වර්ෂ 2015 ක්වූ ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා




බුද්ධිගේ කවිමිහිර එළිදකියි

බුද්ධිගේ කවිමිහිර එළිදකියි

ප්‍රවීණ කවියෙකු මෙන්ම මාධ්‍යවේදී බුද්ධදාස ගලපත්ති දිවයින ‘වට මඬල’ අතිරේකයේ සතිපතා රස විඳීන ලද පද්‍ය කාව්‍ය නිර්මාණ තිස්හයක් ඇතුළත් ‘කවිමිහිර’ ග්‍රන්ථය මේ මස 30 වැනිදා පස්වරු 3.30 ට ජාතික පුස්තකාල හා ප්‍ර ලේඛන සේවා මණ්ඩලය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙහිදී කවි මිහිරෙන් හමුවන නවීන හා ප්‍රවීණ කවීන් අතරින් සම්පාදක බුද්ධදාස ගලපත්ති විසින් ඇරැයුම් කරන ලද කවි කිවිඳීයන් සිව්දෙනෙකු උත්සව සභාව ඇමතීමට නියමිතය. සංගීතවේදී නවරත්න ගමගේ ඇතුළු ඔහුගේ පිරිවර කවි මිහිරෙන්ම තෝරාගත් පද්‍ය නිර්මාණ නවයක් එදිනට ගයනු ඇත.


ගම්මිරිස් කුරුල්ලා දොරට වැඩුම

කාංචනා අමිලානිගේ පළමු කෙටි කතා සංග්‍රහය 'ගම්මිරිස් කුරුල්ලා 'සහ 'ප්‍රේමයේ කාර්තු' කාව්‍ය සමුච්චය අද (23) සවස 3.00 -6.00 දක්වා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙයි.

කාලයක් මුළුල්ලේ 'හිතනලන්තය' බ්ලොග් අඩවියට සහ ෆේස්බුක් සමාජජාලය ලියූ කෙටි කතා සහ කවිවල එකතුවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. ගම්මිරිස් කුරුල්ලා ප්‍රමාණයෙන් කුඩා කෙටි කතා 10ක සහ ඩූඩ්ල් 10ක එකතුවකි. ප්‍රේමයේ කාර්තු පෙම් කවි 50ක එකතුවකි.

එදිනට කපිල කුමාර කාලිංග සහ මාලින්ද සෙනෙවිරත්න දෙසුම් පවත්වති.


ජනකරළිය ජංගම රඟහල හලාවතට පැමිණෙයි

පරාක්‍රම නිරිඇල්ල හා එච්.ඒ.පෙරේරා නාට්‍යවේදීන් අරඹන ලද ජනකරළිය ජංගම රඟහල මේ මස 24 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා හලාවත නගර මාධ්‍යයේ පිහිටි ඉච්චම්පිටිය ක්‍රීඩාංගණයේ දී මෙවර පැවැත්වෙයි. මේ සඳහා සම්මා දිනූ ජනකරළිය නාට්‍ය සමඟ නාට්‍ය 18ක් රඟ දැක්වීමට නියමිතය.

ඒ අනුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’, පරාක්‍රම නිරිඇල්ලගේ ‘චරන්දාස්’, ‘සෙක්කුව’, ‘ හුණුවටය’, ‘සීතාම්බරපට සහ අන්දරමල්’, ‘මධුර යාමේ’, ‘භාෂා සහ මොලී’, සෙල්වරාජ් ලීලාවතීගේ ‘ඉරුම්පිල් පොරුදිය ඉඩයම්’, රාසයියා ලෝගානන්දන්ගේ ‘පරයන්’, සුමුදු මල්ලවාරච්ච් සහ රාසයියා ලෝගානන්දන්ගේ ‘වටෝළුවෝ සහ උලෝළුවෝ’, රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතීගේ ‘පයනිහල්’ යන නාට්‍යද, සෝමලතා සුබසිංහගේ ‘තොප්පි වෙළෙන්දා සහ පුංචි අපට දැන් තේරෙයි’ ළමා නාට්‍යයද, ජනකරළිය රංගන ශිල්පීන් සාමුහිකව නිර්මාණය කළ ‘අපූරු පාඩම සහ දෙව්ලොව ගමන’ මේ නාට්‍ය උලෙළේ දී රඟ දැක්වෙනු ඇත.

නිශාන්ත කුලරත්න, සුමුදු මල්ලවආරච්චි, රාසයියා ලෝගනන්දන්, දෙව්රාන් ශ්‍රී ලිවේරා, සෙල්වරාජ් ලීලාවතී, සරත් බානගල, අමිල දිනේශ්, ඉනෝකා ලංකපුර, පාලිත අබේලාල්, අරෝෂා තරංගනී, රොනිකා චාමලී, අජන්ත ශාන්තකුමාර්, රුවිනි දිලන්ති, සමන්ලතා දිසානායක, මදීරා උදීශානි, තිලිණී නිමේෂා, කුමරේෂන් මහින්ද්‍රන්, අලගරාජ් යශෝප්‍රසාද්, විමුක්ති කිරිඇල්ල, නිපුන් දිල්ෂාන්, සමින්ද සංජීව, කෙනත් රෝහණ, මනෝජ් ප්‍රියංකර, නිසංසලා කුමුදු, ජනකරළිය නාට්‍ය නිර්මාණවල චරිත නිරූපණයේ යෙදෙති. මෙහි සුමුදු මල්ලවආරච්චි සංගීත නිර්මාණයෙන්ද, අජන්ත ශාන්තකුමාර් රංගාලෝකය මෙහෙයවීම ද, පාලිත අබේලාල් අංග රචනයෙන් සහය වෙති.

මේ නාට්‍ය උලෙළින් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහය ඇතිව තෝරාගත් ග්‍රාමසේවා වසම් 12ක විවිධ ප්‍රජාවන් වෙනුවෙන් ප්‍රජා නාට්‍ය වැඩසටහන් මාලාවක්ද ජනකරළිය මගින් මෙහෙය වනු ඇත. එමෙන්ම මේ උලෙළ ආශ්‍රිතව පාසල් ගුරුවරු සහ සිසුන් සඳහා නාට්‍ය වැඩමුළු සහ නාට්‍ය රසවින්දන වැඩසටහන් මාලාවක්ද පවත්වනු ඇත.