වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




බහුතර කලාකරුවන් ජනපති සමඟයි

බහුතර කලාකරුවන් ජනපති සමඟයි

ආචාර්ය රෝහණ වීරසිංහ

කලාව සහ දේශපාලනය අතර හෘදයාංගම කතාබහක

මෙරට වැඩිම ගායක, ගායිකාවන් පිරිසක් සඳහා ගී නිර්මාණය කළ සංගීතවේදියා ඔහුය. එමෙන්ම වැඩිිම ගී තනු ප්‍රමාණයක් අපේ ගී කෙතට දායාද වූයේ ඔහුගේ නොසිඳෙන ගී තනු උල්පතෙනි. ගී ලොව රජුන්, රැජනන් තනන්නට සිය ප්‍රතිභාන්විත දායකත්වය නොමසුරුව පුද කළ හෙතෙම ආචාර්ය රෝහණ වීරසිංහ නම් වේ. සංගීත ක්ෂේත්‍රයේ කා අතරත් ඔහු ප්‍රකටව සිටින්නේ ‘ආදරණීය රෝහණ’ නමිනි.

මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගේ සංස්කෘතික හා ලලිත කලා පිළිබඳ උපදේශකවරයා ද වන රෝහණ, ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ද වේ. එළඹෙන ජනපතිවරණ සටනේදී ඔහු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරන්නේ දැඩි කැපවීමෙනි.

තම වත්මන් නිර්මාණ දිවිය ඔස්සේ, දේශපාලන කතිකාවතක් දක්වා විවර වූ මෙම සංවාදයට ඔහු මෙසේ අප හා එක් වූයේ ඉතා කර්යබහුල මොහොතකය.

මේ රටේ වැඩිම ගී තනු ප්‍රමාණයක් නිමැ වූ සංගීතවේදියා ඔබ. නමුත් වර්තමානයේ ඔබ එකී කාර්යයේ නොයෙදෙන තරම්?

ගීත නිර්මාණ ක්ෂේත්‍රයේ අද කවුරුත් කාර්යබහුල නෑ. සුභාවිත ගීතය මුලින් ජනතාව අතර ප්‍රචලිත වුණේ ගුවන් විදුලියෙන්. ඊට පස්සේ කැසට් මාධ්‍යයෙන්. ඊළඟට සංගත තැටි මඟින්. නමුත් අද කැසට් CD කර්මාන්තය එහෙම්පිටින්ම කඩා වැටිලානේ. මේ නව තාක්ෂණයත් එක්ක ඕනෑ කෙනෙකුට ඕනෑ වෙලාවක තමන් කැමැති සිංදුවක් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

මේ නිසා කැසට්, ඛ්. ච්. ව්‍යාපාරික ආයතන බංකොලොත් වෙලා?

ඔව්. ඒ ආයතන සියල්ලම අද බංකොලොත්. සිංග් ලංකා, තරංගා, නිල්වලා, ටොරානා, රන්සිළු ඔය වගේ තිබිච්ච ආයතන අඩපන වෙලා. දැන් ඒ අය අර පරණ ගී තැටි වෙළෙඳ පොලට බෙදා හැරලා යන්තමින් නමට පමණක් ඒවා පවත්වාගෙන යනවා. සමහර ආයතන වැහිලම ගිහින්. මේ නිසා පොදුවේ බලනකොට ගීත ක්ෂේත්‍රයේ ලොකු කඩා වැටීමක් තියෙනවා.

නමුත් ගුවන් විදුලි නාළිකාවලින් නිරන්තරයෙන්ම අපට ගීත ඇසෙනවා?

ඒත් හරවත් දෙයක් කරන්න ප්‍රවීණයන්ට ඔවුන් ඉඩක් දෙන්නේම නෑ. සුභාවිත ගීතයට යම් ප්‍රමාණයක ඉඩහසර වෙන් කරන නාළිකා තියෙනවා. නමුත් මොන කරුමයක්ද මන්දා අලුත් නිර්මාණ ප්‍රචාරය කරන්නේ නෑ. කලකට ඉහත ‘ලක්හඬ’ ගුවන් විදුලිය මඟින් අමරසිරි පීරිස්ගේ ගීතාවලියක් රසිකයන්ට තිළිණ කළා. ඩෙනිස්ටර් පෙරේරා සංගීතවත් කළ, ධම්මික බණ්ඩාර විසින් රචනා කළ ගීත. ඉන් පසු එවැනි දෙයක් ‘ලක්හඬින්’ පවා සිදුවුණේ නෑ.

නමුත් ජනප්‍රිය හා විවිධ සංගීත ශෛලීන් සමඟ නිර්මාණකරණයේ යෙදෙන අලුත් පරපුරට ඔය නාළිකාවල දොර ඇරිලා?

මේ රටේ ගුවන් විදුලි නාළිකා හතළිහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එයින් වැඩි ප්‍රමාණයක අපට ඇහෙන්නේ අඳෙීනාවල් නේ. හරසුන්, බාල, බොළඳ ගීත. ඒවා ඉතින් චාර්ට්වලට දාගෙන වෙනස් අමුතු අමුතු කතන්දර වෙනවනේ. ඔය වගේ වාතාවරණයක අපේ දායකත්වය අඩු වෙලා තියෙනවා සංගීත ක්ෂේත්‍රයට. විශේෂයෙන්ම ගීත නිර්මාණ කලාවට.

අපේ ඇතැම් ගේය පද රචකයන් තමන්ගේ නිර්මාණ ඇතුළත් සංගත තැටි එළිදක්වන්න කටයුතු කිරීමේ ප්‍රවණතාවකුත් අපි දැක්කා මෑතකදී?

ඔව්. ඒ ඔවුන්ගේ තිබෙන උන්මාදය නිසා. පෞද්ගලික ධනය වැය කරලා, ගෙවල්, ඉඩම් උගස් කරලා මේවයේ පිරිවැය හොයාගෙන කරනවා ඉතින්. නමුත් ඒවා මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය නොකෙරෙන නිසා ඒ අය ලොකු මානසික කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා.

කොහොම වුණත් පහුගිය කාලේ ඔබ චිත්‍රපට කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා?

මම සංගීතවත් කළ චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ’, සනත් අබේසේකරගේ ‘අජාසත්ත’, ගිරිරාජ් කෞෂල්‍යයගේ ‘සුහද කොකා’ වගේ චිත්‍රපට. එතකොට සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිණි’ චිත්‍රපටයේ වැඩ කටයුතු දැන් කරගෙන යනවා. එය ලබන වසරේදී ප්‍රදර්ශනයට එක් වෙයි. අද චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ඉස්සරට වඩා දැවැන්තයි. අලුත් තාක්ෂණයත් එක්ක, සෑහෙන කැපවීමකින් ඒවා කරන්න ඕනෑ. අද හුඟක් ප්‍රේක්ෂකයෝ හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට නරඹලා ඒවයේ ශබ්ද මාධූර්්‍යයෙන් වශී වෙලා ඉන්නේ. ඉතින් ඒකට තරඟයක් දෙන්න නම් අපි ලොකු කැපවීමක් කරන්න ඕනෑ. ඉදිරියේ දී සියලු සිනමාහල් ඩිජිටල්කරණය වෙනවා. සරවුන්ඩි සවුන්ඩ් එනවා. මේ දේවල් එක්ක චිත්‍රපටයක සංගීතය පැත්තෙන් ලොකු දෙයක් කරන්න වෙනවා.

ඒ කියන්නේ ඉදිරියේදී අපේ සිනමා සංගීතය තාක්ෂණය මත යැපෙන කලාවක් වෙයි කියලද?

නැහැ. ඒක නෙවෙයි මම කිව්වේ. තාක්ෂණය එනකොට නිර්මාණය පොහොසත් වෙනවා. තාක්ෂණය නිසි පරිදි නිර්මාණයට එකතු කර ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙම කළොත් නිර්මාණය තවත් පොහොසත් වෙනවා වගේම ප්‍රේක්ෂකයාටත් හොඳ රසාස්වාදයකුත් ලැබෙනවා.

මේ දවස්වල අපේ කලාකරුවන්ගේ නම් කියැවෙන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ. ඒ අතරින් සුවිශේෂී පුද්ගලයෙක් ඔබ?

අපි තීරණාත්මක මොහොතකට ඇවිල්ලා දැන් ඉන්නේ. අධිරාජ්‍යවාදී බලවේග විසින් රට අස්ථාවර කරන්න මාන බලනවා. අපි සියලු දෙනාම මේ ගැන අවබෝධ කර ගත යුතුයි. එය මේ රටේ පුරවැසියන් වශයෙන් අපේ වගකීමක් සහ යුතුකමක්. කලාවට මේ රජයෙන් මොනවද කළේ කියලා සමහරු අහනවා. නමුත් පොදුවේ පසුගිය වසර නවය පුරා ජනාධිපතිතුමන් කලාවේ සහ කලාකරුවාගේ උන්නතිය තකා යම් වැදගත් පියවර රාශියක් ගෙන තිබෙනවා. සංගීත ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් රාජ්‍ය සංගීත උළෙල තුළ ප්‍රථම වරට තරඟකාරී අංශයක් අරඹා කුසලතාපූර්ණ ජයග්‍රාහී ශිල්පීන්ට මුදල් ත්‍යාග දී ඇගයීම, විද්‍යුත් නාළිකාවල ප්‍රචාරය වන ගීතවල හිමිකරුවන්ට කර්තෘ භාග ගෙවීමට ක්‍රමවේද සකස් කිරීම වගේ දේවල් මූලිකවම සඳහන් කරන්නට පුළුවන්.

මේ කර්තෘභාග ගෙවීමේ ක්‍රමය නීතිගත කර තිබුණත් තවම එය ක්‍රියාවට නැඟී නැහැ?

ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. එය නීතිගත කර තිබුණත් සමහර ආයතන ඒ ගෙවීම් පැහැර හැර තිබෙන්නේ.

විශේෂයෙන්ම රජයේ ගුවන් විදුලි නාළිකා හරහාවත් මේ දේ කෙරෙන්නේ නැහැ?

ඔව්. කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ කාර්යය සවිබල ගැන්වීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් හැටියට කලෙක්ටිව් සොසයිටි, ඒ කියන්නේ සාමුහික සමාගමක් පිහිටුවලා ඒකට සියලුම සංගීත ශිල්පීන්ගේ හිමිකම් පවරලා ඒ ආයතනයට බලය පවරනවා සියලුම නාළිකාවලින් කර්තෘභාග අය කරගෙන අදාල හිමිකරුවන්ට මේවා බෙදා දෙන්න. ඒක තමයි ලෝකේ පිළිගත් ක්‍රමය. සියලුම නාළිකාවල ප්‍රචාරය වන ගීතවල දත්ත එකතු කිරීම සඳහා මම මැදිහත් වෙලා විශේෂ ක්‍රමවේදයක් දියත් කර තිබෙනවා.

ඒ පිළිබඳ පැහැදිලි කළොත්?

එක් එක් නාළිකාවල ගීත ප්‍රචාරය වන වාර ගණන ගණනය කිරීම සඳහා අපි ජාත්‍යන්තර මට්ටමේ මෘදුකාංගයක් නිර්මාණය කරලා තියෙනවා දැන්. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයෙන් තමයි එය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ දත්ත උපයෝගි කරගෙන ඒකට වෙනම මණ්ඩලයක් පිහිටුවලා ඒ මණ්ඩලය මඟින් හිමිකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමයක් ඉදිරියේදී සැකසේවි. ඉතින් එවැනි දේවල් තමයි අපි ඉදිරියේදී ජනාධිපතිතුමන් අතින් සිදු කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ.

එය ප්‍රායෝගික යථාර්ථයක් වන බව ඔබට විශ්වාසයි?

ඔව්. ලබන වසරේ අනිවාර්යයෙන්ම එය සිදු වෙනවා.

දැන් ඇත්තටම ඔය කර්තෘභාගයටත් වඩා කලාකරුවාට වටින්නේ තමන්ගේ නම. ඒ කියන්නේ තමන්ගේ නිර්මාණ අයිතිය පිළිබඳ තිබෙන සහතිකය. නමුත් අද කිසිම ගුවන් විදුලි නාළිකාවක පද රචකයා, සංගීතඥයා හෝ ගායකයාගේ නම සඳහන් කරන්නේ නැහැ?

ඩබ්ලිව්. බී. ගනේගල මහත්තයා ජනමාධ්‍ය ලේකම් වෙලා ඉන්න කොට අපි එකතු වෙලා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකස් කළා. නමුත් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච ගමන්ම මේ මාධ්‍ය වාරණයකට එන්න හදනවා කියලා විපක්ෂය කෑ ගහලා මේක අකුල ගන්න සිද්ධ වුණා. වැරැදි ඇහැකින්, පාට කණ්ණාඩියකින් මේක දැකපු නිසයි එහෙම වුණේ. ඒ කාර්යය නිකං ලත් තැනම ලොප් වුණා. එක අතකින් ඒක කලාකරුවන්ගේ අවාසනාව. හැබැයි ඉතින් මේක රජයකට කෝටුවක් තියාගෙන කරන්න බෑ. මාධ්‍යකරුවා දැනගන්න ඕනෑ තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. කලාකරුවන්ගේ මේ නිර්මාණ නිසා තමයි දවස තිස්සේම එයාලා මේ ආකර්ෂණය ලබා ගන්නේ.

නමුත් තමුන්ගේ පෞද්ගලික බූදලයක් වගෙයි ඇතැම් නාළිකා ඒ නිර්මාණ පරිහරණය කරන්නේ?

කලාකරුවාට ඒ කෘතවේදිත්වය ලබාදීම ඔවුන්ගේ යුතුකමක්, මනුස්සකමක් හැටියට ඒ සදාචාරාත්මක ගුණය ඔවුන් ළඟ තිබිය යුතුයි. එතකොට අමනුස්සයින් තමයි මේ ආයතනවල ඉන්නේ කියලා අපට නිගමනය කරන්න වෙනවා.

පොදුවේ සියලුම කලාකරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා එහි ප්‍රතිලාභ ඔවුනට ලබාදීමේ වැඩ පිළිවෙලකුත් ඉදිරියේදී සිදු වෙනවා නේද?

ජනාධිපතිතුමන් 2012 අයවැයෙන් රුපියල් මිලියන පනහක් මේ සඳහා වෙන් කළා. ඇත්තෙන්ම මෙය කලාකරුවන්ට වගේම මාධ්‍යකරුවන් සඳහාත් වෙන් වූ අරමුදලක්. මේ පිළිසරණ අරමුදලට කැබිනට අනුමැතිය ලැබිලා දැන් නීති කෙටුම්පත් සැකසෙමින් පවතිනවා. මෙයත් කාලාන්තරයක් තිස්සේ අප සටන් කර ලබා ගත් දෙයක්.

කොයි විදිහටද මේ කලා හා මාධ්‍යකරුවන් සඳහා වූ පිළිසරණ අරමුදල ක්‍රියාත්මක වෙන්නේ?

කලාකරුවන් අසරණ වූ විට, යම් පිළිසරණක් ලැබිය යුතු අවස්ථාවල මෙම අරමුදල හරහා ඔවුන්ට උදවු උපකාර කරන්නට ඉඩකඩ සැලසෙනවා. තමන්ගේ අසරණභාවය, රෝගීභාවය, ඒවාට වියදම් කරන්නට ශක්තියක් නැතිකම වගේ දේවල් ඔප්පු කරන්න ඕනෑ. අනෙක් එක තමා කලාකරුවෙක් බව. නිකං රූප රාමුවක පෙනී හිටියත් කලාකරුවෙක් කියලානේ හුඟක් අය කියන්නේ. එහෙම නෙවෙයි.

එහෙම තෝරා ගන්නේ කුමන නිර්ණායකයන් මතද?

නිර්ණායකයන් නිර්මාණය කිරීම තමයි දැන් සිදු කෙරෙමින් පවතින්නේ. දළ වශයෙන් කිව්වොත් ක්ෂේත්‍රයේ රැඳී සිටි කාලය, දායක වූ නිර්මාණ ප්‍රමාණය, ලබාගත් ඇගයීම්, අන්න ඒ වාගේ පොඩි තක්සේරුවකට එන්න සිද්ධ වෙනවා. නැතිනම් මේ ඊයේ පෙර්දා ඇවිල්ලා නාට්‍යයක, දෙකක රඟපාලා මමයි කලාකාරයා කියලා කියන්න අයිතියක් නැහැ. ඒක සුදුසුකමක් වෙන්නේ නැහැ. කලාකරුවෙකු වශයෙන් කිසියම් පිළිගත් මෙහෙවරක් රටට කරලා තියෙන්න ඕනෑ.

1994 ‘නිදහස් කලා සන්ධානය’ පිහිටුවා ගන්න පුරෝගාමී වූ කලාකරුවෙක් ඔබ?

ඔව්. නමුත් යම් යම් කලකිරීම් නිසා මම පසුකලෙක නිහඬ පිළිවෙතක් අනුගමනය කළා.

මොකක්ද ඒ කලකිරීමට හේතුව?

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ඇතැම් ක්‍රියා කලාපයන් තමයි ඒකට හේතු වූයේ. නැවත මම 2005 දී තමයි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරකම්වලට එළඹෙන්නේ. එදා සිට මේ දක්වාම අපි ජනාධිපතිතුමන් වෙනුවෙන් පෙනී සිටිනවා ඕනෑම තැනක. ඕනෑම අවස්ථාවක. ඒක මට කියන්න ලැජ්ජා නැහැ. මට පුවත්පත්වලින් මඩ ගහලා තියෙනවා මගේ මිත්‍රයෝ. ඒ ගැන මම කනගාටු වෙනවා. ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් මේ කරගෙන යන ක්‍රියාදාමය මම දැකලා නෑ මගේ ජීවිත කාලය ඇතුළත වෙන කිසිම කෙනෙක් කරලා තියෙනවා. ඔහු රටේ නායකයා වශයෙන් තෝරා ගැනීමේ මගේ මිණුම් දණ්ඩ ඒකයි. අද වංචාව, දූෂණය ගැන මාධ්‍ය මර්ධනය ගැන කතා කරනවා. මේවා මොනවද කියලා හිතෙනවා 1977 සිට 1994 දක්වා තිබූ දූෂණය සහ මාධ්‍ය මර්ධනය දිහා බලනකොට.

ඒ අඳුරු යුගය කිසිකුට අමතක නැහැ?

කලාකරුවෝ, මාධ්‍යවේදියෝ මරලා මූදට දැම්මා. කටවල් කැපුවා. සරච්චන්ද්‍රයන් වගේ ජ්‍යෙෂ්ඨ කලාකරුවකුට කානුවේ දාගෙන ගැහුවා. ඊළඟට තරුණ තරුණියෝ හැට දහසක් අමු අමුවේ මරා පුච්චලා දාපු රටකනේ අපි මේ ජීවත් වෙන්නේ. ඒවා සේරම සංසන්දනය කරලා තමයි අපි නායකයෙක් තෝරා ගත යුත්තේ.

කලාකරුවෝ දේශපාලනයට එන්නේ තාන්න මාන්න ලබා ගන්න, එහෙම නැතිනම් පටු පරමාර්ථ, ඉෂ්ට කරගන්න කියන මතය අපේ රටේ තියෙනවනේ?

මගේ හිතවත් කලාකරුවෝ මා එක්ක අමනාප වෙලා තියෙනවා පෞද්ගලික උදවු උපකාර පතාගෙන ඇවිත් මට ඒවා ඉෂ්ට කර දෙන්න බැරි වූ අවස්ථාවල. මට එහෙම කෙනෙකුට උදවු කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මට මේ තියෙන්නේ බලය සහිත තනතුරක් නෙවෙයිනේ. උපදේශක තනතුරක් කියන්නේ ඒකයි. මට යෝජනා කරන්න පුළුවන් යම් යම් දේවල්. නමුත් ඒ සීමාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වෙන දේවල් ගැන මට වගකියන්න බෑ. අත පොවන්න බෑ.

රෝහණ වීරසිංහ මොනවද කලාව වෙනුවෙන් කළේ කියලා අහන්නේ ඔය යථාර්ථය නොදන්න අයයි?

මිනිස්සු වැඩිය දකින්නේ කරන දේට වඩා නොකරන දේ. මගේ සීමාවේ ඉඳන් මම කලාකරුවන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වුණා. දැන් කර්තෘභාගය ගෙවන්නේ නැත්තේ ඒ මාධ්‍ය ආයතන විසින්. ඒකට මට කරන්න දෙයක් නෑනේ. නමුත් ඒ ප්‍රශ්නය අදාල තැන්වලට යොමු කරලා, ඒ අවශ්‍ය නීති සම්පාදනය කර ගැනීමේ තත්ත්වය දක්වා ගෙනාවේ මම.

දැන් ඔබත් සමඟ එකම දේශපාලන මතවාදයක සිටි ඔබේ හිතමිත්‍ර සෝමරත්න දිසානායක විරුද්ධ පක්ෂයට ගියා?

ඔව්, ඕනෑ කෙනෙකුට ඒ නිදහස තියෙනවානේ. දැන් මම කිව්වේ ඒකයි. මගෙත් එක්ක ඉතාම ළඟින් සහෝදරයෝ වගේ ආශ්‍රය කරන අය විවිධ දේශපාලන මති මතාන්දර දරනවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මට නිදහස තියෙනවා නම් ඒගොල්ලටත් නිදහස තියෙන්න එපැයි. ඒගොල්ලන්ගේ දැක්මට, චින්තනයට අනුව ඒගොල්ල ක්‍රියා කරාවි.

සෝමරත්න දිසානායක සමඟ ඔබේ පෞද්ගලික ආරාවුලක් නැහැ?

එහෙම කිසි දෙයක් නැහැ. මාධ්‍යය මේ ගැන මගෙන් පුන පුනා ප්‍රශ්න කළා. මම උඩ බලාගෙන කෙල ගහන්නේ නැති, දෙකොනින් කතා කරන්නේ නැති පුද්ගලයෙක් කියන එක තමයි ඔවුන්ට ප්‍රකාශ කළේ.

ඔබ මේ රටේ ප්‍රමුඛ පෙළේ කලාකරුවෙක්. වෘත්තීය සංගීතවේදියෙක්. දේශපාලනයට අවතීර්ණ නොවී කලාකරුවෙක් හැටියට නිදහසේ, ස්වාධීනව හිටියා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

ඒක හරි ආත්මාර්ථකාමී සිතිවිල්ලක් කියලා මම හිතන්නේ. 2005 දී අපි කඩේ ගියා කිව්වා. ඔය ඕනෑ තරම් මඩ ගැහුවනේ. ඒත් අපි එදා රට වටේ ගිහින් කියපුවා බිංදුවක් හරි මේ රටේ ජනතාව ඇහුවනේ. මට හිතෙනවා එතුමාට අපේ දායකත්වය ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒකෙන් මුළු රටටම ලැබුණ ප්‍රතිලාභය බලන්න. මේ නිදහස, සුන්දරත්වය ඔවුන් අද අත්විඳින කොට මොන තරම් සතුටක් ද දැනෙන්නේ මමත් ඒ සද්කාර්යයට දායක වුණා කියලා. එතකොට මම අයියෝ වැඩක් නෑ ඕවට ගිහිල්ලා, මේ සිංදුවක් හදාගෙන හිටියම ඇති කියලා හිතුවා නම් ඒ යුතුකම ඉටු කළා වෙනවාද? ඒ නිසා කලාකරුවාටත් කිසියම් දේශපාලන දැක්මක් තිබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ජනතා පරාමාධිපත්‍ය අභියෝගයට ලක් වූ වටපිටාවක් අද තියෙන්නේ. ඇතැම් දේශපාලකයින් මේක සූදු පිටියක් කරගෙන?

ජනතාව රජය කෙරෙහි කලකිරුණේ ඔය පහල මට්ටමේ දේශපාලනඥයින්ගේ හැසිරීම් රටා නිසා. රැස්වීම්වලට පහර දෙන ඒවා, පුච්චන ඒවා අපි කවදාවත් අනුමත කරන්නේ නෑ. ඒවා නැති වුණාට ජනාධිපතිතුමාට ඕනෑ තරම් දිනන්න පුළුවන්. මේ මැරයන්ට දඬුවම් නොදීම පිළිබඳ මට තියෙනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ දේශපාලන වශයෙන් දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි කියන එක. මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආසියාවේ දේශපාලන ක්‍රමවේදය හරිම පිළිකුල් සහගතයි. ඔය මනාප ක්‍රමය අරවා මේවා නිසා දේශපාලනය මඩ ගොහොරුවක් වෙලා. පක්ෂ ඇතුළේ මිනිස්සු මරා ගන්නවා. ඒවාට නම් අපි එකඟ නැහැ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්‍රහණය පිළිබඳ ඔබට විශ්වාසයක් තිියෙනවාද?

ඔව්. මට විශ්වාසයක් තියෙනවා. මට ඉරහඳ වගේ විශ්වාසයක් තියෙනවා. ගම්වලට ගියාම අපට දැනෙනවා ජනතාවගේ හද ගැහෙන රාවය. ඔය මේ ඉන්ටර්නෙට් භාවිත කරන, මූහුණුපොත් හරහා මවාපානා තත්ත්වය නෙවෙයි යථාර්ථය. ඉකුත් ජනාධිපතිවරණයේදිත් ඔය සමාජ ජාල වෙබ් අඩවි හරහා සරත් ෆොන්සේකා දිනනවා කියලා ලොකු ව්‍යාපාරයක් දියත් කළානේ. කොළඹ අමුතුම උෂණයක්නේ තිබුණේ. ඒ ලණුව කාලනේ සරත් ෆොන්සේකා මහත්තයා රමාඩා එකේ කාමරයක් බුක් කරගෙන තමන්ගේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න හැදුවේ. අන්තිමට ගමේ ඡන්ද ලක්ෂ දහ අටකින් ජනාධිපතිතුමා ජයග්‍රහණය කළානේ.

හොඳයි අවසන් වශයෙන් කියන්න මොකක්ද මේ රටේ කලාකරුවන්ට ඔබ දෙන පණිවිඩය?

ගොඩක් දේවල් ජනාධිපතිතුමා ලවා අපට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තව ගොඩක් දේවල් කරවා ගන්න තියෙනවා. මේ රටට, කලාවට යම් මෙහෙවරක් එතුමා අතින් සිදු වුණා කියලා හිතෙනවා නම් හෘද සාක්ෂියට එකඟව ඒ කෘතවේදිත්වය පළ කරන්න ඕනෑ. බහුතර කලාකරුවන් තවම ජනාධිපතිතුමා සමඟ රැඳී ඉන්නේ ඒ නිසයි. ඒක තමයි කලාකරුවාගේ යුතුකම. උපේක්ෂාව තියෙන්න ඕනෑ කලාකරුවෙකුට.