වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




පැරැණි ශිල්පියකුගේ සමු ගැනීම

පැරැණි ශිල්පියකුගේ සමු ගැනීම

ඩබ්ලිව්. ගුණසිරි

නිදහසින් පසුව මෙරට කලාවේ පුනරුදය පිණිස ජේ. ඒ. ඩී. පෙරේරා මැතිතුමන් විසින් ආරම්භ කරන ලද හේවුඩ් හෙවත් ලලිත කලායතනයෙන් බිහි වුණු ප්‍රකට චිත්‍ර හා මූර්ති කලාකරුවකු ලෙස ඩබ්ලිව්. ගුණසිරි මහතා හැඳින්විය හැකිය.

දේශීය සිනමාව ගොඩ නැංවීමේ මෙහෙවරක යෙදුණු සිරිසේන විමලවීර මහතාගේ නවජීවන චිත්‍රාගාරයේ චිත්‍ර හා මූර්ති ශිල්පියකු ලෙස ඔහු සිය කලා වෘත්තීය ඇරඹුවේය. 1954 අගෝස්තු තිරගත වූ ‘සරදියෙල්’ චිත්‍රපටයේ නාමාවලියෙහි ඔහුගේ නම දිස් වූ හැටි මට මතකය. විමලවීර මාස්ටර්ගේ අශෝකා, පොඩි පුතා, සිරකරුවා වැනි චිත්‍රපටවල කලා කටයුතුවලට සම්බන්ධ වූ ඔහු ඉන් සමහරක කෙටි දර්ශන සඳහා ද පෙනී සිටි බව කිසිවකු නොදනිති.

මුල් යුගයේ මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ වුණේ දකුණු ඉන්දියානු කලා ශිල්පීහු චිත්‍ර අංශයේ, මූර්ති අංශයේ මෙන්ම වේශ නිරූපණ අංශයේ ද ප්‍රමුඛයන් වූ බාස්කරන් වැනි ප්‍රවීණ ශිල්පීන්ගෙන් ඔහු ආභාසය ලැබුවේය. ඔවුන්ගේ ශිල්පීය ඥානය මෙරට සිනමා පසුබිම්වලට අනුකූලව නිර්මාණය කළේය.

කෙසේ වුව ද ඔහුගේ සේවා කැප කිරීම නිසාම දක්ෂතාව නිසාම පසු කලෙක ලංකා චිත්‍රාගාරයේ චිත්‍ර හා මූර්ති අංශයේ ප්‍රධානියා බවට පත් විය. ඔහුගේ ප්‍රධානියා වූයේ ජේ. වින්සන්ට් නමැති කලා අධ්‍යක්ෂවරයාය. ලංකා චිත්‍රාගාරය ගිනි ගැනෙනා තෙක්ම එහි නිෂ්පාදනය වූ සියලුම චිත්‍රපටවල කලා කටයුතුවලට සම්බන්ධ වූ ඔහු එවකට ජනප්‍රියව සිටි බොහෝ නළු නිළියන් හොඳින් දැන හැඳින සිටියේය. නව ජීවන චිත්‍රාගාරයේ සේවය කරන යුගයේ සිටම ජෝ අබේවික්‍රම කලාකරුවා ඔහුගේ මිතුරකු විය. සිනමාවේ ආකර්ෂණීය පුද්ගලයන් හා සමඟ තමන් දැන හැඳුනුම්කම් දක්වන බව පෙන්වීමට ඔහු කැමැති නොවුණේය. තමන් කැපී පෙනීමට හෝ තමන් ගැන පුරසාරම් කීමට ඔහු කිසි විටෙකත් කැමැති නොවුණේය. ඒ් ඔහු සතු සුවිශේෂිතාවයි.

ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ එවකට අශ්වයා සහිත ලාංඡනය මූර්තියෙන් නිර්මාණය කළේ ඔහුය. එය තැනුවේ වේයන්ගොඩ සිය නිවසේදීමය. එම සමාගම නිෂ්පාදනය කළ එවක චිත්‍රපට සියල්ලේම පහේ කලා කටයුතු කළේ ඔහුය. ඔහු දිනපතා වෘත්තියේ යෙදෙන තම ගම් ප්‍රදේශයේ ආගමික හා කලා කටයුතුවලදී ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කළේය. අතීත කාලයේදී පන්සලේ තොරණ නිර්මාණය කළේ ඔහුය. මිහිඳු පෙරහැරේ මිහිඳු රුව තැනුවේ ඔහුය.

සේවයෙන් විශ්‍රාම ගත් පසුව වුව ද තම හැකියාවන් ගැන කතා කරන්නට හෝ පුරසාරම් කියන්නට නොගිය ඔහු නිවසෙහි රැඳී තම පුතු ප්‍රසන්න සමඟ නොයෙකුත් කලා නිර්මාණ බිහි කළේය. ‘දුෂ්කර ක්‍රියා’ වැනි කැටයම් හා උන්නත කැටයම් නිර්මාණ කිරීමේ දුෂ්කර ක්‍රියාවේ යෙදුණේ ඉතා සැහැල්ලුවෙනි. ඔහු ඒ සඳහා විවිධ සම්මානයන්ට පාත්‍ර වූණේය. කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඉතාමත් සංවේදී හදවතක් සහිත කලාකරුවකු වූ ගුණසිරි මහතා සැබැවින්ම උත්තම පුරුෂයෙකි. ජීවිතයේ අවසාන සමයේදී සිය නිර්මාණයන් ලොවට දායාද කිරීමට උත්සුක වූ ගුණසිරි මහතා මිය යාම අප තුළ ඇති කරන්නේ දැඩි කම්පනයකි.

ඔහුට නිවන් සුව පතමු.