|
පෝය නාට්‍යවල රඟපෑම එක පැත්තකින් පිනක්
1984 වර්ෂයේදී තම ඥාති සහෝදර ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකාඅධිපති’ වේදිකා නාට්‍යයෙන් රංගනයට පා තැබූ ඔහු අප කාටත් දැක පුරුදු තිස්ස බණ්ඩාරනායකය. සිත නිවන කතා, සංසාරේ පිය සටහන්, විදර්ශනා වැනි නාට්‍යවල රඟපාමින් කලා ජීවිතයේ වසර තිහක අත්දැකීම් ලැබූ ඔහු රංගන ශිල්පියෙකු ලෙස වැඩිපුරම දායක වී ඇත්තේ භික්ෂූන් වහන්සේගේ චරිතයන්ටය. භික්ෂූන් වහන්සේගේ චරිතය තුළින් අනන්‍යතාවක් ගොඩ නැඟා ගත් ඒ සොඳුරු කලාකරුවා සමඟ සරසවිය කළ පිළිසඳරකි මේ. * ඔබගේ කලා දිවියට දැන් වසර තිහක් . කොහොමද ඒ අත්දැකීම? කලාවට පා තබපු දා සිට ඉදිරියටම පැමිණියා මිසක ආපසු හැරීමක් තිබුණේ නෑ. සාර්ථක සෙමින් ගමනක් පැමිණියා මේ වෙනකොට. මම වේදිකා නාට්‍ය ති‍්‍රත්වයකත්, චිත්‍රපට අටකත්, ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකටත් දායක වෙලා තියෙනවා. ඒ අතර සුවිශේෂත්වය තමයි මේ වන විට භික්ෂූන් වහන්සේගේ චරිත 130 ක් රඟපාලා තිබීම. ඊට අමතරව වෙනස් චරිත පහළොවකට ආසන්න ප්‍රමාණයක් රඟපාලා තියනවා. ඉතින් ඒ අත්දැකීම ජීවිතයේ ලොකු වෙනසක් කළා කියලා කියන්න පුළුවන්. පොඩි කාලේ කලාකරුවෙක් වෙනවා කියන එක ආර්ථික වශයෙන් දැන දැන අමාරුවේ වැටෙනවා වගේ වැඩක් කියලා අපේ ඔළුවට වැටිලා තිබුණත් දැන් එහෙම අදහසක් නෑ. රඟපෑම නිසා මම දැන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. * ඔබ භික්ෂූන් වහන්සේගේ චරිත රඟපාන සෙසු රංගන ශිල්පීන් අතර ඉදිරියෙන්ම සිටිනවා. භික්ෂුවකගේ චරිතය රඟපෑම ඔබට අභියෝගයක් වෙලා නැද්ද? අභියෝගයක් තියෙනවා. භික්ෂු චරිතයක් රඟදක්වනවා කියන එක සිතන තරම් ලෙහෙසි දෙයක් නොවේ. ඒක හැම කෙනෙකුටම කරන්න අමාරුයි. මුල් කාලයේදී තිස්ස අබේසේකර, ජේ. එච්. ජයවර්ධන වැනි භික්ෂු චරිත රඟපාපු අයගේ චිත්‍රපට නැරැඹුවා. ඒ චරිත පිළිබඳ හැදෑරුවා. භික්ෂුවක් කීවාම එය එකම රාමුවක් නොවේ. විවිධ වූ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. රැඩිකල් භික්ෂු චරිත, විීර චරිත, සීලවන්ත චරිත, මාර්ග ඵලයක් ලබපු චරිත, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන චරිත ආදිය ඒ තුළ අන්තර්ගතයි. මම මේ සියලු චරිත රඟපාලා තියෙනවා. මම රඟපාපු භික්ෂු චරිත නිසා සංවේදීව අඬපු රසිකයෝ මට හමු වෙලා තියෙනවා. මම රඟපෑ බෞද්ධ හාමුදුරු චරිතවලින් ජීවිතයට යහපත් පුරුදු ඇති කරගත් පුද්ගලයන් මුණගැසී තිබෙනවා. මට හොඳ අධ්‍යක්ෂවරු, නිර්මාණ හමුවෙලා තියෙනවා. ඒ අතර අසාර්ථක වුණු, තිරගත නොවූ නාට්‍යයත් තිබෙනවා. නමුත් ඒ කිසිම නිර්මාණයක මම රඟපාපු චරිතය අසාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. භික්ෂු චරිතය රඟපෑමේ අභියෝගය ජය ගත්තා කියලා මට ලොකු විශ්වාසයක් තිබෙනවා. * ඔබ භික්ෂු චරිතයට පමණක් කොටු වුණු රංගන ශිල්පියෙක් නොවේ කීවොත් මම නිවැරැදිද? ඔව්. සමහරු කියනවා මම භික්ෂු චරිතයට පමණක් සීමා වෙලා කියලා. ඒත් එක වැරැදියි. මම හැම භික්ෂු චරිතයක් තුළම වෙනසක් කළා. සිවුර තුළ ඒකාකාරීව නොසිට විවිධ පැතිකඩවල් මම නිරූපණය කළා. හැමෝම මේ චරිතය තුළ තියෙන සංකීර්ණ බව තේරුම් ගන්නේ නෑ. සීලවන්ත සංසුන් හාමුදුරුවන්ට වඩා රැඩිකල් විදියට ක්‍රියා කරන නොබියව කතා කරන වීර භික්ෂු චරිතය වෙනස්. ගුරුකම් කරන හාමුදුරුවෝ ඊට හාත්පසින්ම වෙනස්. මේ වගේ වෙනස් භික්ෂු චරිත ඇතළේ මම සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඒක ඒ චරිතයට කොටුවිමක් කියලා කියනවට මම එකඟ නෑ. * භික්ෂු චරිත ඇරෙන්න ඔබ වෙනස් චරිත රඟපාලා තියෙනවා. භික්ෂු චරිතය හා වෙනත් චරිත රඟපෑමේදී දැනුණු වෙනස කෙබඳුද? වෙනස් චරිතයක් රඟපාන්න ලැබුණා කියන්නේ මගේ අත පය බැමිවලින් ලිහලා දැම්මා වගේ වැඩක්. අත පය දිග ඇරලා හොඳට රඟපාන්න පුදුමාකාර නිදහසක් ලැබෙනවා වෙනස් චරිත ඇතුළේ. ඒක හරියට පොඩි මාළු ටැංකියකට දාපු මාළුවෙක් එකපාරට ලොකු මාළු ටැංකියකට දැම්මා වගේ නිදහසක් . මම එහෙම චරිත දැනට දොළහක් විතර කරලා තියෙනවා. තුෂාරි අබේසේකරගේ ‘හෝපලු අරණ’ ටෙලි නාට්‍යයේ ඇන්ටො අයියා කියලා ලොරි ඩ්‍රයිවර් කෙනෙකුගේ චරිතයක් කළා. ලොරි ඩ්‍රයිවර් කෙනෙක් විදියට ලේන්සුව කරේ දාගෙන මම රඟපාන කොට නාට්‍ය බලපු ගොඩක් අය කිව්වා මාව හඳුනගන්නත් බෑ කියලා. ඒ නාට්‍යය රයිගම් සම්මාන උළෙලේ සම්මානත් හිමි කර ගත් නාට්‍යයක්. දයාරත්න රටගෙදරගේ ‘නිල් දිය යහන’ චිත්‍රපටයේ පත්තර කර්තෘතුමකුගේ චරිතය රඟපෑවා. ආනන්ද අබේනායකගේ නාට්‍යයක මිනී පෙට්ටි සාප්පුවක වැඩ කරන චරිතයක් රඟපෑවා. තාමත් විකාශය වෙලා නැති තුෂාරි අබේසේකරගේ ‘ශ්වේත ගං තීරය’ ටෙලි නාට්‍යයේ පුංචිරාළ කියන තොටියගේ චරිතය මම රඟපානවා. ඒක මම ආසාවෙන් රඟපාපු වෙනස් චරිතයක්. ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ ‘සිටු මැදුර’ ටෙලි නාට්‍යයේ වංචනික නීතිඥයෙකුගේ චරිතයක් කළා. ඔහුගේම ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයේ දේශපාලන චරිතයක් කළා. ඒක දැකපු අය මෙතෙක් කරපු හොඳම රඟපෑම කියලා මට සුභපැතුවා. භික්ෂු චරිතය ඇතුළේ අත පය හසුරුවන විදිය, කතා කරන විදිහේ ලොකු විනයක් තියෙනවා. මනා ශික්ෂණයක් තියෙනවා. මට මතකයි සංසාරේ පිය සටහන් ඒකාංගික ටෙලි නාට්‍යයේ රූගත කිරීමකදී මට කිව්වා මගේ නළල රැලි කරන් නැතුව භික්ෂු චරිතය රඟපාන්න කියලා. කටින් හිනාවෙන්නේ නැතුව මුහුණින් හිනාව පෙන්නුම් කරන්න කියලා. වරදක් කරපු ළමයෙකුගේ ඔළුව අතගාලා ඇයි පුතේ හොරකම් කරන්නේ කියලා අහන කොට ඒ තුළ ලොකු කරුණාවක්, ඉවසීමක් තියෙනවානේ. ඒ අනුව බලන කොට වෙනස් චරිතයක් තුළ මම පුදුම නිදහසක් භුක්ති විඳිනවා. * ඔබගේ රඟපෑමට පසුගිය වසරක සම්මාන හිමි වුණා. ඒ ගැන සඳහන් කළොත්? 2012 වසරේදී ආනන්ද අබේනායකගේ ‘තක්සලාව’ ටෙලි නාට්‍යයේ රඟපාපු භික්ෂු චරිතයට සුමති, රයිගම් හා රාජ්‍ය ටෙලි සම්මාන උළෙල ත්‍රිත්වයෙන්ම හොඳම සහාය නළුවාට හිමි සම්මානය මට ලැබුණා. ඒක මගේ 84 වැනි භික්ෂු චරිතය. දරිද්‍රතාවෙන් පිරුණු දුප්පත් ගමක ළමයින්ට පාසලක් හදලා දෙන්න නොබියව ක්‍රියා කරන රැඩිකල් භික්ෂු චරිතයක් මම එහි නිරූපණය කළා. මේ වසරේ සංසාරේ පිය සටහන් ඒකාංගික ටෙලි නාට්‍යයට වසර 21 ක් පිරීම නිමිත්තෙන්. එයට වැඩිපුරම සම්බන්ධ වුණු, වටිනාකමක් එකතු කරපු හතර දෙනෙකුට කළ සේවය අගයා සම්මාන ලබා දුන්නා. එහිදී මටත් සම්මානයක් හිමි වුණා. ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන, චාන්දනී සෙනෙවිරත්න තමා සම්මාන ලැබූ සෙසු අය. ක්ෂේත්‍රයේ දැවැන්තයෝ අතර මම වැනි සාමාන්‍ය රංගන ශිල්පියෙකුට ලැබුණු ඒ ඇගයීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මම රඟපෑ 50 වැනි භික්ෂු චරිතයෙන් භික්ෂුවගේ චරිතය සඳහා සමු දෙන්න මම උත්සාහ කළත් ඉන් නතර නොවී රඟපෑ 84 වැනි භික්ෂු චරිතයට සම්මානයක් හිමිවීම ගැනත් ලොකු සතුටක් තියනවා. * මෙතෙක් රඟපාපු නාට්‍ය අතර වඩාත් කැමැති කුමන නාට්‍යයවලටද? එහෙම විශේෂ කැමැත්තක් නම් නෑ. ‘සංසාරේ පිය සටහන්’ නාට්‍යය මාලාවට මම කැමතියි. භික්ෂු චරිතයක් රඟපාමින් එයට සම්බන්ධවීමට ලැබීම මහඟු අවස්ථාවක් ලෙස මා සලකනවා. මම ගොඩක් ප්‍රිය කරන්නේ ඒකාංගික ටෙලි නාට්‍යවල රඟපාන්න. ආනන්ද අබේනායක අධ්‍යක්ෂතුමා නාට්‍යවලට තෝර ගන්නේ තෝරා බේරලා මිනිස්සුන්ට දැනෙන නාට්‍ය. එමඟින් සමාජයට විශාල මෙහෙවරක් වෙනවා. හොඳ පණිවිඩ ලබා දෙනවා. ඒ වගේ සමාජ මෙහෙවරක් කරන සංසාරේ පිය සටහන්, විදර්ශනා, සිත නිවන කතා වැනි නාට්‍යවල රඟපෑමට ලැබීම ලොකු භාග්‍යයක්. ඒක ඇත්තටම පිනක්. ඒ වගේම වෙනස් විදිහේ චරිත තියෙන වෙනස් නාට්‍යවල රඟපාන්නත් මම කැමැතියි. අධ්‍යක්ෂවරු මාව භික්ෂු චරිතවලටම තෝරා ගන්නේ නැතිව වෙනස් චරිතවලටත් තෝරා ගන්නවා නම් මම තවත් කැමැතියි. * මෙතෙක් ආපු කලා දිවියේ හදපිරි ස්තුතිය පුද කළ යුත්තේ කාටද? මගේ මුල්ම ගෞරවණීය ප්‍රණාමය හිමි වෙන්නේ මාව රංගනයට යොමු කළ මගේ ගුරුවරයා වන ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂතුමාට. එතුමා තමයි මාව රංගනයට හැකියාව තිබෙනවා කියලා හඳුනාගෙන භික්ෂු චරිතයක් මට පළමුව භාර දුන්නේ. එතුමාගේ භවදුක චිත්‍රපටයේ මගේ රංගනය දැකලා සන්තුෂ ලියනගේ මහත්මයා මාව ඔහුගේ ‘කාහල නාදය’ ටෙලි නාට්‍යයේ භික්ෂු චරිතයට කතා කළා. ඒක මගේ දෙවැනි ටෙලි නාට්‍යය. එහි උප ප්‍රධාන චරිතයක් මම නිරූපණය කළා. ඔහුටත් මගේ ස්තුතිය පුද කරනවා. ආනන්ද අබේනායක අධ්‍යක්ෂතුමා යටතේ තමයි මම වැඩිපුරම රඟපාලා තියෙන්නේ. එතුමා නිසා මට සම්මාන පවා හිමි වුණා. එතුමාටත් මගේ ගෞරවණීය ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම දයාරත්න රටගෙදර අධ්‍යක්ෂතුමාටත් මගේ ස්තූතිය හිමි වෙනවා. කිසිදු දැන හැඳුනුම්කමකින් තොරව මාව විශ්වාස කරලා ‘හෝපලු අරණ’ ටෙලි නාට්‍යයේ වෙනස් චරිතයක් රඟපාන්න ආරාධනා කරපු තුෂාරි අබේසේකර මහත්මියවත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනෑ. එතුමියටත් මගේ ස්තුතිය හිමි වෙනවා. ක්ෂේත්‍රයේ මුල් යුගයේදී මට උදව් කළ සියලු දෙනාටත්, මගේ බිරිඳ ඇතුළු පවුලේ සැමටත් කී නොකී මට සහාය වූ සැමටත් මේ මොහොතේ ස්තූතිය පුද කරනවා. * ඔබගේ පෞද්ගලික තොරතුරුත් සඳහන් කරමු? බිරිය චාන්දනී කරුණානායක. දුවලා දෙන්නෙක් ඉන්නවා. දිනේත්‍රා ලොකු දුව. කෙත්මිණි පොඩි දුව. දෙන්නම තවම ඉගෙන ගන්නවා. මම පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩ . ලිපිනය නො. 16/1, ජය මාවත, මාකොළ දකුණ, මාකොළ.
|