ටික දෙනයි අද වෙන කොට. විමල් කුමාර් ද කොස්තා මේ කලාව අපටත් පෙර ප්‍රගුණ කළ අයෙක්. වේශ නිරූපණ ශිල්පී ජයන්ත රණවක ගාව තවම මේ ශිල්පය තියෙනවා. නමුත් අද මේ වගේ විෂයයක් කවුරුවත් හදාරන්නේ නෑ. මොකද එහෙම හදාරලා මොනවද කරන්නේ.

වෘත්තීය වටිනාකමක් නෑ?

වෘත්තීය වටිනාකමක් නෑ. මම අර එදා ඉඳලාම නළුවෙක් හැටියට ආසාවෙන් ඒක හදාරපු නිසා බාහිරව එකතු කර ගත්ත දෙයක් තියෙනවා. නමුත් හැමෝම ගාව ඒක නැහැ. චාලි චැප්ලින්ලා එදා නිහඬ සිනමාවේ වැඩි හරියක් එන්නේ මයිමින් හරහා. ඒගොල්ල ඒ චරිත ගොඩ නඟන්නේ මයිමින්වලින්. ඉතිං කොයි තරම් පවර්ෆුල්ද? ඒවායෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මගේ වර්ක් ෂොප්ස්වල මේ විෂය හුඟක් ළමයි ඉක්මනට අතෑරලා දාන බව පෙනෙන්න තිබෙනවා. ඒ අභ්‍යාසගත වීම ඔවුන් තුළ නෑ. නමුත් අභිරූපණ රංගනය හරහා ඉතාමත් මැනැවින් ශරීරයේ නම්‍යශීලී බව රැක ගන්න පුළුවන්කම තිබෙනවා. ඇස්වලට තියෙනවා වෙනම ව්‍යායාම. ඒවා කරන්නම ඕනෑ. දැන් මගේ ඇඟ නම්‍යශීලීයි නම් මට ඕනෑ වෙලාවක ඒක තද කර ගන්න පුළුවන්. නමුත් බොඩි එකේ තද ගතියක් නම් තියෙන්නේ ඒක නම්‍යශීලී කරගන්න බෑ.

ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි වැනි ඔබේ පරපුරේ, ඔබේ සහෝදර රංගන ශිල්පීන්ගේ රංගනයන් පිළිබඳ ඔබ විටින් විට මාධ්‍යයට අදහස් දක්වනවා මා දැක තිබෙනවා. බොහෝ විට විවේචනාත්මකව, ආන්දෝලනාත්මකව තමයි ඔබ ඒ අදහස්, මතවාද ප්‍රකාශ කළේ?

ඔව්. මොකද අනිවාර්යයෙන්ම, කෙළින්ම කිව්වොත් ඔවුන් ඉතාම දක්ෂ නළුවෝ. විශාල පරාසයක් තිබෙන නළුවෝ. නමුත් ඔවුන් තමන්ගේ රංගන කාර්යයන් මෙහෙයවන ආකාරයේ පොඩි, පොඩි අඩුපාඩු තියෙනවා. දැන් මගේ පැත්තෙන් ගත්තොත් මම ‘මෙගා’ ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ. මොකද ඒ වෙහෙසකර අත්දැකීම තුළ මට රස වින්දනයක් ලබන්න බෑ. ඒ නිසා තමයි මම වේදිකාවෙනුත් අයින් වෙන්නේ.

කතාව පොඩ්ඩක් වෙන පැත්තක යනවා වගේ ලොකු අයියේ. හොඳයි මෙහෙම මම ඇහුවොත් ජැක්සන්, ශ්‍රියන්ත සහ කමල් අතරින් වැඩිම දක්ෂතා තිබෙන නළුවා කවුද?

ඇත්තටම තුන් දෙනාම දක්ෂයෝ. නමුත් දැන් තමන්ගේ රංගන කාර්ය වෙනුවෙන් කැප කළ යුතු කාලය වෙනත්, වෙනත් දේ සඳහා මිඩංගු කළාම අර තමන්ගේ ප්‍රධාන ධාරාවේ තිබෙන ශක්තිය, ජවය අඩාල වෙලා යනවා.

කාටද ඔය ඇනුම් පදය එල්ල කළේ?

තුන් දෙනාටම. දැන් ශ්‍රියන්ත මෙන්ඩිස් හෝ ගාලා රඟපාන්න යනවා. ශ්‍රියන්ත ඉතාම දක්ෂ නළුවෙක්. ඒත් ඇක්ටින් කියන එක කුරුවල් වෙන්න පුළුවන් ඕනෑ වෙලාවක. මොකද මේ හැම දේම කලින් කලට වෙනස් වෙන දේවල්නේ. අපි ඇක්ට් කරන්න පටන් ගන්න කොට තිබුණ සමාජය නෙවෙයිනේ අද තියෙන්නේ. ඒ රිදම් එක නෙවෙයි සමහර වෙලාවට අද තියෙන්නේ. හැම පැත්තෙන්ම අප්ඩේට් එකට යන්න ඕනෑ. එහි තිබෙන සියුම්කම සොයා ගන්න විශාල ශක්තියක් කැප කරන්න වෙනවා. එහෙම නොවුණොත් ඊළඟ වර්ධනය ඔවුන්ට අහිමි වෙනවා.

ඒක හරියට රජයේ සේවකයකුට අහිමි වෙන වැටුප් වර්ධකයක් වගේ නෙවෙයි?

නැහැ, නැහැ. කලාකරුවෙක්ට ඒ වර්ධනය වීමට තිබෙන අවස්ථාව ඇහිරෙනවා කියන්නේ ඒක ඔහුගේ කලා දිවියට තදින් බලපානවා කියන එක. දැන් කමල් අද්දරආරච්චි ගත්තොත් අද වෙන කොට නිකං ‘රඟපාලා වැඩක් නෑ. ඊට වඩා මගේ බිස්නස් කරගෙන ඉන්න එක හොඳයි’ කියනවා වගේ මානසික මට්ටමක ඉන්නේ. ඉතින් ව්‍යාපාර කටයුතුවලට තමයි ඔහු ශක්තිය යොදවන්නේ. එතකොට ඔහුට රංගනය සඳහා යොදවන්න වෙලාවකුත් නෑ. කාලයකුත් නෑ.

එතකොට ජැක්සන් ඇන්තනි?

ශ්‍රියන්තට, කමල්ට නැති අමතර වාසියක් ජැක්සන්ට තියෙනවා. ඔහු ඉතාම හොඳ රචකයෙක්. කතා ගොතන්නට ඉතා විශාල දක්ෂයෙක්. සාහිත්‍ය, කලාව, ඉතිහාසය ඇතුළු විෂයයන් පිළිබඳ දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙක්නේ ජැක්සන් ඇන්තනි කියන්නේ. එතකොට මම කියන්නේ රඟපෑම කියන විෂයට තව පොඩ්ඩක් බැහැලා, අභ්‍යාස ගත වීම තුළ මේ ගමන ගියා නම් ජැක්සන් ඇන්තනි ඉතාම සුපිරි නළුවෙක් බවට පත් වෙනවා. ඔවුන් තිදෙනාම එහෙමයි. මම කියන්නේ රඟපෑම කියන විෂයය තුළට ඔවුන්ගේ ශක්තිය මුදා හරින එකේ අඩුව තමයි තියෙන්නේ කියන එක.

ඔය තක්සේරුව අනුව වැඩිම දක්ෂයා කවුද කියලා කියන්න බැරිකමක් නෑනේ?

ඒක හරිම අමාරු දෙයක්. හරියට ලෝකේ දක්ෂතම නළුවා කවුද කියලා කියන්නට බැහැ වගේ. ‘හොඳම නළුවා’ කියලා, එහෙම එකක් නෑ. ‘හොඳම නළුවෝ’ නම් ඉන්නවා. මාලන් බ්‍රැන්ඩෝ ගත්තොත් හොඳ නළුවෙක්. චාල්ස් බ්‍රොන්සන්, ඇන්තනි ක්වීන් හොඳ නළුවෝ. දැන් අපේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ගත්තත් ඔවුන් හොඳ නළුවෝ. ඒත් හොඳම නළුවා අහවලා කියලා එක් අයෙක් නම් කරන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔය තුන් දෙනා ගත්තත් මට කියන්න සිදු වෙන්නේ.

අපි දන්න මහේන්ද්‍ර සෙට් එකේ බොහොම සැහැල්ලුව, නිදහසේ, කොටින්ම කිව්වොත් පිස්සු කෙළගෙන ඉන්න චරිතයක්. හැබැයි අදාල රූගත කිරීමට ගියාම ඔබ ඒ චරිතයට බොහොම හොඳින් ප්‍රවේශ වෙනවා. ඒ තුළ ජීවත් වෙනවා. මේක මම හිතන්නේ එක්තරා විදියක හාස්කමක්?

හාස්කමක්. ඒක මම අර්ථ ගන්වන්නේ අවධානය යොමු කර ගැනීම කියලයි. මට මොකක්ද කරන්න තියෙන්නේ කියන එක ගැන අවධානය යොමු කරාගෙන, අධ්‍යක්ෂවරයාට මොකක්ද අවශ්‍ය දේ කියන එක වටහාගෙන ඒක ඔළුවේ ප්‍රින්ට් කර ගත්තාට පස්සේ ඉතිං ඕනෑ විදිහකට ඉන්න පුළුවන්. කොච්චර කළත් අවසානයේදී වෙන්නේ අධ්‍යක්ෂවරයාගේ විධානයට යටත් වෙන්න වෙන එකනේ. නොයෙක් නොයෙක් විධානයන්ට. එතකොට මේ විධානයන් සියල්ල මැද අපට රංගන කාර්යයේ නියැලෙන්නට හොඳ කන්සිඩරේටඩ් මයින්ඩ් එකක් තියෙන්න ඕනෑ. හොඳ නිරවුල් මනසක්.

රඟපෑම බුද්ධිමය කාරණාවක් වෙන්නේ එතනදි?

හරියට හරි. මොකද ඒ සියලු විධානයන් මැද මම හරියට මගේ චරිතය රඟපාන්න ඕනෑ. මගේ චරිතයේ තිබෙන හැසිරීම් රටාව මම මේන්ටේන් කරන්න ඕනෑ දිගටම. එතකොට ඩයලොග්ස් කියන ස්වභාවයක් තියෙනවා නම් ඒක ඒ වේට් එකෙන් කෙරෙන්නට ඕනෑ. ඒ චරිතයේ හැඩයෙන් පිට පනින්නත් බෑ. මම ඒකත් ඔළුවේ තියාගෙන ඒ කෝව ඇතුලේ ඉන්න ඕනෑ. ඒක ෂූටිං පටන් ගන්න දවසේ ඊඳලා මම ඔළුවේ ප්‍රින්ට් කරගන්න දෙයක්. චරිතය කොයි තරම් දුරට තමන්ගේ මනසේ අවධානයට ලක් කරගෙන ඒක කොයි විදිහට මුදා හරිනවාද කියන කාරණය අනුව තමයි අදාල රංගනය සාර්ථක වෙන්නේ.

සමහර දර්ශන, ඩයලොග්ස් සෙට් එකේදී පවා වෙනස් කරන අවස්ථා තිබෙනවා?

ඔව්. එහෙම අධ්‍යක්ෂවරයෙක් තමයි බූඩි. මේ රිහේසල් කරලා ටේක් එකකට ගිහින් ආයේ ටේක් එකකට යනකොට අතන පොඩ්ඩක් වෙනස් කරන්න, මෙතන මෙහෙම ගන්න කියලා කියනවා. මේ ක්ෂණයකින් තමයි අපට ඒ විධානය දෙන්නේ. එතකොට මගේ මනස රිලෑක්ස් නැතිනම් මම කොහොමද ඒ විධානයන්ට අනුගත වෙන්නේ. ඒ නිසා කොච්චර පිස්සු නැටුවත් වැඩේ ඔළුවේ තියාගෙන තමයි ඉන්නේ.

කොල්ලා කාලෙත් ‘කොල්ලා’ ගේ චරිතය රඟපාන්න අවස්ථාවක් ඔබට ලැබුණේ නෑ කියා ඔබම වරෙක මා සමග සඳහන් කළා. දුකක් නැතිද?

ඒ මම කිව්වේ කොල්ලාගේ චරිතය. නමුත් ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාන්න පුළුවන් ඕනෑම වයසකදී. අවුරුදු අසූවේදීත් අපට ආදරය කරන්න පුළුවන් නේ.

වියපත් බඹරු ඉන්නවානේ?

වියපත් බඹරු ඉන්නවානේ. ඒ නිසා ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාන්න පුළුවන්. වයස් සීමාවක් ඊට අදාල වන්නේ නෑ. හැබැයි මට හිතෙනවා කොල්ලාගේ චරිතය රඟපාන්න නොලැබුණු එක හොඳයි කියලාත් එක අතකින්. මොකද වයසට ගියාම කොල්ලාට කෙළ වෙනවා. හැමදාම කොල්ලා වෙන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ. ‘ආ... දැන් මගේ භද්‍ර යෞවනය ඉවරයි, අම්මට හුඩු දැන් ඉතින් යන්න තැනක් නැතිව බකං නිලාගෙන ඉන්න වෙනවා. කමල් අද්දරආරච්චි වෙනස් වෙන්නේ ඔන්න ඔතනදි. ඔහු කොල්ලාගේ චරිතය නෙවෙයි රඟපෑවේ. කමල් රඟපෑවේ ප්‍රේමවන්තයාගේ චරිතය. ඒ නිසා ඔහුට අදත් පෙම් චරිත රඟපාන්න පුළුවන්. දැන් කරන්නේ නැතිවට. කොල්ලා එහෙම නැතිනම් ‘ලවර් බෝයි’ කියලා ඉන්නවානේ අපේ. ඒක ඉතිං හරි භයානකයි.

හැබැයි ‘මිල්ලේ සොයා’ චිත්‍රපටයේ ඔබ සංගීතාගේ ප්‍රේමවන්තයා වුණා නේද?

ඒ අවස්්ථාව මට ලබා දුන්නේ බූඩි කීර්තිසේන. සමහරු කිව්වා මට වඩා සංගීතා උසයි. ඒ නිසා ඒ චරිතයට මාව ගැළපෙන්නේ නෑ කියලා. ඒත් බූඩි ඒවා ගණන් නොගෙන මට මේ චරිතය ලබා දුන්නා. කොට මිනිස්සු කොච්චර ඉන්නවද ලෝකේ හොල්ලපු. බලන්නකෝ චාලි චැප්ලින්. උස අඩි කීයද? එතකොට සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා උස පුද්ගලයෙක් නෙවෙයිනේ. අපේ ආචාර්ය පණ්ඩිත් අමරදේව. උස විතරක් බැලුවා නම් එතුමාට කවදාවත් විමලාවෝ කසාද බඳින්න හම්බ වෙන්නේ නෑ.

කොට මොඩ්ල් ලඟ පිකප්?

හරියට හරි ලොකු අයියේ. කොට මොඩ්ල් ළඟ පිකප්...