වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




නින්දේ සහ සැප නින්දේ වෙනස

නින්දේ සහ සැප නින්දේ වෙනස

බුවිනි චාපා දියලගොඩට එක දවසක උදේ රූපවාහිනි වැඩසටහන් දෙකකම රෙකෝඩිං වැටිලා. ඊට කලින් දවසේ පාටියකට එහෙම ගිහින් නිදිමරලා හිටපු නිසා පුදුම කම්මැලිකමකින්ලු ඇය උදෑසන නැගිටලා තියන්නේ. ඉතින් නිදිමරාගෙනම ලක ලැහැස්ති වුණු බුවිනි මුලින්ම ගිහින් තියෙන්නේ ඛ්ඉව් නාළිකාවට. එතැන වැඩේ යන්තම් ඉවර කරගෙන ඇය ගියා ස්වර්ණවාහිනියට. ඒ ප්‍රෝග්‍රෑම් එකටත් සහභාගී වුණයි කියමුකො. බුවිනිට දැන් ඉන්නම බැරි තරමට නිදිමතයිලු. ඇය කතා කරලා කුලී රථයකට.

කොහෙටද මැඩම්?

එහි රියදුරු බුවිනිගෙන් අහලා.

කඩුවෙලට. හැබැයි ටවුන් එකටම යන්න ඕනෑ. මං මගදි හැරෙන තැන් කියන්නම්.

එහෙම කියලා රථයට නැගපු බුවිනිට ගජරාමෙට නින්ද ගිහිල්ලා. රියදුරත් බුවිනි නිවසට යන පාරවල් කියනවයි කියපු නිසා සද්ද නැතුව වාහනේ එලවලා. දැන් රථය කඩුවෙලට කිට්ටු වෙලා. බුවිනි හ්ම් සද්දයක් නැහැ. බැරිම තැන රියදුරු බුවිනි දිහා බලලා. එතකොටත් ඇය සුව නින්දේ ඉඳලා තියෙන්නේ.

මැඩම් දැන් කඩුවෙලට කිට්ටුයි.

රියදුරා එහෙම කියද්දී බුවිනි හීනෙන් වගේ නැගිටලා වටපිට බලලා.

හරවන්න හරවන්න අපි පාර පහුකරගෙන ඇවිත්. රාජසිංහ මාවතෙනුයි හැරෙන්න ඕනෑ.

රියදුරා රථය හරවාගෙන ආපහු කොළඹ පැත්තට යන්න පටන් අරගෙන. කිලෝ මීටරයක් දෙකක් ආවලු. ආයෙත් බුවිනි සද්ද නැතුව නිදාගෙන රියදුරු බුවිනිගෙන් ඇහැව්වලු රාජසිංහ මාවත දැන් ළඟද කියලා. නිදිගැට කඩකඩ බුවිනි වටපිට බැලුවලු.

අයියෝ පාර පහුවෙලා පහුවෙලා. ආපහු කඩුවෙල පැත්තට හරව ගන්න.

බුවිනි කෑගහල රියදුරාට උපදෙස් දුන්නලු. ඔහොම දෙතුන් පාරක්ම වෙලා. අන්තිමේ රියදුරා රථය නවත්වලා බුවිනිට මෙහෙම කිව්වලු.

මැඩම්, මං නිදා ගන්නම්, මැඩම් වාහනෙ එලවන්න, මෙන්න යතුර.

එවලේ ඉඳන් ගෙදරට ගිහිල්ලත් සෑහෙන්න වෙලා යනකම් බුවිනි නිදාගෙන නැහැ.