වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




සනත් මල්කාන්ති “ආරාධනා” සමඟ ලන්ඩන් නුවර ගීතවත් වෙයි...

සනත් මල්කාන්ති “ආරාධනා” සමඟ ලන්ඩන් නුවර ගීතවත් වෙයි...

මියුරු මියැසියේ ආනන්දයෙන් රසික යුග සවන්පත් සනහාලූ තවත් අපූර්ව ගී ප්‍රසංගයක් පසුගිය 27 වැනිදා ලන්ඩන් නුවර දී පැවැත්විණ. ඒ ලන්ඩන් හි ‘හීත්‍රෝ තිසල්’ හෝටල් ශ්‍රවණාගාරයේදීය. මහාචාර්ය සනත් නන්දසිරි හා මල්කාන්ති නන්දසිරි යුවළගේ ආදරණීය ගී හඬ එසේ සංගීතවත් වූයේ ‘ආරාධනා’ සංගීත ප්‍රසංගයේදීය. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික රසිකයන් බොහෝ දෙනකු මේ සුගායනීය ගායනයන් හමුවේ මොහොතක් දැහැන්ගත වූයේ ඔවුන් ගත කරන ඒකාකාරී වෙහෙසකාරී දිවියට සොඳුරු අත්දැකීමක් එක් කර ගනිමිනි.

ලන්ඩනයේ බහු සංස්කෘතික බෞද්ධ ප්‍රජා මාධ්‍යස්ථානයේ අධිපති වඳුරඹ කස්සප ස්වාමීන් වහන්සේ විසින් එම විහාරස්ථානයට ආධාර පිණිස සංවිධානය කළ ‘ආරාධනා’ ගී ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ලන්ඩන්යේ ශ්‍රී ලංකා තානාපති චානක තල්පහේවා මහතාය. සනත් නන්දසිරි සූරීන්ගේ ශිෂ්‍යයකු වන ගායක වීරසිරි මල්වත්ත මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේ ලා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ අතර ඔහුගේ බිරිය වූ අනුෂා මල්වත්ත හා පුතනුවන් හා දියණියත් එහිදී ගායනා ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

“ආරාධනා” ප්‍රසංගයේ සංගීත අධ්‍යක්‍ෂණය සිදු කළේ යොවුන් සංගීතවේදී ඉන්ද්‍රජිත් මිරිහානයි. ඔහු මේ ප්‍රසංගය සඳහා ඕස්ට්‍රේලියාවේ සිට ලන්ඩන් නුවරට පැමිණිමද විශේෂත්වයකි.

සනත් මල්කාන්ති යුවළ ගී ගැයූ “ආරාධනා” ප්‍රසංගය තවත් බොහෝ කලක් යනතුරු සහෘද හදවත්වලින් වියැකී නොයනු ඇත.