වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් සමඟ PK හෙට

අමීර් සමඟ PK හෙට

මේ වන විට බොලිවුඩය මුළු ලොවම ආකර්ෂණය දිනාගෙන සිටියි. සිය වසක අභිමානය ද පෙරදැරිව වසරකට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවන සිනමා කර්මාන්ත අතරේ ඉදිරියෙන් සිටින කර්මාන්තයක් බවට ද බොලිවුඩය නමක් හිමිකර ගෙන තිබේ. 2014 වසරේ අවසානය කරා ළං වන දින කිහිපයයි. වසර නිම වෙන්නට ප්‍රථම තිරගතවීමට නියමිත බොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වය අතරේ කා අතරත් කතාබහට මෙන්ම දැඩි අවධානය දිනාගත් චිත්‍රපටය වන්නේ P.K. එය හෙට (19) සිට ඉන්දියාව ඇතුළුව ලොව පුරා රටවල් රැසක තිරගත වීමට නියමිතය.

P.K. චිත්‍රපටය පසුගිය කාලයේ ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ චිත්‍රපටයක් බවට පත් විය. එයට බොහෝ සෙයින් හේතු වූයේ එහි පූර්ව ප්‍රචාරක පෝස්ටරයයි. ඒ සඳහා ඉන්දියානුවන්ගේ දැඩි විරෝධය එල්ල කෙරිණි. P.K. හි ප්‍රධාන භූමිකා නිරූපණය කරන්නේ බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් සමඟින් සරාගී නිළි අනුෂ්කා ශර්මා විසිනි. P.K.චිත්‍රපටයේ අමීර් ඛාන් පෙනී සිටි පූර්ව ප්‍රචාරක පෝස්ටරයට මේ අයුරින් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. එහි අමීර් ඛාන් රේල් පාරක් මත කුඩා ගුවන් විදුලි යන්ත්‍රයකින් තම නිරුවත වසාගෙන සිටින ඡායාරූපයක් දැක්විණි. කෙසේ වෙතත් චෝදනා, මතවාද ඔස්සේ දැන් P.K. තිරගත වීම අභිමුවට පැමිණ සිටියි.

P.K. අධ්‍යක්ෂණය කෙරුණේ රාජ් කුමාර් හිරානි විසිනි. රාජ් කුමාර් සහ අමීර් ඛාන් සුසංයෝගය ඇරඹුණේ 2009 වසරේ තිරගත වූ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයෙනි. එය නව වසරේ අති සාර්ථක අයුරින් තිරගත වූ චිත්‍රපටයක් බවට ද පත් විය. එයට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ කතා පුවතක් ගෙන එන P.K. වෙනුවෙන් ද රාජ් කුමාර් තෝරා ගත්තේ අමීර් ඛාන්ය. මෙවර ද අමීර් – රාජ් කුමාර් එකතුව අලුත් යමක් ගෙන එනු ඇති බවට බොලිවුඩ් ප්‍රේක්ෂකයෝ විශ්වාසය තබාගෙන සිටිති.

නගරයේ වෙසෙන අමුතු මිනිසෙකු කිසිවෙකු නොඇසූ ප්‍රශ්න අසයි. කුඩා ළමයෙකු මෙන් ප්‍රශ්න අසන ඔහු දිගු ගමනක යෙදෙන්නේය. ඔහුව මිනිසුන් හඳුනා ගන්නේ නමෙහි මුලකුරුවලින් පමණි. එනම් P.K. ලෙසනි. P.K. නම් මේ අමුතු මිනිසාගේ දිගු ගමනේදී අත් විඳින සිනහව, ආදරය, අතහැරීම ගෙන එන්නේ P.K. තුළිනි.

ෆනා, තාරේ සමිර් පර්, ගජිනි, තලාෂ් මෙන්ම මේ වසරේ තිරගත වූ බොම්බේ ටෝකීස්, ඩූම් 3 චිත්‍රපට තුළින් ද අමීර් සුපිරි රංගනයන් ඉදිරිපත් කළේය. P.K. හරහා ඔහු නැවතත් එවැනිම විශේෂිත රංගනයක් ඉදිරිපත් කරනු ඇති බවට ප්‍රේක්ෂකයන් බලා සිටිති. අමීර්, අනුෂ්කා සමඟින් සංජේ දත්, බෝමන් ඉරානි, සුෂාන්ත් සිංග් ඇතුළු පිරිසක් P.K. හි චරිත මවති. ස්වරූප් ඛාන්, සොනු නිගම්, ශ්‍රෙයා ගෝෂාල් සහ අන්කිත් තිවාරි මෙහි ගීත ගායනයට එක් වී ඇත. මිනිත්තු 153 ක කාලයක් පුරා දිවෙන හාස්‍යමය කතා පුවතක් ගෙන එන P.K. රචනය අභිජත් ජෝෂි සමඟින් රාජ් කුමාර් හිරානි විසිනි.

ලොව වටා රසික රසිකාවන් රැසකගේ ආදරයට හසු වූ අමීර්ගේ රංගනයෙන් හැඩ වූ ත්‍රී ඉඩියට්ස් ඉන්දීය රුපියල් කෝටි 392 ක ආදායමක් ලද අතර එය චිත්‍රපටය සඳහා වැය වූ පිරිවැය මෙන් දස ගුණයකටත් වඩා ඉහළ අගයක් විය. අනතුරුව ගජිනි ඉන්දීය රුපියල් කෝටි 190 ක් ද, තලාෂ් ඉන්දීය රුපියල් කෝටි 174 ක ආදායමක් ද වාර්තා කරන ලදී. හෙට සිට තරගත කෙරෙන්නට නියමිත P.K. ද ඉහළ ආදායම් වාර්තාවක් පිහිටුවනු ඇති බවට විචාරක මත පළ වී තිබේ.