වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ගරාජ් එක ගෝලයන්ට දීලා මම රඟපානවා

ගරාජ් එක ගෝලයන්ට දීලා මම රඟපානවා

ශාන්ත සමරතුංග

සිහිනෙන්වත් නළුවකු වෙන්නට පාරමී නොපිරූ ශාන්ත සමරතුංගට අහම්බෙන් සුදත් විජේසේකර නම් රංගන ශිල්පියාව මුණ ගැසේ. රඟපාන්න කැමැති නැද්ද යනුවෙන් ඔහු ශාන්තගෙන් අසයි.

අපිට කවුද රඟපාන්න දෙන්නේ. ඇරත් නළුවො කියන්නේ පෙනුමට ඉන්න කාණ්ඩයක්නේ. මගේ කොහෙද නළු පෙනුමක්.

ශාන්ත පිළිතුරු බඳියි. ඒ අදහසට එකඟ නොවන සුදත්, ශාන්තව සුගත් සමරකෝන්ට හඳුන්වා දෙයි. ඒ හමුව නිම වන්නේ ශාන්තට ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ භික්ෂුවකගේ චරිතය ලැබීමෙනි. අනතුරුව ඔහුට දිගින් දිගටම ආරාධනා ලැබෙයි.

රඟපාන්න ඇවිත් මාස හයක් ඇතුළත මට චිත්‍රපට හතරකට කතා කළා. ඇහැළේපොල කුමාරිහාමි, මහරජ ගැමුණු, සුහද කොකා සහ සුළඟ අප රැගෙන යයි තමයි ඒ චිත්‍රපට. ඉන් මට ඇහැළේපොළ විශේෂයි. එහෙම කියන්නේ මම එහි භික්ෂු චරිතය වගේම කොණ්ඩෙකුයි රැවුලකුයි දාලා ගම්බාරේ චරිතයත් කළ හින්දා. පළමු චිත්‍රපටයෙම මං ද්විත්ව චරිත මැව්වා.

ශාන්ත මහරජ ගැමුණු හි රාජ පුරුෂයකු විය. සුහද කොකා ප්‍රභූවරයෙකි. සිනමාපට රංගනයෙන් ටෙලි නාට්‍යවලට ද පිවිසි ශාන්ත පරාවළලු හි මන්ත්‍රීවරයකුගේ චරිතයෙන් ඔබ හමුවට එයි. පසුව අපූරුගම, දස්කොන් ආදී ටෙලි නාට්‍යන්හි තම දක්ෂතාවයන් විදහාලූ හෙතෙම ඉදිරියේදීත් තවත් නිර්මාණ ඔස්සේ අප හමුවීමට නියමිතය.

මගේ වර්තමාන පදිංචිය කහතුඩුව. එහි මගේම ගරාජ් එකක් මං පවත්වාගෙන යනවා. රූපගත කිරීම්වලට අවශ්‍ය වාහනත් මං ලබා දෙන්න පැකිලෙන්නේ නැහැ. මං දැන් වැඩි වශයෙන් කලාවට ප්‍රිය කරලා කියලා හිතනවා. මා රඟපාන්න යන්නේ ගරාජ් එකට ගෝල බාලයෝ දාලා.

ඔවුන් තමන්ගේ රාජකාරිය ඉටු කිරීම නිසා මට හිත සැහැල්ලු කරගෙන රඟපාන්න පුළුවනි. මං ආසාවෙන්ම රඟපාපු නාට්‍යයක් තියෙනවා. ඒකේ නම දූවිලි මල්. මං එහි පාතාල නායකයාගේ චරිතයකුයි මැව්වේ. එහි මගේ ස්වරූපය සෑහෙන්න වෙනස් කළා. බලමු නේද? මේ තාක්කල් මට උදව් කළ, මට උදව් කරන සුගත් සමරකෝන්, ආර්. කේ. අලුත්වීදිය, එරංග සේනාරත්න, සාරංග මෙන්ඩිස්, ගිරිරාජ් කෞශල්‍ය, ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඇතුළු සියල්ලන්ව මතක් කරන්න ඕනෑ.