වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබමයි ආවේ – ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි

ගේයපද රචකයෙක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

ඔබමයි ආවේ – ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි

ගී පද රචක කුමාර ලියනගේ

අතීතය සොයා යන ගමනේදී මෙවර ‘මතක ගී පොතට’ සහභාගි වන්නේ කුමාර ලියනගේයි. ගුවන් විදුලියට කවි රචනා කිරීමෙන් නිර්මාණකරණයට අත්පොත් තබන කුමාර පළමු කවි පොත වන ‘විමානයෙන් බසිනු මැනවි’ එළි දක්වන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස ඉගෙන ගනිමින් සිටියදීය. අමරදේවයන් පළමුවරට ඔහුගේ ගීත දෙකක් ගායනා කරන්නේ ජාතික රූපවාහිනියේ ‘ආනන්ද රාත්‍රිය සඳවතිය’ නම් වැඩසටහන සඳහාය. එතැනින් ඇරැඹුණු ඔහුගේ නිරමාණ දිවියේ දී රචනා කළ ‘අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී’ හා ‘මින්දදයෝ ඇවිදින්’, ‘අළුකොබෙයියනේ’, ‘ජීවිතය ගිනිගත් රත්මලේ’, ‘පද්මා පද්මිණී පාතිමා’ ඇතුළු ගීත රැසක්ම අසන්නන් අතර ජනප්‍රිය විය.

පසුගිය දිනෙක මා අවිස්සාවේල්ල නගරයට ගියේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහාය. කඩිමුඩියේ දුවන මිනිස්සුන්ගෙන් පිරී ඉතිරුණු අවිස්සාවේල්ල නගරයේ වූයේ කලබලකාරී බවකි. මීට වසර කිහිපයකට ඉහත අප විසූ මේ ප්‍රදේශයේ වූ සරල බව හා සන්සුන් බව අද වන විට පලා ගොසිනි. ගොඩනැඟිලි රැසකින් ගහනය වූ මුළු නගරයම කොන්ක්‍රිට් පුරවරයක සිරි ඉසිලීය. මගේ සිත දිව ගියේ ඒ අතීතයේ වූ නගරය සොයායි.

එවිට එකල වූ අවිස්සාවේල්ල නගරයේ කර්මාන්ත පුරයට පිවිසෙන මාර්ගය ආසන්නයේ පිහිටා තිබූ අවමංගල ශාලාව ද මගේ මතකයට පිවිසියේ සැනෙනි. එය අද ගරා වැටුණු ගොඩනැඟිල්ලක් බවට පත්ව තිබෙන අයුරු මම දැක ගතිමි. කොළඹ මල් ශාලාවේ ශාඛාවක් වූ මෙය එනමින්ම හැඳින් වූ අතර ඒ හා සම්බන්ධ අපූරු කතා කිහිපයක් මගේ මතකයේ තැන්පත්ව ඇත. ඒ එක් කතාවක් බැඳී ඇත්තේ මා අද දක්වා ප්‍රිය කරන ‘දුරකථනයකින් මම ඔබ අමතමි’ ගීතය සමඟය.

ඒ වන විට හතර වසරේ ඉගෙනුම ලැබූ කුඩා දරුවෙක් වූ මම එදා පටන්ම මේ ගීතයට දැඩි සේ ප්‍රිය කළ තැනැත්තෙක්මි. මේ හුරුව මට ලැබෙන්නට ඇත්තේ අන් කිසිවෙකුත් නිසා නොව මගේ ලොකු අක්කා නිසා බැව් මට පසක් වන්නේ වැඩුණු මිනිසෙක්ව සිටින මෙකලය. ඒ යුගය බොහෝදෙනා ගීතයට බෙහෙවින් ප්‍රිය කළ යුගයකි. ඒ පිබිදීම කෙතරම් ද යත් කුඩා දරුවෝ වූ අපි ද ගීත පිළිබඳ සෙවීමට තරම් උත්සුක වීමු. ඊට මටත් වඩා වැඩි වටිනාකමක් ලබා දුන්නේ ලොකු අක්කාය. නිතරම මේ ගීත ඈ එක්සයිස් පොතක ලියන අයුරු මම දැක ඇත්තෙමි. මට ද මෙලෙස ගීත ලියූ එක්සයිස් පොතක් විය. අප ගීත එකතු කළේ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ගීත සටහන් කරගැනීමෙන් පමණක් නොවේ.

ඒ අවධියේ මල් පියලි ප්‍රකාශකයන් ප්‍රකාශයට පත් කළ මල් පියලි ගීත පොත් එකතු කිරීමෙන් ද අපි මහත් ආශ්වාදයක් ලැබීමු. ඒ ගීත පොත්වල විශේෂත්වය වූයේ ගීත පළ කිරීමට පමණක් සීමා නොවීමය. එහි හඳුන්වා දෙන ගායකයාගේ කලා ජීවිතය හා සම්බන්ධ සොඳුරු විස්තර ද මගේ දැනුම පෝෂණය කිරීමට ඉවහල් වූ බව නොරහසකි. ඉන් උද්දාමයට පත් වී සිටි අපි සංගීත සන්දර්ශන හා නාට්‍ය නැරැඹීම සඳහා අවිස්සාවේල්ලට පැමිණීමට පුරුදු පුහුණු වී සිටියෙමු. අප ජීවත් වූ ඇස්වත්ත ග්‍රාමයේ සිට සැතපුම් හයක් පමණ දුර ගෙවා පැමිණෙන අපගේ මේ ගමන්වල නඩය සෑදුණේ පුංචි අම්මාගේ පවුලේ සියල්ලන්ගෙන්ම හා අපේ පවුලේ සියල්ලන්ගේ ද එකතුවෙනි. අම්මාගේ ගම වූ ඇස්වත්තේ සිට පැමිණෙන මෙවැනි ගමන් සියල්ලන්ටම බොහෝ ආශ්වාදජනක විය. එසේ පැමිණි මගේ මතකයේ ලියැවුණු එක් ගමනක් වූයේ අවිස්සාවේල්ලේ මල් ශාලාවක විවෘත කිරීමය.

එහි අයිතිකරු අපූරු මිනිසෙකු වූ අතර කලාවට ළැදි කලාකරුවන් ළඟින් ඇසුරු කළ අයෙක් විය. මේ ශාලාව විවෘත කිරීම ඔහු කළේ අපූරු ආකාරයටය. දෙමහල් ගොඩනැඟිල්ලක් වූ එහි පහළ මල් ශාලාව ආරම්භ කළ අතර, ඉහළ මාලයේ තිබුණේ මංගල ශාලාවක් බව මට යාන්තමට මතකය. එදින එහි තිබූ විශේෂත්වය වූයේ ඉහළ මාලයේ සංගීත සන්දර්ශනයක් පවතින බව ප්‍රචාරය වීමය.

පහළ මාලයේ අවමංගල්‍ය ශාලාවේ අවමංගල්‍යයකට අවශ්‍ය බඩු බාහිරාදිය දක්නට වූ අතර පැමිණෙන සෑම කෙනෙකුටම පෙනෙන්නට තබා තිබුණේ විවෘත කරන ලද මිනී පෙට්ටියකි.

‘අද දින මිය යන කෙනෙකුට මිනී පෙට්ටිය නොමිළේ’

යන කියමනක් ද එහි ගසා තිබීම එතැනට පැමිණෙන සියල්ලන්ම පුදුමයට පත් කිරීමට සමත් විය. එපමණක් පමණක් නොව අප පුදුමයට පත් කළ අනෙක් කරුණ වූයේ ඉහළ මාලයේ තබන්නට නියමිත වූ සංගීත සන්දර්ශනය පිළිබඳය. ජීවිතය මධ්‍යයේ මරණයත්, මරණය මධ්‍යයේ ජීවිතයත් තිබෙන වග හඟවන්නට මෙන් පළ කෙරුණු ඒ කටයුත්තට සහභාගි වූ වැඩිහිටි, තරුණ, කුඩා බොහෝ දෙනාගෙන් ශාලාව පිරී ගියේ සැනෙනි. ඒ අය අතර අපි ද වීමු.

මේ නිසා සංගීත සන්දර්ශනය මගේ මතකයේ සදා නොමියෙන අයරෙන් තැන්පත් වූ අතර එහි පැමිණී ගායකයා ද මේ සැමරුම මතකයේ තබා ගන්නට එක් කළේ අපූරු සිහිවටනයකි. ඒ අප කවදත් ප්‍රිය කළ සදාදරණීය ජෝතිපාලයන් මේ සංගීත සන්දර්ශනයට ගී ගයන්නට පැමිණීමය. බොහෝ කලක සිට මම ඔහුව සජීවීව දකින්නට ආශා කළෙමි. ඒ අවස්ථාව උදා වූවා මෙන්ම සියල්ලන් ඉදිරිපස කිසිදු ආඩම්බරයකින් තොරව ඔහු ගීත කිහිපයක්ම ගායනා කිරිම ද අප අමන්දානන්දයට පත් කළ කරුණකි. ඒ අතර ඔහු ගැයූ මේ ගීතය මගේ ජීවිතයටම අමතක නොවන අයුරෙන් හදවත පත්ලේ රැඳී ඇත.

දුරකථනයකින් මම ඔබ අමතමි
හමු විය නොහැකි නිසා
මගෙ හිත හඳුනන ඔබ පිළිගත්ත ද
ඇතැමුන් කියන මුසා

සයුරට රළ මෙනි
වෙරළට රැලි මෙනි
අප බැඳිලා උන්නේ
තොටුපළ හැරයන
නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි
මගෙ මුල් ගීතයෙ
තනුව කියා දුන්නා
යන එන හැමතැන
පහනක් අරගෙන
පසුපස පියමැන්නා

ඔබමයි ආවේ
ඔබමයි යන්නේ
මා එතැනම එහෙමයි
නිදුකින් ඉනුමැන
ඔබ සතුටින් නම්
මගෙ සතුට ද එයමයි

 

ගී පද – කරුණාරත්න අබේසේකර

සංගීතය - මෙල්රෝයි ධර්මරත්න

ගායනය – එච්. ආර්. ජෝතිපාල

මේ මල් ශාලාව මෙන්ම ගීතය හා බැඳුණු අනෙක් සිදුවීම නම් මගේ වැඩිමහල් සොහොයුරාගේ මරණයයි. මට වඩා වසර දෙකකට පමණ වැඩිමහල් වූ ඔහු අප අතැර ගියේ වසර තිස් තුනක් තරම් වූ යොවුන් වියේදීය. ඒ ලියුකේමියා රෝගය වැළඳීම නිසාය. කළුබෝවිල රෝහලේ සිටි ඔහු මිය ගිය වග ආරංචි වූ පුවත හදවත සසල කළේ අප ශෝක සයුරේ ගිල්වමිනි. මිනිය එම්බාම් කළ යුතු වූ බැවින් එය බාරදීමට අපි මල් ශාලාවක් සොයා ගියෙමු. ඒ අනුව ඔහුගේ මිනිය රෝහල අසල ඇති මල් ශාලාවකට බාර දුන් අපි අනෙක් කටයුතු සංවිධානය කිරීමට යුහුසුළු වීමු. ඒ වන විටත් ඔහුගේ අවසාන කටයුතු අවිස්සාවේල්ලේ කිරීමට තීරණයකට පැමිණ සිටි අපට අසන්නට ලැබුණේ අප පුදුම කළ කතා පුවතකි.

‘ඕගොල්ලන්ගේ මිනිය අවිස්සාවේල්ලේ මල් ශාලාවෙන් ගන්න. ඒක මේකේ ශාඛාවක්’

මම අක්කා දෙස බැලීමි. ඒ කුඩා කල අප සියලු දෙනාම විවෘත කිරීමට සහභාගි වූ ඒ මල් ශාලාවෙන් ඔහුගේ මිනිය ගැනීමට සිදුවීමය. අනෙක එහි තිබූ සංගීත සන්දර්ශනයේදී ජෝතිපාලගේ මේ ගීතය එකට ගයමින් රස විඳි අයුරු මගේ මතකයට නැඟී ආවේ ඉබේමය. එවැනි අතීත මතක රැසක් සපිරි මේ ගීතයත් සමඟ මගේ අතීතය බැඳී පවතින්නේ දෛවයේ සරදමක් ලෙසිනි’.

වික්ටර් රත්නායකයන් ගයන මේ ගීතය අසන සෑම අවස්ථාවකම මම සිතෙන් අතීතයට ගියෙමි.

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දිය කොට – කිරි වතුරෙන්
ඒ දියරෙන් මුවදෝවා
දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
මතකයි මා නැළවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට දිරි දී පණ දී
මා දැඩි කළ අම්මා

තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් සේ
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳි
ගෙන දී දිවියට
නව පණ ලැබදී
මා ඇති කළ අම්මා

 

ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය – වික්ටර් රත්නායක

ගායනය – වික්ටර් රත්නායක

මාපලගම - දෙල්ගහවලකන්ද පාරේ මඳ දුරක් පා ගමනින් ඇවිද ගෙන පැමිණි මම දැඩි අව් රශ්මියෙන් පීඬා වින්ඳෙමි. බස් ඇති ප්‍රධාන පාරට තවත් බොහෝ දුරක් යා යුතු බැවින් පාර අසල ඇති යෝධ රුක් සෙවනකට මුවා වුණු මට සිහිිපත් වූයේ මගේ ළමා කාලයයි.

අවිස්සාවේල්ලේ සිටි අප පසුව පදිංචිය සඳහා තෝරා ගත්තේ තාත්තාගේ ගම් ප්‍රදේශයයි. එකල අද මෙන් නොව මේ මාර්ගවල බසයක් ගමන් කළේ ඉඳහිටය. එහෙත් මාපලගම ප්‍රධාන පාරෙන් සැතපුම් කිහිපයක් ඈත පිහිටි දෙල්ගහවල කන්ද ග්‍රාමයට අප යා යුත්තේ පා ගමනෙනි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පාසල් යෑමට පෙර මාස කිහිපයක් පමණ මම අම්මා ඉගැන් වූ දොළහේන විද්‍යාලයට ඇය සමඟ අකුරු කරන්නට ගියෙමි. සැතපුම් හතරක් පමණ වූ ඒ ගමන් මාර්ගය පා ගමනෙන් ඇවිද ගිය අපි ඇවිද යන්නට නොහැකි වූ පාරවල් හා යම් තැනෙක වූ ගොඩැලි පසු කළේ කිසිදු අපහසුවකින් තොරවය. උදෑසන හයයි තිහට පමණ පටන් ගන්නා මේ ගමන යන්නට කිසිම දිනෙක මා අදිමදි කළ බවත් හෝ කම්මැලිකමක් පළ කළ බවක් මගේ මතකයේ නැත.

පාසල් යන ළමයින් දෙස බලමින්, පාරේ ගමන් කරන කරත්ත දෙසත්, උදෑසන වැඩට යන ගොවියන් හා ගෙවිලියන් දෙසත් බලමින් ගමන් කළ ඒ පා ගමනට මම බෙහෙවින් ප්‍රිය වීමි. තැනෙක තිබෙන ඈතට විහිද යන වෙල් යායත් එහි ඇති ළපටි ගොයම් පැළ අග දිලිසෙන පිනි බිඳුත්, වන වඳුලේ සැඟව ගී ගයන බට්ටිච්චන්ගේ නාදයත් මගේ සිතේ ඇති කළේ ප්‍රීතියකි. මේ සියල්ල නරඹමින් යන මට වෙහෙසක නෙදැනෙන තරම්ය. වරෙක අම්මා පසු කරමින් දිව යන මම අනෙක් වර අම්මාට වඩා පසු පසෙන් ගමන් කරන්නට පුරුදු වී සිටියෙමි. සමහර විටෙක ඇගේ ඇඟිල්ලේ එල්ලී ද ගිය ඒ අතීතය කෙතරම් සොඳුරු ද යන්න සිහිිපත් වුණු මගේ මුවඟට නැඟුණේ සිනහවකි. ඒ මෙවැනි මද්දහනක වුව ද කිසිම අපහසුවකින් තොරව එකල යන්නට හැකි වූ අයුරු සිහිවීමෙනි.

සමහර විට ඒ අම්මාගේ සෙනෙහසේ අරුමය හා අකුරු කරන්නට ඇති මගේ ආශාවත් යන කාරණා දෙකේම එකමුතුවේ ඵලයක් යැයි යන සිතුිල්ල එවේලේ මගේ සිතේ පහළ වූයේ නිතැතිණි. ඒ සිදුවීමක් සමඟ මේ ගීතය මගේ මනසේ විද්‍යාමාන වූයේ ඉබේමය. අම්මාගේ සෙනෙහසත්. ඒ සොඳුරු බාල කාලයත් සිහිපත් කරමින් මම ප්‍රධාන පාරට ඇවිද ආවේ තෘප්තිමත් හැඟීමෙනි.