වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මුදල් ආපසු ගෙවනු නොලැබේ

මේ මුදල් ආපසු ගෙවනු නොලැබේ

ලෝක සිනමාවේ උපන් දිනයට තව ඇත්තේ හරියටම සතියකුත් දවස් තුනකි. එනම් 2014 වසරේ දෙසැම්බර් 28 වැනිදාට ලෝක සිනමාවට අවුරුදු 119 කි. ඔගස්තේ සහ ලුවී යන ලුමියර් සහෝදරවරු 1895 දෙසැම්බර් 28 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ ඉන්ඩියානා ශාලාවේ සිය මුල්ම චිත්‍ර දර්ශනය පෙන්වද්දී එහි රැස් වූයේ අතැඟිලිවලට වඩා අඩු සෙනඟකි. ඒ මදිවාට ඒ දින කිහිපයේ පැරීසියට නොසෑහෙන්න සීතල වැඩි වුණි. ලුමියෙර් සහෝදරවරුන් සිය මුල්ම චලන චිත්‍ර දැක්ම හඳුන්වා දෙන ලද්දේ ‘සියවසේ ප්‍රාතිහාර්යය’ යනුවෙනි.

ප්‍රාතිහාර්යක් යනු අපූර්වත්වයකින් යුක්ත කටයුත්තකි. එහෙත් ඕනෑම ප්‍රාතිහාර්යක් එක දිගට පවත්වාගෙන යන විට එහි ඇති ගතිය කෙමෙන් මැකී යයි. එහෙත් සිනමාව දිනෙන් දින යාවත්කාලීන වෙමින් එකී ප්‍රාතිහාර්යය තවදුරටත් රඳවා ගෙන යන්නේය. ඇත්ත නම් සිනමාව 1903 වසර වන විට තවදුරටත් ප්‍රාතිහාර්යයක් ලෙස තිබුණේ නැත. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ රූපයෙන් කතා කියන්නට වෙර දැරූ විශ්ව භාෂාව පණ ගන්වා එයට හදවතක් දෙන්නට සමත් වනුයේ ඒ අවධියේය.

ඒ සඳහා එඩ්වින් එස්.පෝටර්, ජෝර්ජ් මේලිස් වැනි පුද්ගලයන් විවිධ ප්‍රයත්න ගත්හ. එය චලන චිත්‍රය ලොවට දායාද කළ ලුමියෙර් සහෝදරවරුන්ගේ පරිකල්පනයට එහා යමින් එයට නිර්මාණාත්මක ආකර්ෂණයක් ලබා දුන් වර්ගයේ ප්‍රයත්නයකි. සිනමාව මඟින් කතා නොකියන්නට එය මෙතරම් පුළුල් කර්මාන්තයක් නොවන වග මගේ හැඟීමයි. ලුමියෙර්ලාගේ පුරෝගාමීත්වයෙන් පසු එහි ශක්‍යතාව වටහා ගත් පැතේ සහෝදරවරු වැනි ව්‍යාපාරික සමාගම් එය ලොව පුරා ව්‍යාප්ත කළේය. ශත වර්ෂ එකහමාරකට පසු නූතන පරම්පරාවේ සන්නිවේදන, සමාජ ජාල මෙහෙයවනු ලබන සමාගම් මෙන්ම එදා සිනමා සමාගම් ද පැවති සම්ප්‍රදායික වෙළෙඳපොළ අතික්‍රමණය කළේය.

සාමාන්‍යයෙන් කෙරෙන පරිදි පසුගිය සති කිහිපයේදී මෙරට තැනෙන චිත්‍රපට කිහිපයක් නැරැඹීමට මට අවස්ථාව ලැබිණි. එක් චිත්‍රපටයක් සඳහා ප්‍රධාන පෙළේ සිනමාහලකට මා ගොඩවද්දී එහි දහ දෙනෙකුවත් සිටියේ නැත. මා චිත්‍රපටය නරඹන ලද්දේ ද හරියටම පැයකි. එය නැරඹීමට ඊට වඩා කාලය නාස්ති කිරීම නොකළ යුතුවිය. එයට මගේ මිතුරකු වූ සිනමාශාලා කළමනාකරුගෙන් මා විමසා සිටියේ සිනමා ශාලාවේ ටෙලි නාට්‍ය පෙන්වන්නේ කුමකට ද යන්නය.

ටෙලි නාට්‍ය තව හොඳ යැයි ඔහු මට පැවසීය. අපේ රටේ වර්තමාන සිනමා කර්මාන්තය පවතින්නේ එහි ඇති අභියෝග හෝ ඒවා ලෝකයේ ජයග්‍රහණය කළේ කෙසේ ද යන්න ගැන සත පහකවත් අවධානයකින් නොවේ. චිත්‍රපට නැරැඹීම පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය වර්තමානයේ ඇත්තේ සිනමා ප්‍රේක්ෂකයන්ටය. තවදුරටත් චිත්‍රපට නැරැඹීම සඳහා සිනමාහලකට ගොඩ විය යුතු නැති වග මා මේ පිටුවේ ඕනෑ තරම් ලියා ඇත.

චිත්‍රපට යන වචනය තවදුරටත් වලංගු වචනයක් නොවේ. විනිවිද පෙනෙන පටල පටය වර්තමානයේ පරම්පරාව භාවිතයට ගන්නේ නැත. එකල ලොරි භාගයක පමණ අරගෙන ගිය චිිත්‍රපට කෑන් වෙනුවට අද මුළු චිත්‍රපටයම කුඩා හාඩ් ඩික්ස් එකක රඳවා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරති. ලෝකය පුරා තරුණ තරුණියෝ පෑන් පැන්සල් ගාණට චලන චිත්‍ර කැමරා භාවිත කරති. රටින් රට පමණක් නොව ගමින් ගමට ද ජාත්‍යන්තර සිනමා උත්සව පවත්වන්නට හැකි වී ඇත්තේ ඒ තාක්ෂණයේ බල මහිමයෙනි. සිනමා ප්‍රක්ෂේපණය ඩිජිටල්කරණය වූයෙත් චිත්‍රපට රූපගත කිරීම පහසු කටයුත්තක් බවට පරිවර්තනය වූයේත් එහි අවසන් ප්‍රතිඵලය තුට්ටු දෙකට අශ්වයා ගෙන ගඟෙන් පනින න්‍යායෙන් බිස්නස් කරන්නට නොවේ.

ප්‍රක්ෂේපණය පටල පටයෙන් ඩිජිටල්කරණය වූයේ වඩා පරිපූර්ණ, වඩා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගත හැකි නිර්මාණ කරන්නටය. වී. එච්. එස්. පටයෙන් සී. ඩී. එකට ද, සී. ඩී.පටය ඩී. වී. ඩී පටයක් බවට ද, ඩී. වී. ඩී පටය බ්ලූරේ එකක් බවට ද පරිවර්තනය වූයේ වඩා හොඳ රූප පද්ධතියක් පෙන්වා වෙළෙඳපොළ ජය ලබන්නටය. එහෙත් අප ඩිජිටල්කරණය භාවිත කරනුයේ දළ සේයා පටවලට වැය වන මුදල අඩු කරගෙන මොකක් හෝ අටවා පෙන්වා ගණනක් මරා ගන්නටය. ඇතැම් චිත්‍රපටයක අතිරේක නළු නිළියන් බහුතරය පාර තොටෙන් සොයා ගන්නා ඇහින්දාස්ලාය.

මේ ඇහින්දාස්ලා නිසා තම නිර්මාණයට වන බලවත් හානිය සිනමාකරුවා අවබෝධ කර නොගනියි. ලෝකය සිනමා වෘත්තීය සමිති පවත්වාගෙන යන්නේ එහි ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහාය. පාරෙන් සොයා ගන්නා ඇහින්දාස්ලාට චිත්‍රපටයක පෙනී සිටින්නවත් එබඳු කර්මාන්තවල ඉඩ නැත. ඕනෑම වෘත්තියකට ශිල්පීය නිපුණතාවක් හෝ පුහුණුවක් හෝ අත්‍යවශ්‍යය. එසේ නොමැති වූ කළ අදාළ නිර්මාණයකින් ආධුනික ගති ලක්ෂණ ඉස්මතු වීම වැළැක්විය නොහැකිය. මෑත භාගයේදී චිත්‍රපට නරඹද්දී මෙරට චිත්‍රපට කර්මාන්තය එහි වෘත්තීය ප්‍රමිතිය නොසලකා හරින වගක් පැහැදිලිය. මේ නොසලකා හැරීම මෙරට චිත්‍රපට වෙළෙඳපොළ කෙරෙහි දරුණු ලෙස බලපාන බව එහි නියැළෙන්නන් තවම වටහා ගෙන නැත.

ලෝකයේ සිනමාව ග්‍රහණය කරගනු ලබන්නේ වයස අවුරුදු 10 - 35 අතර ජන කාණ්ඩයයි. මෙරට එකී වයස් කාණ්ඩය අතරෙන් සිංහල චිත්‍රපට නැරැඹීමට පුරුදුව ඇති සංඛ්‍යාව කෙතරම්දැයි සමීක්ෂණයක් කළහොත් එය සිනමා බලධාරීන්ගේ ඉහමොළ රත් කරන්නක් වන්නේය. මේ කර්මාන්තය ජීවත් කරවන්නට නම් එයට තරුණ වෙළෙඳපොළ ආකර්ෂණය අවශ්‍යය. පසුගිය වසර ගණනාව ඇතුළත ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වසංගතයක් වූ මෙකී තත්ත්වය නිසා අපේ රටේ ජනප්‍රිය ටෙලි නාට්‍ය බවට පත්ව ඇත්තේ කොරියනු මාලා නාටකයි.

එදා අප ගාමිණී – මාලිනීලාගේ පින්තූර එකතු කර පරිද්දෙන් අද පරම්පරාවේ ළමයින් එකතු කරන්නේ කොරියානු මාලා නාටකවල පින්තූරය. එහි වැරැද්ද කොරියානු මාලා නාටක පෙන්වීමේ අය මත පටවන්නට මා කිසිවිටෙකත් එකඟ නැත. ලෝකයේ කොහෙන් හෝ එන අයහපතක් නොවන දෙයක් වළක්වන්නට අපට කිසිදු අවශ්‍යතාවයක් නැත. එහෙත් අපේ නළු නිළියන් අභිබවා නන්නාඳුණන කොරියන් නළු - නිළියන් වීරයන් බවට පරිවර්තනය වූයේ ඇහින්දලාස්ලා නිර්මාණ ක්ෂේත්‍රයට රිංගා ගත් නිසා යැයි නොසිතන්නේ මන්ද? සිනමා කර්මාන්තයට මේ තත්ත්වය වඩාත් හොඳින් බලපාන්නේ ප්‍රේක්ෂකයන්ගේ මුදල් සමඟ එය සෘජු ගනුදෙනුවක් කරන නිසාය. සමහර විට චිත්‍රපටයක් තනා පාඩු විඳින නිෂ්පාදකවරයා එයින් පසු යළි ඒ දෙස බලන්නටවත් නොයෑම වෙනම කරුණකි. එහෙත් එක් චිත්‍රපටයක් නිෂ්පාදනය නොවීමෙන් වන සෘජුව හෝ වක්‍රව රැකියාව අහිමි වන සංඛ්‍යාව විශාලය.

කාටත් වඩා ඒ සම්බන්ධයෙන් පාඩු විඳින්නේ සිනමා ශාලා හිමියන්ය. එහි විදුලි බිල, සේවක පඩිනඩි ද, අනෙකුත් වරිපනම් බදු ආදිය ද චිත්‍රපට දිව්වා නොදිව්වා කියා අඩු වන්නේ නැත. ඒ මදිවාට සිනමාවේ ඩිජිටල්කරණය නිසා ශාලාව යාවත්කාලීන විය යුතුය. එහෙත් ඒ මුදල ආපසු ලබා ගැනීම මේ හැදෙන චිත්‍රපටවලින් කිසිසේත් කළ නොහැකිය.

වර්තමානයේ අපේ රටේ චිත්‍රපට සිනමා ශාලා මඟින් තිරගත කරන චිත්‍රපට සිනමා ශාලා හිමියන්ගේ අභිරුචිය පරිදි තෝරා ගන්නා ඒවා නොවෙයි. අදාළ ප්‍රදර්ශන සමාගම මඟින් පෙන්විය යුතු යැයි බලහත්කාරයෙන් නිකුත් කරනු ලබන චිත්‍රපට වෙයි. එයට වඩා සිනමා ශාලා හිමියකුට තම අභිරුචිය පරිදි චිත්‍රපට තෝරා ගැනීමේ ඉඩ ලබා දෙන්නේ නම් හෝ නිෂ්පාදකයකු සමඟ සෘජු ගනුදෙනුවක් කිරීමට ඉඩ ලැබෙන්නේ නම් නිෂ්පාදකට හා ශාලා හිමියාට ද ලැබෙන ප්‍රයෝජනය වඩා ඵළදායී වනු ඇත. චිත්‍රපට කර්මාන්තයේලා ආයෝජනය කිරීමට තවමත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දක්වන්නේ මැළිකමකි. මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයකු වන මගේ මිත්‍රයෙකු ඉතා හොඳ සිනමා රසිකයකු වුව ද ඔහු ගණන් හිලව් ඇතිව පෙන්වා දෙන්නේ මෙරට චිත්‍රපට කර්මාන්තයේ ඇති අවධානම් සහගත බවයි. චිත්‍රපට දුවන්නේ ඇයි යන්න කිසිවකුට කැටකඩා කිව නොහැකි කරුණකි.

වසර කිහිපයකට පෙර පැරමවුන්ට් පික්චර්ස් සමාගම ‘ගෝස්ට්’ චිත්‍රපටය තිරගත කරද්දී නියත වශයෙන් එය පාඩු ලබන බව කියැවිණි. එහෙත් ‘ගෝස්ට්’ ලෝකයේ ඉහළම ආදායම් වාර්තාව හැටියට පිවිසියේ සියල්ලන් මවිත කරමිනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොළු හදවත’ චිත්‍රපටය මුලින් දුටු එය නිෂ්පාදනය කළ සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේ බලධාරීහු හිස අත ගසා ගත්හ. ඒ එමඟින් සමාගම බංකොලොත් වී විකුණා දමන්නට සිදුවනු ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් ‘ගොළු හදවත’ එතෙක් සමාගම සතු ණයතුරුස් ගෙවා දමා අධික ලාභයක් ද උපයා දෙනු ලැබිණ. එපමණක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යටතේ තවත් චිත්‍රපට දෙකක් නිපද වූයේය. අපේ ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය වූ ‘නිධානය’ බිහි වූයේ එබැවිනි. කලකට ඉහත ‘සරසවිය’ පුවත්පතේ සේවය කළ අභාවප්‍රාප්ත කුමාරදාස වාකිෂ්ට මහතා මට පැවසූ කතාවක් මගේ මතකයට එයි.

වරක් 1972 වසරේ පමණ වාකිෂ්ට අයියා මරදාන එල්ෆින්ස්ටන් සිනමාහලට ගියේ එහි කළමනාකරු මුණ ගැසෙන්නටය. කළමනාකරු ශාලාවේ නොවීය. චණ්ඩි පහේ මිනිසෙකු කිණිස්සක් ද අතැතිව කුණුහරුප කියමින් ශාලා පරිශ්‍රයේ එහා මෙහා යයි. සිනමාහලේ සේවකයෝ බිරාන්තව සිටිකි. වාකිෂ්ට අයියා හඳුනා ගත් එක් සේවකයෙක් ප්‍රකෂේපනාගාරය පිටුපස කළමනාකරු සැඟව සිටි ස්ථානයට ඔහුව කැඳවාගෙන ගියේය.

‘එළියට එන්න විදියක් නැහැ. මේ උලව් පික්චර් එක බලපු එකෙක් ඒක හොඳ නෑ කියලා ආපහු ටිකට් එකේ සල්ලි ඉල්ලනවා’ කළමනාකරු වාගි අයියාට දුක්ගැනවිල්ල කියා තිබිණි.

වාසනාවට අද එබඳු චණ්ඩින් නැත. නැතිනම් ශාලා කළමනාකරුවන්ට හැමවිටම තම ශාලා ඉදිරියේ මෙලෙස පුවරුවක් සවි කරන්නට සිදු වෙයි.

‘චිත්‍රපට ප්‍රවේශ පත්‍රයේ මුදල් ආපසු ගෙවනු නොලැබේ’

ඒ ඔවුනගේ මතු ආරක්ෂාවටය. එහෙත් එය පාරිභෝගික ආරක්ෂක පනතට වලංගුදැයි මා දන්නේ නැත.