|
යකුනේ මොකෙන්ද රැවුල ඇලෙව්වේ?මෙය ඩැනී ඩබ්ලිව්. පතිරණ අධ්‍යක්ෂණය කළ චන්දීරා චිත්‍රපටයේ සිදුවූවකි
චන්දීරා චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වූයේ කුරුණෑගල මාවතගම පළාතේ ගන කැලෑබද පෙදෙසකය. අපේ ලොකේෂන් එක තියෙන්නේ කඳු සහිත කැලෑවකයි. අවශ්‍ය හැම දේම ගෙනි යන්න ඕනෑ. මේක්අප් උපකරණ, හිරමනයක්. පොල්, පහේ ඉල්ලගන්න තැනක් නෑ. එහේ ලයිට් නෑ. ඇති වෙන්න භූමිතෙල් ගෙනියන්න ඕනෑ. පෙරදා අධ්යක්ෂ ඩැනී ඩබ්ලිව්. පතිරණ මහතා පිරිසට උපදෙස් දෙනු ඇසිණි. පසුවදා කලු කපාගෙන එන එළියේම අපි ලොකේෂන් එක බලා පිටත්වීමු. එන්න එන්නම වනගහනය වැඩි විය. පසුවදා ලොකේෂන් එක තිබුණු ගං තලාවට අපි පිවිසියෙමු. ප්‍රථම දැක්ම වූයේ ගඟේ ඔරු පැදීමකි. දෙවන දර්ශනය වූූයේ ප්‍රධාන නළු හැඩ ගැන්වීමකි. නළුවා ගල් කඩන්නෙකි. ඔහුට බුරුසුවක් වැනි රැවුලක් විය. කෘත්‍රිම රැවුළක් තිබුණේ උඩු රැවුලේ ඇලවීමටයි. කෘතිම රැවුල අලවන ගම් වේෂ නිරූපණ ශිල්පියා ගෙනැවිත් නොතිබිණ. රැවුල ඇලවීමට තිබුණේ ප්‍රවීණ නළුවෙකුටය. මේ තත්ත්වය අධ්යක්ෂවරයාට කියූ ඔහු වී ඇති ගැටලුව මට කීය. ඉන් අනතුරුව වූයේ කැඩූ ගල් කරත්තවලට පැටවීමය. එම දර්ශනය රූගත විය. මේ අතරතුර අතහැර දැමූ ඉඩමක කොස් ගසක් විය. කොස් ගෙඩියක් අමුවෙන් කපා පින්න කොලයකට කිරි එකතු කළෙමි. අදාළ දර්ශනය ළං විය. වී ඇති ඇබැද්දිය මම වේශ නිරූපණ ශිල්පියාට දැන්වීමි. එකතු කරගත් කොස් කිරිවලින් ඔහුට ද නොකියා රැවුල ඇලවීමු. රූගත කිරීම් කෙරුණේ ගිනි අව්වේය. රූගත වෙද්දී කොස් කිරි දිය වෙන්නට විය. ‘යකුනේ මොනවගෙන් ද රැවුල ඇලෙව්වේ’ ‘පොඩි වැරැදීමක් වෙලා රැවුල අලවන ගම් ගෙනැල්ල නෑ. සමාවෙන්න ඩැනීට නම් කියන්න එපා’ යි මම ගලා හැලෙන කොස් කිරි පිස දැමීමි. මිනිත්තුවක් ගානේ කොස් කිරි පිස දැමීමට වේශ නිරූපන ශිල්පියාට සිදු විය. රෑ වේගෙන එන නිසා උඩින් පල්ලෙන් රූගත කිරීම් අවසන් කෙරුණි. මන්ද ඒ නළුවා පසුවදා වෙනත් චිත්‍රපටයක රූගත කිරීමකට යන නිසාය. ‘තොපි කොස් ලාටු ගාලා මගේ රැවුල ඇලෙව්වා’ පසුවදා යන්නට සැරසුණු ඔහු කාටත් නෙපෙනෙන්න මගේ කම්මුලට පාරක් ගැසුවේය. පසුවදා සවස රූගත කිරීමට තිබුණේ කැලය මැද සෑදුණු කටු මැටි පැලකය. එදා මා නින්දට ගිය විට චිත්‍රපටයේ කලා අධ්යක්ෂවරයා මා ළඟට ආවේය. ‘ඇයිදැයි’ මම ඇසීමි. ‘ලොකු ප්‍රශ්නයක්. කොස් ලාටු ගාල රැවුල ඇලෙව්ව වගේ සිද්ධියක්’ හෙතෙම කීය. ‘වේහැල්ලේ මහත්තයා, හරි වැඩේනේ. හෙට හවස පැලේ දර්ශනේට ඕන පොලුත් නෑ, හිරමනෙත් ගෙනැල්ලා නෑ’ හෙතෙම කීය. ‘ලොක්කට මළ පනින වැඩක්’ ‘හෙට උදේ මං යනවා පැලේ ඉතිරි හරිය හදන්න’ මම නින්දට වැටුණෙමි. උදේ රූගත කිරීම් කෙරෙද්දී මම පැල හැදෙන තැනට ගියෙමි. එහි යෑමට තිබුණේ ඉද්ද මල් වදුලක් හරහාය. පැලේ වැඩට තව අයෙක් ද ගියේය. ඉද්ද මල් කඩා පොල් මෙන් පෙනෙන සේ මල් තලා සකස් කිරිමට ඔහුට පංගාත්තු කර මම ගියෙමි. දහවල් වන විට ඔහු ඉද්ද මල් සුද්ද කර සිහින්ව ලියාගෙන ආවේය. එම මල් ඈතට පෙනුණේ ගාන ලද පොල් ලෙසය. වට්ටියට කිරිකෝටුවක් තබා රෙද්දකින් වසා ඉද්ද පොල් වට්ටිය සකස් කෙරුණි. රූගත කිරීම් සඳහා නළු නිළියන් පැමිණියහ. ඩැනී මහතාට ඇත්ත කීවෙමි. ඔහු කලබල විය. පොල් ගාන නිළිය සැරැසී සිටියාය. හිරමනේ වෙනුවට ලී කොටයක් තබා ගෝනියකින් කොටය වසා නිළිය වාඩි කර වීය. ඉද්ද මල් වට්ටිය වැසෙන සේ පොල් ගාන බවක් පෙන්වීය. රූගතවීම් අවසන් විය. තරහ ඉහවහ ගිය ඩැනී මහතා ඉද්ද මල් වට්ටියෙන් කලා අධ්යක්ෂ නෑව්වේය. පොල් නැතුවත්, හිරමනේ නැතුවත් පොල් ගාපු හැටි සිහි වන විට ලොකේෂන් එකේ නොකී කතා අදත් මතක් වේ. |