වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මේතාක් දුර එන්න මට අත දුන්නේ අම්මයි තාත්තයි

මේතාක් දුර එන්න මට අත දුන්නේ අම්මයි තාත්තයි

ධනංජය දඹේවල බණ්ඩාර

විවාහ වෙන්න සහකාරියක් හොයනවා

ඇඟිලි දෙකෙන් ලණුව ඇල්ලුවත් හරි ඇඟිලි උඩ පනින්න  පටන් ගත්තා

ඔහු කාන්තාවන් අතර වඩාත්ම ආකර්ෂණීය තරුවක් වෙන්නේ නිවේදකයකු ලෙසින්. සජීවි වේදිකාවේ කා අතරත් ජනප්‍රිය වූ මේ සිහින කුමාරයාගේ හඬ සමඟ මුසු වූ සරල බස් වහර යුවතියන් පැය ගණනක් පුරා රඳවා ගැනීමට සමත් වන්නේ ඔහු සතු සහජ හැකියාව නිසාමය.

ධනංජය දඹේවල බණ්ඩාර.

අපේ සොඳුරු පිළිසඳරේ සහෘද සටහනකට එක් වන්නේ මේ ආකර්ෂණීය හඬ නිසාම ඔහුට සිදු වූ අපූරු සිදුවීමකින්.

රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදකයකු වූ ඔබ වඩාත් ජනප්‍රිය වේදිකාවේ දක්ෂ නිවේදකයෙක්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වැඩසටහන් මෙහෙයවන ඔබට රසවත් අත්දැකීම් ඇතිනේ?

ඇත්තටම වේදිකාවක වැඩසටහනක් මෙහෙයවීම තරමක අසීරු කටයුත්තක්. එය රූපවාහිනියක වැඩසටහන් මෙහෙය වීමට වඩා වෙනස්. පැය හතරක් පහක් සිය ගණනක පිරිසක් රඳවා ගැනීම නිවේදකයකුගේ වගකීම. එහිදී ඒ පිරිස අතර විවිධ තරාතිරමේ අය සිටින්න පුළුවන්. මේ සැම කෙනෙක්ම එක විදිහට රඳවා ගැනීමට හැකියාවක් නිවේදකයාට තිබුණොත් විතරයි ඒ වැඩසටහනට උත්තේජනයක් ලැබෙන්නේ. දවසක් මම ඉබ්බාගමුව ප්‍රදේශයේ කාන්තා රූපලාවණ්‍ය වැඩසටහනක නිවේදන කටයුතුවලට ගියා. ඒ වැඩසටහන පටන් ගත්තේ මනාලියන් දැක්මකින්. මනාලියන් දැක්ම අවසාන වුණාට පස්සේ මම ඒ මනාලියන් හැඩ කළ ශිල්පිනිය සමඟ වේදිකාවේ සජීවි පිළිසඳරක යෙදුණා. මුලින්ම මම ඇයගේ නම, ගම විස්තර ඇහැව්වා.

ඒ අහන කොට මම ටිකක් හඬ වෙනස් කරලා ගැඹුරු ස්වරයෙන් කතා කළේ. ඔය අතරේ සැලුන් එකේ නම ඇහැව්වා. ඇය සැලුන් එකේ නම කිව්වා, ගමත් කිව්වා. මම විහිළුවට වගේ ස්වරය වෙනස් කරලා ඒකද නම කියලා අහනකොටම ඒ ශිල්පිනිය ඇයි ඒ නම අවුල් ද කියලා මට බැනගෙන බැනගෙන ගියා. වැඩේ පටන් ගන්නකොටම වුණු සිදුවීමත් සමඟ මට හිතාගන්න බැරි වුණා මොකක් ද වුණේ කියලා. ඇය මට බැන්නේ ඇයගේ මානසිකත්වය අනුව. මම එයින් එහාට ඇය සමඟ කතා කරන්න ගියේ නැහැ. සමහර විට ඇය ඒ මොහොතේ හිටපු මානසික තත්ත්වයත් සමඟ වේදිකාව තුළ චකිතයක් බියක් තියෙන්න ඇති. ඒ සිද්ධිය ඇත්තටම මට අමතකම නොවන දෙයක්.

ඔබ මේ කාලයේ ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩසටහන් කිහිපයක්ම කරනවා. ඒ අතුරින් වඩාත්ම ජනප්‍රිය කුමක්ද?

මේ දිනවල මම සිත් ජ්. ර් සේවයේ ගුප්ත විද්‍යාව පිළිබඳ වැඩසටහනක් කරනවා. එහිදී යක්ෂයන්, කුම්බාන්ඩයන්, මළ ප්‍රේතයන් ආදී පියවි ඇසට නොපෙනෙන බලවේග පිළිබඳ වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහන තුළ නම් මට අමතක නොවන සිදුවීම් රාශියක් තියෙනවා. විවිධ මිනිස්සුන්ට මේ නොපෙනෙන බලවේග මඟින් ලැබුණු අත්දැකීම් සජීවීව කතා කරනවා. ඇතැම් අයට මේ නොපෙනෙන භූත ආත්ම සමඟ කතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ අය එම ආත්ම සමඟ කතා කරනවා. සමහර ගෙවල්වල මේ ආත්ම සැරිසරමින් ඔවුන්ට පින් ලබා දෙන්න ඉල්ලන අවස්ථා තිබෙනවා. සමහර විට ඉඩම්වලට ආසාවෙන් සිටින භූත ආත්ම පවා සිටිනවා. ඇසට නොපෙනෙන දෙයක් ගැන කතා කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මම ගුවන් විදුලියේ ඇතුළේ මගේ ක්ෂේත්‍රයේ අපහසුම වැඩසටහන තමයි මම කරන්නේ. සඳුදා ආයුර්වේදය ගැන, අඟහරුවාදා වාහන ගැන, බදදා විවිධ ආයතන හා පුද්ගලයෝ ගැන, බ්‍රහස්පතින්දා ජ්‍යෙතිෂ්‍යය, සිකුරාදාට ගුප්ත විද්‍යාව.

දවස් පහම කරන වැඩ සටහන්වලින් ගුප්ත විද්‍යා වැඩසටහන තරමක් අසීරු වැඩක්. සමහර විට හූනියන්, තොවිල්, දෙහි කැපිලි වගේ අසීරු දේ ගැන ගුවන් විදුලි මැදිරියක සිට ඉදිරිපත් කිරීම තරමක වෙනස් අත්දැකීමක්.

ඔය වැඩ සටහනේදී ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් නැද්ද?

මගේ හිතවතෙක් හිටියා මේ වැඩසටහන්වලට එන කෙනෙක්. ඔහු නිරෝෂන් වෙලගෙදර. ඔහු මාස කිහිපයකට පෙර රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහුට මම කිව්වා භූතයෝ ඉන්නවා කියලා විශ්වාස කරන්න මට භූතයෝ පෙන්වන්න කියලා. ඔහු බෝතලයකට භූතයෝ දාලා නූල්වලින් ගැට ගහලා තිබුණා. මම දන්නේ නැහැ ඒ බෝතලේ මොනවාද තියෙන්නේ කියලා. පේන්නෙත් නැහැ. ඔහු මට කිව්වා බෝතලේ ගැටගහපු ලණුව අල්ලා ගන්න කියලා. ඇඟිලි දෙකෙන් ළණුව අල්ලා ගත්තාට පස්සේ ඇඟිලි දෙක උඩ පනින්න ගත්තා. මට මේකත් විශ්වාස කරන්න බැරි තරම්. ඒ අය එවැනි ගුප්ත වැඩ කරන තැන්වලට ගිහින් ඒ වැඩ ගැන බැලුවා. ඇත්තටම ඒ වැඩවල අපි හිතනවාට වඩා වෙනස් පැතිකඩක් තියෙනවා. මම මේක ජනගත කරන්න උත්සාහ කරනවා නොවෙයි. මෙවැනි දේ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන එක විතරයි මම කියන්නේ. මම කවදාවත් කියන්නේ නැහැ පිළිගන්න කියලා හෝ පිළිනොගන්න කියලා. නැත්නම් ජනතාව අතර මතයක් ගොඩ නැඟෙයි ධනංජය ගුප්ත විද්‍යාව පස්සේ පන්නා ගෙන යනවා කියලා. පිළිගැනීම ඔබ සතු කාරණාවක්.

ධනංජය කොහොමද මාධ්‍යයට එක් වෙන්නේ?

මා මාධ්‍ය ජීවිතයට ආවේ අහම්බෙන්. මම පාසල් යන කාලේ කළේ ජීව විද්‍යාව. මම පාසල් ගියේ කෑගල්ල බණ්ඩාරනායකයට. මගේ ගමත් කෑගල්ල. මගේ පන්තිය ළඟම තමයි මාධ්‍ය ඒකකය තිබුණේ. පන්තියේ උගන් වන්නේ නැති වෙලාවට මගේ වැඩේ ජනමාධ්‍ය ඒකකයට ගිහින් මොනවා හරි කරන්න උදව් වෙන එක. ඒ නිසාම මට පාසල් මට්ටමෙ ජයග්‍රහණ කිහිපයක් ලබා ගන්නත් හැකියාව ලැබුණා. ඒ කාලයේ ගුවන් විදුලියේ හඬ කියන සඟරාවක් පටන් ගත්තා. එහි සහන නිවේදකයන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් තිබුණා. අපට ඒ අයදුම් පත්‍රවලට කැඳවීමක් කළා. මම එදා තමයි ගුවන් විදුලිය දැක්කේ. කොළඹ සම්මුඛ පරීක්ෂණ කිහිපයකට ආවට පස්සේ සහන නිවේදකයකු ලෙස පැමිණීමට අවස්ථාව උදා වුණා. මුලින්ම මාස කිහිපයක පුහුණුවක් තිබුණා. එම පුහුණුවෙන් පස්සේ මාව ස්වදේශීය සේවයට ගත්තා. එහි ටික කාලයක් වැඩ කරලා සිටි ජ්. ර් සේවයට ගියා. එහි වැඩසටහන් කිහිපයක් කළා. මුල් කාලයේ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වැඩසටහන, මැදපෙරදිග. පස්සේ ඊඪථඥ අචඤඪධ පටන් ගත්තා. එහි ක්‍රීඩා වැඩසටහනත් කළා. දැනට මම සිත් ජ්. ර් සේවයේ රාත්‍රී 9.00 සිට 11.00 දක්වා කාලය තුල චන්ද්‍ර මණ්ඩප වැඩසටහන සතියේ දින පහේම කරනවා.

මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ විවෘත සම්මුඛ පරීක්ෂණයකින්. එහි පුහුණුවට ගිහින් මාව තෝරා ගත්තා. එහි මුලින්ම මට ලැබුණේ රන්ටැඹේ ශිෂ්‍ය කඳවුරේ වැඩසටහනක් කරන්න. එම වැඩසටහනින් පස්සේ මම ආදරණීය යෞවනය කළා. ඉන් පසුව බටහිර අහස. එයින් පසුව නුග සෙවණ වැඩසටහනට පත් වුණා. පසුව විවිධ වැඩසටහන් රාශියක් කරන්න අවස්ථාව ලැබුණා. දැනට මම නුග සෙවණ වැඩසටහනට අමතරව ක්‍රීඩා වැඩසටහනක්, දිවියට සවිය, අපි - අපි වැඩසටහන් කරගෙන යනවා.

ඔබ මේ නිවේදන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

බොහෝ විට අපේ වයසත් සමඟ වැඩ කරද්දී ක්ෂේත්‍රය විවිධ නිසා විවිධ කතා කියන්න පුළුවන්. අපි සමහර විට කරන දේ ප්‍රවීණයෙක් කියන්න පුළුවන් අපි කරන දේ වැරැදියි කියලා. මම විශ්වාස කරනවා එහෙම කියනවා නම් ඒ දේ හදාගෙන ඉදිරියට යන්න. ප්‍රවීණයන්ට අපට වඩා අත්දැකීමත් දැනුමත් තියෙන නිසයි ඔවුන් අපට වැරැදි පෙන්වා දෙන්නේ. අපි වචන හසුරවන විදිය, භාෂාව, ඉදිරිපත් කිරීම ගැන ඔවුන්ට ඇති හැකියාව තුළින් අපි පාඩම් ඉගෙන ගත යුතුමයි.

ධනංජය බණ්ඩාර කියන නිවේදකයා ඉතාම කෙටි කාලයකින් ජනප්‍රිය වෙන්නේ කුමක් නිසා කියලා ද ඔබ සිතන්නේ?

මම ඉතාම සරල විදිහට කතා කරනවා. වැඩ සටහන මෙහෙයවීමට ලැබුණ පුද්්ගගලයා උපාධිධාරියෙක්, මහාචාර්යවරයෙක් හෝ විවිධ පරාසයක සිටින පුද්ගලයකු විය හැකියි. නමුත් මම ඒ සම්පත්දායකයා සමඟ කතා කරන්නේ සමාජයේ සිටින මිනිස්සුන්ට. සමාජයේ සිටින මිනිස්සුන්ට විවිධ අධ්‍යාපන මට්ටම්වල තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙන්නේ. මම ලොකු වචන කතා කිරීමට වඩා සැහැල්ලු කාටත් තේරෙන, සරල වචනවලින් වැඩසටහන් මෙහෙයවීම කරනවා. ඒ නිසයි මට මේතාක් දුර එන්න හයියක් වුණේ. මම මුලින් කරගෙන ආපු ලෙසමයි අදත් වැඩසටහන් මෙහෙය වන්නේ. ඒත් සමහර නාළිකා මාව අනුකරණය කරමින් මාගේ වැඩසටහන් පසුපස හඹාගෙන එනවා.

ඉතිං ධනංජය ඔබේ ඔය ගමන පිටුපස සාර්ථක සහකාරියකුත් ඇතිනේ?

අපෝ . . . තවම නැහැ. තවම විවාහයට සහකාරියක් සොයමින් ඉන්නේ. මගේ පවුලේ එකම දරුවා මම විතරයි. මේ ගමනේ ශක්තිය මගේ අහිංසක මවුපියන්. ගමේ දුප්පත් පවුලක්. නමුත් මාව මේ තරම් සාර්ථක ගමනක් එන්න අත දුන්නේ ඒ අහිංසක අම්මයි, තාත්තයි. ඔවුන් තමයි මගේ සහකාරයෝ.

ඔබගේ ගමනට සහකාරියක් වෙන්න සිහින දකින යුවතියක් හිටියොත් ඔවුන්ට කතා කරන්න ඔබේ දුරකථන අංකය කියන්නකෝ...

077-3013166.