|
ජූඩ් ගේ කල්‍යාණ මිත්‍රයන් තවමත් එහෙමමයි
මානෙල් විජේසේකර“ආයිස් අම්මා ගුණ්ඩු” කියූ පමණින් කෙනෙකුගේ මතකයට එන්නේ ඇන්ටන් ජූඩ්. ඈත ගම් දනව්වල කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා කොයි කා අතරත් දිදුලන තරුවක් වූ ඇන්ටන් ජූඩ් අප අතරින් වියෝ වෙලා අවුරුදු දෙකක් ඉක්ම ගොසින්. මේ සුන්දර කලාකරුවාගේ අංක 115/1 වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර, රත්මලාන ලිපිනයේ නිවහනට අප ගොඩ වූයේ බිරිය මානෙල් විජේසේකර හා කතාබහ කරන්නට. නිවහන පුරාවට පිරී ඉතිරී ඇත්තේ ජූඩ් ගේ යටගිය අතීතයේ සැමරුම්වලින්. සාලය පුරාවටත් බිත්ති සැරසී ඇත්තේ ඔහුගේ අතීත සැමරුම්වලින් පිරි ජූඩ් ගේ විවිධ පින්තූරවලින්. එදා රංගනය වෙනුවෙන් ජූඩ් ලැබූ සම්මාන තවත් පසෙක පිරී ඉතිරී ගිහින්. ජූඩ් අතින් නිර්මාණය වූ චිත්‍ර, මූර්ති සාලයේ තවත් පසෙක පිරී ඉතිරී ගොසින් හරියට කෞතුකාගාරයක් බඳුයි. මේ නිවහනට ගොඩවදින කාට වුවද මේ වටපිටාව දකින විට ජූඩ් මියගිය බවක් නම් නොසිතෙන තරම්ය. ජූඩ් සමීපව ඇසුරු කළ කාහට වුවද ඇති වනුයේ අදටත් ජූඩ් අප අතරම ඉන්නවා යන හැඟීමකි. සාලයේ සිට කොයි අත බැලුවත් ජූඩ් අපත් සමඟ සිනාසෙනුයේ එදා ඔහු අපත් සමඟ සිනහා වූ ඒ අව්‍යාජ සිනහවත් සමඟය. ඒ සොඳුරු සිනහවේ සේයාවන් අතරේ මා කතාබහට මුල පිරුවේ මානෙල් සමඟය. මගෙ ආදරණීය ජූඩ් ශරීර කූඩුවෙන් මගේ ළඟින් වෙන්වෙලා ගියත් මම අදත් සලකන්නේ ජූඩ් මා ළඟ ඉන්නවා කියන හැඟීමෙන්. මට දැනෙනවා ජූඩ් අදටත් මාළඟ ඉන්නවා කියලා. ජූඩ් නැතුව ගෙවා දමන වසර දෙකකට වැඩි කාලය සැබෑ ලෙස මාව ජීවත් කරවන්නේ ජූඩ් ගේ ගුණ සුවඳ. ජූඩ් ගේ අතීත සැමරුම් අතරේ මේ නිවසට වෙලා මම ගෙවන ජීවිතයේ මගේ පාළුව තනිකම, මේ සියල්ලම අකා මකා දමන්නේ මේ ජූඩ් ගේ සොඳුරු අතීත මතකයන් පිරි බිත්ති පුරා එල්ලා ඇති සිහිවටන. මේ මතකයන් අතර ජූඩ් සමඟ ගෙවීයන මගේ ජීවිතය සැබෑ ලෙසින්ම මාව අදටත් ජීවත් කරන්නේ ජූඩ් ගේ ගුණ සුවඳ. කොහේ ගියත් ජූඩ් ගැන කතාකරන කවුරුත් කියන්නෙම ජූඩ් ගෙ තිබුණු හොඳ ගුණ යහපතක්ම ගැනමයි. අදටත් එදා හිටිය රසිකයෝ ජූඩ්ව සිහිපත් කරලා ගෙදරට ලියුම් එවනවා. ඒ සිහිපත් කිරීම් අතරේ පුංචි දරුපැටවුන් ගේ ලියුම් පවා තියෙනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ ජූඩ් පුදුම විදිහට පුංචි දරුවන්ට ආදරය කළා. ළමයින් ගේ සතුට වෙනුවෙන් ජූඩ් පුදුම කැප කිරීමක් කළ පුද්ගලයෙක්. එයාට ළමයි කිව්වොත් වෙන ලෝකයක් නැති තරම්. කොහේ ගියත් ළමයි එයාට පුදුම විදිහට ආදරය කළා. ඒ ආදරය නගර, ගම්බද කියලා විශේෂයක් වුණේ නෑ. පොහොසත් දරුවාගේ ඉඳලා අන්ත අසරණ දුප්පත් දරුවා දක්වා හැම කෙනෙක්ම ජූඩ්ට අසීමිත ආදරයක් දැක්වූවා. ඒ වගේම තමයි ජූඩ් ඒ දරුවන්ට පුදුම විදිහට ආදරය කළා. ජූඩ් ඉන්නකොට වුණත් මම කලාවට සමුබන්ධ කෙනෙක් නෙමෙයි. අදටත් ජූඩ් නැති වුණා කියලා නෑ. එයා වෙනුවෙන් මට කලා කටයුතුවලට ආරාධනා ලැබෙනවා. ජූඩ් වෙනුවෙන් මම මට පුළුවන් හැටියට ඒ ආරාධනාවලට සහභාගි වෙනවා. ඒ යන හැම අවස්ථාවකදීම ජූඩ් ගේ බිරිය කියලා දැනගත්තහම කාගෙන් වුණත් මට ලැබෙන්නේ හොඳ සුහද පිළිගැනීමක්. කවුරු වුණත් මේ ජූඩ් ගේ බිරිය කියලා දැනගත්තහම සුහදශීලීව කතාකරනවා. කතාබහ කරන කවුරු වුණත් අදටත් ජූඩ් ගේ හොඳ තමයි කතා කරන්නේ. ජූඩ්ට හොඳ යාළුවෝ පිරිසක් හිටියා. නිරෝෂන්, ශාන්ත, රොඩ්නි, ගිරිරාජ්, පි‍්‍රයන්ත මේ අය අදටත් එදා ජූඩ් හිටිය කාලෙ වගේම මගෙ දුක සැප විමසනවා. මේ අයගේ බිරින්දෑවරුන් පවා නිතර මට කතාකරනවා. මගේ දුක සැප අහනවා. රොඩ්නි සුමානෙට සැරයක් වරද්දන්නේ නෑ කතා කරනවා. ගිරිරාජ් ඒත් එහෙමයි. පුදුම ගුණ යහපත්කම් තියෙන මිත්‍රයෝ. ජූඩ් වෙනුවෙන් එයා නෑ කියලා නෑ, ඒ පවුල්වල හැමෝම අදටත් ජූඩ් නැති පාළුව දැනෙන්න තියන්නෙ නෑ. කවුරුත් කියන්නේ ඕන උදව්වක් කියන්න කියන දේ තමයි. එදා ජූඩ් ළඟින්ම හිටිය මේ කල්‍යාණ මිත්‍රයෝ කිහිප දෙනා හැරෙන්න කලා ක්ෂේත්‍රයේ වෙන කිසිම කෙනෙක් ජූඩ් නැතිවුණත් හරි නිකමටවත් කතාබහක් නම් කරලා නෑ. රොඩ්නි තමයි අදටත් ජූඩ් ගේ ‘සකි සඳ මඬළ’ වේදිකා ගත කිරීමේ කටයුතු කරට අරගෙන ඉන්නේ. එදා ජූඩ් ‘සකි සඳ මඬළ’ වෙනුවෙන් කළ චරිතය අද කරන්නේ ආනන්ද අතුකෝරල. ආනන්ද ඒ චරිතය කරන්න ලොකු කැප කිරීමක් කරනවා. මම දුරබැහැර දර්ශනයක් තිබුණත් මට පුළුවන් හැටියට හිතවත් යෙහෙළියක් වූ ගයා ක්‍රිශාන්ති සමඟ ගිහින් ඒ දේවල්වලට සහභාගි වෙනවා. ජූඩ් ඉන්නකන් කළේ පින් අතේ වැඩ. එයාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 28 වැනි දාට නොවැරදීම එයා මත්තෙගොඩ කැමිල මඩමට දානයක් දුන්නා. ඒ මඩමෙ ඉන්නේ අංග විකල දරුවන්. ඒ දරුවන්ගේ සතුට වෙනුවෙන් ජූඩ් ඒ දවස කැප කරලා කෑමෙන් බීමෙන් පමණක් නෙමේ සිංදු කියලා නටලා ඒ දරුවන් එදා දවසේ පිනවන්නත් ජූඩ් කැප වුණා. කොහේ ගියත් ජූඩ් ළමයින්ට හරි ළෙන්ගතුයි. මම බෞද්ධ වුණත් ජූඩ් ආගමේ. එයා නත්තලට කරන්නෙත් ළමයින්ගේ සතුට වෙනුවෙන් කැප වෙන එක. කොළඹ ගිහින් මාත් එක්ක ගැහැනු ළමයින්ට, පිරිමි ළමයින්ට කියලා වෙන වෙනම බඩු ගන්නවා. ඒවා ගෙදර අරන් ඇවිත් රුපින් පේ‍්‍රපර්ස්වල ඔතලා ගෙදර ගොඩ ගහනවා. නත්තලට ගමේ ගෙවල්වල දරුවන්ට එන්න කියලා මේ බඩු බෙදලා දීලා කේක් කෑල්ලක් කන්න දීලා බීම වීදුරුවක් දීලා ඒ ළමයින්ට තෑගි දීලා සතුටු කිරීමේ පුරුද්දකුත් ජූඩ් ළඟ තිබුණා. මිනිස්සු සතුටු වෙනවා බලන්න පුදුම ආශාවක් දක්වපු කෙනෙක් තමයි ජූඩ්. මට මතකයි ජූඩ් නැති වෙන්න ටික දවසකට ඉස්සෙල්ලා එයාගේ සකි සඳ මඬළ නාට්‍යය ඒ වෙනකොට 48 වතාවක් පෙන්වලා තිබුණා. ඊළඟට පෙන්වන්න තිබුණෙ 49 වන වාරය. මෙයා එකපාරටම දෙහිවල එස්. ද. එස්. ජයසිංහ ශාලාව වෙන් කරලා සකි සඳ මඩළ පනස් වෙනි දැක්ම කියලා නම් කරලා ගමේ අයට පෙන්නුවා. එදා විශාල සෙනඟක් ආවා මේ නට්‍යය බලන්න. එදා එයාගෙ නාට්‍යයට ආපු සෙනඟ දැකලා ඒ අය සතුටු වෙච්ච හැටි දැකලා ජූඩ් ගෙදර ඇවිත් මාත් එක්ක කියමින් ලොකු සතුටක් අත් වින්ඳා. ජූඩ් නැතිවෙන කොට වැඩ කරකර හිටියෙ සුනිල් අරුණ වීරසිරි මහත්තයාගේ වීර්යා චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ ෂූටිංවලට යන්න ඉස්සෙල්ලා මගෙ තාත්තාගෙ දානෙට පිරිකරවලට ගන්න කියලා ජූඩ් මට ලොකු මුදලකුත් අතට දීලයි ගියේ. කොහේ ගියත් මානෙල් කියලා මට කතා කරනවා. මගේ දුක සැප හොයා බලනවා. එදා එයා නැති වෙන්න ටික වෙලාවකට ඉස්සෙල්ලත් මට ගෙදරට කතා කළා. මට වෙලාවකට හිතෙනවා එදා ජූඩ් හැම දෙයක්ම මට දීලා ගියේ ආයෙ නොඑන්නම යන හින්දද කියලත්. එයා ෂූටිං ගියත් වැඩි දවසක් ගෙදර එන්නේ නැතුව ඉඳලා නෑ. මට කතා කළත් දවසෙන් දෙකෙන් ගෙදර එනවා. ඒත් මේ ගිය ගමනේ වැඩ ටික ඉවර කරලා එනවා කියලා දින කිහිපයක් ඉන්නත් වුණා. ජූඩ් ගෙදර නැති දවස්වලට මම හිටියේ අපේ පාමංකඩ ගෙදර. එදත් මම පාමංකඩ ගෙදර ඉන්න කොට ජූඩ් නැතිවෙන්න ටික වෙලාවකට ඉස්සෙල්ලත් එයා ගැන ගෙදර අය කතා කළා. මගෙ මල්ලී, මල්ලිගෙ දරුවෝ පුදුම ආදරයක් ජූඩ්ට දැක්වූයේ. ජූඩ් එදාම මල්ලිගෙ දුව මලීෂට කතා කරලාත් තිබුණා. දුව ඔන්න මම හෙට එනවා කියලත්. 2012 මාර්තු 19 වැනිදා රෑ මම හිටිය පාමංකඩ ගෙදරට කෝල් එකක් ආවා. ඒ ගිරිරාජ්ගෙන්. රාගම ඉස්පිරිතාලෙට එන්න කියලා. මම මල්ලිත් එක්ක ත්‍රී වීලරයකින් රාගම ඉස්පිරිතාලෙට ඉගිළුණා. ඒ යන කොටත් ජූඩ් නැති වෙලා. රොඩ්නි මට කිව්වා මානෙල් හිත හදා ගන්න කියලා. මට එතනින් එහාට වෙච්ච දෙයක් මතක නෑ. මටත් සිහි නැති වුණා. යන්තම් මට සිහිය එනකොටත් මම කිව්වේ ජූඩ් මැරෙන්නෑ. අනේ ආයෙත් බලන්න ජූඩ් ජීවත් වෙනවද කියලා. මම අදත් විශ්වාස කරන්නේ ජූඩ් මැරුණෙ නෑ කියලා. එයා මාත් එක්ක අදටත් ඉන්නවා කියලා තමයි මට හැඟෙන්නේ. එයා අසනීපයක් වුණත් ගණන් ගන්නේ නෑ. සමහර වෙලාවට එයාට හතිය වගේ ආවා. ඒ වෙලාවට දිව යට පෙත්තක් තියා ගන්නවා. ජූඩ් සාමාන්‍යයෙන් මත්පැන් බිව්වා. මම නම් ඒකට තදින් විරුද්ධයි. සමහරදාට ජූඩ් බිව්වහම මම කතා කරන්නෙ නෑ. ඔහොම අපි දෙන්නට දවසක්වත් ඉන්න බෑ. ඉතිං ජූඩ් කියනවා මානෙල් මම ඔන්න ආයෙ නම් බොන්නෙ නෑ කියලා. කොහෙද ඉතිං ඔන්න ආයෙත් දවසක් බීලා. මම ඉතිං, ඔය වැඩේට නම් ජූඩ්ට දොස් කියනවා. එයාට මරණය වුණත් අත්වෙලා තිබුණෙ දුකක් නැතුව. එයා නැති වෙනකොට අවුරුදු පනස් එකයි. මම එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම පින්කමක්ම කරනවා. හැම පෝයකටම මම සිල් ගන්නවා. ඒ සිල් අරගෙනත් මම සිල් පමා කරලා සිතින් සිතන්නේ මම යම් පිනක් කරගත්තානම් ඒ පිනෙන් කොටසක් මගේ ජූඩ්ටත් අත් වේවා කියලා. ජූඩ් නැති වුණදාටත් ජූඩ් ගෙ උපන් දිනයටත් මට හැකි අයුරින් පින් දහම් කටයුතු මම සිද්ධ කරනවා. ඒක තමයි මට අද ජූඩ් වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ. ජූඩ් ගැන මම පොතක් ලියාගෙන යනවා. එහි සංස්කරණය කටයුතු සියල්ල කරන්නේ මහින්ද දළුගොඩආරච්චි. කලා ක්ෂේත්‍රයේ ජූඩ් ඇසුරු කළ පුද්ගලයන් අතර සුවිශේෂ පුද්ගලයෙක් තමයි සුනිල් අරුණ වීරසිරි මහත්තයා. එතුමාගේ වීර්යා චිත්‍රපටයේ ෂූටිංවලට ගිහින් ඉන්නකොට තමයි ජූඩ් නැති වුණේ. මිනිසුන් අතර දෙවියෙක් බඳු සුනිල් අරුණ වීරසිරි මහත්තයා ජූඩ් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කළා. පින් දහම් කටයුතු පවා එතුමා සංවිධානය කරලා ඉටුකළා. ජූඩ් නැති වුණා කියලා නෑ අදටත් එතුමා මට කියලා තියෙන්නේ ඕන දෙයක් කියන්න. ජූඩ් වෙනුවෙන් කළ හැකි උපරිමයෙන් මම ඒ දේ කරලා දෙනවා කියලා. ජූඩ් මිනිසුන්ට ආදරය කලා වගේම ඔවුනුත් ජූඩ්ට අපමණ ආදරය කළා. ජූඩ් ගේ මරණයට සහභාගි වෙන්න ආව ජන ගඟෙන්ම ඒක පැහැදිලි වුණා. රටේ දුෂ්කර ප්‍රදේශවල ඉඳලා දරුවොත් අරන් දෙමවුපියෝ ආවා ජූඩ් ගේ අවසන් අවස්ථාවට. ඒ ආපු හැම කෙනෙක්ම ජූඩ්ට ගෞරව කළේ ඉකි ගසමින්. පුංචි දරුවොත් එහෙමයි. අපි දෙන්න විවාහ වුණෙත් ප්‍රේම සම්බන්ධයකින්. ඒ ඇති වෙච්ච ආදරය එයා නැතිවෙන තුරා අඩුවක් නැතුව තිබුණා. ජූඩ් ෂූටිං යනකොට ගෙනියන බෑග් එකේ එයා අන්තිමට පාවිච්චි කළ හැම දෙයක්ම අද මම සුරැකිව තියන් ඉන්නවා. ඒ හැම දේකම එයාගේ සුවඳ ජීවමානව රැඳිලා තියෙනවා. මගේ ජීවිතය රැඳෙන තුරා මේ හැම දෙයක්ම ජූඩ් වෙනුවෙන් රැඳිලා තියේවි. ජූඩ් කියන්නේ මට දෙවි කෙනෙක්. මම අදටත් ප්‍රාර්ථනා කරන්නේ මම කරන පිනක් වේනම් ඒ පින් බලයෙන් ජූඩ්ට නිර්වාණයම අත්වේවා කියලයි.
|