වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




කතා කරන කොට වැඩිය ඇහිබැම උස්සන්න එපා

කතා කරන කොට වැඩිය ඇහිබැම උස්සන්න එපා

පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගවේදී ටෝනි රණසිංහයන් මෙරට සිනමාවේ රජතුන් කට්ටුවේ අන්තිමයාය. ටෝනි රණසිංහයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිති කොට ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ටෝනි රණසිංහයන් සමඟ කරන ලද විශේෂ සාකච්ඡාවක් ලිපි මාලාවක් ලෙස එකල සරසවිය පුවත්පතේ පළ විණ. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙන්ම ටෝනි රණසිංහයන්ට උපහාරයක් ලෙස සරසවිය එම ලිපි මාලාව ඔබට නැවත ගෙන එන්නෙමු.

ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහු සමඟ වැඩ කරන නළු නිළියන්ගෙන් සියුම් රංගනයන් ඉතාම සූක්ෂම අයුරින් ලබා ගන්නවා. ඔබ ලෙස්ටර් සමඟ තෙවතාවක් (දෙලොවක් අතර, රන්සළු, අහසින් පොළවට) ප්‍රධන චරිත රඟපා තිබෙනවා. අධ්‍යක්ෂවරයා සහ රංගන ශිල්පියා අතර ඇති සම්බන්ධතාවය ඔබේ මතයෙන් මට විග්‍රහ කළොත්?

මුලින්ම මම ලෙස්ටර් මහත්තයා ගැන මතක් කරලම මේ ගැන කියන්නම්. ඔහුත් මාත් අතර ඇත්තේ ගුරු ගෝල සම්බන්ධයක් යැයි මට කිව හැකියි. ඔහු චරිතයක් ලබා දීලා එය රංගන ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් ලබා ගත්තේ බොහොම අපූරුවට. මගේ සිත මේ වෙලාවේ දෙලොවක් අතර චිත්‍රපටය වෙතට ගමන් කරනවා. එහි මගේ මව හැටියට රඟපෑවේ අයිරාංගනී සේරසිංහයි. එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ නිවසයි මගේ නිවස විදිහට යොදා ගත්තේ. ලෙස්ටර් මහතා මං රඟපෑ වේදිකා නාට්‍ය බලලා තිබුණා. ඒ නිසා මගේ රංගන පරාසය ඔහු දැනන් හිටියා.

ලෙස්ටර් මහත්තයා දර්ශන තලයේදී අපට කිහිප වාරයක් පෙර පුහුණවීම් කරනවා. අපේ මූව්මන්ට්වල පොඩි අඩු පාඩුවක් හරි වුණොත් ළඟට ඇවිත් කනට කොඳුරලා 'ටෝනි කතා කරන කොට ඇහිබැම වැඩිය උස්සන්න එපා. කට ඇද කරන්නෙපා. කම්මුලේ මස්පිඬු පෙරළන්නෙපා' වැනි දේ කියනවා. ඔහු එහෙමයි. ගාමිණී ෆොන්සේකා ඊට හාත්පසින්ම වෙනස්. ඔහු අපට නිදහසේ රංගනයේ යෙදෙන්න දුන්නා. ඒත් ඔහු කළේ යම් කිසි නළුවකුට හෝ නිළියකට චරිතයක් දීලා ඒ චරිතය ගාමිණී රඟපෑවා නම් දෙන මූව්මන්ට් එකම ඔහුගෙන් හෝ ඇයගෙන් ලබා ගන්න එක. ගාමිණී දර්ශන තලයේ දෙබස් උච්චාරණය කරමින් අපට රඟපාන්න ඕනෑ විදිහ පෙන්වා දුන්නා. මේ ක්‍රියාව නිසා ඒ දිනවල එක්තරා නළුවකුට අවාසියක් වුණා. ගාමිණිගේ ආභාසය රැගෙන වෙනත් චිත්‍රපටවලත් ගාමිණී විදිහට රඟපාපු නළුවොත් හිටියා.

මට මේ වෙලාවේ තව කෙනෙකුව මතක් වෙනවා. ඒ සුගතපාල සෙනරත් යාපා. ඔහු වේදකා නළුවෙක්. ඔහු නළුවන් අධ්‍යක්ෂණය කරද්දී දර්ශන තලයේදී අපට දෙබස් කියා පෙන්නුවේ නැහැ. අපට දුන්නු චරිතයේ ස්වභාවය අපෙන්මයි ඔහු අර ගත්තේ.

එක එක අධ්‍යක්ෂවරුන්ගේ ගතිගුණ එකිනෙකට වෙනස්. ඒ නිසා නළුවා හෝ නිළියත්, අධ්‍යක්ෂවරයාත් අතර ඇති සම්බන්ධය වෙනස් වෙනවා. අපි දැනගන්න ඕනෑ ඒ අධ්‍යක්ෂවරුන්ට වුවමනා පරිදි වෙනස් වෙන්න.

රංගනය ගැන ටෝනි රණසිංහ නම් රංගනවේදියාගේ නිර්වචනය කුමක්ද?

ප්‍රසන්න, ඕක හරිම දරුණු ප්‍රශ්නයක්. නළුවකුගෙන් අහන ඔය ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබෙන්නේ රංගනයෙන් පරිබාහිරව සිටින කෙනෙකුගෙන්. මං ඒකට මෙහෙම උදාහරණයක් රැගෙන පිළිතුරක් දෙන්නම්කෝ. බොහෝ විචාරකයන් හඳුන්වන විදිහට 'ලෝරන්ස් ඔලිවියර්' තමයි විසි වැනි' සියවසේ ශ්‍රේෂ්ඨතම නළුවා. මමත් බොහොම ප්‍රිය කරන කෙනෙක් තමයි ඔහු.

ඔහුගෙන් එකල පොත් ප්‍රකාශකයෝ ඉල්ලුවා රංගනය පිළිබඳ පොතක් ලියන්න කියලා. ඔහු කිව්වා මට එහෙම රංගන ගැන තවම පොතක් ලියන්න බැහැ. මං තවමත් ඉගෙන ගන්නවා කියලා. ඒ වගේම ඔහු තවත් දෙයක් පැවසුවා. ඒ රංගනය හරියට ගලන ගඟක් වගේ එය දිනෙන් දින වෙනස් වෙනවා. ඒත් පසුකාලීනව ඔලිවියර් පොතක් ලිව්වා. ඒ 'ඔලිවියර් ඔන් ඇක්ටිං' නමින්. ඒ පොතේ ඇති පරිදි රංගනය යනු සත්‍යය තුළින් මායාව මැවීමක්. මමත් ඒ හැඳන්වීමට එකඟයි.

රංගනය ගැන ටෝනි රණසිංහ නම් රංගනවේදියාගේ නිර්වචනය කුමක්ද?

සමහර අය විශේෂයෙන් විචාරකයෝ කියනවා අහවල් නළුවා චරිතයේ ඇතුළාන්තයට කිමිදිලා රඟපෑවා කියලා. එහෙම කියන්න බැහැ. නළුවා හෝ නිළිය යම් දර්ශනයක සිටින විටදී ඔහු හෝ ඇය දැන සිටිය යුතුයි මම මේ දෙබස කියලා ඉවර වෙලා කැමරාව වම්පසට යා යුතු බවට.

ඉතින් ස්වභාවික රංගනය මුළුමනින් ඇඟට එන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවලුත් දැනගන්න ඕනෑ. ඒක නිසා අර වාගේ ප්‍රකාශයක් තනිකරම අනුමත කරන්න බැහැ.

නළුවා හෝ නිළිය තමන්ගේ අනන්‍යතාවය මත රඟපෑවත් ප්‍රේක්ෂකයන්ට එත්තූ ගන්වන්නට ඕනෑ ඒ චරිතය ගැන. ඒ රංගනය නිරායාසයෙන් කරන එකක් බවටත් හැඟවෙන්න ඕනෑ.

රංගන ශිල්පීන්ව මං උපමා කරන්න කැමැතියි ක්‍රිකටර් කෙනෙකුට. පුහුණුකරු ඉගැන්නුවත් පිතිකරු ඒ මොහොතේ පන්දුව එන විදිහට පහර දිය යුතුයි. රංගනයත් එහෙමයි.

අවසාන කොටස ලබන සතියේ...