වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අනසුයා ඇත්තටම උමා වගේද?

අනසුයා ඇත්තටම උමා වගේද?

රට රටවල ගරු හිත දිනූ හෝ ගානා පොකුණෙන් සිනමාවට එන අනසුයාගෙන් අසමු

සිංහල චිත්‍රපටයක් පසුගිය කාලයේ ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකම සම්මානයට පාත්‍ර වෙමින් කා අතරත් කතාබහට ලක් වුණා. ඒ ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරන්නේ සිංහල සිනමාවට ආගන්තුක වූ චරිතයකි. ඇය අනසුයා සුබසිංහයි.

තාරුණ්‍ය ජීවිතයක වටිනාම කාලයක එක් සන්ධිස්ථානයක්. ජවසම්පන්න තාරුණ්‍ය විටෙක පෙරළකාරයි. තවත් විටෙක ආවේගශීලියි. සමාජයේ වෙනසක් ඇති කරන්නට තාරුණ්‍ය දරනා උත්සාහය ඉහළයි. ඒ වුණත් ඒ සෑම උත්සාහයක්ම මල්ඵල ගැන්වෙන්නෙත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.

උමා, එවැනි වූ වෙනසක් කරන්නට උත්සාහ දරනා තරුණියක්. සමාජමය වෙනසක් කරන්නට තනිව උත්සාහ දරනා තරුණ ගුරුවරියක්. මේ අපූරු ගුරුවරිය අපට හමු වෙන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ හෝ ගාන පොකුණ චිත්‍රපටයෙන්. දුෂ්කර පාසලක සිසු දරු දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වූ උමා, සත්‍ය ජීවිතයේ නමින් අනසුයා සුබසිංහයි.

* උමා තනිවම යහපත් වූ සමාජමය වෙනසක් ඇති කිරීමේ උත්සාහයක?

සමාජයේ යම් වෙනසක් දැකීම, එය නිර්මාණය කරන්නට ඇති වන උනන්දුව තාරුණ්‍යයේ ලේවලම තියෙන දෙයක්. ඒ වෙනුවෙන් පෙරළි ඇති කරන්නට පෙළඹීම, උත්සාහ කිරීම දකින්නට ලැබුණත් යම් යම් හේතූන් මත ඒවා සාර්ථක වෙන අවස්ථා ඉතාම අඩුයි. එහෙම වන විටදී ඔවුන් තුළින් එම අභිප්‍රායන් ගිළිහී ගොස් සාමාන්‍ය ජීවිතයන්ට හුරුවීම නිරායාසයෙන් සිදුවෙන්නක්.

ඒ වුණත් ප්‍රසිද්ධව, කණ්ඩායම් වැනි දේට මැදිහත් නොවී තනිවම වෙනසක් සිදු කරන්නට උත්සාහයන්හි යෙදෙන අය ඕනෑ තරම් මේ සමාජයේ අපි අතරම ඉන්න පුළුවන්. ඉන්දිකගේ හෝ ගාන පොකුණ සිනමා නිර්මාණයේ එන උමා එවැනි චරිතයක්. මට එවැනි වෙනසක් කරන්න උත්සාහ කරන වෙනස් වූ චරිතයකින් සිනමාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි.

* කැමරාව ඉදිරියේ පළමු සිනමා අත්දැකීම කෙබඳු එකක්ද?

මේ දක්වාම මගේ රංගන ගනුදෙනුව සිදු කෙරුණේ වේදිකාව සමඟිනුයි. කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේදියි මම වේදිකාවට සම්බන්ධ වුණේ. එහිදී ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රැසකට දායකත්වය ලබා දෙන්න මට හැකි වුණා. සරසවි අධ්‍යාපනයෙන් පසුව මට මෙරට සිංහල වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව උමාගේ චරිතය සමඟින් මට සිනමාවේ මුල්ම අත්දැකීම විඳින්න ලැබුණා.

එය මට පොඩි අභියෝගයක් වේවි කියලත් හිතුණා. වේදිකාවේ රංගනය ගැන මනා වූ අවබෝධයක් තිබුණත් කැමරාවෙන් එය පෙනෙන්නේ කොහොමද කියන අදහස තිබුණේ නැහැ. ඇත්තටම මට කැමරාවට පුරුදු වෙන්න ටික කාලයක් ගත වුණා. ඒ වුණත් චිත්‍රපට කණ්ඩායමේ සගයන් සමඟ මට ඒ අත්දැකීම ඉතාම හොඳින් ලබා ගන්න හැකියාව ලැබුණා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ආරාධනා ලැබුණත් විවිධ හේතූන් මත ඒවාට දායක වුණේ නැහැ. ඒ ගැන කනගාටුවකුත් නැහැ. හරි කාලෙට හරියටම ගැළපෙන පිටපතක් ලැබුණාම අපි ඒවා සමඟ බැඳෙනවා.

ඒ වගේම මේ අත්දැකීම සමඟින් කැමරාව ඉදිරියේ රංගන ප්‍රතිභාවක් දැක් වූ රංගන ශිල්පීන් ගැන විශාල ගෞරවයක් දැනුණා. පෙර පරම්පරාවේ රංගන ශිල්පීන් මේ වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කරන්නට ඇති ද කියලා හිතුණා. ඔවුන්ගේ දක්ෂතා ගැන දළ හැඟීමක් තිබුණත් හරියටම එය තේරුම් ගත්තේ මගේ පළමු සිනමා අත්දැකීම සමඟයි.

* අනසුයා උමා වගේම කෙනෙක්ද?

උමායි, අනසුයායි එක්තරා වෙලාවකට සමානයි කියලත් කියන්න පුළුවන්. ජීවිතයේ අපි වෙන්න කැමැති චරිත තියෙනවානේ. එහෙම චරිත රඟපාන්න ලැබෙන එකත් සතුටක්. මම දකිින්න කැමැති සමාජ. දේශපාලන, සංස්කෘතික වෙනස මට නිරූපණය කරගන්න ලැබෙන චරිත තුළින් යම්තාක් දුරට පණ දෙන්න පුළුවන් නම් මගේ දැක්ම ඒ චරිතයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒ ගැන මගේ උනන්දුව වැඩියි. ඒ නිසා මම පිටපත් තෝරා ගැනීමේදී මගේ දැක්මන් ඒ චරිත තුළ තියෙනවාද කියලත් බලනවා. එහෙම බලන කොට උමා තුළ අනසුයාත්, අනසුයා තුළ උමාත් ඉන්නවා වෙන්නත් පුළුවන්.

* මෙහිදී ළමුන් පිරිසක් සමඟින් කොහොමද වැඩ කටයුතු කළේ?

මගේ පළමු සිනමා රංගනය වගේම මේ ළමුන්ගෙත් පළමු රංගනනය වුණේ මෙම චිත්‍රපට රංගනයයි. මට මෙහි නළු කාර්යයට අමතරව ළමා චරිත තෝරා ගැනීමේ ක්‍රියාවලියටත් සම්බන්ධ වෙන්න ලැබුණා. එහිදී ඔවුන් වෙනුවෙන් වැඩමුළු කිහිපයකුත් පවත්වන්න අපි කටයුතු කළා. ළමුන් තුන් හාරසියයකින් තෝරා ගත් ළමයි දහ අට දෙනා කැමරාව ඉදිරියේ සාර්ථක රංගනයක් ඉදිරිපත් කළා. මුලින්ම අපිට ඔවුන් අභියෝගයක් වුණේ විවිධ වැඩසටහන් ආදිය නරඹා අනුකරණයෙන් ඔවුන් හදාගෙන තිබූ ප්‍රතිරූපයන්. ඒ වුණත් වැඩමුළු අවසානයේ කැමරාව ඉදිරියට මේ ළමයි ආවේ සාමාන්‍යම ළමයි විදියටයි. ඔවුන් සමඟ වැඩ කිරීම හරිම පහසුවක් වුණා.

* රූගත කිරීම් සිදු කළෙත් දුෂ්කර පළාතක?

අපි රූගත කිරීම් කළේ මහව ප්‍රදේශයේ. වසා දමා තිබුණු ඇත්තම පාසලක් තමයි ඒ සඳහා යොදා ගත්තේ. අවට පරිසරය අපිට ගොඩක් නිර්මාණය කරන්න වුණා. බාගෙට හදපු ගොඩනැගිල්ලක්. වසා දමා තිබූ ළිඳක් වගේම මෙය රාත්‍රියට ගවයන්ගේ ලැගුම්හලක් බවටත් පත්ව තිබුණා. ඒ වුණත් හරිම ලස්සන පරිසරයක් තිබුණා. ඉඳුම් හිටුම් වෙනුවෙන් ගමේ හැමෝම අපට ගොඩක් උදව් කළා.

* මෙවැනි සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන අනසුයාට මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ඊට වඩා සතුටු චිත්‍රපටය ලද ප්‍රේක්ෂක ප්‍රතිචාරවලටයි. වියට්නාමයෙ හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙය නෙට්පැක් ඒෂියා සම්මානයට සුදුසුකම් ලැබුවා. චිකාගෝ ජාත්‍යන්තර සිනමා උළෙලේත් විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලබුවා. මට හැනෝයි චිත්‍රපට උළෙල සඳහා සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී පේ‍්‍රක්ෂකයන් සමඟ මගේ අත්දැකීම් බෙදා හදාගන්න ලැබීම සතුටක්. ඔවුන් චිත්‍රපටය පිළිබඳ ධානත්මක සිතුවිලි ඇති කර ගෙන සිටියේ. චිත්‍රපටය ලද ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාර ගැනත් මම විශේෂයෙන් සිහිපත් කරනවා.

* වේදිකාවේ රංගනය ගැනත් සිහිපත් කරමු?

පාසල් අධ්‍යාපනයේදී වේදිකා රංගනයට යොමු වූ මම සරසවි අධ්‍යාපනය නවසීලන්තයේ වයිකාටෝ විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලාව හැදෑරුවා. ඒත් ලංකාවේ පොඩි කලු කෙල්ලෙකුට එහෙ ගිහින් නාට්‍ය හදාරන්න පුළුවන් ද කියලා පුංචි දෙගිඩියාවකුත් තිබුණා. ඒ වෙනකොට නම් නාට්‍ය කලාව ගැන ලොකු උනන්දුවක් මගේ හිතේ තිබුණා. එදා එහි ගුරු පිරිස නාට්‍ය කලාව ගැන මට දුන් පෝෂණය අදටත් රංගනයට මා දිරිමත් කරනවා.

වසර දහයක් වගේ කාලයක් ගත වුණත් ඔවුන් සමඟින් දැනුම හුවමාරු කරගන්න අදටත් අවස්ථාව ලැබෙනවා. ඔවුන් මගේ හමේ පාට වෙනසක් විදියට දැක්කේ නැහැ. රංගන අධ්‍යාපනය ලබා ගැනීමට විතරක් මම සීමා වුණේ නැහැ. එහි තිබූ විශාල තියටර් එකේ මම වැඩ කළා. ලයිට් ඇද්දා. ආලෝකකරණය ඉගෙන ගත්තා. ශබ්ද පරිපාලනය ඉගෙන ගත්තා. මේ හැමදේටම අවකාශය මට ලැබුණා.

ලංකාවට පැමිණි පසු මම සම්බන්ධ වුණේ සිංහල වේදිකාවට. පියල් කාරියවසම්, රාජිත දිසානායක, ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. හෙන්රි ගිබ්සන්ගේ සියවස් සමරුව වෙනුවෙන් මාස්ටර් බිල්ඩර් නමින් පියල් නිර්මාණය කළ නාට්‍ය කිහිපයකට දායක වුණා. ඉන් පසුව රාජිතගේ අපසු හැරෙන්න බෑ, ඉන්දිකගේ කලම්බු කලම්බු ආදී නාට්‍ය සඳහා මම දායක වුණා.

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස පිදුම් ලද කලම්බු කලම්බු රංගනය වෙනුවෙන් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඊට පෙර පියල් කාරියවසම්ගේ මාස්ටර් බිල්ඩර් නාට්‍ය වෙනුවන් මට 2006 වසරේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි වුණා. ඒ වගේම මේ දක්වා මට රංගනයට ලැබුණු අවස්ථා පිළිබඳ ලොකු සතුටක් දැනෙනවා.

* රංගනයේදී චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?

ඇත්තටම අපි රංගනයේදී තෝරා ගැනීමක් කළ යුතුයි කියන එක මගේ විශ්වාසය. අපි අපිට ලැබෙන හැම එකක් එක්කම වැඩ කළ යුතු නැහැ. සමාජ, දේශපාලන වගේම සංස්කෘතික වශයෙන් මම විශ්වාසය කරන දේවල් තියෙනවා. ඒවාට යම්තාක් දුරට පටහැනි දේ මම බාර ගන්නේ නැහැ. ඒ වගේම මම වාණිජමය දේවලින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන කෙනෙක්. මගේ අදහස් ඒ සමඟ ගැළපෙන්නත් ඕනෑ. එහෙම නොවුණොත් එවැනි නිර්මාණයක් තුළ මට ඉන්න අපහසුයි. ටෙලි නාට්‍ය සඳහා දායක නොවෙන්නත් එය හේතුවක් වෙනවා.

* මේ දිනවල ඔබ ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙන්නේත් නාට්‍ය අංශයෙන්මද?

මම මගේ ආචාර්ය උපාධිය කරන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේදියි. ඒ වෙනුවෙන් මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා. ලංකාවේ කෝලම් සම්ප්‍රදාය තමයි මම ඒ වෙනුවෙන් තෝරා ගත්තේ. මේ දිනවල ලංකාවට පැමිණියේත් එහි පර්යේෂණ කටයුතු වෙනුවෙන්.

* ඉදිරි කලා කටයුතු ගැනත් කෙටි සඳහනක් තබමු?

ඒක පුද්ගල රංගනයක් ඉදිරිපත් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ දිනවල එහි පිටපත රචනය කරමිනුයි සිටින්නේ. එය මම විශ්වවිද්‍යාලය වෙනුවෙන් කරන්නේ. ඉදිරියේදී එය ලංකාවේ පෙන්වන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. අනාගතයේදී වේදිකා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න සුදානමක් තියෙනවා. සිනමාව සමඟ කටයුතු කරන්නත් ආසාවෙන් ඉන්නේ. ඒ වගේම චිත්‍රපට පිටපතක් රචනා කිරීම දැනටමත් ආරම්භ කරලා අවසන්. ඉදිරියේදී අපි ඒ ගැන බලමු.