වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝකය විනිවිද දුටු චිත්‍රපට පෙළක්

45වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල

ලෝකය විනිවිද දුටු චිත්‍රපට පෙළක්

පසුගිය සතියෙන්...

ලොව පුරා පතල බොහෝ සිනමා කරුවන් චිත්‍රපට නිර්මාණයෙහිලා වඩාත් උත්සුක වනුයේ තමා අවට දුටු ලෝකය හෙළි දරව් කරන්නටය. ලොව බොහෝ සිනමා උත්සවවල වඩා අවධානය දිනා ගනුයේද එබඳු චිත්‍රපටයන්ය. චාලිස් කන්ටි‍්‍ර චිත්‍රපටය නියෝජනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවය. ඉන්දීය උළෙලේ ෆෙස්ටිවල් කැලි ඩොස්කෝප් අංශයේ තිරගත වුණ මෙම චිත්‍රපටය පසුගිය කාන් සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය ඩේවිඩ් ගුල්පිලිල්ට ලබා දුන්නේය.

ඩේවිඩ් ගුල්පිලිල් ඕස්ට්‍රේලියාවේ ආදිවාසියෙකි. ක්‍රොකඩයිල් ඩන්ඩී, ද රයිට් ස්ටෆ්, රැබ්ට් පෲෆ් ෆෙන්ස් වැනි ලෝ පසිඳු ජනපි‍්‍රය චිත්‍රපට රාශියකටම ගුල්පිලිල් රංගනයෙන් දායක විය. ඔහු රඟපෑ චාලිස් කන්ට්‍රි අධ්‍යක්‍ෂණය කරන රොල්ෆ් ඩි හීර් විසිනි. ඔහු ඕස්ට්‍රේලියාවේ සම්මානනීය සිනමා කරුවෙකි. චාලිස් කන්ට්‍රි චිත්‍රපටයට පාදක වනුයේ සිය උපන් බිමේම සිරකරුවන් බවට පත්ව සිටින ආදිවාසින් පිළිබඳ කතාවකි. මේ චිත්‍රපටය වාර්තා ස්වරූපයක් මෙන්ම සමාජය පිළිබඳ විග්‍රහයක් ගෙන එයි.

චාලි (ඩේවිඩ් ගුල්පිලිල්) බැලූ බැල්මට නිදහසේ ජීවත් වුවද ඔහුගේ සාම්ප්‍රදායික දඩබිම් හා සිරිත් විරිත් සියල්ලම සුදු මිනිසා විසින් ආක්‍රමණය කරන ලදුව ඇත. ඒ වෙනුවට ඔවුනට ජීවත් වීම සඳහා සහනාධාර මුදලක් ඔවුන් වෙතට ලබා දෙයි. එහෙත් හැම විටම ඔවුන් දෙස බලනුයේ අපරාධකරුවන් හැටියටය. ඔවුන්ගේ සම්ප්‍රදායික අවිය පවා සුද්දන්ට නීති විරෝධීය.

මෙවර තරගකාරී අංශයේ චිත්‍රපට අතර බොහෝ දෙනාගේ අවධානය දිනූ ටිම්බුක්ටු සමකාලීන ලෝකයේ තවත් පැතිකඩක් විග්‍රහ කළේය. ටිම්බුක්ටු යනු සහරා කාන්තාරයේ එක් කෙළවරක ඇති මාලි රාජ්‍යයේ කුඩා ගම්මානයකි. ටිම්බුක්ටු චිත්‍රපටය නියෝජනය කරන ලද්දේ අපි‍්‍රකානු රාජ්‍යයක් වූ මාලි දේශයයි. එයට යාබද මොරිටේනියාව ද ටිම්බුක්ටු චිත්‍රපටයට හවුල් විය. එය අධ්‍යක්‍ෂණය කරන ලද්දේ මාලි දේශයේ සුප්‍රකට සිනමාකරුවකු වන අබ්දෙර්මාන් සිස්සාකෝය. ඔහුගේ මෙම චිත්‍රපටය මෙවර කාන් සිනමා උළෙලේ ද හොඳම චිත්‍රපටයක් ලෙස නිර්දේශ වූවකි. ටිම්බුක්ටු ගම්මානයේ කුඩා පවුලක් වටා ගෙතෙන මේ චිත්‍රපටය පුරා දිව යනුයේ වර්තමානයේ අපි‍්‍රකාව කේන්ද්‍ර කොට ගෙන ගොඩ නැඟෙන ඉස්ලාමීය ජිහාද් අන්තවාදීන් පිළිබඳවය.

ඉතා නිරවුල් ජන ජීවිතයක් ගෙවන කිදාග්, ඔහුගේ භාර්යාව සතිමා හා ටෝයා නම් දියණියගේ ජීවිත සියල්ල වෙනස් කරලනුයේ එම ගම්මානය අන්තවාදීන් විසින් අල්ලා ගත් පසුවය. ඔවුහු සංගීත, නැටුම් ඇතුළු විනෝදාස්වාදයන්ද, දරුවන්ගේ අධ්‍යාපනයද වෙනස් කරලති. ඔවුන්ගේ දඬුවම් දැඩි පීඩාකාරය. එමෙන්ම කෲරය. ඔවුන් විසින් බලහත්කාරයෙන් පවරනු ලබන ෂරියා නීතිය යටතේ ගම්වාසීන් පීඩාවට පත් වෙති. මේ අතර කිදාන් අතින් තවකෙකු මරණයට පත් වෙයි. එය යුක්තිය පිළිබඳ නඩු විසඳීමක් නොවේ.

සහරා කාන්තාරයේ දූවිල්ලත් ගිනි රස්නයත්, කටුක පරිසරය සමඟ මිනිස් ජීවිතය විදාරණය කරන්නට සිනමාකරු ගන්නා උත්සාහය විශිෂ්ට එකකි. බලහත්කාරයෙන් පටලනු ලබන නීති සමඟ බිඳ වැටෙන මනුෂ්‍ය හැඟීම් සිනමාකරු ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනුයේ එය වාර්තාවක් බවට පත් නොකර ගනිමිනි.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ චිත්‍රපටය සඳහා ලතින් අමෙරිකානු රටක් වන උරුගුවේ දේශය තෝරා ගෙන තිබුණේ මිස්ටර් කැප්ලන් නම් හාස්‍යොත්පාදක චිත්‍රපටයයි. එය අධ්‍යක්‍ෂණය කරන ලද්දේ තරුණ සිනමාකරුවකු වන අල්වාරේ බ්‍රෙච්නර් ය. බ්‍රෙච්නර් මෙවර ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල සඳහා පැමිණියේ ඔහුගේ කැමරා ශිල්පියා වන ඇල්වාරෝ ගුයිටර්ක් සමඟය. දෙදෙනාම ඇල්වාරෝලා වූ බැවින් චිත්‍රපටය මෙන්ම ඔවුන්ගේ හඳුන්වා දීමද විනෝද ජනක විය.

මිස්ටර් කැප්ලන් චිත්‍රපටයට පාදක වනුයේ ජාකොබ් කැප්ලන් නම් වයෝවෘද්ධ මිනිසකු වටාය. යමක් කමක් ඇති ඔහු වටා සිටින බොහෝ දෙනා යුදෙව්වන්ය. හැත්තෑ හත් හැවිරිදි ඔහුගේ වෑයම ජීවිතයේ අවසාන භාගයේදී වුව ලෝක ප්‍රසිද්ධ මිනිසකු වීමය. වසර ගණනාවක් ඇමේසන් වනාන්තරයේ සැඟව සිටි ජර්මානු යුද අපරාධකරුවකු තරුණයකු විසින් අහම්බෙන් සොයා ගනු ලදුව ඊශ්‍රායලයට ගෙන ගිය පුවත ඔහුට හොඳ උත්තේජනයක් සපයයි.

මේ අතර වාරයේ කැප්ලන්ගේ යොවුන් මිණිබිරිය වෙතින් දැන ගනුයේ උරුගුවේ වෙරළබඩ හුදකලා අවන්හලක් පවත්වාගෙන යන ජර්මානුවකු පිළිබඳවය. මේ පුද්ගලයාගේ අමුතු ගතිගුණ හා වයස අනුව ඔහු ජර්මානු යුද අපරාධකරුවකු බැව් කැප්ලන් අනුමාන කරයි. දැන් ඔහුගේ වෑයම මේ ශක්තිවන්ත ජර්මානුවා කෙසේ හෝ ඊශ්‍රායලයට පැහැරගෙන යාමය. ඒ සඳහා උදව් උපකාර ගන්නේ ඒ වන විට, අහක යන ලෙඩක් නිසා රැකියාව අහිමිව, එබැවින්ම බිරිය දරුවන් සමඟ හැර ගොස් සිටින බේබදු පොලිස් නිලධාරියෙක්වය.

ඔවුන් දෙදෙනා එක්ව ජර්මානුවා පැහැර ගෙන ඊශ්‍රායලයට ගෙන යෑමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම විටෙක ඉතා ගැඹුරු හාස්‍යයෙන් යුතුව ගොඩ නගනුයේ මානව සබඳතා පිළිබඳ අපූරු විවිරණයක් ගෙන එමිනි. මෙවර ලෝක සිනමා අංශය මඟින් නියෝජනය කරන ලද ඊශ්‍රායල් චිත්‍රපටය වූයේ ද ඩිරෙක්ටර්ස් ඇන්ගස්ට් චිත්‍රපටයයි. කලකට ඉහත මෙරට සිනමාශාලාවල පැල්බැඳ ගෙන දිවූ නැනා ලෙමන් පොප්සිකල් වැනි චිත්‍රපට නිර්මාණය කරන ලද ඩෑන් වෝල්මන් මෙහි අධ්‍යක්‍ෂවරයාය. වෝල්මන් පසු කලක නිර්මාණය කරන ලද ද ඩ්‍රීමර්, ෆ්ලොච්, හයිඩ් ඇරන්ඩ්සීක් වැනි චිත්‍රපට කාන්, බර්ලින්, වැනිස් වැනි සිනමා උළෙලයන් හි ඉහළින් පිළිගනු ලැබිණ. වෝල්මන් වර්තමානයේ ඊශ්‍රායලයේ සිටින වැදගත් ජ්‍යෙෂ්ඨ සිනමාකරුවකු ලෙස සලකනු ලබයි.

ඉතාම අපූරු දේශපාලන ප්‍රහසනයක් වන ද ඩිරෙක්ටර්ස් ඇන්ගස්ට් ගාධි නම් තරුණ සිනකමාකරුවකු වටා ගෙතුනකි. ඔහු සිය මුල්ම චිත්‍රපටය වන ද සර්ජරි තිරගත කරවීම සඳහා සිනමා ශාලාවකට පැමිණෙයි. චිත්‍රපටය සඳහා ශාලාව වෙන් කරනු ලැබුවද ඒ සදහා සිනමා ශාලාවෙන් පෝස්ටරයක් ගසා දීමෙන් හෝ සහයෝගය ලබා දී නැත. චිත්‍රපට කෑන් පෙළ ප්‍රක්ෂේපණාගාරයට ඔසවා ගෙන යනු ලබන්නේද ඔහු විසින්මය. ඒ වනවිට සිනමා ශාලාව ඩිජිටල්කරණය වී ඇති අතර, චිත්‍රපටය තිරගත වනුයේ ඊළඟ සතියේ සිනමාහලෙන් ඉවත් කිරීමට නියමිත ප්‍රක්ෂේපණ යන්ත්‍ර මඟිනි.

එතැන් පටන් ගාඩි නිර්මාණය කරන ලද සර්ජරි චිත්‍රපටය ද සිනමාකරුවාගේ ජීවිතය ද සමගාමීව තිරයේ දිග හැරේ. ඩෑන් වොල්ටන් සමකාලීන සමාජ දේශපාලන රටාව පමණක් නොව සමකාලීන සිනමා ක්ෂේත්‍රය ද දරුණු උපහාසයකට ලක් කරයි. ලෝකයේ තරුණ සිනමාකරුවන් මුහුණ දෙන පොදු ගැටළුවල සමානකමත් මෙන්ම සමතුලිත සිනමා දේශපාලනය පවා ලොව පුරා සමාන ලකුණු පහළ කරන බැව් සිනමාකරු අපට පසක් කර දෙයි.

කසකස්තානය නියෝජනය කරමින් තරගකාරී අංශයට එක් වුණ ද ඔව්තනර්ස් අධ්‍යක්ෂණය කරන ලද්දේ අධිකාන් යර්සනොෆ්ය. ඔහුගේ ද ඕවනර්ස් කාන්, එඩින්බරෝ, ටොරොන්ටෝ සහ වැන්ක්වර් යන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලයන් නියෝජනය කරන ලද චිත්‍රපටයකි. මේ චිත්‍රපටය මව්පියන් අහිමි වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සහ බාල නැගණිය තම මව්පිය උරුමයෙන් ලද නිවෙස සොයා යන පුවතකි. ඒ වන විට එම නිවෙස ලබාගැනීම සඳහා එම ගම්පතියා සහ ඔහුගේ බේබදු සහෝදරයා වෑයමකය. නීතියේ හෝ යුක්තියේ සම්මුතියක් නැති මේ ගම්මානය හද්දා පිටිසර එකකි. මිනිසුන් ආසාවන් පසුපස ලුහුබඳී. එහෙත් සියළු මිනිසුන් ආසාවන් පසුපස ලුහුබඳිනුයේ කවර හේතුවකින්ද? ඔවුන්ගේ අවසානය කෙබඳුද? එම චිත්‍රපටය පුරාම අධිනාටකීය ප්‍රවේශයක් ගොඩ නංවා ගනිමින් මේ සිනමා කෘතිය ඉතා ගැඹුරු මානව ධර්මතාවයක් කියා දුන්නේ විවාදසම්පන්න ආකාරයෙනි. මෙහිදී සිනමාකරුවාගේ භාවිතය ඉතා ඉහළ අගයක් ගත්තේය.

මේ සිනමා කෘති අතර වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපටයක් වනුයේ පෝලන්ත චිත්‍රපටයක් වන ඉඩාය. පාවෙල් පව්ල්කොව්ස්කි අධ්‍යක්ෂණය කරන ලද එය ටොරොන්ටෝ උළෙලේදී ෆිප්‍රෙස්කි සම්මානය ද, ලන්ඩන් සිනමා උළෙලේදී සහ වෝර්සෝ සිනමා උළෙළයන් හි හොඳම චිත්‍රපටය ලෙස ද සම්මාන දිනූවකි. ඉඩා චිත්‍රපටය 18 හැවිරිදි කන්‍යා සොහොයුරියක් වන ඇනා වටා ගෙතුනකි. චිත්‍රපටයට පාදක වනුයේ 1962 වසරයි. මව්පියන් අහිමි ඇයට සිටින එකම ඥාතියා වැන්ඩාය. ඇය මවගේ සොහොයුරියයි. කිසි කලක නුදුටු තම පුංචි අම්මා සොයා යෑම ඇනාට සිය ජීවිතය පිළිබඳ හෙළදරව්වට මඟපෑදීමක් වෙයි. නාසින් විසින් තම මාපියන් මරා දමා ඇත්තේ ඔවුන් යුදෙව්වන් බැවිනි. බේබදු අයාලේ යන ගැහැනියක වූ වැන්ඩා හා කන්‍යාරාමයක හැදෙන ඇනා අතර ඇතිවන සබඳතාව අපූරු එකකි. ඇයගේ සැබෑ නම ඇනා නොව ඉඩා බව ඇය දැන ගන්නේ ද එහිදීය. එපමණක් නොව තම යුදෙව් අනන්‍යතාවය ඈ දන්නේ එවිටය. දෙවන ලෝක මහා සංග්‍රාමය නිමා වී වසර ගණනාවක් ගත වුව ද, සිනමාකරුවන් තවමත් එහි විවිධ පැතිකඩයන් හෙළිදරව් කරති. එක වෙඩිල්ලක් හෝ පත්තු නොකර යුද්ධය පසුබිම් කරන ඉඩා එයින් පසු එළැඹෙන යුගයක සබඳතාවන් විවරණය කරයි.

තවත් විශිෂ්ට චිත්‍රපට ගැන

ලබන සතියේ