|
ආසියානු සිනමාව ලොවට ගෙන ගිය අදිසි හත්දෙනෙක්
ඈෂ්ලි රත්නවිභූෂණ
අද පුදුම හතට පැමිණෙන්නේ ප්‍රවීණ සිනමා ලේඛකයෙකු, විචාරකයෙකු වන ඈෂ්ලි රන්තවිභූෂණ යි.ඔහු දේශීය සිනමාවට ඉතාමත්ම අගනා සේවයක් ඉටුකළ පුද්ගලයෙකු මෙන්ම සිනමාවේ ප්රබලතම කොටස්කරුවෙකු ලෙසද සුවිශේෂ වේ. 1971 වසරේදී ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය (OCIC), 1991 වසරේදී ආසියානු සිනමා කේන්ද්‍රය හා 1993 වසරේදී ශ්‍රී ලංකා සිනමා විචාරක පර්ෂදය පිහිටුවාලීමෙහි ලා පුරෝගාමී වූයේය. එමෙන්ම ඔහු ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපතිවරයා සහ ආසියානු සිනමාවේ සංවර්ධනය සඳහා වූ එකමුතුවේ (නෙට්පැක් - NETPAC) විධායක අධ්යක්ෂවරයා සහ ජූරි සම්බන්ධීකාරකද වේ. තවද ශ්‍රී ලාංකේය චිත්‍රපට ජගත් සිනමා උත්සවයන්ට හඳුන්වාදීම සඳහා සුවිශාල වූ කාර්ය භාරයක් ඉටු කරන්නේය. ජාත්‍යන්තර සිනමා විචාරකයන්ගේ සම්මේලනය සහ නෙට්පැක් සංවිධානය විසින් ජගත් සිනමා උත්සවයන්හි ස්ථාපිත කරනු ලබන ජූරි සභා රැසක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් මේ අපූරු සිනමා විචාරකයා සිනමාවට දායාද කළ දේ බොහෝය. “සිනමාවේ කාර්මික රටාව” (1975), “Profiling Sri Lankan Cinema” (2000), “An Early Sri Lankan Cinema and its Association with the South Indian film Industry” (2012) යන කෘතීන්හි සම කතුවරයාද, “LJP – Lester James Peries : Life and Work” (2005), සහ “An Incomplete Sentence – The Cinema of Dharmasena Pathiraja” (2009) යන කෘතීන්හි සම සංස්කාරකවරයාද විය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ “ප්‍රතිබැහැ දැක්ම - රජයේ චිත්‍රපට අංශයේ ප්රභවය, වර්ධනය හා එහි අස්වැන්න ලෝක වාර්තා චිත්‍රපට කලාව සමග විමසන්න ලේඛන සංග්‍රහය” ග්‍රන්ථයේ සංස්කාරකවරයාද වූයේ ඔහු යි. ශ්‍රී ලංකාවේ පළ වූ විශිෂ්ටතම සිනමා සඟරාවක් වූ “සිනෙසිත්” හි ආරම්භකයා මෙන්ම කලාප 45ක සංස්කාරකවරයාද විය. අද පුදුම හත වෙන්වෙන්නේ ඔහු වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු සඳහන් කරන්නේ ආසියාතික සිනමාව ප්‍රවර්ධනය කිරීමෙහිලා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ආසියාතික හා ආසියාතික නොවන සත් දෙනෙකි. ආචාර්ය අරුණා වාසුදේව් (ඉන්දියාව)2015 වසරේදී 25 වැනි සංවත්සරය සපුරන ආසියාතික සිනමාවේ සංවර්ධනය සඳහා වූ එකමුතුව (Network for the Promotion of Asian Cinema- NETPAC) බිහි කිරීමෙහිලා පුරෝගාමී වූයේ ඇය යි. නවදිල්ලි නුවර දී යුනෙස්කෝ ආධාර ඇතිව පිහිටුවන ලද එම එකමුතුව අද ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති සංවිධානයකි. හැටේ දශකයේදී නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සිනමාව හා රූපවාහිනිය හැදෑරූ ඇය ඉන් පසුව ප්‍රංශයේ සිනමා පාසලක අධ්‍යාපනය ලැබුවාය. නැවත ඉන්දියාවට පැමිණි ඇය කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළාය. පශ්චාත් උපාධි කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ඇය පැරිස් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඒ සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය වූයේ “ ඉන්දියානු සිනමා වාර්ණයේ නෛතික, දේශපාලනික හා සමාජ විද්‍යාත්මක මූලධර්ම” යන්නයි. අරුණා වාසුදේව් සිනමාව පිළිබඳ ප්‍රකට ලේඛිකාවක්ද වන්නීය. The New Indian Cinema (1986) ඇය විසින් රචනා කළ අතර Indian Cinema Superbazaar (1983), Frames of Mind (1995), Being & Becoming The Cinemas of Asia (2002) යන කෘතීන් හී සංස්කාරකවරියක් වශයෙන්ද ඇය කටයුතු කළාය. ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකින්ම ඇය “Lifetime Achievement Award” ප්රණාම පුද ලබා ඇති අතර ජාත්‍යන්තර සිනමා ප්‍රජාව අතර ඉතා ඉහළින්ම ගෞරවයට පාත්රවන චරිතයකි.
ජෙනට් පෝල්සන් හෙරනිකෝ (ඇමරිකා එක්සත් ජනපදය)අමෙරිකා එක්සත් ජනපදයේ හවායි හි උපත ලද ජෙනට් පෝල්සන් හෙරනිකෝ චම්නෙඩ් විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය ලබා 1988 වසරේදී හවායි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තාය. ඒ සඳහා ඇයගේ නිබන්ධනය වූයේ “ඇමරිකානු සිනමා ප්‍රේක්ෂකයන් : ආසියාව දෙසට නැඹුරුව” යන්නයි. 1980 වසරේදී හොනොලුලුහි සුප්‍රකට ඊස්ට් - වෙස්ට් කේන්ද්‍රයට එකතු වූ ඇය, හවායි ජාත්‍යන්තර සිනමා උළෙලද, පාම් ස්ප්‍රිං සිනමා උළෙල ද ආරම්භ කිරීමෙහි පුරෝගාමී වූවාය. වසර 34ක් සම්පූර්ණ කළ හවායි සිනමා උළෙල ආසියාතික සිනමාව කෙරෙහි ප්‍රම්‍රඛ අවධානයක් යොමු කරන්නකි. අද ඇය එහි අධ්‍යක්ෂවරිය නොවූවත් එයට ඉතා සමීපව කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි. 2005 වසරේදී ඇය මුදල් ගෙවීමෙන් අන්තර්ජාලය හරහා ආසියාතික චිත්‍රපට නරඹිය හැකි asiapacificfilms.com ආරම්භකයා මෙන්ම සභාපතිනියද වෙයි. ඇය නෙට්පැක් සංවිධනයේ උපසභාපති තනතුරක්ද දරමින් සිනමාව වෙනුවෙන් අසීමිතව කැපවීකටයුතු කරන්නීය. තදාඕ සාටෝ (ජපානය)ජපන් ජාතික සිනමා ලේඛකයෙකු හා විචාරකයෙකු වන තදාඕ සාටෝ ජගත් සිනමා ප්‍රජාව විසින් සළකනු ලබන්නේ ජපන් සිනමාව පිළිබඳව ලොව සිටින විශිෂ්ටතම සිනමා විශාරදයා වශයෙනි. පසු කළෙක ජපානය වාසභූමිය කරගත් සුප්‍රකට අමෙරිකානු ජාතික සිනමා ලේඛකයෙකු හා විචාරකයෙකු වන ඩොනල්ඩ් රීච් විසින් ඔහුව හඳුන්වනු ලැබූයේ “ජපානයේ සිටින තනි විශිෂ්ටතම සිනමා විචාරකයා” ලෙසිනි. ඔහු විසින් ජපන් බසින් රචිත කෘති හැට පහකට අධිකය. ඒවා අතුරින් කෘතින් කිහිපයක් ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කර තිබේ. Currents in Japanese Cinema (1982), Kenji Mizoguchi and The Art of Japanese Cinema (2008) ඒ අතර ප්‍රධාන වේ. ජපානයේ ෆුකෝකා නුවර නගර සභාව විසින් ආසියාතික සිනමා උළෙලක් ආරම්භ කරන ලෙසට ඔහුගෙන් කරන ලද ඉල්ලීම පරිදි 1991 වසරේදී Focus on Asia : Fukouka International Film Festival ආරම්භ කරන ලදී. එම උළෙල විසින් එහි තිරගත කරනු ලබන චිත්‍රපට පිටපත් මුදල් ගෙවා මිලදී ගන්නා අතර එය ෆුකෝකා චිත්‍රපට සංරක්ෂණාගාරයේ ගබඩා කෙරේ. 1994 වසරේ පැවැති උළෙල ශ්‍රී ලංකා සිනමාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නක් විය. ඊට සහය ලබාදෙන ලෙසින් සාටෝ මහතා විසින් මා වෙතින් ඉල්ලීමක් ද කරනා ලදී. ඒ අනුව 94 වසරේ මුල් අවදියේ මෙරටට පැමිණි ඔහු ඇතුළු කණ්ඩායම චිත්‍රපට හතක් තෝරා ගන්නා ලදී. එම උළෙල 1994 වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැති අතර මෙරට නියෝජනය කරමින් ඒ සඳහා චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඒ සඳහා සහභාගි වූහ. සාටෝ මහතා එම උළෙලානි ඉවත්ව යන තෙක් සෑම වර්ෂයකම මෙරට චිත්‍රපට තිරගත කිරීමට ඔහු පියවර ගැනීම දේශීය සිනමාව වෙනුවෙන් අප අගය කළ යුතු වේ.
පිලිප් චෙයා (සිංගප්පූරුව)පිලිප් චෙයා 1990 වසරේදී සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙල ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී වූ අතර එහි අධ්යක්ෂවරයාද වූයේය. ඔහු නෙට්පැක් සංවිධානය ආරම්භ කිරීමෙහිලා ද පුරෝගාමියෙක් විය. වර්තමානයේ ඔහු එහි උපසභාපති ධූරයක්ද හොබවන්නේය. පිලිප් චෙයා ජගත් සිනමා උළෙල රාශියකම ආසියාතික සිනමාව පිළිබඳ වැඩසටහන් උපදේශකවරයෙක් ලෙසින්ද කටයුතු කරන්නේය. අග්නිදිග ආසියාතික සිනමා උළෙල, ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙල, ඉන්දුනීසියාවේ ජොග්ජා - නෙට්පැක් සිනමා උළෙල ඉන් කිහිපයකි. ඔහු සිනමා ග්රන්ථ කිහිපයක් සඳහාම සම සංස්කාරකත්වයෙන් දායක වී ඇත. GarinNugroho and The Moon Dances, නොයෙල් වේරාගේ Critic After Dark, ආචාර්ය හෝ ෆොං ලාන්ගේ Modernity and Nationality of Vietnamese Cinema ඒ අතර වේ. ඔහු වෙත 2006 සරේදී පූසාන් සිනමා උළෙල කොරියන් සිනමාව සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් කොරියන් සිනමා සම්මානයද, පිලිපීනයේ “සිනෙමැනිලා” සිනමා උළෙල විසින් ආසියාතික සිනමා සම්මානයද ප්රදානය කළේය. ශ්‍රී ලංකා සිනමාවේ නව ප්රවණතා පිළිබඳ ඔහු දැඩි අවධානයකින් පසුවන අතර කොළඹදී පැවැත්වෙන සාර්ක් කලාපීය සිනමා උළෙල සඳහා තෙවරක්ම ජූරි සාමාජිකයෙක් වශයෙන් කටයුතු කළේය. ධර්මසේන පතිරාජගේ ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මක් ප්‍රථමවරට 2003 වසරේ සිංගප්පූරුවේදි පවත්වන ලද්දේ ද සිංගප්පූරු ජගත් සම්මාන උළෙලේදී ජෝ අබේවික්‍රම (පුරහඳ කළුවර), නීටා ප්‍රනාන්දු (පවුරු වළලු) හා අනෝමා ජනාදරී (තනි තටුවෙන් පියාඹන්න) ප්රශස්ත රංගනය වෙනුවෙන් සම්මාන ලැබුවේද ඔහුගේ ධුර කාලයේදීය.
මර්තීන් තෙරුවානේ (ප්‍රංශය)මර්තීන් තෙරුවානේ ආසියාතික සිනමාවට බෙහෙවින් ඇලුම් කරන ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇය ප්‍රංශයේ වෙසුල් නගරයේ පවත්වන ආසියාතික සිනමාව සඳහා වූ වෙසුල් ජාත්‍යන්තර සිනමා උළෙලේ ආරම්භකයා මෙන්ම එහි අධ්‍යක්ෂවරියද වන්නීය. 1995 වසරේදී ආරම්භ වූ එම සිනමා උළෙල ලබන 2015 වසරේදී එහි 21 වැනි වසර සපුරන්නේය. ආසියාවේ නිෂ්පාදන විශිෂ්ටතම කෘතින් එම උළෙලේ තිරගත කිරීම ඇයගේ අරමුණ වී තිබේ. අරුණ ජයවර්ධනගේ “නිකිණි වැස්ස”, ප්‍රසන්න විතානගේ ගේ “ඔබ නැතිව ඔබ එක්ක” ජූරියේ ප්‍රධාන සම්මානය මෙන්ම නෙට්පැක් සම්මානයන්ද දිනා ගනු ලැබූයේ මෙම වෙසුල් ජාත්‍යන්තර සිනමා උළෙලේදීය. ගරින් නුගෝරෝ (ඉන්දුනීසියාව)ගරින් අද ඉන්දුනීසියාවේ සිටින මුල් පෙළේ සිනමාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ ජාත්‍යන්තර සිනමා උළෙලහිදී ඉතා ඉහළින් ඇගයීමට ලක්වී ඇත. එමෙන්ම ඔහුගේ සිනමා නිර්මාණ ඇතුළත් ප්රත්යවලෝකනයන් ජාත්‍යන්තර සිනමා උළෙල රැසකටම ඇතුළත් වී ඇති අතර ඔහුද ජගත් සිනමා උළෙල රැසකදී ජූරි සභිකයෙකු ලෙසද කටයුතු කළේය. ගරින් නෙට්පැක් සංවිධානයේ උපදේශක මණ්ඩලයේද සාමාජිකයෙකි. මීට වසර නමයකට ඉහතදී ඔහු නෙට්පැක් සංවිධානයේ ප්‍රථම නිල සිනමා උළෙල ජොග්ජා - නෙට්පැක් ආසියාතික සිනමා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තාහිදී ආරම්භ කළේය. ආචාර්ය ගුල්නාරා අබිකායේවා (කසකස්ථානය)ගුල්නිරි අබිකායේවා මධ්‍යම ආසියානු රටක් වූ කසකස්ථානයේ ඉතාමත් විදග්ධ සිනමා විද්‍යාර්ථියෙකි. එමෙන්ම නෙටිපැක් සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලීය සාමාජිකාවද වන්නීය. 2005 වසරේ සිට 2013 වසර දක්වා ඇය අල්මාටිහි යුරේෂියා ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්යක්ෂධවරිය වූවාය. ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වලාභිනියක වූ ඇය පිට්ස්බර්ග්, හාවඩ්, සේල් හා මාෆිට්ස් විශ්වවිද්‍යාලයන්හිදී දේශන පවත්වා ඇත. ඇය කසාක් හා මධ්‍යම ආසියානු සිනමාව පිළිබඳ කෘතීන් දහයක් පමණ රචනා කර ඇති අතර ඇයගේ පළමු කෘතිය New Kazakh Cinema (1998) වූ අතර දෙවැන්න Cinema of Central Asia (1990) විය. මෙම කෘතීන් වසරේ සිනමාව පිළිබඳ හොඳම කෘතිය ලෙසට රුසියානු සිනමා විචාරක සංසදයේ ගෞරවයට පාත්‍ර විය. වර්තමානයේ ඇය සල්මාරී හි තුරාන් විශ්වවිද්‍යාලයේ සිනමා ඉතිහාසය සහ සිද්ධාන්ත පිළිබඳ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන්නීය. 2013 වසරේදී බ්‍රිතාන්‍යයේ සතු කරන ලද Cinema in Central Asia – Rewriting Cultural Histories කෘතියේ සම කතුවරියකද වූ අතර එම වසරේම බූසාන් සිනමා උළෙල විසින් පළ කරන ලද The Unknown New Wave of Central Asian Cinema කෘතිය සංස්කරණය කළාය.ඇයගේ නවතම කෘතිය රුසියාවේ පළ කිරීමට නියමිත අතර එය ඉරාන සිනමාකරු මක්මල්බෆ් ගේ සිනමාව පිළිබඳ කතා කරයි.
|