වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග සහන්ගෙන් ලැබුණේ පසුගිය දවස්වල

ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග සහන්ගෙන් ලැබුණේ පසුගිය දවස්වල

සහන් – ගයනා කැදැල්ලට යමු

‘ලෝකයේ වෙනස් වුණේ

මිනිසාදෝ . . . දෙවියදෝ . . .’

ඒ අපගේ සවනත වැකුණේ ළයාන්විත ස්වරයක්. හුරුපුරුදු ඒ ළයාන්විත ස්වරයට තාල අල්ලමින්ම අපි ගයනා - සහන් සොඳුරු කැදැල්ලේ ගෙවත්තට ගොඩ වැදුණා.

එක් පසෙක රන් පැහැයට දිලෙන රන් තැඹිලි ගහේ ගෙඩි බලාගෙන ඉන්නේ හිනාවීගෙන.

ඒත් එක්කම අඹ ගසේ පිපුණුු අඹ මල්වල සුවඳ හැමැ තැනම විහිදිලා. පේර ගස සුළඟට වැනෙන්නේ ඉදුණු පේර ගෙඩියක් හංගාගෙන. ඒ අතරෙන් එබී බැලුවේ ගයනා සුදර්ශනී කියන ආදරණීය රංගන ශිල්පිනිය.

‘ඕ . . . එන්න එන්න’

කිසිම සද්දයක් බද්දයක් නැතිව ඉන්න අපට ඈ ආරාධනා කළා.

‘අපි මේ ගීතය රස විඳිනවා’

ගයනා අක්කාගේ ආරාධනාව පිළිගන්න ගමන්ම අපි පැවසුවේ සහන් අයියා ගයන ගීතය ගැන.

‘ආ . . . මම මේ උදාවුණු නිවාඩුවේ ගීතයක් ගයන්න, රස විඳින්න හිතුවා’

එහෙම කියමින් ගීතය නවත්තලා සහන් විජේසිංහ කියන හිතවතා අපත් සමඟ සුහද කතාබහකට මුල පිරුවා.

‘ඒ කියන්නේ කාලයකට පස්සේ දිග නිවාඩුවක්’

මා විමසුවේ සහන්ගෙන්.

‘පසුගිය කාලයේ අපේ සගා කියන ප්‍රොඩක්ෂන් ආයතනය මඟින් කළ ‘මාද ඔබම විය’ කියන ටෙලි නාට්‍යය නිසා අපි තරමක් කාර්යබහුල වුණා. මේ වනවිට ඒ කටයුතු නිම කරලා රූපවාහිනි ආයතනයකට දීලයි තියන්නේ.

එය ළඟදීම විකාශය වේවි. ඒ සියලු කටයුතු අවසාන නිසා අපට විවේකයක් ලැබුණා. ඒ ලැබුණු විවේකය අපි දෙන්නත් එක්ක බොහොම හොඳින් ගත කරනවා’

සුපුරුදු සිනහවත් මුවට නඟාගෙන ඔහු බැලුවේ ආදරණීය බිරිය ගයනාගේ උවන.

‘ඒ විවේකය නිසාමද පසුගිය කාලයේ විදෙස් සංචාරයක් ගියා කියලා ආරංචි වුණේ’

‘මට ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එක ලැබුණා. මොකද මගේ පුතා ඉන්නේ ඇමෙරිකාවේ. ඒ නිසා පුතාව බලන්නත්, ඒ රටේ සංචාරයටත් එක්ක මං එහේ ගියා. ඒත් වැඩි කාලයක් ඇමෙරිකාවේ හිටියේ නැහැ. ඉක්මනට මගේ රටට ආවා. ඒ ඉතිං ගයනා නිසා’

එහෙම කියන අතර මගේ නෙත් යොමු වුණේ ගයනා දෙසට. ඇගේ උවනේ තිබුණු සිනහව කිව්වේ සහන්ට තිබෙන ආදරේ.

‘ඇත්තම කිව්වොත් අපි දෙන්නා බැන්දට පස්සේ කවදාවත්ම ඈත් වෙලා ඉඳලා නැහැ. මෙවර තමයි පළමුවරට මේ තරම් කාලයක් සහන් මගෙන් ඈත් වෙලා හිටියේ.

ඒක අපි දෙන්නටම දරා ගන්න අපහසුයි. කෝල් කළාට පස්සේ එයා එහේ අඬනවා. මම මෙහේ අඬනවා. අන්තිමට තවත් කාලයක් විවේකයෙන් එහේ ඉන්න තියෙද්දි සහන් ලංකාවට ආවා’

ගායනාගේ ආදරේ කොයි තරම් ද කිව්වොත් සහන්ට ඇමෙරිකාවේ ඉන්න හිත දුන්නේම නැහැ.

‘ඒ ආවට පස්සේ ආදරේ තවත් අලුත් වෙලා’

‘එහෙම දුරස් වෙලා ඉඳලා නැවත මුණ ගැසීමත් බොහොම සොඳුරුයි. ඊට දවස් කිහිපයකට පස්සේ අපි උණවටුනේ ගියා. එතකොට නම් මට හිතුණේ ආයෙත් මම විවාහ වුණා වගේ කියලයි.’

සහන්ගේ උස් සිනහ හඬ වට පිටාවට ඇහෙන තරම්. මේ ලැබුණු විවේකය ඔවුන් බොහොම සුන්දර ලෙස ගත කරනවා.

‘ඒ විවේකය අර්ථවත් වෙන්න නම් ගයනාත් ළඟ ඉන්නම ඕනෑ වගෙයි’

‘අපි දෙන්නාම විවේකය ගත කරන්න කැමැති ගෙදරට වෙලා. ඒ අතර සමහර දිනවලදී අපි කරන්නේ සහන්ගේ ෆිල්ම් එකතුවේ තිබෙන චිත්‍රපට බලන එකයි. එහෙමත් නැත්නම් සින්දු අහන එකයි.

ඒ වගේම සහන් අද වගේ ගීත පැක්ට්‍රිස් කරන එකයි. ඒ අතරතුර මම සහන්ට ඉඟුරු දාලා ප්ලේන්ටි එකක් ගේනවා.

ප්ලේන්ටි බොන සහන් නැවතත් සින්දු කියන්නේ ඕගන් එක වාදනය කරමින්.

ඒ ගීත ඔහු හරියටම කියනවද, කොහෙද අඩුපාඩු තියෙන්නේ කියලා බලන්නේ මම තමයි’

කිව්ව ගයනා හිමින් සහන්ට ළං වුණා.

මේ විදිහට ඔවුන් ගත කරන දින කිහිපයෙන් තවත් දින කිහිපයක් මේ දෙන්නගේ කැදැල්ල සුන්දර කරන්නත් වෙන් වෙනවා.

‘ මේ සොඳුරු නිවහන හැඩ වැඩ කරන්න වැඩිපුරම මහන්සි වෙන්නේ කවුද?’

‘එහෙම කියලාම නැහැ. මම දිගටම ගෙදර නොහිටියොත් සහන් ඒ වැඩ හොයලා බලලා කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඒ හැම වැඩක්ම කරන්න එයාට හිතෙන්න ඕනෑ. කොහොම නමුත් මම සතියකට එක දවසක් නිවෙස වෙනුවෙන් වෙන් කරනවා.

ඒ දවසේ මගේ අතෙන් තමයි මුළු නිවෙසම අස්පස් වෙන්නේ. ඒ කටයුත්ත මම කරන්නේ බොහොම කැමැත්තෙන්.

ඒ අතර ගෙවත්ත ගැන බලන්නේ සහන් තමයි.

ගෙවත්තේ තියන හැම ගහක්ම වගේ ඉන්දුවේ සහන්ගේ අදහසක් අනුවයි. එයා කැමැති පලතුරුවලින් ගෙවත්ත පිරිලා තියෙනවා දකින්නයි’

ගයනා සැබෑ ගෘහනියකගේ වගකීම ඒ විදියට ඉටු කරන අතරතුර දෙන්නගේ ශරීර සෞඛ්‍ය ගැනත් බොහොම උනන්දුයි.

‘කෑම පිළියෙල වෙන්නේ ගයනා අතෙන්මද?’

‘විවාහ වුණු මුල් කාලයේදී නම් සහන් විශේෂ කෑම පිළියෙල කළා. එයාට හොඳට විවිධ කෑම හදන්න පුළුවන්. ඒත් ඉතිං දැන්නම් උයන්නේ මමම තමයි.

උදේට නැඟිට්ට ගමන් සහන් වතුර වීදුරු කිහිපයක්ම බොනවා. ඊළඟට අපි දෙන්නම මම හැදුව කොළ කැඳ එක බොනවා.

වැඩිපුරම සහන් කැමැති කිරිබත් වගේම මනි පිට්ටු, ඉඳිආප්ප සමඟ පොළොස් කන්නයි. සහන් වගේම මමත් ඉඳිආප්ප සමඟ පොළොස් කන්න කැමැතියි.

බත් උයලා මාළු මිරිසට උයලා, පොල් සමඟ කන්නත් සහන් වඩා ප්‍රියයි.’

සහන්ගේ කැමැත්තට මුල්තැන දෙමින් කටයුතු කරන ගයනාගේ කැදැල්ල ආදරයෙන් පිරිලා ඉතිරිලා.

ඒ ආදරයේ තරම ගයනාට කියන්නට වගේ සහන් මෙවර විදේශගත වෙලා එන විට අපූරු තෑග්ගක් ගෙනත්.

‘ඒ ලැබුණු තෑග්ග නම් මගේ ජීවිතයටම වටිනවා’

ගයනා ඒ ගැන කියන්න තරමක් අගේ කළා.

‘ඇත්තටම මොකක්ද ඔය තරම් වටින තෑග්ග?’

මාලන් අයියගෙත්, මගෙත් හිත්වල නැඟුණේ ප්‍රශ්නයක්.

‘සහන් එහේ ඉන්න කාලයේ මගේ රූපය චිත්‍රයට නඟලා. ඒක තමයි මගේ ජීවිතයටම වටිනා මට එයා දුන්න අපූරු තෑග්ග’

ගයනාගේ දෙනෙතට නැඟුණේ කඳුළක්. ඒ නැඟුණු සතුටු කඳුළත් සමඟ ඈ බැලුවේ සහන් දිහා. එසැනින්ම සහන් ඇයව තුරුළු කර ගත්තේ ඔහුගේ සිතේ තියෙන ආදරය පෙන්වන්න වගේ.